UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උරුවෙල් කාශ්‍යප දමනය

භාග්‍යවතුන් වහන්සේ සිතනවා මේ මෝඝ පුද්ගලයාට මම මෙතරම් ප්‍රාතිහාර්ය පෙන්වද්දීත් කිසිදු දමනය වීමක් නැහැ. එනිසා මොහු සංවේගයට පත්කළ යුතුයැයි සිතා ‘’කාශ්‍යප නුඹ රහත් නොවේ. රහත් මගට පැමිණි කෙනෙකුත් නොවේ. යම් ප්‍රතිපදාවකින් අරහත් මාර්ගයට පැමිණෙයිද ඒ ප්‍රතිපාදාවත් ඔබ නොදනියි’’.

ජනවාරි 08 වන දා පත්‍රය හා සම්බන්ධයි

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් ජනපදයේ වැඩ වසන කාලයේ දිනක් පාංශකූල සිවුරක් ලැබුණා. එය සෝදා ගැනීමට ස්ථානයක් නොතිබුණ නිසා සක් දෙවිදුන් බුදුරදුන්ගේ අදහස දැනගෙන එය සේදීමට පොකුණක් තනා දුන්නා. එම සිවුර අතුල්ලා ගන්නට ගලක්ද ගෙනවිත් තිබ්බා. වස්ත්‍රය වැනීමට තවත් කළුගලක් ගෙනැවිත් තිබ්බා. තථාගතයන් වහන්සේට වස්ත්‍රය සෝදා පොකුණෙන් ගොඩවීමට සමීපයේ තිබූ කුඹුක් ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණ දෙසට නැමුවා. පසුදින කාශ්‍යප මේ සියලුම දේ දැක අසනවා ‘’මහ ශ්‍රමණය කලින් මෙහි පොකුණක් හෝ කළුගල් ද තිබුණේ නැහැ. මේ කුඹුක් අත්තද මෙසේ නැමී තිබුණේ නැහැ. මේ දේ කළේ කවුද?’’

‘’කාශ්‍යප මට පාංශකූල සිවුරක් ලැබුණා. එය සෝදා ගැනීමට තැනක් තිබුණේ නැහැ නෙව. ඒ නිසා ශක්‍රයා විසින් මේ පොකුණ තනා කළුගල් දෙක ගෙනවිත් තැබුවා. මේ කුඹක් ගසේ දෙවියා අත්ත නවා දුන්නා’ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා.

එවිට කාශ්‍යප සිතනවා ශ්‍රක්‍ර දේවේන්ද්‍රයාත් වැඩපළ කරදෙන මේ මහණ තෙමේ නම් ඒකාන්තයෙන්ම මහානුභාව ඇති කෙනෙක්. නමුත් මා මෙන් රහත් නැහැ නොව කියා’’

තවත් එක් දිනක් තවුසෝ පන්සීයක් ගිනි පුදන පිණිස දර පලන්නට වුණා. එක් දර කැබැල්ලක්වත් පැලෙන්නේ නැති නිසා මෙයත් ‘මහ ශ්‍රමණයන්ගේ ප්‍රාතිහාර්යයක් යැයි සිතුවා. තථාගතයන් වහන්සේ ‘කාශ්‍යප දර පලන්නද? ඇසූ විට ‘පලන්න මහමහණ’ යි කීවා. එවෙලෙහි දර කොට පන්සීයම පැලී ගියා. තවුසෝ ගිනි දැල්වීමට සූදානම් වුවත් එක් දර කැබැල්ලක්වත් ගිනි ඇවිලුණේ නැහැ. මෙයත් මහමහණගේ ප්‍රාතිහාර්යක් විය යුතුයි තවුසෝ සිතුවා. තථාගතයන් වහන්සේ ‘ ගිනි අවුලන්නද කාශ්‍යප’ ඇසූවිට ‘එසේය’ පිළිතුරු දුන්නා. එවලෙහි දර කොට පන්සියය ගිනි ඇවිලුණා. තවුසෝ ගිනි පුදා ගිනි නිවන්නට උත්සාහ කළා. කෙතෙක් උත්සාහ කළද ගිනි නිවුනේ නැහැ. මෙයද ‘මහ ශ්‍රමණයාගේ ප්‍රාතිහාර්යයක්’ යැයි තවුසෝ සිතුවා. තථාගතයන් වහන්සේ ‘කාශ්‍යප ගිනි නිවන්න ද?’ ඇසුවා. ‘එසේය මහ ශ්‍රමණය ගිනි නිවේවායි’ පිළිතුරු දුන්නා. සෑම තැනම ගිනි නිවුණා. කාශ්‍යප පෙර සේම මහමහණුන් සෘද්ධිමත් වුවත් මම මෙන් රහත් නැතැයි’ සිතුවා.

එක් දිනක් අකල් වැස්සක් වැහැලා භාග්‍යවතුන් වහන්සේ වෙසෙන ප්‍රදේශය ජලයෙන් යට වී ගියා. උන්වහන්සේ එම ජලය දෙබෑ කොට දූවිලි සහිත කොටසක් මවා එහි සක්මන් කරමින් සිටියා. උරුවෙල් කාශ්‍යපට ප්‍රකාශ කළා ජල පහර තද නිසා ඒකාන්තයෙන්ම මහශ්‍රමණයන් දියේ ගසා ගෙන ගොස් ඇති. බේරා ගනිමුයි කතිකාකොට බෝට්ටුවකින් ගියා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ජලය මැද දූවිලි සහිත බිමක සක්මන් කරනවා ඔවුන් දැක්කා. තවුසන් පුදුමයට පත්වුණා. තථාගතයන් වහන්සේ අහසට පැන නැගී ඔවුන්ගේ බෝට්ටුවට ගොඩ වුණා. එවිටද උරුවෙල් කාශ්‍යප සිතනවා ‘’යමෙක් සිටි තැන ජලයෙන් පවා නො තෙමේද මේ මහ ශ්‍රමණ සෘද්ධිමත් ය. මහනුභාව සම්පන්න ය. නමුත් මා මෙන් රහත් නොවේ.”

භාග්‍යවතුන් වහන්සේ සිතනවා මේ මෝඝ පුද්ගලයාට මම මෙතරම් ප්‍රාතිහාර්ය පෙන්වද්දීත් කිසිදු දමනය වීමක් නැහැ. එනිසා මොහු සංවේගයට පත්කළ යුතුයැයි සිතා ‘’කාශ්‍යප නුඹ රහත් නොවේ. රහත් මගට පැමිණි කෙනෙකුත් නොවේ. යම් ප්‍රතිපදාවකින් අරහත් මාර්ගයට පැමිණෙයිද ඒ ප්‍රතිපාදාවත් ඔබ නොදනියි’’. එවිට උරුවෙල් කාශ්‍යපගේ මානය බිඳුණා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. ‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි වෙනවා’. ‘’කාශ්‍යප ඔබ පන්සියයක් ජටිලයන්ට නායක. අග්‍රයි. ප්‍රමුඛාචාර්ය යි. ඔබ මේ තීරණය ඔබේ ගෝලයන් ගැන සිතා කළ යුතුයි’’ තථාගතයන් වහන්සේ වදාළා. එවිට උරුවෙල් කාශ්‍යප තම ගෝලයන් රැස් කර පවසනවා ‘’භවත්නි, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වීමට සිතුවා. ඔබලා යමක් කැමැතිද එය කරන්න’’. ඔවුන් පවසනවා ‘’පින්වත් ආචාර්යතුමනි, අපිත් බොහෝ කාලයක් සිට මහ ශ්‍රමණයන් වහන්සේ කෙරෙහි පැහැදී සිටියේ. ඔබවහන්සේ උන්වහන්සේගෙන් පැවිදි බව ලබා ගන්නේනම්, අපි සියලු දෙනාත් බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා’.

ඉන්පසු සියලුම දෙනා ජටා මඩුළු, කෙස්, තවුස් පිරිකර, ගිනි පුදන උපකරණ සියලුම දේ දියේ පාකර හැරියා. තථාගතයන් වහන්සේට ප්‍රකාශ කළා ‘ස්වාමිනි අප ඔබ වෙතින් පැවිදි බව හා උපසම්පදාව ලබන්නෙමු’ කියා. එවිට උන්වහන්සේ වදාළා මහණෙනි! මේ ධර්මය මනාකොට දේශනා කර තිබෙනවා. බඹසරෙහි හැසිරී මේ දුක් කෙළවර කරන්න. එයට කියන්නේ ඒහි භික්ඛු උපසම්පදාව කියා. මෙහිදී පැවිදි කිරීමක්, සිවුරු අතට දීමක් ආදිය සිදුවන්නේ නැහැ. සිවුරු පාත්‍ර සියල්ලම සෘද්ධියෙන් පහළ වෙනවා. බුදු කෙනෙකු පමණයි එසේ ඒහි භික්ඛුභාවය ලබා දෙන්නේ. තවුසන් විසින් පාකළ තවුස් පිරිකර සියල්ලම ගඟ දිගේ පහළට ගසාගෙන ගියා.

නදියේ මැද කොටසේ වාසය කළ නදී කාශ්‍යප මෙය දැක සිතනවා මගේ සහෝදරයාට කුමක් හෝ කරදරයක් යැයි සිතා ඔහුව බලන්න ගියා. එහිදී දුටුවා උරුවෙල් කාශ්‍යප ඇතුලු පිරිස් පැවිදිවෙලා සිටින ආකාරය. නදී කාශ්‍යප අසනවා, කාශ්‍යපයෙනි, මේ පැවිදි බව තපසට වඩා උතුම් ද? ආයුෂ්මතුනි, එසේය. මේ පැවිදි බව උතුම්. ඉන්පසු නදී කාශ්‍යප ඇතුලු තුන්සියයක් පිරිස භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පැවිදි වූවා.

ගයා කාශ්‍යප සිටියේ ගයාවේ. ගග පහළට මේ සියලුම පිරිකර ගසාගෙන යනවා. ගයා කාශ්‍යප එය දැක සිතනවා මගේ සොයුරන්ට කුමක් හෝ කරදරයක්ද සිතා බැලීමට එනවා. ඒ සියලුම දෙනා පැවිදි වී සිටින ආකාරය දැක අසනවා ‘පැවිදි බව තපස් බවට වඩා උතුම් ද? එසේය, ‘’පැවිදි බව උතුම්යි’’ ඔහු ඇතුළු දෙසීයක් වූ පිරිස තම සියලුම තපස් පිරිකර පාකර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා.

උන්වහන්සේ දහසක් භික්ෂූන් වහන්සේ සමඟ ගයා ශීර්ෂයට වැඩම කළා. එහිදී වදාළා මහණෙනි, ඇස, රූපය, ඇසේ විඤ්ඤාණය, ඇසේ ස්පර්ෂය, ස්පර්ෂයෙන් ඇතිවන විඳීමද ගිනි ගන්නවා. මහණෙනි, රාගය, ද්වේශය , මෝහය නමැති ගින්නෙන්ද ජාති, ජරා, මරණ, ශෝක වැලපීම්, දුක් දොම්නස් උපායාස ගින්නෙන් ද, අප ගිනි ගන්නවා. ඒ වගේම රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ, අරමුණු හයත් ගිනි ගන්නවා. මේ එකොළොස් ආකාරය ගින්නෙන් ගිනි ගන්නවා බව අවබෝධ වූවාම ඔහු ඇසත්, රූපයත්, ඇසේ විඤ්ඤාණයත්, ඒ තුළින් ඇතිවන ස්පර්ෂයත්, ස්පර්ෂයෙන් හට ගන්නා විඳීමටත් කළකිරෙනවා. අවබෝධයෙන් කළකිරෙන විට එය අත හරිනවා. එවිට එයින් නිදහස් වෙනවා. නිදහස් වූ නිසා ඒ පුද්ගලයා සම්පූර්ණ වෙනවා. ඒ රහතන් වහන්සේයි. දහසක් පමණ වූ භික්ෂූහු මේ දේශනාව අවබෝධ කොටගෙන අරහත්වයට පත්වුණා.

භාග්‍යවතුන් වහන්සේට මෙතරම් ප්‍රාතිහාර්ය පා මොවුන් දමනය කිරීමට සිදුවූයේ ඔවුන් රහත් වී යැයි යම් මාන්නයකින් සිටි නිසයි. තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී සේනා සහිත මාරයා දමනය කළ පසුව උන්වහන්සේ කළ ප්‍රධානම දමනය මේ ජටිල දමනය.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 16 වන දා සඳුදා පූර්ව භාග 03.39 ට ලබයි.17 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.38 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 16 වනදා සඳුදාය.

මීළඟ පෝය
ජනවාරි 22 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk