දුරුතු අව අටවක 2012 – 01 – 16
මවට පියාට සලකමු
දරුවකු මෙලොවට බිහිවීමට පෙර සිටම ඒ දරුවා කෙරෙහි ආදරයෙන්,
කරුණාවෙන්, මෛත්‍රියෙන් ක්‍රියා කරනුයේ ස්වකීය මව සහ පියා ය.
මවගේ කුසයෙහි පිළිසිඳගත් දා පටන් ඒ දරුවා වෙනුවෙන් ආදරණීය
මෑණියන් තම දරුවා කෙරෙහි මිල කළ නොහැකි කැපවීමක් කරන්නීය.
කුසෙහි පිළිසිඳ ගත් දරුවාට සුවෙන් වැඩීමට අවශ්‍ය සියලු සම්පත්
ළඟා කර දෙනුයේ ද සෙනෙහෙබර මව සහ පියා ය.
දරුවකු මෙලොවට බිහි වූ දා පටන් වෙනදාටත් වඩා දහඩිය වගුරුවා
වෙහෙස මහන්සි නොබලා යමක් හරිහම්බ කරනුයේ ද ඒ දරුවා වෙනුවෙන්ම
ය.
එසේ ඇති දැඩි වන දරුවා නිසි වියේ දී මතු දියුණුව පතා පාසලකට
ඇතුළත් කර අධ්‍යාපනය ද ලබාදීමට මව, පියා දරන්නේ අපරිමිත
උත්සාහයකි.
එපමණක් නොව පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනය ද ලබාදීමට
මව පියා නොගන්නා උත්සාහයක් නැත.
අධ්‍යාපනයෙන් පසු තමනට වඩා සමාජයේ තම දරුවා උසස් මට්ටමකට රැගෙන
ඒම සඳහා සුදුසු රැකියාවක් පවා ලබාදීමට කටයුතු කරන්නේ ද මව සහ
පියා ය.
තම දරුවා නරක දෑ කීවිට ද, කළ විට ද ඊට ඇතැම් විට තරවටු කරමින්
දරුවා යහමගෙහි යැවීමට උත්සාහ දරනුයේ ද මව සහ පියා ය.
මෙසේ අන් සියලු දේටම වඩා තම දරුවා කෙරෙහි සියලු වෑයම් දරන්නේ
තම දරුවා යහමගෙහි යවා සමාජයේ උසස් මට්ටමකට පත් කිරීමේ
අරමුණෙනි.
සෑම දරුවකුටම සෑම අයුරකින්ම පිහිට වන මව සහ පියා වියපත් වන විට
ඒ දරුවා විසින් ස්වකීය මව සහ පියා ගෞරවයෙන් රැක බලා ගැනීම ඒ
දරුවාගේ පරම වගකීම සහ යුතුකම වේ.
තම මෑණියන්ට, පියාණන්ට කළ යුතු යුතුකම් ඉටු නොකිරීම පිරිහීමට
කරුණකි.
අප වෙනුවෙන් අපේ දයාබර පියාණන් වහන්සේ, මෑණියන් වහන්සේ කළ
කැපකිරීම් සිහිපත් වන්නේ නම් දරුවකුට තම මවුපිය දෙපළට නොසලකා
හැරිය හැකි ද?
තම මවුපිය දෙපළට නොසලකා හරින හැම දරුවකුටම තමන්ගේ දරුවන් ගෙන්
ද කිසිදා කිසිදු සැලකීමක් නොලැබෙනු ඇත. ඊට හේතුව නම් දරුවකු
හැම විට ස්වකීය මවුපියන් අනුගමනය කිරීම සිරිතකි. මවුපිය ආදර්ශය
දරුවාට බෙහෙවින් බලපානුයේ ද එබැවිනි.
මවුපිය දෙපළ වියපත් වන දා තම දරුවන් ඒ දෙදෙනාට නොසලකා හරින්නේ
නම් සමාජයේ වෙනත් කවරෙකු විසින් ඒ උතුම් මවුපිය දෙදෙනා වෙත
සලකන්නේ දැයි දරුවන් විසින් ම කල්පනා කර බැලිය යුතු කරුණක්
වෙයි.
මවුපිය දෙදෙනාට තම දරුවන් තරම් වෙනත් වටිනා වස්තුවක් තවත් නැත.
මවුපිය දෙපළට දරුවන් එතරම්ම වටිනා සම්පතක් වේ.
එහෙත් අවාසනාවකට මෙන් ඇතැම් දරුවන්ට තම මවුපිය දෙදෙනා කරදයක්,
හිරිහැරයක් ලෙස සලකන දරුවෝ ද සමාජයේ කලාතුරෙකින් හෝ සිටින බව ද
අමතක කළ යුත්තක් නොවේ.
දරුවන් හදා වඩා පෝෂණය කරන මවුපිය දෙදෙනා දරුවන්ගෙන් ඔවුන් ද
වැඩිහිටියන් වීමෙන් පසු බලාපොරොත්තු රැසක් ඉටු වෙතැයි
අපේක්‍ෂාවෙන් පසුවන බව රහසක් නොවේ.
ඒ බලාපොරොත්තු අපේක්‍ෂා අතර තමන් වියපත් වූ දා ‘තමන් ද රැක බලා
ගනීවි’ යන උදාර අරමුණක් ද වේ. ඒ අරමුණ, අපේක්‍ෂාව ඉටු කරන
දරුවන් බොහෝ දෙනකු අප සමාජයෙහි සිටින බව අපගේ විශ්වාසයයි.
එහෙත් කලාතුරෙකින් දරුවකු ඒ අරමුණ ඉටු නොකරන බවද කිව යුතුව ඇත.
දරුවකුගේ දියුණුවට, යහපතට මවුපිය දෙදෙනාගේ ආශීර්වාදය මහත්
ආශීර්වාදයක්ම වේ.
එමෙන්ම එවන් උතුම් දෙදෙනකුගේ හදවතෙන් තම දරුවන්ට නිරතුරුවම
ආශීර්වාද කළ නොහැකි නම් එය දරුවාගේ පරිහානියට හේතු වන බවද
පෙන්වා දිය යුතු නොවේ.
කෙසේ වුවද අපේ බෞද්ධ සමාජය මවට, පියාට, ගුරුවරයාට, වැඩිහිටියාට
ගෞරව දැක්වීම ඇප උපස්ථාන කිරීම, සංග්‍රහ කිරීම අනාදිමත් කාලයක
පටන් සිදු කරගෙන එනු ලබන උදාර සමාජ චාරිත්‍රයක් ද වේ. |