UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් දවස පැවැති සමාජ විසමතා

අතිවිශාල ජනකායක් අධික පීඩනයන්ගෙන් හැඬූ කඳුළින් දිවා රාත්‍රී ගත කළහ. මේ බව දත් බුදුපියාණන් වහන්සේ ධනවතුන්ගේ බලවතුන්ගේ සිත්සතන් කැඩෙන, බිඳෙන, පළුදු වන අයුරින් වචනයක් වත් නො වදාරා ඔවුන් යහමඟට යොමු කරවනු පිණිස ගත් මාර්ගය නම් කියා නිම නොකළහැකි තරම් පුදුම සහගත ය.

සිද්ධාර්ථ ගෞතම බුදුරදුන් වැඩසිටි වකවානුව අදින් වසර දෙදහස් පන්සිය පනහක් ඈතට විහිදී යයි. එදා සමාජයේ පැවති සම විසමතා ගැන සලකා බලන විට නූතන සමයෙහි වෙසෙන ජනතාවට සිතා ගැනීමට වත් බැරි තරම් අතිවිශාල පරතරයකි. අනාදිමත් කාලයක පටන් ඉන්දීය සමාජය සකස් වූයේ බ්‍රාහ්මණ ධර්මයට මුල්තැන දීමෙනි.

“බ්‍රාහ්මණෝස්‍ය මුඛමාසීත් – බාහු රාජන්‍යඞ කෘතඞ
ඌරු තදස්‍ය යත් වෛශ්‍යඞ - පද්භ්‍යාං ක්‍ෂුද්‍රෝ අජායත” (වේදාන්ත)

ඒ පැරණි බමුණු සමාජයෙහි පිළිගැනීම වූයේ සර්වබලධාරී මහා බ්‍රහ්මයෙකි. ලෝකය පරිපාලනය කරන්නේ ලොව මවන ලද ඒ සර්වබලධාරී අදෘශ්‍යමාන මහා බ්‍රහ්මයාගේ කැමැත්තට අනුකූලව ය. ජන සමාජයෙහි ශ්‍රේෂ්ඨ ම පුද්ගලයෝ බ්‍රාහ්මණ වංශිකයෝ ය. ඒ සර්වබලදාරී බ්‍රහ්මයා විසින් තම මුඛයෙන් බ්‍රාහ්මණ වර්ගයා මවන ලද්දේ ය. රට පාලනය කරන රාජවංශිකයන් මවන ලද්දේ දෑතේ උඩ කොටස වන බාහු යුග්මයෙන් බව පිළිගැනීම විය. ගොවිතැන, වෙළහෙළඳාම, කර්මාන්තාදියෙහි යෙදෙන වෛශ්‍ය කුලයට අයත් ඇත්තෝ ඒ සර්වබලධාරී බ්‍රහ්මයා විසින් තම කලවා දෙකින් මවන ලද්දේ ය. දෙපසේ පහත කොටසින් මවන ලද්දේ ශුද්‍ර නමින් දැක්වෙන කුලීකරුවෝ ය. අන්තම දුප්පතුන් ය.

තථාගත බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක්, මෙවන් විසමතාවයන්ගෙන් පිරිපුන් සමාජයක බව සැලකිය යුතු ය. බ්‍රාහ්මණයන් අතර ද විවිධ ගෝත්‍ර පැවති බව පෙනේ. ඔවුහු ශබ්ද ශාස්ත්‍ර හදාරා ආගමික පුද පූජා ක්‍රම පවත්වමින් රටේ බලය නතුකරගෙන සිටියහ. ඔවුනට එරෙහිව නැගී සිටි අයට ලැබුණේ මරණයයි. රාජ රාජ මහාමාත්‍යාදී පාලකයන් පවා ඔවුන්ට නතුව සිටින බව පැහැදිලිව දක්නට ලැබෙන්නකි.

කාන්තාව අතිශයින්ම කොන්කර තැබූ ඔවුහු, ඇය හුදෙක් පුරුෂයන් සතුටු කරවන, දරුවන් හදන වඩන ගෙදර දොරේ කටයුතු ගැන ම සොයා කියාගෙන ජීවත් විය යුතු පිරිසක් බව ඉගැන්වූහ. කාන්තාවට සමාජයෙහි ඉදිරියට ඒම කවර අයුරකින් වත් ඉඩ නොතැබීම බමුණු සමාජයේ මූලික ප්‍රතිපත්තියක් විය.

කුඩා දැරිය තුරුණු වියට පත්ව සරණ බන්ධනයට පත්වන තුරු තම පියාගේ දැඩි පාලනය යටතේ ජීවත්විය යුතු ය. සරණ බන්ධනයෙන් පසු තම ස්වාමියාගේ දැඩි පාලනය යටතේ ඇය ජීවත්විය යුතු ය. මහලු වියට පත්ව මව පුත්‍රයන්ගේ දැඩි පාලනය යටතේ ජීවත් විය යුතු ය. එවන් අයුරින් මිස වෙන කිසිදු අයුරකින් ඇයට ස්වතන්ත්‍රතාවය හෙවත් නිදහසේ ජීවත්වීමට ඉඩ නොතැබිය යුතු ය. මනුස්මෘතිය ආදී පැරණි බමුණු පොත පතෙහි උගන්වා ඇති ආකාරය මේ අනුව කෙතරම් දරුණු දැයි සිතාගත හැකි ය.

බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමෙන් අනතුරුව මේ විසමතාවයන් නැතිකිරීම සඳහා කෙතරම් වෙහෙස මහන්සියක් දරන ලද්දේ ද යන්න ත්‍රිපිටකයෙන් පැහැදිලි වන්නේ ය. මුළු රටම පාරම්පරිකව කාලාන්තරයක් පුරා මෙවන් බ්‍රාහ්මණ ආධිපත්‍යයට අවනත කරගෙන සිටි සමාජයක ඒ දැඩි සමාජ විෂමතා වෙනස්කළ ආකාරය නම් සිතාගත නො හැකි තරම් පුදුම සහගත ය. බුද්ධත්වයෙන් වසරක් ඉක්මගිය තැන ශාක්‍ය රාජධානියට වැඩමකළ අවස්ථාවේ දී ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ යශෝධරාවන් ඇතුළු කුලකාන්තවන් විශාල පිරිසක් පැවිද්ද ඉල්ලූ විට ‘එයට මේ කාලය නොවේ’ යැයි මෙහෙණි සස්න ප්‍රතික්ෂේප කළේ එහෙයිනි.

බ්‍රාහ්මණයන් විසින් මෙතරම් දරුණු කුලභේදයක් වපුරමින් වර්ග වංශ භේදයන් ව්‍යාප්ත කරමින් යාග හෝමාදිය පවත්වමින් සියලු දේ දෙවියන්ගෙන් ඉටු කර දීමට හැඩගස්වා තිබුණු මේ සමාජ ක්‍රමය වෙනස් කිරීම උන්වහන්සේගේ පැතුම විය. එබැවින් තමන් වෙත පැමිණෙන දහස් ගණන් දැනඋගත් ප්‍රභූ පවුල්වල තරුණයන් පැවිදි කරවා ඔවුන් අතර කිසිම විසමතාවයක් ඇති නොවන පරිදි සහෝදරත්වයෙන් එකට ජීවත් වීමට හුරු පුරුදු කළ සේක. ඒ පැවිදි වූ පිරිසට ‘සබ්‍රහ්මචාරී’ යන වචනය ද යෙදුණි. සබ්‍රහ්මචාරී යනු එකට මහණදම් පුරණ භික්‍ෂූන් වහන්සේලා ය. ඒ අනුව ක්ෂත්‍රිය එනම් රාජකීය පවුල් වල අය ද බ්‍රාහ්මණ බමුණු පවුල්වල අය ද වෛශ්‍ය, ගොවිතැන, වාණිජ කර්මාන්තාදියෙහි යෙදුණු පවුල්වල අය ද මේ අතර ක්ෂුද්‍ර කුලයට අයත් සුනීත බඳු ගුණ නුවණින් යුත් සැඟවුණු පින් ඇති කසළ ශෝධකයෝ ද කිසිදු වෙනසකින් තොරව පැවිද්දට පත් කිරීමට කටයුතු යෙදූහ. එසේම බුද්ධශ්‍රාවක භික්‍ෂූන් වහන්සේලාගේත් තථාගතයන් වහන්සේගේත් නිසි කළමනාකරණයකින් යුත් ඇවතුම් පැවතුම් සහ ඉගැන්වීම ගැන පැහැදී ධනවත් පවුල්වල බොහෝ දෙනෙක් ද පැවිද්දට පත්වූහ.

කෙමෙන් මගධ දේශය ප්‍රමුඛ දඹදිව පුරා ධර්මය ව්‍යාප්තවීයාමේ ප්‍රතිඵලයක් වශයෙන් සුද්ධෝදන – පසේනදි කෝසල ප්‍රසේනජිත් බිම්බිසාර, උදේනි ආදී රජවරු ද සීහසේනාපති, අනාථපිණ්ඩිත, උපාලි සිටු, විශාඛා සිටුදේවිය, බන්ධුල මල්ලිකාව ආදී රටේ බලගතු අයගේ පටන් විවිධ අංශවලට අයත් භවතුන් බුදුදහම වැළඳගෙන ශක්තිමත් බවට පත්වනතුරු බුදුරදුන් ඉවසූ ආකාරය ලෝකයට ආදර්ශයකි. සාරිපුත්ත, මොග්ගල්ලාන, මහාකාශ්‍යප, කච්චායන, යසකුලපුත් ආදී බ්‍රාහ්මණ වංශික ධනවත් පවුල්වල අය ද දස දහස් ගණනින් පැවිදි වූහ. කෙමෙන් සඟ සසුන ද ව්‍යාප්තව දඹදිව බුදු දහම ස්ථාවරත්වයට පත්වීමෙන් පසු බුද්ධත්වයෙන් පස්වන වසරේ දී බුදුරජාණන් වහන්සේ මෙහෙණ සස්න පිහිටුවීම අනුමත කළ සේක.

කලින් කල තෙවරක් මෙහෙණි සස්න ප්‍රතික්‍ෂේප කොට තුන් වන වාරයේ දී එනම් බුද්ධත්වයෙන් පස් වැනි වසරේ දී මෙහෙණි සස්න අනුදැන වදාරා, කාන්තා පක්‍ෂයට පූර්ණ ස්වාධීනතාවය ලබාදීමට ක්‍රියා කළේ බුදුසසුන ස්ථාවර ලෙස රට පුරා ව්‍යාප්ත වීමෙන් පසුවය. බැරි වෙලාවත් පටන්ගත් තැනදී ම මෙහෙණි සස්නත් ආරම්භ කළාහු නම්, රටේ බින්නබැස ඇති බ්‍රාහ්මණ විරෝධතාවයට මුහුණ දීමට නො හැකිවනු ඇත. ඒ බව පැහැදිලිව දත් බුදුපියාණන් වහන්සේ බුද්ධ ශාසනය දඹදිව මධ්‍යදේශයෙහි ශක්තිමත් ලෙස ස්ථිරත්වයට පත් වූ පසු කාන්තා නිදහස පිළිබඳව ගත් තීරණය අතිශයින් ම කාලෝචිත බව පැහැදිලිව පෙනෙන්නකි.

ධනවත්කම දුප්පත්කම අතර ද ධනවතා දුප්පතා අතර ද ඉන්දියාවෙහි විශාල පරතරයක් පැවතියේ ය. නැති බැරිකම නිසා, රෝගාතුරකම් නිසා, ශාරීරික අංගෝපාංග අඩුපාඩුකම් නිසා, දරාගත නොහැකි පවුල් බර නිසා, උන්හිටිතැන් අහිමිවීම නිසා අතිවිශාල ජනකායක් අධික පීඩනයන්ගෙන් හැඬූ කඳුළින් දිවා රාත්‍රී ගත කළහ. මේ බව දත් බුදුපියාණන් වහන්සේ ධනවතුන්ගේ බලවතුන්ගේ සිත්සතන් කැඩෙන, බිඳෙන, පළුදු වන අයුරින් වචනයක් වත් නො වදාරා ඔවුන් යහමඟට යොමු කරවනු පිණිස ගත් මාර්ගය නම් කියා නිම නොකළහැකි තරම් පුදුම සහගත ය. උන්වහන්සේ සර්වඥවරයෙක් බව පැහැදිලි වන්නේ ය.

ධනවතුන්, මහ සිටුවරුන්, මහාසාල බ්‍රාහ්මණ පවුල්වල බලවතුන් අමතා, සාකච්ඡා කරන විට, දේශනා කරන විට උන්වහන්සේ ගත් මාර්ගය මෙබඳු යැ. ‘සිටුවරුනි, ඔබ පෙර ආත්මවල දානාදී පින්කම් සිදුකොට ඇත. අනුන් පහත් කොට සැලකීමෙන් තොරව කාටත් සමසේ සලකා ඇත. සංග්‍රහ කොට ඇත. නැති බැරි අයට නැගිටීමට අත දී ඇත. ජීවත්වීමට උපකාර කොට ඇත. ඒ බව ඔබ දෙස බැලීමෙන් ම පැහැදිලිව පෙනෙන්නකි. ඔබේ ශාරීරික වර්ණය, පැහැපත් පාට පෙනුම, තේජස් ස්වභාවය, ඔබට ලැබී ඇති ධන සම්පත් සහ හිත මිත්‍ර පිරිස දැකීමෙන් ඔබේ පුණ්‍ය මහිමය ඉතා පැහැදිලිව, අතැඹුලක් සේ, අල්ල මත තිබෙන නෙල්ලි ගෙඩියක් සේ පැහැදිලිව පෙනෙන්නේ ය. මේ සියලු සම්පත් ඔබට ලැබුණේ පෙර ආත්මභාවයන්හිදී ඔබ විසින් කරුණා පෙරදැරිව, මෛත්‍රී සහගතව සිදුකර ගන්නා ලද පුණ්‍ය මහිමයන්ගේ ප්‍රතිඵල වශයෙනි. මතු ආත්මභාවයන්හිදීත් මෙබඳු සම්පත් ලබනු කැමති නම් අපි ජීවත්වන මේ සමාජය දෙස බැලීම අතිශයින්ම ප්‍රයෝජනවත් ය.

ධනවත්, බලවත්, දුප්පත්, අහිංසක සියලු දෙනා අතර ලෙන්ගතු බවක් ද ඇතිවිය. එහි ප්‍රතිඵලය වූයේ කා අතරත් වාද භේදයකින් තොර සහයෝගීතාව දියුණු වීමයි. බුදුපියාණන් වහන්සේ කාගේත් සිත් සතන් අසතුටු නොකොට සැම දෙනාම සැමදෙනාගේම යහපත පිණිස ජන සමාජය හැඩගැස් වූ සේක්, මෙයාකාරයෙනි. බුදුරදුන් එදා පැවති සමාජ විසමතා නැති කළ ආකාරය මෙයින් මනා ලෙස පැහැදිලි වන්නේ ය.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 16 වන දා සඳුදා පූර්ව භාග 03.39 ට ලබයි.17 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.38 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 16 වනදා සඳුදාය.

මීළඟ පෝය
ජනවාරි 22 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]