UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 සසුන් කෙත සරුසාර කරන කොටපොළ අමරකිත්ති හිමි

බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකට පැවිදි දිවියේ පණස් වසක් ගත කරන්නට ලැබීම ඉමහත් සන්තෘෂ්ටියකට හේතු කාරක වන්නේ උන්වහන්සේට පමණක් නොවේ. උන්වහන්සේගෙන් ආධ්‍යාත්මික වශයෙන් හා සමාජීය වශයෙන් හේතු පල ලැබූ දායකකාරකාදීහු ද පොදු ජනයාද උන්වහන්සේ සසුන බබළවමින් හා නොකිළිටි කරමින් වැජැඹෙනු දකිමින් ඉමහත් සැදැහැ බවට පත් වෙති. දෙනියාය කොටපොළ මුගුණුමුල්ලේ ඩී අමරකෝන් උපාසක මහතා හා ඩී.කේ.එස්. ජයවික්‍රම මාතාවට දාව ලැබුණු දරුවන් නව දෙනකුගෙන් පස්වැනි දරුවාට නම තැබුණේ ධර්මසිරි අමරකෝන් යනුවෙනි.

නැගෙනහිර පෙදෙසේ බෞද්ධ ප්‍රබෝධය යළි ස්ථාපනය කළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර හිමිපාණෝ දරුවන් සියයක් පැවිදි කර වීමෙහි ආධ්‍යාශයෙන් පත්‍රයේ දැන්වීමක් පළ කළහ. අමරකෝන් සැදැහැවතා තම දරුවකු මහණ කරන්නට කැමැත්ත දක්වා ලිපියක් යැවීය.

දිනක් දොඩන්දූවට වැඩම කර සිටි සුමේධංකාර නාහිමියෝ කුමාරකන්දේ කුමාර විහාරයේ අධිපති දොඩන්දූවේ ධර්මාරාම මාහිමියන් හා අළුත්ගම සුමනසාර මාහිමියන් සමග මාතරට වැඩම කළහ. දෙනියායේ කොටපොළට පැමිණි උන්වහන්සේලා අමරකෝන් උපාසක මහතාගේ නිවසටද වැඩම කළහ. ඒ මහතා දරුවකු මහණ කරන්නට ලැබීම මගේ වාසනාවක යැයි සටහන් කරමින් ධර්මසිරි දරුවාගේ අත ගෙන නාහිමියන්ට බාර කළේය.

1962 ජනවාරි 22 දින අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා දඹගස්ආරේ සුමේධංකර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් දරුවෝ අට දෙනෙක් සසුනට එක් වූහ. ඒ අතර ධර්මසිරි දරුවාද සිටියේය. ධර්මසිරි දරුවා මහණ වූයේ අමරකිත්ති යන නාමයෙනි. අමරකිත්ති හාමුදුරුවෝ කුමාරකන්දේ කුමාර මහා විහාරයේ පිහිටි රාජගිරි පිරිවෙණේ මූලික පිරිවෙන් අධ්‍යාපනය පටන් ගත්හ. සේරුවාවිල සරණකිත්ති හිමියන්ට අවශ්‍ය වූයේ තම සහෝදර හාමුදුරුවන් වෙනත් පිරිවෙණකට ඇතුළත් කිරීමය. මේ ගැන සොයා බැලූ ගිංතොට අනෝමදස්සි හිමිපාණන් හා අළුත්ගම සුමනසාර මාහිමියන් විසින් තීරණය කැරුණේ උන්වහන්සේලා මාලිගාකන්ද විදුදය පිරිවෙණට ඇතුළත් කළ යුතු බවය. ඒ අනුව විද්‍යෝදය පරිවේණාධිපති කළුකොඳයාවේ පඤ්ඤාසේකර නාහිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයට පුරාණ චාරිත්‍රානුකුලව කොටපොළ අමරකිත්ති පොලියර්වත්තේ පඤ්ඤාකිත්ති , පදුමකිත්ති , හා කහඳමෝදර සරණකිත්ති යන හිමිවරුන් බාර දෙන ලදී.

1970 ජූලි මස 8 වැනි දින කොටපොළ අමරකිත්ති හිමියෝ පඤ්ඤාකිත්ති හිමියන් සමග උපසපන් දිවියට පත් වූහ. අමරකිත්ති හිමිපාණෝ ගල්කිස්සේ ධර්මායතනයේ නැවතී පේරාදෙණිය සරසවියෙන් බාහිර උපාධියක් ලබා ගෙන සේරුවාවිල කාවන්තිස්ස විදුහලේ ගුරු පත්වීමක් ලදහ. කොළඹට නැවැතත් එන්නට සිදු වූයේ තම ගුරු හිමිපාණන්ගේ ඉල්ලීම අනුව බෞද්ධාලෝක මාවතේ රජයෙන් ලැබුණු ඉඩමෙහි සේරුවාවිල බෞද්ධ මධ්‍යස්ථානය පිහිටුවා ගැනීමෙහි අභිලාෂයෙනි. එවකට ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ සේවය කොට ඉනික්බිතිව කොළඹ සුසමයවර්ධන මහා විද්‍යාලයට මාරුවීමක් ලබති. පසුව ගුරු දිවියට සමු දෙති.

දොඩන්දූව කුමාර විහාරයේ වැඩ වසන කාලයේදී පවා උන්වහන්සේ විසින් පෙදෙසේ වාසීන්ට කළ සේවාව ඉමහත්ය. විදුදය පිරිවෙණේ උගන්නා කාලයේදී පවා සාන්ත දාන්තව වැඩ වසමින් අසාධාරණයට එරෙහිව පෙරමුණ ගෙන ජය ගත්හ. මේ වග උන්වහන්සේ ඇසුරු කළ ගිහි පැවිදි දෙකොටසම සාක්ෂ්‍ය වෙති. උන්වහන්සේගේ දහම් දේශනාවල අපූර්වත්වයක් ගැබ්ව තිබේ. සරල සුගම ශෛලියක් අඩංගු වුවද සංයමයෙන් පවසන ගැඹුරු කරුණු නිසා බුදුනු ජනතාවට වැදගත් බවක් දැනේ. ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළ ධම්ම චින්තා වැඩ සටහනේදී කළ නවමු ඉදිරිපත් කිරීම බෙහෙවින් ජනප්‍රිය වූයේය. භාවනාව බුදුනු සිතට ඇතුළු කරන්නට උන්වහන්සේ නිහඬව වැදගත් සේවාවක් කළහ. දැනුදු කරති.

උන්වහන්සේ සේරුවාවිල පන්සලේ වැඩ සිටියදී කාවන්තිස්ස පාසලේ හා පන්සලේ දහම් පාසලේ දරුවන්ගේ සිත් සතන් දහමින් සදා හොඳ පුරවැසියන් කැළක් බිහි කරන්නට කළ සේවාව අදත් සේරුවාවිල ජනතාව බොහෝ බැතියෙන් මතක් කරති. ගල්කිස්සේ ධර්මායතනය මූලික කොට ගල්කිස්සේ විද්‍යා විද්‍යාලය ඇසුරු කොට ළමයා යහපත් ළමයකු ලෙස හැදීමේ කර්ත්‍යවයට උර දුන්හ. පසුව කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වසමින් සසුන පොහොසත් කරන්නට නිස්සරණාධ්‍යාශයෙන් කළ සේවාව අතිමහත්ය. උන්වහන්සේ මේවා කළේ විවිධ මාධ්‍යයන් ඔස්සේය. උන්වහන්සේට හොඳින් ලියන්නටත් කවි ලියන්නටත් පිළිවන. ඒවා හොඳින් ගායනා කරන්නටත් හැකිය. බොහෝ ගීතද ලියා තිබේ.අමරකිත්ති හිමියන් ඉටු කරන බෞද්ධ වන්දනාව කාගේත් සිත් ඇද බැඳ තබයි.

උන්වහ්නසේගේ සසුන් දිවියේ පරහිතකාමි සේවාවේ කූටප්‍රාප්තිය ශාන්ති පදනමය. 1979 දී පිහිටැවූ මෙමගින් විවිධ ව්‍යාපෘතීන් රටට හඳුන්වා දෙනු ලැබිණි. ඒවා සෑම එකකින්ම ජනතාවට ශාන්ති ලැබුණු බැවින් ඒවා වැදගත් වන ආකාරයට සටහන් කිරීම අසීරුය. එහෙත් අනුරාධපුරයේ ජයසිරි මහා බෝසමිඳුන් අබියස පැවැත්වෙන වාර්ෂික සමන්පිච්ච මල් පූජාව ඉන් ප්‍රමුඛ ස්ථානයක සටහන් කළ හැකියි. එය මුළු සැදැහැති දනන් එක් තැනකට මුළුගැන්වූ අසෘදෘශ කටයුත්තක් වූයේය. ශාන්ති ගුවන් විදුලි වැඩසටහන, මව්පිය උපහාර වැඩ සටහන, ශාන්ති සේනාව, ශාන්ති ළමා පුවත්පත,සුවඳ මංගල්ල්‍ය, ශ්‍රී සුමේධංකර දහම් පාසල, අසරණ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම, පින්තාලිය, සිරිපොද වැස්ස, පිණ්ඩපාත චාරිකාව, සාමණේර හිමිවරුන් පුහුණු කිරීම, වෙසක් මිහිර චාරිකාව, සැවැත් නුවර රෝස මල් පූජාව, රෝහල් සේවාව, රතන සූත්‍ර සජ්ජායනය , ධවල විප්ලවය, ගජමුතු සේනා, නියං සහනාධාර, සුනාමි විපතේදී කළ සේවාව, සතුන්ට අභය දානය දීම අපගේ මතකයට එන ඉන් සමහරකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෙනවාට අප වැනි බොහෝ අය අකැමැති වුවද උන්වහන්සේ නිහඬව කළ සේවා ගැන බොහෝ දෙනෙක් නොදනිති. වරක අන්‍යාගමිකරණ පනත වෙනුවෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය සමගම දිගු සාකච්ඡාවක නිරත වූහ.

අමරකිත්ති හිමියන්ගේ පැවිදි දිවිය තුළ බුදු සසුන වෙනුවෙන් උන්වහන්සේ නිසසලව කළ සේවාව හා කළ කී දෑ බොහෝය. ඒවා විස්තර කරන්නට සුවිසල් ග්‍රන්ථයක් නිර්මාණය කළ යුතුය.

පිච්චමල් හාමුදුරුවන් හෙවත් කොටපොළ නායක හිමියන්ගේ ප්‍රවෘජ්‍යා ස්වර්ණ ජයන්තිය (පැවිද්දෙන් වසර පණහක් පිරීම) නිමිතිකොට ගෙන වැඩසටහන් කිහිපයක් පැවැත්වෙයි.ජනවාරි 14 වැනිදා අළුයම 5.30 ට කැලණිය රාජ මහා විහාරයේදි කිරි පිඬු පූජාවක් ද 15 වැනිදා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථායේදි 75 නමකට අධික මහ සඟරුවනට දන් පූජා කිරීමද පැවැත්වෙයි. සේරුවාවිල රාජ මහා විහාරයේදී ජනවාරි 20 වැනිදා රන්වන් බෝපත්වලින් ස්ථූපය සැරැසීම ජනවාරි 21 දා සේරුවාවිලදී සීල භාවනා වැඩ සටහනක්ද 22 දා ඉරිදා දාවල මහ සඟරුවනට දන් පූජා කිරීමද සිදු කෙරෙන අතර ජනවාරි 29 වැනිදා අනුරපුර ජය සිරි මහ බෝ සමිඳුන් අබියස උදේ 6.00 කිරිපිඬු බුද්ධ පූජාවද දහවල දානය රුවන්මැලි දාගැබ ආරාමයේදී ද පෙබරවාරි 05 දින කොටපොළ ගැටබරු රාජමහා විහාරයේදි දහවල දානයද පිළි ගැන්වෙයි.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 16 වන දා සඳුදා පූර්ව භාග 03.39 ට ලබයි.17 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.38 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 16 වනදා සඳුදාය.

මීළඟ පෝය
ජනවාරි 22 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk