UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සෑම විහාරස්ථානයකම තිබිය යුතු ප්‍රධාන අංග අතර නෙත් සිත් ඇදගන්නා පූජනීය අංගයකි බුද්ධ ප්‍රතිමා වහන්සේ. බුදු පිළිමයක් නෙත ගැටෙන බෞද්ධ, අබෞද්ධ සැමගේම සිත් සහන් සුවයෙන් සැනැහෙයි. මහත් සේ දුකට පත් වූ අයකු හට වුවද ද්වේෂයෙන් සිත දූෂ්‍ය වූ කෙනකු හට වුවද බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේදි ඒ සියලුම දුක් දොම්නස් අතුරුදන් වන සෙයක් දැනේ.

අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාව අභියසට පැමිණි ඉන්දියාවේ කීර්තිමත් අග්‍රාමාත්‍යවරයකු වූ ශ්‍රී ජවහර්ලාල් නේරු මැතිතුමා වශීකෘත වූ බවත් අනතුරුව එම සමාධි ප්‍රතිමාවේ පින්තූරයක් තම ඇඳට ඉහළින් එල්ලාගෙන සිටි බවත් සඳහන් වෙයි. සිර මැදිරියේ සිටි කාලය තුළදී වුවද එතුමාට සැනසීම ලබා දුන්නේ සමාධි ප්‍රතිමාවේ අනුරුවකි.


අවුකන බුද්ධප්‍රතිමාව

මෙවන් අතිමහත් වටිනාකමක් ඇති බුදුපිළිමයේ ආරම්භය පිළිබඳ විවිධ මත පවතී. බුදුපිළිමයේ ආරම්භය ගන්ධාරයේ ඇතිවූ බවට එක් මතයක් පවතින අතර, මථූරාවේ ආරම්භ වූ බව තවත් මතයකින් කියැවෙයි. බුදුපිළිමයේ ඉතිහාසය පිළිබඳ කරනු ලබන පුරා විද්‍යාත්මක සමීක්ෂණ අනුව ක්‍රි.පූ. 1 වැනි සියවසේදී හෝ ක්‍රි.ව.1 වැනි සියවසේදී බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය සිදුවන්නට ඇතැයි අනුමාන කෙරේ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම කොසොල් රජු විසින් බුද්ධප්‍රතිමාවක් නිර්මාණය කරන ලද බව ක්‍රි.ව. 18 වැනි සියවසට අයත් ‘කෝසල බිම්බ’ නම් පාලි ග්‍රන්ථයේ සඳහන්වේ. වත්ස රාජ්‍යයේ උදයන රජු සඳුන් ලීයෙන් බුද්ධප්‍රතිමාවක් කරවූ බවක් හ්‍යුං -සෑං හිමියන්ගේ දේශාටන වාර්තාවක කියැවේ. ධර්මාශෝක රජු විසින් මහාකාල නාග රාජයා මවා පෙන්වූ බුද්ධප්‍රතිමාවක් අනුව තැනූ බුද්ධප්‍රතිමාවකට පූජා පවත්වන ලද බවක් ‘සමන්ත පාසාදිකා’ අටුවාවේ සඳහන් වේ. මේ සියලුම කරුණු සඳහන් වන්නේ සාහිත්‍ය ග්‍රන්ථවලය.

කෙසේ වෙතත් මුල් කාලයේදි බුදුුරුව ප්‍රතිමාවට නැඟීමක් සිදු නොවූ අතර බුදුරජාණන් වහන්සේ වෙනුවට විවිධ සංකේත පරිහරණය කළ බවක් පෙනේ. බුදුරජාණන් වහන්සේ කිසිවකුට සම කළ නොහැකි නිසාත්, උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණද මහා කරුණාව වැනි අධ්‍යාත්මික ගුණාංගද ප්‍රතිමාවකින් පෙන්නුම් කළ නොහැකි නිසාත් මුල් කාලයේදි බුද්ධප්‍රතිමාව නිර්මාණය නොකළ බව අනුමාන කරති. බුදුන් වහන්සේ Qඅප්පටිම’ නමින් හඳුන්වන්නේද උන්වහන්සේ අසමසම නිසාය.

ඓතිහාසික සාක්ෂි අනුව ක්‍රි.ව. 1 වැනි සියවසේ රජ කළ කණිෂ්ක රජතුමාගේ කාලයේදී ගන්ධාරයේ බුදුපිළිමයේ ආරම්භය සිදුවී ඇතැයි විශ්වාස කරති. එම රජතුමාගේ කාලයේදී නිකුත් කළ කාසිවල බුදුපිළිමය ඇතුළත් කොට තිබු අතර ‘සකොමෝ බොදෝ’ යන්නද සටහන් කර ඇත. ඒ රජුට පෙර යුගයක දීද “බිමාරන්’ නම් කරඬුවක බුදුරුවක් තිබූ බවක් සඳහන් වේ. මේ මත දෙකෙන්ම කියැවෙන්නේ ක්‍රි.ව. 1 වැනි සියවසේ හෝ ඊට ආසන්න කාලයකදි ගන්ධාරයේ මුල්ම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළ බවයි .

කණිෂ්ක රජතුමා බුදුසිරුර සිහිනෙන් දුටු බවත්, එවැනි බුදුපිළිමයක් නිර්මාණය කර දෙන ලෙස තම රටේ සිටි ප්‍රධාන කලාකරුවාට පැවැරූ අතර ඔහු විසින් වරින් වර නිර්මාණය කරන ලද බුදුපිළිම කිහිපයක්ම රජතුමා ප්‍රතික්ෂේප කළ බවත් සඳහන්ය. මේ නිසා මහත් කලකිරීමට පත්වූ කලාකරුවා දුකින් සිටිනු දුටු ඔහුගේ දියණිය වූ පද්මිණී නමැත්තිය ගඟක් අසලදි හමුවූ රුක් දෙවියකුගේ් උපකාරය ඇතිව, ඒ රුක්දෙවියා මවා පෙන්වූ බුදුරුව අනුව, ඒ රුක් දෙවියාගේම මැවීමක් වූ මාණික්‍යමය බුදුපිළිමයක් රජුට ලබා දුන් බවත්, කණිෂ්ක රජු ඒ බුදු පිළිමය දැක මහත්සේ සතුටුව එම බුද්ධප්‍රතිමාවට පූජා පැවැත්වූ බවත් කියැවේ.

බුද්ධප්‍රතිමාව මථුරාවේ මුලින්ම තැනූ බවටද මතයක් පවතී. ඔවුන් මුලින් නිර්මාණය කර ඇත්තේ බෝසත් ප්‍රතිමාය.


පොළොන්නරුවේ ගල් විහාරයේ හිඳි පිළිමය

ගන්ධාර බුදුපිළිමය ගී‍්‍රක ආභාසය ගෙන ඇති අතර මථූරා බුදුපිළිමය දේශීය ලක්ෂණ ඉස්මතු කරයි. මේ සම්ප්‍රදායයන් දෙකම බුදුපිළිම නෙළීමේදී බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. ගන්ධාර හා මථූරා සම්ප්‍රදායයන්ගේ සම්මිශ්‍රණයෙන් අමරාවතී සම්ප්‍රදාය බිහිවී ඇත. ඉහත සම්ප්‍රදායයන් තුනේම ආභාසය ලබමින් බුදුපිළිමයට නව මුහුණුවරක් ලබාදීම ගුප්ත සම්ප්‍රදායෙන් සිදුවිය. ක්‍රි.ව. 320-550 දක්වා වු ගුප්ත යුගයේදි බුදු ගුණාංග කැටි කරගත් බුදුපිළිමය පරිපූරණත්වයෙන් නිර්මාණය කිරීමට උත්සුකවීමට එම යුගයේ පැවැති දේශපාලනික හා ආර්ථික සමෘද්ධියත් සාහිත්‍ය කලාශිල්ප දියුණුවත් බලපාන්නට ඇත.

ඒ ඒ සම්ප්‍රදායන්හි බුදුපිළිම නෙළීමේදි වූ සුවිශේෂ ලක්‍ෂණද හඳුනාගත හැකිය. ගන්ධාර බුද්ධප්‍රතිමාවල පටු නළල් තලය, උෂ්ණීෂයක් තිබීම, සිහින් තොල් සඟල ,අත් සිරුරට ළංව තිබීම,දෙනෙත් අඩවන්වීම, චීවරය සිරුරට ඇලී ඇති ආකාරයක් තිබීම, අක්බමරු මෙන් හිසකෙස් කැරැලි ගැසී තිබීම, පිරුණු දෙකම්මුල් සහ ඌර්ණ රෝම ධාතුව නළල මැද දක්ෂිණාවර්තව තිබීම යනාදි ලක්ෂණ දැකගත හැකිය. මථූරා සම්ප්‍රදායේ බුදුපිළිමවල දැකිය හැකි විශේෂ ලක්‍ෂණ අතර උෂ්ණීෂයක් තිබීම, දෙනෙත් පුළුල්වීම , හිසකෙස් කැරැලි ගැසී තිබීම, උත්තුංග දේහය හා ශාක්‍යසිංහ ලීලාව, චීවරය විනිවිද පෙනෙන සේ තිබීම, අත් සිරුරෙන් ඈත්වීම, පිරුණු දෙකම්මුල්, උෂ්ණීෂය මුඩුකළ හිස මැද හක් ගෙඩියක් යටි අතට වූවා සේ තිබීම සහ නළල මැද තිතකින් ඇරැඹි කවයක් සේ ඌර්ණ රෝම ධාතුව පිහිටීම ආදිය වෙයි. එසේම අමරාවතී සම්ප්‍රදායේ බුද්ධප්‍රතිමාවල ප්‍රසන්න විලාසය, චීවරයේ රැළිවල නොගැඹුරු බව, ස්වභාවිකත්වයට මුල් තැනක් දීම, අධ්‍යාත්මික ගුණ ඉස්මතු කිරීම, උෂ්ණීෂය සහ ඌර්ණ රෝම ධාතුව මථූරා බුදුපිළිමවල මෙන් වීම වෙසෙස් ලකුණු වෙයි.

ගුප්ත යුගයේ මේ ලක්‍ෂණවල සංවර්ධනයක් සිදුවී ඇති අතර එම සම්ප්‍රදායන් තුනේම දක්නට ලැබෙන ඌර්ණරෝම ධාතුව ගුප්ත බුදුපිළිමවල දක්වා නැත. උෂ්ණීෂය ගොළුබෙලි කටුවක් මෙන් දකුණට කැරැකී ඇති ආකාරයක් දැක්වීමද සුවිශේෂී ලක්ෂණයකි.

බුද්ධප්‍රතිමාවල මුද්‍රා

සියලුම බුද්ධප්‍රතිමාවල බුද්ධ චරිතයේ එක් සුවිශේෂී අවස්ථාවක් නිරූපණය කර තිබීම විශේෂ ලක්ෂණයකි. එය ‘මුද්‍රා’ නමින් හඳුන්වයි. ඒ අතරින් ප්‍රධාන මුද්‍රා කිහිපයක් මෙසේය.

1. ධ්‍යාන හෙවත් සමාධි මුද්‍රාව
2. ධර්ම චක්‍ර මුද්‍රාව
3. විතර්ක මුද්‍රාව
4. අභය මුද්‍රාව
5. භූමි ස්පර්ශ මුද්‍රාව
6. වරද මුද්‍රාව

ධ්‍යාන මුද්‍රාව :- බුදුන්වහන්සේ සමාධියට සමවැදී සිටින ආකාරයක් මේ මුද්‍රාවෙන් දැක්වෙයි. ශ්‍රී ලංකාවේ මේ මුද්‍රාවෙන් ඇති පිළිම බොහොමයක්ම දක්නට ඇත. අනුරාධපුර සමාධි පිළිමය, තොලුවිල බුදු පිළිමය, වැවුරුකන්නල පිළිමය, වෙහෙරහේන පිළිමය, පොළොන්නරුවේ වටදාගේ පිළිම, දඹුලු රජ මහා විහාරයේ පිළිම, මැදිරිගිරිය පිළිම සහ ගන්ධාර සම් - සිකිර් පිළිමය නිදසුන්ය.


අනුරාධපුර සමාධි බුද්ධප්‍රතිමා වහන්සේ

ධර්ම චක්‍ර මුද්‍රාව - ධර්ම දේශනා කරන විලාශයක් දක්වයි. ප්‍රථම දහම් දෙසුම සංකේතවත් කරයි. සුප්‍රකට සාරානාත් බුද්ධප්‍රතිමාව එම මුද්‍රාව සහිත පිළිමයකට නිදසුනකි.

විතර්ක මුද්‍රාව :- තර්ක විතර්ක විලාශයක් දක්වයි. ව්‍යාඛ්‍යාන මුද්‍රාව නමින්ද හඳුන්වයි. බදුල්ලෙන් සොයාගත් ලෝකඩ පිළිමය ශ්‍රී ලංකාවෙන් සොයාගත් මේ මුද්‍රාවේ පැරැණිම පිළිමයයි. තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බෝසත් පිළිමය මෙබඳු ලොව පැරැණිම පිළිමයයි.

අභය මුද්‍රාව – සසර බිය නැති කිරීමට කරන මඟ පෙන්වීම මේ මුද්‍රාවෙන් සංකේතවත් වන බව විද්වතුන්ගේ අදහසකි. ගන්ධාර හා මථුරා පිළිමවල බොහෝ සේ දක්නට ඇති මුද්‍රාවයි. රැස්වෙහෙර බුදුරුවගල, ගාල්ලේ යටගල විහාරය, අම්බලන්තොට රන් ගිරි විහාරය යන සිද්ධස්ථානවල ඇති පිළිම උදාහරණ වේ.

භූමි ස්පර්ශ මුද්‍රාව - බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී වසවර්ති මාරයාගේ තර්ජනයට පිළිතුරු දෙන අවස්ථාව නිරූපණය කරයි. මහ පොළොව තමන් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන බව පැවැසීමයි. පද්මාසනයේ හිඳ දකුණතින් භූමිය ස්පර්ශ කිරීම මේ මුද්‍රාවේ ලක්ෂණයයි. ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ශෛලමය ප්‍රතිමාව සහ නේපාලයේ මහා විහාරයේ ප්‍රතිමාව නිදසුන්ය.

වරද මුද්‍රාව

මේ මුද්‍රාවෙන් බුදුන් වහන්සේගේ වර දීමේ අවස්ථාව, මහා කරුණාව, පරිත්‍යාගශීලි ගුණය නිරූපණය කෙරෙයි. මෙවැනි බුදුපිළිම ශ්‍රී ලංකාවේ දක්නට නොමැත.ගඩලාදෙණිය, විහාරයේ බෝසත් පිළිමය මෙම මුද්‍රාව සහිත පිළිමයකි. සාරානාත් හිටි පිළිමය සහ අජන්තා ලෙන් විහාර පිළිම මෙම මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමාවලට නිදසුන්ය.

මේ හැර පරදුක්ඛ දුක්ඛිත, අඤ්ජලී , කටක හස්ත හා ආශිෂ යනුවෙන් දැක්වෙන දුර්ලභ ගණයේ මුද්‍රාද ඇති අතර එම මුද්‍රාවන්ට අයත් බුදුපිළිම විරලය. පොළොන්නරුවේ ගල් විහාරයේ හිටි පිළිමයේ (ආනන්ද තෙරුන්ගේ යැයිද මතයක් පවතී) පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව දැක්වෙයි.

වැඩ සිටින ඉරියව්ව

බුද්ධ ප්‍රතිමාවල සුවිශේෂී ලක්ෂණ අතර බුදුන් වහන්සේ වැඩ සිටින ඉරියව්ව දැක්වෙන ආසනයද වැදගත් වේ.

බුද්ධ ප්‍රතිමාවල ආසන වර්ග මෙසේ දැක්විය හැකිය.

1. වීරාසන 2. පද්මාසන 3. වජ්‍රාසන 4. භද්‍රාසන

වීරාසන – දකුණු පාදය වම් පාදය උඩින් සිටින අයුරින් තබා හිඳ ගැනීම වීරාසන ක්‍රමයයි. ‘සුඛාසනය’ නමින්ද හඳුන්වයි. ශ්‍රී ලංකාෙවි බොහෝ සේ ඇත්තේ මේ වර්ගයේ පිළිම වෙයි. සමාධි පිළිමවල ඇත්තේ මේ ආසනයයි. අනුරාධපුර සමාධි පිළිමය, තොලුවිල පිළිමය මෙන්ම වෙහෙරහේන , වැවුරුකන්නල, පොළොන්නරුවේ වටදාගෙය, කසාගල , මැදිරිගිරිය සහ බුද්ධගයාව යන පූජනීය ස්ථානවල දක්නට ඇති පිළිමද නිදසුන්ය.

පද්මාසන – වම්පතුල දකුණු කලවය මතද, දකුණු පතුල වම් කලවය මතද සිටින සේ හිඳ ගැනීම මේ නමින් හඳුන්වයි. නෙළුම් මලක, පද්මයක ආකාරයෙන් වැඩ සිටීමයි. ‘කමලාසනය’ නමින්ද හඳුන්වයි. මෙවැනි ප්‍රතිමා ශ්‍රී ලංකාවේ කලාතුරකින් හමුවෙයි. මහියංගණය, සේරුවාවිල හා පඬුවස් නුවරින් මෙවැනි පිළිම ලැබී ඇත. සාරානාත් කෞතුකාගාරයේ ඇති ධර්ම චක්‍ර මුද්‍රා සහිත ප්‍රතිමාවද මේ වර්ගයට අයත්ය.

වජ්‍රාසන – දෙපා නවා වාඩිවී දෙපතුල් කලවා මත උඩු අතට සිටින සේ හිඳ ගැනීමයි. පද්මාසනයට සමානය. බුද්ධත්වය ලබන අවස්ථාවේ වජ්‍රාසනය මත වාඩිවි සිටීම නිසා මේ හැඳින්වීම කරයි. පොළොන්නරුවේ ගල් විහාරයේ හිඳි පිළිමය මෙවැන්නකි.

භද්‍රාසන – මඳක් උස්වූ ආසනයක වැඩ හිඳිමින් ඊට පහළින් ඇති පද්මයක් වැනි පීඨයක පාද තබාගෙන සිටීම මින් නිරූපණය කෙරේ. පහසුවෙන් හිඳගෙන සිටීම යන අර්ථයෙන් ‘සුඛාසන’ නමින්ද හඳුන්වයි. ශ්‍රී ලංකාවේ මේ වර්ගයේ ප්‍රතිමා එතරම් දක්නට නැත. අම්බලන්තොට රිදී විහාරයෙන් හමුවූ ලෝකඩ බුද්ධප්‍රතිමාව නිදසුනකි. අජන්තාවේ අංක 19 දරන ගුහාවේ ඇති 5 වැනි සියවසට අයත් බුදු පිළිමයද මෙවැන්නකි.

මෙරට සුප්‍රකට බුද්ධප්‍රතිමා

බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවෙන් ආරම්භවීද යන්නද ඇතැම් විද්වතුන්ගේ අවධානයට යොමුවී ඇත. ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා පිළිබඳ පරික්ෂා කිරීමේදි දේවානම්පියතිස්ස රජතුමා විසින් (ක්‍රි.පූ. 247- 207 ) කරවන ලද ‘උරුසිලා’ නම් බුද්ධප්‍රතිමාවක් පිළිබඳ වංශ කථා හෙළිකරයි. එම ප්‍රතිමාව ථූපාරාමයේ පිහිට වු බවද සඳහන් වේ. මෙම ප්‍රතිමාව ශෛලමය ප්‍රතිමාවක් බව නමින්ම පෙනේ. 1 වැනි ජෙට්ඨතිස්ස රජතුමා (ක්‍රි.ව. 263 – 273) මෙම ප්‍රතිමාව පසු කලෙක ප්‍රාචීනතිස්ස පබ්බත විහාරයට ගෙන ගොස් ඇත.

පසුකලෙක මහසේන රජතුමා විසින් (ක්‍රි.ව. 274- 301) එම ප්‍රතිමාව අභයගිරියේ තැන්පත් කරන ලද බවත්, ඊට ප්‍රතිමාඝරයක් කරවන ලද බවත් සඳහන් වේ. වෛද්‍ය විද්‍යාවේ විවිධ හාස්කම් කළ බුද්ධදාස රජතුමා (ක්‍රි.ව. 337 – 365) නාගයකුට ප්‍රතිකාර කිරීමෙන් පසු ලද මැණිකකින් එම ප්‍රතිමාවට නේත්‍ර තැබූ බවක්ද සඳහන් වේ. එහෙත් එම මැණික් පසු කලෙකදී අස්ථාන ගතවී ඇත. ධාතුසේන රජතුමා නැවත මැණික් වලින් පිළිමයේ නේත්‍ර අලංකාර කළ බවක්ද සඳහන් වේ.

දුටුගැමුණු රජතුමා විසින් රුවන්මැලි සෑයේ රන්පිළිමයක් තැන්පත් කරන ලද බවක් මහාවංශය කියයි. (ඇතැම් විට ධාතු ගර්භයේ තැන්පත් කිරීමක්ද විය හැකිය) ඉහත සඳහන් කරන ‘උරුසිලා ‘ ප්‍රතිමාව අනුරාධපුර සමාධි පිළිමය විය හැකි යැයි ඇතැම් අය විශ්වාස කරති. ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇති පැරැණිම බුදුපිළිමය මහ ඉලුප්පල්ලමෙන් සොයාගත් බුදුපිළිමය විය හැකි යැයිද මතයක් පවතී.

ශ්‍රී ලංකාවේ බුදුපිළිම නිර්මාණය කිරීම සිදු කර ඇත්තේ කළුගල් , මැටි, ලෝහ, කිරිගරුඬ ඇත්දත් හා දැව යන මාධ්‍යවලිනි. 2 වැනි ජෙට්ඨතිස්ස රජු ඇත් දළවලින් බුදුපිළිම නිර්මාණය කිරීමට සමතකු වු බව වංශ කථා හෙළි කරයි.

ශ්‍රී ලංකාවේ බුදුපිළිම ප්‍රධාන ඉරියව් තුනකින් නිර්මාණය කර ඇත. ඒවා මෙසේය.

1. හිඳි පිළිම 2. හිටි පිළිම 3. සැතපෙන පිළිම

හිඳි පිළිම – අනුරාධපුර සමාධි ප්‍රතිමාව, තොලුවිල බුදුපිළිමය, ගල් විහාරයේ හිඳි පිළිමය, පන්කුලිය පිළිමය, පොළොන්රුවේ වටදා ගෙයි පිළිම, බදුලු ලෝකඩ පිළිමය, වැවුරුකන්නල හා වෙහෙරහේන පිළිම නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

හිටි පිළිම - ක්‍රම තුනකින් නිර්මාණය කර ඇත. එනම් අභංග - මඳක් නැමී සිටින, අතිභංග - බෙහෙවින් නැමී සිටින සහ ත්‍රිභංග (තිවංක) - හිස, උකුල, දණහිස යන තුන් ස්ථානයකින් නැමුණූ ආදි වශයෙනි. අවුකන, මාළිගාවිල, රැස් වෙහෙර, බුදුරුවගල , තිවංක පිළිම ගෙය සහ මහ ඉලුප්පල්ලම පිහිටියා වූ පිළිම මේ සඳහා නිදසුන්ය.

සැතපෙන පිළිම - සම්බුද්ධ පරිනිර්වාණය දැක්වෙන පිළිම සහ සැතපෙන ආකාරය දැක්වෙන පිළිම යන ආකාර දෙකම සැතපෙන පිළිම ගණයට වැටේ. ගල්විහාරය, තන්තිරිමලේ , පිදුරංගල , දෙගල්දොරුව සහ ඇළහැර යන ස්ථානවල ඇති පිළිම උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

ශෛලමය බුදුපිළිම නිර්මාණය කිරීමේදී ඇතැම් බුදුපිළිම කළුගල් පර්වතයෙන්ම තරමක් ඉදිරියට මතුවන සේ නෙළා ඇත. ඒ පිළිම ‘ආබද්ධ ප්‍රතිමා’ නමින් හඳුන්වයි . ඇතැම් පිළිම පිටුපස පර්වතයකට සම්බන්ධ නොකොට වෙනම නිර්මාණය කර ඇත. එම පිළිම ‘අනාබද්ධ ප්‍රතිමා’ නමින් හඳුන්වයි.

අවුකන, රැස්වෙහෙර, බුදුරුවගල, ගල් විහාරයේ හිටි පිළිමය හා සැතපෙන පිළිමය ආබද්ධ ප්‍රතිමාවන්ට උදාහරණ වේ. මාළිගාවිල, මහඉලුප්පල්ලම,තොලුවිල, අනුරාධපුර සමාධි පිළිමය හා මැදිරිගිරිය පිළිම අනාබද්ධ ප්‍රතිමාවන්ට නිදසුන්ය.

මහනුවර යුගය වන විට ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමාවේ විශේෂ ලක්ෂණ කිහිපයක් දැකිය හැකි විය.එනම් ,

කහ, සහ කළු වර්ණ යොදා ගැනීම

හිසට සිරස්පතක් යෙදීම

හිසට පිටුපසින් රැස් මාලාවක් යෙදීම

ගඩොල් හා මැටියෙන් පිළිම නෙළීම

දෙනෙත් විවෘතව සිටිනසේ බුදුපිළිම නෙළීම

චීවරයේ රැළිවලට මෝස්තර යෙදීම යනාදියයි.

මේ අනුව කවදා කොතැනදී ආරම්භ වුවද බුද්ධප්‍රතිමාවේ අසිරිමත් බව වඩාත් වර්ධනය වෙමින් බුදුපිළිම නෙළීමේ කලාව ඉදිරියට පැමිණ ඇති බව පෙනේ. ජනතා හදවත් නිවා සනහාලමින් සැදැහැ වඩවා ගැනීමටත්, ජීවමාන බුදුරදුනට මෙන් පූජෝපහාර දැක්වීමටත් අප සැමට බුද්ධප්‍රතිමාව අතිශයින් වටනේය.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 16 වන දා සඳුදා පූර්ව භාග 03.39 ට ලබයි.17 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.38 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 16 වනදා සඳුදාය.

මීළඟ පෝය
ජනවාරි 22 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk