UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දිවි ගමනට සරු මග

ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ ගාථාවන්හි සඳහන් සරුසාර ඔවදන් අපගේ දිවිය පරිපූර්ණ කරගැනීමට උපකාර වේ. ඕනෑම ජාතියකට, ඕනෑම දේශයකට හා ඕනෑම ආගමිකයකුට එකසේ ගැළැපෙන එම අවවාදවල පවත්නා වටිනාකම අත්හදාබැලීම තුළින්ම පසක් කරගත යුතු ය.

ධම්මපදයෙන් ගත් උතුම් දේශනා කිහිපයකට දැන් අපි අවධානය යොමමු.

ධම්මපදයේ පස්වැනි ගාථාවේ (යමක වග්ගයේ පස්වැනි ගාථාවෙහි) වෛරයෙන් වෛරය නො සන්සිඳේ( න හි වෙරේන වේරානී) යන්න ඇතුළත් වේ. මෙයින් දක්වන්නේ වෛරය සන්සිඳුවා ගැනීමට වෛරය උපයෝගී කරගත නොහැකි බවයි. එකට එක කිරීම තුළින් වෛරය, තරහව වර්ධනය වේ. මේ නිසා ගින්නට තෙල් නොව ජලය එකතු කළ යුතු ය යනුවෙන් සිතන්නට පෙළඹවීමක් ඇති කර ගත යුතුයි. වෛරය නැසීම සඳහා මෛත්‍රියේ ඇති වැදගත්කම මෙයින් තහවුරු කෙරේ.

අප්‍රමාදය අමෘතය (මරණ රහිත නිවන) ලැබීමට හේතුවේ. (අප්පමාදෝ අමත පදං) ධම්මපදයේ විසිඑක්වැනි ගාථාව වන මෙය අප්පමාද වග්ගයේ පළමුවැනි ගාථාවයි. බුදුරජාණන් වහන්සේ ඝෝෂිතාරාමයේ දී දේශනා කොට ඇත. දුර්ගුණයක් වන්නේ කටයුතු පමා කිරීමයි. ක්‍රියාවෙහි ප්‍රමාදවීමයි. අනලස්ව කටයුතු කිරීම අප්‍රමාදීවුවනගේ සිරිතයි. එබැවින් මෙලොව, පරලොව හිත වැඩ පිණිස අප්‍රමාදය ඉතා වැදගත් වේ.

අන්‍යයන්ගේ අවිනීත බස් හා ඔවුන් කළ නොකළ දේ නො සොයන්න. (න පරේසං විලෝමානී – න පරේසං කතාකතං) ධම්මපදයේ පනස්වැනි ගාථාව (පුප්ඵ වග්ගයේ හත්වැනි ගාථාව) මෙම උපදේශය ඉදිරිපත් කරයි.
ජේතනාරාමයේ දී කුල පුත්‍රයකු අරභයා දේශිත,  ධම්මපදයේ දෙසිය හතළිස් දෙවැනි ගාථාව වන  මල වග්ගයේ අටවැනි ගාථාවෙහි සඳහන් වන පරිදි ස්ත්‍රියට දුසිරිත කිලුටකි. (මලිත්ථියා දුච්චරිතං) දුසිරිතට යොමු වූ ස්ත්‍රියට සමාජමය වශයෙන් පිළිගැනීමක් නැත. ස්ත්‍රියට පමණක් නොව පුරුෂයාට ද එසේ ය. එබැවින් දුසිරිත දුරලා සුසිරිත වඩන්නට සිතට ගත යුතුය

පාඨික ආජිවකයාට ජේතවනාරාමයේ දී බුදුරජාණන් වහන්සේ මෙම උපදේශය දේශනා කොට ඇත. අද සමාජයේ බොහෝ අවස්ථාවල දකින්නට ලැබෙන්නේ අනුන්ගේ ඇද පළුදු සොයමින් ඕපාදූප කතා කරමින් කාලය අපතේ හරින පිරිසකි. වචනයේ සංවරභාව එහි නැත. අනුන්ගේ කටයුතු අනවශ්‍ය පරිදි සොයා බලන්නට යෑමෙන් තමාගේ කාලය, ධනය හා සමාජ තත්ත්වය විනාශ වී යෑම සිදු වේ. එවිට තමාට සමාජයෙන් ලැබෙන පිළිගැනුම කෙසේ වේද? මිතුරන් සතුරන් වේ. තමාගේ සිත දූෂ්‍ය වේ. අනුන් ගැන සොයනුවාට වඩා තමන් ගැන සෙවීම උසස් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

නො නිදන්නාට රාත්‍රිය දිගය. (දීඝා ජාගරතෝ රත්ති) එමෙන් සදහම් නොදත් බාලයාට සසර දිගු බැව් ධම්මපදයේ හැටවන ගාථාවෙහි (බාල වග්ගයේ පළමුවැනි ගාථාවෙහි) කියැවෙයි. මෙය බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී රාජ්‍ය සේවකයකුට දේශනා කොට ඇත. නො නිදන්නා එළිවෙනතුරු බලා සිටී. එහෙත් නියමිත කාලය ගතවන තුරු පහන් නොවේ. එවිට ඔහුට සිතෙන්නේ රාත්‍රිය දිගු බවකි. එමෙන්ම කාර්යයෙහි පමා වූවාහුට එහි කෙළවරක් දැකීම අපහසු වේ. මේ නිසා තමා වෙත පැවරී ඇති කාර්යයන්හි මැනැවින් පිළිපැදීම ඉතා වටී.

කලණ මිතුරන් ඇසුරු කරන්න. (භජෙථ මිත්තේ කල්‍යාණේ) මෙය ධම්මපදය හැත්තෑ අටවැනි ගාථාවෙහි (පණ්ඩිත වග්ගයේ තුන්වැනි ගාථාවේ) ඇතුළත් වන්නකි. කල්‍යාණ මිත්‍රයන් පිළිබඳ සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇත. අනුකම්පක, උපකාරක, අත්ථක්ඛායි, සමාන සුඛ දුක්ඛ වශයෙනි. මංගල සූත්‍රයේ දී මෙයම ‘පණඩිතානං ච සේවනා’ යනුවෙන් දේශිත ය. අපට මිතුරන් අවශ්‍ය ය. ඔවුන්ගේ සහාය අවශ්‍ය ය. ඒ සහාය කල්‍යාණ මිත්‍රයන්ගෙන් ම ලබා ගත යුතු ය. නැතහොත් අපේක්‍ෂිත පරමාර්ථ ඉටුකර ගැනීම අපහසු වනු ඇත.

ධම්මපදයේ එකසිය විසි නවවැනි ගාථාවේ එනම් දණ්ඩ වග්ග පළමුවැනි ගාථාවේ දැක්වෙන රුවන්වැකියයි මේ. සියල්ලෝම දඬුවමට බිය වෙති. සියල්ලෝම මරණයට බියවෙති. (සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ) තමන්ට හිරිහැර කරනවාට, වධ බන්ධනයට පමුණුවනවාට, මරණයට පමුණුවාට අප කිසිවකු කැමැති නැත. තමන් අකැමැති නම් ඇයි අප එවැනි වධයක් අනුන්ට ලබාදෙන්නේ? තමන් උපමාකොට අන්‍යයන්ට හිරිහැර කිරීමෙන් වළකින්නේ නම් ලෝකය සියලු සතුනට අභය භූමියක් නොවන්නේද?

තමාට පිහිට තමාම ය. (අත්තාහි අත්තනෝ නාථෝ) ධම්මපදය එකසිය හැටවන ගාථාවෙහි (අත්ත වග්ග හතරවැනි ගාථාවේ) ඇතුළත් අවවාදයයි. තමා හිසට තම අතමය සෙවනැල්ල යන කියමන මෙහිදී සිහිපත් වෙයි. උත්සාහය, අධිෂ්ඨානය, කැපවීම මත පුද්ගලයකුට සිය ජීවිත යහපත සලසාගත හැකි ය. විමුක්තිය වෙත ළඟාවිය හැකි ය. ඉඳුරන් දමනය ඒ සඳහා මඟ පෙන්වීමකි. මෙම ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයක කුමාර කස්සප හිමියන්ගේ මෑණියන් අරභයා දේශනා කොට ඇත.

යහපත සලසන්නාවූත් මනාවූත් යම් කිසි හොඳ දෙයක් වේ නම් එබන්දක් කිරීම ඉතාම අමාරුය. (යං වේ හිතං ච සාධුං ච – තං වේ පරම දුක්චරං) යනුවෙන් ධම්මපදයේ එකසිය හැටතුන්වන ගාථාවේ (අත්ත වග්ග හත්වැනි ගාථාවේ) සඳහන් වේ. පරිහානිය, අයහපත සඳහා වූ මාර්ගය පුළුල් වූවකි. එහි ගමන් කිරීම පහසු ය. එහෙත් වැඩදායක, යහපත් මඟ ගමන් කිරීම දුෂ්කරය. එහි ගමන් කිරීම අතිශය අපහසු කටයුත්තකි. මේ නිසා සද්පුරුෂයන් ඉතා ඉවසීමෙන්, ක්‍රමානුකූලව තමන්ගේ කටයුතු සංවිධානය කරගත යුතු ය. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටින වකවානුවක භික්‍ෂූන් වහන්සේ අතර වූ අසමඟියක් මුල් කොට මෙම කරුණ දේශනා කොට ඇත.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයක, එක්තරා කුල දැරියක අරභයා මෙම උපදේශය දේශනා කොට ඇත. රාගය හා සමාන ගින්නක් නැත. (නත්ථි රාගසමෝ අග්ගි) ධම්මපදය දෙසිය දෙවැනි ගාථාවෙහි (සුඛ වග්ග සයවැනි ගාථාවෙහි) එසේ දැක්වේ. වත්මන් සමාජයෙහි දකින්නට, අසන්නට ලැබෙන ක්‍රියාකාරකම් රාගය හා කොතෙක් දුරට බැඳී පවතින්නේ දැයි වටහා ගැනීම අසීරු නැත. එයින් විනාශයට පත් වූවන් කෙතෙක් ද? ගින්න ස්පර්ශයෙන් දැවීමකට, පිලිස්සීමකට පත් වේ. රාගය ද එසේම ය. යම් සිතක රාගය පහළ වී ද ඔහුට දැවීමක් ඇතිවේ. එයම ඔහු විනාශයට පත් කරයි. පුද්ගලයා විවිධ ගැටුම් ආරවුල් ඇති කර ගන්නේ මෙම ඇල්ම හේතු කොට ගෙන ය. පංච කාමයෙහි අසීමාන්තිකව ලොල් නොවී කටයුතු කිරීමේ ඇති වැදගත්කම මෙයින් තහවුරු කෙරේ.

බඩගින්න තරම් රෝගයක් ලොව නැත.( ජිගච්ඡා පරමා රෝගා) අලවු නුවර උපාසකයකු අරභයා දේශනා කරන ලද මෙම ප්‍රකාශය ධම්මපදයේ දෙසිය තුන්වැනි ගාථාවෙහි (සුඛ වග්ගයේ හත්වැනි ගාථාවෙහි) දැක්වේ. ‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ යන්නද මෙහි දී සිහිපත් වේ. කය පවත්වා ගැනීමේ දී අවශ්‍ය පමණට ආහාර නොලැබුණහොත් ඔහුගේ චින්තන ශක්තිය ද පිරිහේ. ඒ නිසාම බඩගින්න බරපතළ ලෙඩකි. බුදුරජාණන් වහන්සේ වරක් කුසගින්නෙන් පෙළෙන්නෙක් සඳහා මුලින්ම ආහාර ලබා දී පසුව ධර්මය දේශනා කරන්නට කටයුතු යෙදුයේ මේ නිසා ය.

සෑම විටම නින්දා ලැබුවකු හෝ ප්‍රශංසා ලැබුවකු නැත. (න චාහු න ච භවිස්සති – න වෙතර හි විජ්ජති) ධම්මපදයේ ගාථා අංක දෙසිය විසි අට (ක්‍රෝධ වග්ග අටවැනි ගාථාව) මෙම අදහස ඉදිරිපත් කරයි. අටලෝ දහමෙන් කම්පා නොවීමේ ගුණය මෙහි දී සිහිපත් කෙරේ. එහි නින්දා, ප්‍රශංසා යන අවස්ථා දෙක සඳහන් වී ඇත. දුෂ්කර ව්‍යායාමයකින් පසු පහසු විවේකයක් ද පවතී. නින්දා ලැබීම විටෙක විය හැකි වුවත් අප ඒ ගැන කම්පා නොවිය යුතු ය. පසුබට නොවිය යුතු ය. ප්‍රශංසා ද දිගු කලක් නොපවතී. ප්‍රශංසාවෙන් උඩඟු නොවිය යුතු ය. බුදුරජාණන් වහන්සේ ද මෙම නින්දා ප්‍රශංසා දෙකටම මුහුණ දුන් සේක. එසේ නම් අප ගැන කියනු කිම? එබැවින් අප සැලකිය යුත්තේ අප කරන, කරවන යහපත් දේ සම්බන්ධයෙන් ලැබෙන නින්දාව හෝ ප්‍රශංසාව නොව, එම කාර්යයෙහි ඇති ඵලදායක බවයි. ජේතවනාරාමයේ දී අතුල උපාසකතුමා අරභයා මෙම ගාථාව දේශනා කොට ඇත.

ජේතවනාරාමයේ දී කුල පුත්‍රයකු අරභයා දේශිත, ධම්මපදයේ දෙසිය හතළිස් දෙවැනි ගාථාව වන මල වග්ගයේ අටවැනි ගාථාවෙහි සඳහන් වන පරිදි ස්ත්‍රියට දුසිරිත කිලුටකි. (මලිත්ථියා දුච්චරිතං) දුසිරිතට යොමු වූ ස්ත්‍රියට සමාජමය වශයෙන් පිළිගැනීමක් නැත. ස්ත්‍රියට පමණක් නොව පුරුෂයාට ද එසේ ය. එබැවින් දුසිරිත දුරලා සුසරිත වඩන්නට සිතට ගත යුතුය.

ධම්මපදය දෙසිය පනස් එක්වැනි ගාථාව (මල වග්ග දහහත්වන ගාථාව) දක්වන පරිදි මෝහය සමාන දැලක් නැත. (නත්ථි මෝහ සමං ජාලං) මේ දේශනාව ජේතවනාරාමයේ දී උපාසකවරුන් පිරිසක් සඳහා සිදුකොට ඇත. මෝහය නම් මුළාවයි. ඇත්ත ඇති සැටියෙන් නොදැනීමයි. මෝඩකමයි. මෙහි ප්‍රමාණය සලකා ගැනීමට නොහැකි ය. බොහෝ සේ පැතිර ගිය දැලකි. එබැවින් මෙම දැලෙහි නොපැටලී ජීවත්වන්නට උත්සාහවත් විය යුතු ය. නොදැනීම බොහෝ වරදවලට උත්පත්ති ස්ථාන වේ. මේ නිසා ඉතා සැලකිලිමත්ව, විචක්ක්‍ෂණශීලීව කටයුතු කළ යුතු බවට උපදේශයක් මෙමඟින් ලැබී ඇත. වැඩිපුර කතා කළ පමණින්ම පණ්ඩිතයකු නොවේ. (න තේන පණ්ඩිතෝ හෝතී – යාවතා බහු භාසතී) ධම්මපදයේ දෙසිය පනස් අටවැනි ගාථාව (ධර්මස්ථ වග්ග තුන්වැනි ගාථාව) මෙම උපදේශය සපයයි. දෙව්රම් වෙහෙරේ දී ඡබ්බග්ගිය භික්‍ෂූන් අරභයා මේ දේශනාව සිදු කර ඇත.

උඳුවප් අව අටවක පොහොය

උඳුවප් අව අටවක පොහොය දෙසැම්බර් 17 වන දා සෙනසුරාදා අපර භාග 07.07 ට ලබයි.
18 වන දා අපරභාග 05.19 වන දා දක්වා පැවැත්වේ. සිල් සමාදන්වීම දෙසැම්බර් 18 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]