උඳුවප් අව අටවක දෙසැම්බර් 18
වනදා ඉරිදා
දනට පිනට
දානය හෙවත් දීම පහසුවෙන් කළ හැකි ක්‍රියාවක් නොවේ. තමා සතු
දෙයක් තවත් කෙනෙකු වෙත අනුකම්පා සහගතව හෝ පූජා බුද්ධියෙන්
පරිත්‍යාග කළ හැක්කේ කියෙන් කී දෙනකුටද?
තමන් සතු යමක් පිරිනැමීමට සූදානම් වන විට “ලෝභය” නමැති අකුසල
මූලය පෙරට පැමිණ මෙසේ දීම, පිරිනැමීම පිළිබඳව තම සිතට ඉඩ
නොදෙයි. යමක් දීමට ඒ සිත ලෙහෙසියෙන් පහසුවෙන් සැකසෙන්නේ නැත. ඒ
පුහුදුන් සිතේ ස්වභාවය වේ. එහෙත් සැබෑ බෞද්ධයා කවදත්
පරිත්‍යාගයට දක්වනුයේ මහත් ඇල්මකි. ලැදියාවකි. ඒ අප
සම්ප්‍රදායිකව පරපුරෙන් පරපුරට ආරක්‍ෂා කරගෙන එන බොදු උරුමය බල
මහිමය නිසාය.
අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්‍ෂයක් පුරා සසර කතරේ පාරමී දම් පිරූ
සිදුහත් ගෞතම මහ බෝසත්තුමා ඒ අසිරිමත් බෝසත් සිරිත පුරාම
බොදුනුවාට ලබා දුන් ආදර්ශ අතර දානය හෙවත් පිරිනැමීමද ප්‍රධාන
තැනක් ගනියි.
ඒ මග යන බොදුනුවාට පරිත්‍යාගය පිළිබඳව අමුතුවෙන් යමක් කිව යුතු
ද නොවේ. වෙසක්දාට පොසොන්දාට ලොව අන් කවර රටකවත් දක්නට නොලැබෙන
පරිත්‍යාග සිදු කරනුයේ මේ බෞද්ධ කමට පින් සිදු වන්නටය.
දස දහස් ගණනින් වන්දනා චාරිකාවේ යන එන බැතිමතුනට එසේ දෙන
දන්සැල් ගමෙන් ගමට මාවතෙන් මාවතට ලොකු කුඩා සියලු දෙනා ඒකරාශි
වී පිරිනමති. තම ශරීරයේ රුධිරය උදාර චේතනාවෙන් පිරිනමනු ලැබේ.
එසේම ජීවිතයේ අවදානම ගැන පවා නොතකා වකුගඩු දන්දීම වැනි මහාදාන
පාරමිතාවන් පිරීමට පරිත්‍යාගශීලීහු ඉදිරිපත් වී සිටිති. ඔවුන්
එවන් උදාර කාර්යයකට දායක වන්නේ තවත් අසරණ රෝගියකු සුවපත්
කිරීමේ උතුම් පවිත්‍ර චේතනාව නිසාය.
මේ පරිත්‍යාගය, පිරිනැමීම සැබවින්ම අපට උරුම වුයේ අපේ සම්බුදු
සිරිත් ආදර්ශයන් මගිනි. තම හදවතට හැම විට එකතු වන ලෝභ, ද්වේෂ,
මෝහ අකුසල මූලයන් කිසි විටෙක තමා සතු යමක් දීමට පහසුවෙන් ඉඩ
නොදෙයි .
යමක් දීමට, පිරිනැමීමට සූදානම් වූ විට ලෝභය පෙරට පැමිණ
සිතිවිලි අතර ගැටුමකට මුල පුරවයි. එහෙත් නැණවතා, කිසිවිටෙක
ලෝභය නමැති අකුසල මූලයට පෙරට ඒමට ඉඩ නොදෙයි. ඒ වෙනුවට අලෝභය
නමැති කුසල මූලයම ළඟා කර ගනු ලැබේ. දීමෙන් ලැබෙන සැප විපාක
බොදුනුවා වසර දහස් ගණනක් පුරා අසා දැන සිටියි.
හැම ගින්නකටම වඩා කුසගින්න බලවත්ය. ලොව ඇතැම් රටවල කුසගින්නෙන්
ජනතාව මියැදුණාද කවරදාකවත් එවන් තත්වයක් අපේ රටට උදාවී නොමැත.
උදාවන්නේද නැත. සැබැවින්ම අපේ රටේ ජනතාව එතරම්ම වාසනාවන්තය.
පින්බරය. දහඩිය මහන්සියෙන් දෑතේ දෙපයේ වීර්යයෙන් ඕනෑම අයකුට
යහපත් ලෙස ධනය හරිහම්බ කර ගැනීමට බුදුදහම අනුබල දෙයි. එසේ
නිවැරැදිව උපයන ධනයෙන් එක් කොටසක් තමා පරිභෝජනය කළ යුතුවේ.
එසේම අනාගත දියුණුව වෙනුවෙන්ද වැය කළ යුතුවේ. යුතුකම් පින්
දහම් වෙනුවෙන්ද වැය කළ යුතුවේ. හදිසි ආපදාවකදී ගැනීමට තැන්පත්
කර තබාගත යුතු ද වේ. හම්බ කළ සියල්ල ගොඩ ගසාගෙන සිටීමෙන් හෝ
පරිභෝජනය නොකර සිටීමෙන් ඵලක් නොවන්නේමය.
යහපත් අරමුණක් පෙරදැරි කරගෙන පසුගියදා ඇරැඹූ මහ දන් වැටක්
පිළිබඳ උදුවප් පුර පසළොස්වක බුදුසරණ පුවත්පතෙහි වාර්තා කැරිණි.
දොළොස් මහ පුරා ඒ දෙන දන්වැට රටට පමණක් නොව ලොවටම ආදර්ශයකි.
සිවු දෙසින් අනුරපුර වන්දනාවේ එන බැතිමතුනට පිරිනමන ඒ
ස්වර්ණමාලි දන්වැටට හැකි පමණින් සහාය දැක්වීමද අපගේ යුතුකමක්
වනු ඇත.
ශ්‍රීමත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජන්ම දිනයත්
,දෙවන පදවි ප්‍රාප්තියත් සමරා ස්වර්ණමාලි දන්වැටෙහි පළමු
දන්වේල එතුමන්ටත් මුළු මහත් රටටත් සෞභාග්‍යය ප්‍රාර්ථනා
පෙරදැරිව ඉකුත්දා පිරිනැමූ බව අදාළ වාර්තාවේ සටහන් වී ඇත.
ස්වර්ණමාලි දන්වැට පිදීමේ අදහස පළමුවෙන් පහළ වූ සිවු හෙළ බෞද්ධ
පදනමටත්, ඒ වටා ඒකරාශි වූ එස්. එම්. චන්ද්‍රසේන පදනම සහ වන
ජීවි හා ගොවිජන සේවා අමාත්‍යාංශයද පින්දෙමින් පැසසිය යුතුව ඇත.
ඒ අසිරිමත් මහ පින්කමට අනුශාසකත්වය සපයන රුවන්වැලි
චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ටත්, උපදේශකත්වය සපයන
අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු ස්වර්ණමාලි දන්වැටෙහි
සංවිධායක මණ්ඩලයටත් අනේක වාරයක් පින් පැතිය යුතුව ඇත.
වැදගත් අරමුණක් පෙරදැරි කර ගනිමින් උදාර බොදු සිරිතක් ඉටු
කිරීමට වෙහෙස වන කැපවෙන හැමට ආශීර්වාද කරමු.
එවන් මහ පින්කම් තුළින් සමස්ත ලෝකයාටම අපගේ බොදු හැදියාව
ආදර්ශයෙන් පසක් කර දෙමු. |