පී‍්‍රතිමත්
පවුල
අතුරුගිරිය, මැදගොඩලන්ද පුරාණ විහාරවාසී
ජාතික අධ්‍යාපන ආයතනයේ සිංහල අංශයේ
කථිකාචාර්ය, ශාස්ත්‍රපති
කුකුරම්පොල ඤාණවිමල හිමි
සමාජයේ මුල් අඩිතාලම වන්නේ පවුලයි. පවුලක පදනම වන්නේ විවාහයයි. විවාහය
වූ කලි දැඩි කැප කිරීමකින් හා පරිත්‍යාගයකින් සුරැකිය යුත්තකි. එය
යුතුකම් හා වගකීම්වලින් පිරී පවතී. එහෙත් වර්තමානයේ විවාහය නීතියෙන්
බැඳුණක් පමණක් බවට පත්වෙමින් තිබේ. කෙසේ වුවත් විවාහය යනු ජීවිතයේ ගත
යුතු නිවැරැදි ම තීරණවලින් එකකි. එම තීරණය නිවැරැදි ආකාරයටම ගත් අය
සාර්ථක විවාහ ජීවිත ගත කරති.
අපේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පඨම සංවාස සූත්‍රයේ දී, විවාහ
ජීවිත ගත කරන ආකාරය අනුව පවුල් සතරක් වන බව දේශනා කළ සේක. එම පවුල් සතර
මෙසේ ය.
1. ඡවො ඡවාය සද්ධිං සංවසති –
මළ මිනිසකු මළ ස්ත්‍රියක සමඟ විසීම.
2.ඡවො දෙවියා සද්ධිං සංවසති –
මළ මිනිසකු දෙව්දුවක සමඟ විසීම.
3. දෙවො ඡවාය සද්ධිං සංවසති -
දෙවියකු මළ ස්ත්‍රියක සම¼ග විසීම.
4. දෙවො දෙවියා සද්ධිං සංවසති -
දෙවියකු දෙව්දුවක සමඟ විසීම.
1. ඡවො ඡවාය සද්ධිං සංවසති
මෙහිදී මළ මිනිසකු මළ ස්ත්‍රියක සමඟ වාසය කරන්නාක් බඳු විවාහ ජීවිත
සහිත පවුල් ගැන කියැවේ. මෙහි මළ යන්නෙන් අදහස් කෙරෙන්නේ කයෙන්, වචනයෙන්
හා සිතෙන් දුසිරිතේ යෙදී කටයුතු කිරීමයි. එනම් ස්වාමියාත්, භාර්යාවත්
දෙදෙනාම දුසිල්වත්ය. ප්‍රාණඝාත, අදත්තාදාන හා කාමමිථ්‍යාචාරාදී
අකුසල්වල නිරත වෙති. මේ දෙපොළට ම විවාහ ජීවිතයේ සැබෑ සතුට විඳිය නොහැකි
ය. මෙම විවාහ ජීවිතය තුළ ඇත්තේ කලකිරීම හා අසහනය පමණි.
දෙවියකු දෙව් දුවක සමඟ වාසය කරන්නාක් බඳු පවුල සතුට පිරුණු නියම විවාහ
ජීවිතය ගත කරන පවුල ලෙස බුදුරජාණන් වහන්සේ පඨම සංවාස සූත්‍රයේ දී දේශනා
කළ සේක.
මෙහි දෙවියා සහ දෙව් දුව සිල්වත්කමෙන් හා
ගුණවත්කමෙන් පිරුණු ස්වාමි භාර්යාවෝ ය. මේ දෙදෙනා තිදොරින් සංවරය.
පිරිසුදුය.
සැබෑ ස්වාමියකු හා භාර්යාවක වාසය කරන එම නිවෙස දෙව් විමනකි. සැබෑ බෞද්ධ
කුටුම්බය හෙවත් බෞද්ධ පවුලක් වශයෙන්
හැඳින්විය හැක්කේ දෙවියකු
දෙව් දුවක සමඟ වාසය කරන පවුලයි. |
මෙවන් පවුල් කෙතරම් නම් අප සමාජයෙහි දැකිය හැකි ද? ස්වාමියාත්,
භාර්යාවත් දෙදෙනාම දුරාචාරයෙහි යෙදෙමින්, සමාජ විරෝධි ක්‍රියා කරමින්
ජීවත් වෙන මෙම පවුලේ සියලු දෙනාම අපහසුතාවයට පත් වෙති. එමෙන්ම මොවුන්ගේ
විවාහ ජීවිතයේ ශක්තිය ද හීන වූවකි. මෙම පවුලේ දූදරුවෝ ද බොහෝ විට ගුණ
දහමෙන් හීන, සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරත වන අය වෙති. ඔවුන් රටට,
සමාජයට විශාල බරකි. එබැවින් මෙවන් පවුලකින් සමාජ හිතැති, යහපත්
සද්පුරුෂ දරු පිරිසක් බලාපොරොත්තු වීම තරමක් අපහසු ය.
2. ඡවො දෙවියා සද්ධිං සංවසති
මළ මිනිසකු දෙව් දුවක සමඟ වාසය කරන විවාහ ජීවිතය දෙවැනි පවුලයි. මෙහි
ස්වාමියා දුසිරිතෙන් පිරුණු අයෙකි. එනම් ප්‍රාණඝාත, අදත්තාදාන වැනි
පස්පවින් පිරුණු ක්‍රියාකාරකම් ඇති අයෙකි. එහෙත් භාර්යාව තුළ
ගුණවත්කමත් සිල්වත්කමත් ඇත. එසේ වූවත් මෙම ස්වාමි භාර්යාවන්ට ද සතුටින්
විවාහ ජීවිතය ගත කළ නොහැකි ය. දුසිල්වත් ස්වාමියා ගුණවත් බිරිඳට නිතර
හිරිහැර කරමින් අපහසුතාවයට ලක් කරයි. දෙදෙනා දෙපසකට ගමන් කරන බැවින්
විවාහ ජීවිතයේ ඒකාත්මිකතාව නොමැතිව අසාර්ථක විවාහ ජීවිතයක් ගත කරති.
මොවුන්ගේ විවාහ ජීවිත ඇතැම්විට අවසන් වන්නේ දික්කසාදයකින් විය හැකි ය.
එසේ හෙයින් ම අහිංසක දරු පිරිස ද අසරණභාවයට පත් වෙති.
3.දෙවො ඡවාය සද්ධිං සංවසති
දෙවියකු මළ ස්ත්‍රියක සමඟ වාසය කරන්නාක් බඳු විවාහ ජීවිතයක් ගත කරන
පවුල තෙවැනි පවුල ලෙස, සඳහන් වේ. මෙහි ස්වාමියා ගුණවත් වන අතර භාර්යාව
දුසිල්වත් ය. මේ පවුල තුළ ද සැබෑ සතුටක් විඳිය නොහැකි ය. ස්වාමියා
සිල්වත් වුවද භාර්යාව තුළ සිල්වත්කම නොමැති බැවින් නිතර ගැටුම් ඇති වී
විවාහ ජීවිතයේ සතුට විනාශ වී යයි. මෙම පවුල තුළ ද දැකිය හැක්කේ දෙවැනි
පවුලේ ලක්‍ෂණම ය. පවුලක් වශයෙන් බිරිඳ දුසිල්වත් ව ස්වාමියා සිල්වත්
වූවද එම පවුලේ ද සමඟියක් හෝ දියුණුවක් හෝ ඇති නොවේ.
4.දෙවො දෙවියා සද්ධිං සංවසති
දෙවියකු දෙව් දුවක සමඟ වාසය කරන්නාක් බඳු සතරවැනි පවුල සතුට පිරුණු
නියම විවාහ ජීවිතය ගත කරන පවුල ලෙස බුදුරජාණන් වහන්සේ මෙම පඨම සංවාස
සූත්‍රයේ දී දේශනා කළ සේක. මෙහි දෙවියා සහ දෙව් දුව සිල්වත්කමෙන් හා
ගුණවත්කමෙන් පිරුණු ස්වාමි භාර්යාවෝ ය. මේ දෙදෙනා තිදොරින් සංවරය.
පිරිසුදුය. සැබෑ ස්වාමියකු හා භාර්යාවක වාසය කරන එම නිවෙස දෙව් විමනකි.
සැබෑ බෞද්ධ කුටුම්බය හෙවත් බෞද්ධ පවුලක් වශයෙන් හැඳින්විය හැක්කේ
දෙවියකු දෙව් දුවක සමඟ වාසය කරන පවුලයි.
ශිෂ්ටසම්පන්න විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා මිනිසා විසින් සම්මත කර ගනු
ලැබූ ගුණධර්ම හා සදාචාර ධර්ම රාශියක් තිබේ. ආගමෙන් හා නීතියෙන් ද ඒ
සඳහා මිනිසාට උදව්වක් ලැබේ. විශේෂයෙන් ගිහි ජීවිතය සාර්ථක කර ගැනීම
සඳහා අවශ්‍ය කරන සියලු කාරණා සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ
දේශනා කළ සේක. ඒ අතර විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය, ස්වාමි
භාර්යාවන් වශයෙන් ඔවුන් තුළ තිබිය යුතු, කරුණු දහයක් සිඟාලෝවාද
සූත්‍රයේ සඳහන් වේ. එහිදී, බටහිර දිශාව ස්වාමි භාර්යාවන් වශයෙන් නම් කළ
බුදුරජාණන් වහන්සේ බිරිඳට, ස්වාමි පුරුෂයාගෙන් උපස්ථාන ලැබෙන ආකාර පහක්
දේශනා කළහ. එනම්,
1. හොඳින් සැලකීමෙන්
2. අවමන් නොකිරීමෙන්
3. පර ස්ත්‍රීන් කරා නොයෑමෙන්
4. නිවෙසෙහි ආධිපත්‍යය පැවරීමෙන්
5. ඇඳුම් පැළැඳුම් වැනි අලංකාර ලබාදීමෙන් වශයෙනි.
මෙම සම්මානයන්ගෙන් පිදුම් ලබන බිරිඳකට ස්වාමියාට එරෙහි විය හැකිද?
සැබැවින් ම මෙම උපස්ථානයන්ගෙන් පිදුම් ලබන බිරිඳක් කිසිවිටෙක ස්වාමියාට
එරෙහි නොවනු ඇත. එහෙත් අද සමාජය තුළ මෙම යුතුකම් මැනැවින් ඉටුවන්නේ ද?
එය ඉටු නොවීම හේතුවෙන් බොහෝ ස්වාමි භාර්යාවෝ විවාහ ජීවිත තුළ ගැටුම්
නිර්මාණය කර ගනිති.
සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන පරිදි, ස්වාමියාගෙන් බිරිඳට යුතුකම් පහක්
ඉටුවන විට බිරිඳ ද, ස්වාමියාට කරුණු පහකින් සංග්‍රහ කරන බව බුදුරජාණන්
වහන්සේ දේශනා කළහ. එනම්,
1. නිවෙසේ කටයුතු හොඳින් සංවිධානය කිරීමෙන්
2. පිරිවර ජනයාට මනාව සංග්‍රහ කිරීමෙන්
3. පරපුරුෂයන් කරා නොයෑමෙන්
4. ධනය රැක ගැනීමෙන්
5. සියලු කටයුතුවලදී ම දක්‍ෂවීමෙන් වශයෙනි.
ස්වාමි පුරුෂයකු වශයෙන් ඔබේ බිරිඳගෙන් මෙම සංග්‍රහය ලබන්නට නම් ඔබ ඊට
සුදුසු අයකු විය යුතු ය. එනම්, ඔබේ යුතුකම් ද ඔබ ඉටු කර තිබිය යුතු ය.
මෙම යුතුකම් හා වගකීම් මැනැවින් ඉටුවන පවුලෙහි ස්වාමි භාර්යාවෝ සතුටින්
පවුල් ජීවිත ගත කරති. ඇතැම් විට ස්වාමියාත් භාර්යාවත් දෙදෙනාගෙන් ම මෙම
යුතුකම් හා වගකීම් ඉටු නොවීම හේතුවෙන් බොහෝ දෙනා විවාහ ජීවිත අපායක්
බවට පත් කරගෙන සිටිති.
මෙම යුතුකම් හා වගකීම් මනාව ඉටු කරන, සමාන ගුණධර්මවලින් යුක්ත ස්වාමි
භාර්යාවන් හමුවන්නේ ඉතා කලාතුරකිනි. ඒ සඳහා පෙර පින ද උපකාර වේ. විවාහ
ජීවිතය සාර්ථක වීම සඳහා ස්වාමියා හා භාර්යාව තුළ සමගුණාංග සතරක් තිබිය
යුතු බව අපේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පඨම නකුල සමජීවි
සූත්‍රයේ දී නකුල මවට හා නකුල පියාට දේශනා කළ සේක. එම ගුණාංග සතර මේ
අකාර වේ.
1. සමසීල - සීලයෙන් ස්වාමි භාර්යා දෙදෙනාම සමාන වීම.
2. සමසද්ධා -
ශ්‍රද්ධාවෙන් ස්වාමි භාර්යා දෙදෙනාම සමාන වීම.
3. සමචාග -
පරිත්‍යාගයෙන් ස්වාමි භාර්යා දෙදෙනාම සමාන වීම.
4. සමපඤ්ඤා –
ප්‍රඥාවෙන් ස්වාමි භාර්යා දෙදෙනා ම සමාන වීම.
යහපත් විවාහ ජීවිතයක් සඳහා සීලයෙන් සමාන වීම හෙවත් චරිත සංවර්ධනය
අත්‍යවශ්‍ය වූවකි. ස්වාමි භාර්යා දෙදෙනාම සිල්වත්කම ආරක්‍ෂා කළ යුතු ය.
පවුලේ එක් අයකු සිල් බිඳ ගතහොත් එම පවුල තුළ සතුටක් තිබිය හැකිද?
එමෙන්ම සමශ්‍රද්ධාව නිසා අන්‍යෝන්‍ය අවබෝධයද වැඩෙන අතර එය විවාහ
ජීවිතයේ අවශ්‍යම ගුණාංගයකි. සමචාග ගුණය නිසා එකිනෙකා වෙනුවෙන් සියලු
පරිත්‍යාග සහ කැපකිරීම් දෙදෙනාටම සමානව සිදු කළ හැකි ය. විවාහ ජීවිතයේ
කෙරෙන අන්‍යෝන්‍ය පරිත්‍යාගය මත විවාහය සුරැකේ. විශේෂයෙන් බිරිඳක
වශයෙන් ස්වාමියා කෙරෙහි ද ස්වාමියකු වශයෙන් භාර්යාව කෙරෙහිද විශේෂ
කැපකිරීමක් හා පරිත්‍යාගයක් කිරීමට සිදු වේ. එම පරිත්‍යාගය හා කැපකිරීම
තුළ පවුලේ පදනම ශක්තිමත් වේ. එම ශක්තිමත් පදනම මත ජීවත් වන පවුලට රටට,
සමාජයට හිතැති යහපත් දරු පිරිසක් ද නිර්මාණය කළ හැකි ය. සමප්‍රඥාව
හෙවත් දෙදෙනාගේ සමාන බුද්ධිමත්භාවය ද විවාහ ජීවිතයේ පැවැත්ම පිණිස
තිබිය යුතුම ය. පවුලක් වශයෙන් එකිනෙකා තේරුම් ගැනීමට නොහැකි වීම තුළ
සමාජයෙහි කෙතරම් නම් ගැටුම් නිර්මාණය වී තිබේද? එම ගැටුම් අවම කිරීම හා
දියුණුව කරා යෑමට මඟ සමප්‍රඥාව නොවේද?
පවුලක් වශයෙන් නිවෙසෙහි වගකීම වැඩිපුර ම බිරිඳකට පැවැරෙන අතර ඇය එම
වගකීම භාර ගන්නා ආකාරය සහ හැසිරෙන ආකාරය අනුව පවුලේ දියුණුව හා පිරිහීම
රඳාපවතිනු ඇත.
බිරින්දෑවරුන් අතර විවිධ චර්යා හා ක්‍රියා කලාප ද දැකිය හැකිය.
අංගුත්තර නිකායේ සත්තභරියා සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ භර්යාවන් සත්
දෙනකු පිළිබඳ සුජාතාවට පැහැදිලි කළ සේක. ඒ බිරින්දෑවරුන් සත් දෙනා මෙසේ
ය.
1. වධක භරියා (වධකයකු මෙන් හැසිරෙන බිරිඳ)
2. චෝරී භරියා (හෙරක මෙන් හැසිරෙන බිරිඳ)
3. අය්‍යා භරියා (ස්වාමියකු මෙන් හැසිරෙන බිරිඳ)
4. මාතා භරියා (මවක මෙන් හැසිරෙන බිරිඳ)
5. භගනී භරියා (සහෝදරියක මෙන් හැසිරෙන බිරිඳ)
6. සඛී භරියා (යෙහෙළියක මෙන් හැසිරෙන බිරිඳ)
7. දාසී භරියා (දාසියක මෙන් හැසිරෙන බිරිඳ)
මෙහි වධක භාර්යාව, චෝර භාර්යාව සහ අය්‍යා (ස්වාමි) භාර්යාව යන තිදෙනා
ස්වාමියාගේත් පවුලේත් විනාශය පිණිස කටයුතු කරන බිරින්දෑවරුන් ය.
ඔවුන්ගේ ජීවිතයෙහි ඇත්තේ දුෂ්ට ගති ස්වභාවයන් ය. එමෙන්ම මෙහි මාතු
භරියා, සඛී භරියා, භගිනි භරියා සහ දාසි භරියා යන සතර දෙනා යහපත්, උතුම්
භාර්යාවන් ලෙසත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. භාර්යාවගේ හැසිරීම
අනුව යහපත් භාර්යාවක ද අයහපත් භාර්යාවක ද යන්න තීරණය වේ. කෙසේ වුවද
විවාහ ජීවිතයේ දී බිරිඳට තම ස්වාමියා අභියස මවක මෙන්, සොයුරියක මෙන්,
යෙහෙළික මෙන් සහ දාසියක මෙන් කටයුතු කළ හැකි නම් එම පවුල කෙතරම්
වාසනාවන්ත පවුලක් වේවිද? එමෙන්ම ස්වාමියාට ද තම භාර්යාව අභියස පියකු
මෙන්, සොයුරකු මෙන් හා මිතුරකු මෙන් කටයුතු කළ හැකි නම් එම පවුලෙහි
ස්වාමියා සහ භාර්යාව කෙතරම් නම් වාසනාවන්ත විය හැකි ද?
කෙසේ වෙතත්, අද සමාජයෙහි බොහෝ පවුල් ගැටලුවලින් පිරී පීඩාකාරී බවට පත්
වෙමින් තිබේ. එයට ප්‍රධාන හේතු වන්නේ සැකය, රාගය, කලකිරීම හා
ආත්මාර්ථකාමී බවයි.
විවාහ ජීවිතයේ සැබෑ බැඳීම, ගෞරවය ආරක්‍ෂා කර ගැනීමට නම් සැකය වෙනුවට
අවංකබව හෙවත් සත්‍යවාදී බව ඇතිකර ගත යුතු ය. සැකයේ ආරම්භය ඉතා කුඩා
කරුණක් නිසා විය හැකි ය. මෙකල නම් ස්වාමියා හෝ භාර්යාව හෝ රැකියාවට
ගොස් ඒමට ප්‍රමාද වීම, ප්‍රමාද දෝෂයකින් දුරකථන ඇමතුමක් හෝ පණිවුඩයක්
ලැබීම ආදිය ද සැකයේ ආරම්භය බවට පත් වී විවාහයේ අවසානය බවට පත් වූ
අවස්ථා කෙතරම් නම් අප අසා තිබේද?
රාගය වෙනුවට ඉන්ද්‍රිය පාලනයත්, ආත්ම දමනයත් ඇති කර ගත යුතු ය. පවුලක්
වශයෙන් සංස්කෘතිය හා සාරධර්ම අගය කළ යුතු ය. සාරධර්ම පසෙක දමා රාගයට
නිදහසේ හැසිරීමට ඉඩ දෙන සියලුදෙනා ම මෙලොවදීම එහි විපාක ලබා පවුලේ
ගැටුම් ඇති කරගෙන, විවාහ ජීවිතය අසාර්ථක කර ගන්නා අවස්ථා සුලබ වී ඇත.
රටේ, සමාජයේ යහ පැවැත්මට ද එය බරපතළ අයුරින් බලපායි. පසිඳුරන් පාලනය
නොකිරීම තිරිසන් ගතියක් බැවින් ද එහි පාලනයක් තිබීම මිනිසත්කම ඇගැයීමක්
වන නිසා ද පසිඳුරන් පාලනය කළ යුතු ය. මිනිසා හා තිරිසනා වෙන් කරනුයේ
සංස්කෘතිය, සාරධර්ම සහ හැදියාව තුළිනි. එසේ නම් හැදියාවක් නොමැති
මිනිසා කවරකු බඳුවේදැයි ඔබට සිතා ගත හැකි ය.
පසිඳුරන්ගේ ස්වභාව නිරතුරුව පඤ්චකාම වස්තූන් ඇසුරෙන් ආස්වාදයක් ලබා
ගැනීමට උත්සාහ කිරීමයි. ඇස රූප ද, කන ශබ්ද ද, නාසය සුවඳවත් වූ දේ ද,
දිව රසවත් වූ දේ ද, ශරීර සැප පහසු ස්පර්ශ ද ඉල්වනු ඇත. ඉල්වන ආකාරයට
යමකු ඒවා පාලනයකින් තොරව ලබා දෙන්නට ක්‍රියා කරන සෑම අවස්ථාවක දී ම
ගැටුමක් නිර්මාණය වේ. පඤ්චකාම වස්තූන් ඉදිරියේ පඤ්චේන්ද්‍රියන් පාලනය
කළ කෙනාගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සුවපත් වේ.
යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා ඉවසීම පුරුදු කළ යුතු ය. පවුලක්
වශයෙන් නැන්දා හා මාමා, නෑනා හා මස්සිනා ආදී වශයෙන් ඤාති සමූහයක
එකතුවක් ඇති වේ. මෙම සමූහය සමඟ එකට ජීවත්වීම ඉතා පහසු කටයුත්තක් නොවේ.
එබැවින් දැඩි ඉවසීමක් ස්වාමියකු හා භාර්යාවක වෙත තිබිය යුතු ය. සැම
දෙනා සමඟ ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ගැටුම් වළකා, සමඟිය හා අවබෝධය
පවත්වාගත හැකි ය. එමඟින් කලකිරීම වළකා සතුට, සොම්නස ද රඳවා ගත හැකි වනු
ඇත.
ආත්මාර්ථකාමී බව වෙනුවට පරිත්‍යාගයත් ස්වාමි භාර්යා දෙදෙනාම පුරුදු කළ
යුතු ය. විවාහ ජීවිතයේ දී තමාගේ සතුට පමණක් නොව පවුලේ සතුට පිළිබඳ ද
සිතිය යුතු ය. ස්වාමි භාර්යාවන් තනි තනිව පෞද්ගලික සතුට සොයන සෑම
පවුලකම දැකිය හැක්කේ සතුට නොව ගැටුමකි. එබැවින් පවුලක් ලෙස අන්‍යෝන්‍ය
වශයෙන් පරිත්‍යාගශීලී විය යුතු ය. එවිට කලකිරීමෙන් තොර සතුටෙන් පිරුණු
ශක්තිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට මඟ සකස් වේ. |