ඉල් පුර පසළොස්වක 2011.11.10
බ්‍රහස්පතින්දා
පින්බර දිනයක්
පසළොස්වයක, අව අටවක, අමාවක, පුර අටවක වශයෙන් සෑම මසකම පොහෝ දින
සතරක් වේ.
එම සතර පොහොය ගැන බොදුනුවන් වෙත අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ සතර
පොහොයටම ගමේ පන්සලේ දී පෙහෙවස් සමාදන් වන සැදැහැති බෞද්ධයක්
ඉතා ඈත අතීතයේ සිට ම අපේ රටේ වෙසෙන බැවිනි.
දුරාතීතයේ සිට පරපුරෙන් පරපුරට පැවත ගෙන එන ඒ උතුම් චාරිත්‍රය
වෙසෙසින් ම අගය කළ යුතු වේ. ඇතැම් විට සතර පොහොයටම පෙහෙවස්
සමාදන්වීමට නොහැකි වන උපාසක උපාසිකාවෝ ඒ සතර පොහොයෙන් පොහොය
දෙකකට වත් පෙහෙවස් සමාදන් වීමට අමතක නො කරති. එසේ පොහොය දින
දෙකකටවත් පෙහෙවස් සමාදන් වීමට නොහැකි අය නිරන්තරයෙන් පුර
පසළොස්වක පොහෝ දින පෙහෙවස් සමාදන් වීමට අමතක නො කරති.
උදාවන සෑම දිනයක් ම බොදුනුවාට වැදගත් ය. ඒ අධ්‍යාත්මික ගුණ
සුවඳ වෙත දිනෙන් දින ළඟා වූ තරමට බොදුනුවා සෑම මොහොතකම අපේක්ෂා
කරන සැනසීම උදාවන නිසාය.
ඇතැම් කෙනෙකු තර්ක කරනුයේ පෝයදාට පන්සලට නොගියත්, තම
ජීවිතයෙන් අවැඩක්, අයහපතක් නොවන හෙයින් එසේ පන්සල වෙත යා යුතුම
නොවෙතියි සිතමිනි. කියමිනි.
එහෙත් එවැනි කෙනෙකු තම හදවත සමග තර්කයක් ගොඩනගා ගත යුතුව ඇත.
එනම් පෝයදාට වත් පන්සලකට ගොස් මලක් පහනක් පුදා තෙරුවන් නැමඳ
නූපන් කුසල් උපදවා ගැනීමට උත්සාහ කරනුයේ කෙසේ ද යන්න ය.
අතීතයේ අපේ මුතුන් මිත්තන් තම දරු මුනුමුරන් ද සමඟ ගමේ පන්සලට
ගොස් පෝදා දවස පුරාම ගමේ පන්සලේ දී ආගමික වතාවත්වල නිරත වූ බව
නොකියාම බැරි ය.
එදා ගමේ ජිවත් වූ ගම්වැසියන් පෝයදාට පන්සලේ දී ඒකරාශි වී ගමේ
පන්සලේ දී ආගමික වතාවත්වලට සහභාගි වූයේ සමගිදාමයෙන් ඒකරාශි
වීමෙනි.
ගමේ පන්සලේ ධර්ම ශාලාව පෝයට පෙර දින පිරිසුදු කර දහසක් බුදුන්
බුදුවන හිමිදිරි පාන්දර සුදුවතින් සැරසී තෙල්, මල්, සුවඳ දුම්,
සහ බුද්ධ පූජාව ද රැගෙන පෝ දින පන්සල වෙත පැමිණියේ ඒ උතුම් දවස
ආගමික වතාවත්වල නිරත වී ජීවිත සුවපත් කර ගැනීමේ අදිටන නිසා ය.
ගමට ම දහම් මිහිර බෙදාදෙන ගුණ දහමේ කේන්ද්‍රස්ථානය ගමේ පන්සලය.
එහි වැඩ වෙසෙන නායක හාමුදුරුවෝ අපේ මාර්ගෝපදේශකයන් වහන්සේ ය.
උගත්කමින් මෙන්ම ගුණ නුවණින ්ද පෝෂණය වූ උන්වහන්සේගේ
මාර්ගෝපදේශකත්වය ගම්වැසියන් සෑමවිටම ගුණ දහමට ම යොමු කර වී ය.
ඒ පොදු සාර ධර්ම ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන්ම අදටත් ඉටුවනු
දැකීම කෙතරම් සහනයක් උදා කරයි ද?
පෝයදාට ගමේ ම වැසියන් ගමේ පන්සලට ඒකරාශී වී පින් දහම්වල නිරත
වීමෙන් අපේ අතීත මුතුන් මිත්තන් පරපුරෙන් පරපුරට අප වෙත උරුම
කර දුන් දායාදය අපේම මතු පරපුර වෙත උරුමකර දීමක් නොවේ ද?
එබැවින් පින්දහම් වෙත යොමුවීමෙන් වැදගත් යුතුකමක්, වගකීමක් මතු
පරපුර වෙනුවෙන් ද ඉටුකළා යැයි ලැබෙන සතුට කියා නිමකළ හැකි ද?
හැකි හැම විට පින්දහම් කිරීම වන්දනා ගමන් යෑම, පොදු කටයුතු වලට
සහාය වීම අපගේ සංස්කෘතියේ අංගයකි. එහෙත් බොදුනුවන් වන අප සතර
පොහොයදා ගමේ පන්සලට ඒකරාශි වී ආගමික වතාවත්වල නිරතවීමට අමතක නො
කළ යුත්තකි. කාලය ඊට වෙන්කරගත යුතු වේ. ජීවිතයේ පවතින අවිවේකය
විවේකය බවට පත්කර ගත යුතුය.
පෝදාට පන්සලට ඒකරාශි වූ පමණින් ම ගුණ දහම් වර්ධනය නොවේ.
පෙහෙවස් සමාදන් වූ මොහොතේ පටන් එදා දවස තුළ කය සිත වචනය යන
තිදොර මනා සංවරයෙන් තබා ගනිමින් කටයුතු කිරීම ද බොදු
සැදැහැතියාගේ වගකීම වේ.
සැදැහැතියා එසේ තිදොර සංවර කර ගෙන යහපත් දිවි පෙවෙතකට
යොමුවීමෙන් ඓතිහාසික 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වසරේ උදා
වූ මෙම ඉල්පුර පසළොස්වක පොහොය තම වටිනා දිවි පෙවෙතේ් තවත්
පින්බර දිනයක් වනු නො අනුමානය.
ඒ උදාර පින්බර දිනය අනුස්මරණය කරන මෙරට සැදැහැති බොදුනුවන්
සැමට තෙරුවන් සරණ ලැබේවා! |