වප් අව අටවක 2011.10.20
ආත්ම දණ්ඩනයක් සුදුසු ද?
ශාරිරික අවශ්‍යතාවක් නො වන බාහිර අරමුණක් සපුරා ගැනීම පිණිස
කැරෙන ආහාර වර්ජනය උපවාසය ලෙස හඳුන්වනු ලැබේ. තම සමීපතමයකු ගේ
මරණයක දී ශෝකය ප්‍රකාශ කිරීමේ අංගයක් වශයෙන් අතීතයේ දී
ඇරැඹෙන්නට ඇතැයි සැලැකෙන උපවාසය නමැති මේ ආත්ම දණ්ඩනය ආගමික
අර්ථයකින් ද භාවිත කැරේ. එහෙත් අද එය වඩාත් ප්‍රචලිතව ඇත්තේ
අවිහිංසාවාදී දේශපාලන උපාය මාර්ගයක් වශයෙනි. ඇතැම් විට බෞද්ධ
භික්‍ෂූන් වහන්සේ පවා උපවාසවල නිරත වන අයුරු අපි දැක ඇත්තෙමු.
අනුරාධපුර මහමෙව්නා උයනේ අන්‍යාගමික පල්ලියක් ඉදිකිරීම
සම්බන්ධයෙන් හා කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන නිචිරෙන්
ෂෝසු නමැති යාඥා මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම
නිසා, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්
එස්.එම්. කපුකොටුව මහත්මියට එරෙහි ව අසාධාරණ ලෙස ක්‍රියාකොට
ඇතැයි ද ඊට වගකිව යුතු එම අමාත්‍යාංශයේ ලේකම් එච්.පී. කැෂියන්
හේරත් මහතා තනතුරෙන් ඉවත් කළ යුතු යැයි ද පවසා සිංහල රාවය
සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා පසුගිය 7 වන දා උද්ඝේෂණයක නිරත
වූ හ. උන්වහන්සේලා කළ ඉල්ලීම ඉටු නො කළහොත් මාරාන්තික උපවාසයක්
ආරම්භ කරන බව ද පූලියැද්දේ සුධම්ම හිමියන් එහි දී පවසා තිබේ.
උතුම් පරමාර්ථයක් වෙනුවෙන් වුව ද මාරාන්තික උපවාසයක නිරත වීම
බෞද්ධ භික්‍ෂූන් වහන්සේට සුදුසු ද යන්න අප විමසා බැලිය යුතු ය.
ආගමික අර්ථයකින් උපවාසයක නිරතවීම පිළිබඳ ව යම් අවබෝධයක් ලබා
ගැනීම පිණිස සිංහල විශ්වකෝෂය මෙහි උපුටා දක්වනු ලැබේ.
‘හින්දූහු උපවාසය උසස් ආගමික ව්‍රතයක් කොට සලකති. ඉන්ද්‍රිය
මෙනයේ උපවාසය අත්‍යවශ්‍යය යන්න ඔවුනතර සර්වසම්මත ය. පාප මෝචනයට
ද මෝක්‍ෂ සාධනයට ද උපවාසකරණය අවශ්‍ය ම යැයි සැලැකේ. කිලිටි
වස්ත්‍රයක් ජලයෙන් පවිත්‍ර කරන්නාක් මෙන් පාපයෙන් කිලුටට පත්
ජීවාත්මය ද උපවාසකරණයෙන් පවිත්‍ර වෙතියි හින්දූහු අදහති.’
“හින්දූන්ගේ උපවාසය සම්පුර්ණ ආහාර වර්ජනයකි. උපවාසො භක්තත්‍යගඞ
යන හරදත්ත වචනයෙන් එය පැහැදිලි වේ. එහෙත් උපවාස කරන්නා බතින්
පමණක් නො ව බුලත් සැපීම, ධූම පානය, මෛථූන සේවය දිවා ශෛය්‍යාව
ආදි ක්‍රියාවන්ගෙන් ද මල්ගඳවිලවුන් දැරීම ආදි ශරීරමණ්ඩන
ක්‍රියාවන්ගෙන් ද වැළැකී දෙවියන් සිහි කරමින් ම උපවාස කාලය
ගෙවිය යුතු යි. මේ උපවාසකරණය බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය
,ශුද්‍ර යන චතුර්වර්ණයට ම සාධාරණ වූ කර්මයකි.”
ක්‍රිස්තු භක්තිකයන්ට උපවාසය අදාළ වන අයුරු එහි මෙ සේ දැක් වේ.
“පරණ ගිවිසුම නමින් හැඳින්වෙන ග්‍රන්ථ සංග්‍රහය යුදෙව් ආගමටත්
ක්‍රිස්තු සමයටත් පොදු වූ ධර්ම ග්‍රන්ථාවලියකි. ඒ
ග්‍රන්ථාවලියෙහි උසස් ආගමික ව්‍රතයක් ලෙස සැලැකෙන උපවාසය ආදි
යුගයෙහි මෙන් ම දැනුදු ක්‍රිස්තු සමයෙහි වැදගත් තැනක් ගනී.
යේසුස් වහන්සේ සමසතළිස් දවසක් ආහාරපානාදිය වර්ජනය කරමින් වනයේ
උපවාස කළ වග අලුත් ගිවිසුමට අයිති මතෙව්ගේ සුභාරංචිය නමැති
ග්‍රන්ථයේ සඳහන් වේ’.
“ඒ එ සේ වෙතත් බයිබලයේ පුරාණ ග්‍රන්ථ කාණ්ඩයෙහි හෝ නව ග්‍රන්ථ
කාණ්ඩයෙහි හෝ උපවාස ව්‍රතය සම්බන්ධයෙන් කිසිම නීති රීති
පද්ධතියක් නො දැක් වේ’’.
ඉස්ලාම් භක්තිකයන්ගේ උපවාසය එහි මෙ සේ විස්තර කැරැ තිබේ.
“උපවාස පිළිවෙත ඉස්ලාම් ආගමේ ප්‍රධාන තැනක් ගනී. පශ්චාත්තාපය
පිළිබඳ මූලධර්මය මත පදනම් වූ උපවාසය පිළිගන්නා ඉස්ලාම් ආගමේ
වක්තෘවර මහමත් නබී නායක තුමා උපවාසය උසස් ව්‍රතයක් ලෙස දක්වා
ඇත.”
“ ඉස්ලාම් ආගමේ උපවාස කාල කිහිපයක් සඳහන් වේ. ඒවායින් සමහරක්
අනිවාර්යයෙන් ඉටු කළ යුතු අතර අනෙක් ඒවා අමතර වශයෙන් භක්තිමත්
අය ගේ කැමැත්ත පරිදි ඉටු කළ හැකි ය. එහෙත් අන්තගාමී උපවාස
ඉස්ලාම් ආගමෙන් අනුමත නො වේ. ඒ සඳහා සමහර විට දඬුවම් ද ලබාදීමට
ඉඩ ඇත.”
උපවාසයට මෙ බඳු පිළිගැනීමක් වෙනත් ආගම්වල ඇති නමුදු බුදු
දහමෙහි තත්ත්වය එ සේ නො වේ. උපවාසය සම්බන්ධයෙන් බුදු දහම දක්වන
ආකල්පය මෙ බඳු ය.
“ බුදුන් වහන්සේ ඉන්ද්‍රිය පාලනයට අපහසු වන අතිමාත්‍ර ශරීර
පෝෂණය අනවශ්‍ය බව පෙන්නුම් කළ සේක් නමුදු ආහාර වර්ජනය (උපවාසය)
වැනි තපෝව්‍රතානුකරණයෙන් ශරීරය විඩාවට පත් කර කෙලෙසුන් තැවීමට
තැත් කිරීම අවඥාවට භාජන කළ සේක. මධ්‍යම ප්‍රතිථදාව මිස
අන්තවාදිවීමක් බුදුදහමින් නො ඉගැන් වේ.”
එ සේ නම් උපවාසය වැනි ආත්ම දණ්ඩනයක් අනුගමනය කිරීම පිළිබඳ ව
බෞද්ධ භික්‍ෂූන් වහන්සේ යළි සිතා බැලිය යුතුයි නේ ද? |