UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

(1964 දී කෑගල්ලේ පැවති සිංහල සාහිත්‍ය සම්මේලනයේදී හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් විසින් පවත්වන ලද දේශනයයි.) මෙය නාරාවිල පැට්රික් විසින් පිටපත් කර එවන ලදී.

නවකථා යන නමින් මෙකල ව්‍යවහාරයට පත් චරිත නිරූපණාත්මක නිබන්ධන විශේෂය අතීතයෙහි ඒ ඒ පුද්ගලයන්ගේ නන් වැදෑරුම් චරිත හා එකෙකා අතර ඇතිවූ සිද්ධීන් ද ප්‍රකට කරනු පිණිස ‘කථා’ යන නාමයෙන් ව්‍යවහාරව පැවති බව පැරණි පොත පත ගැන විමසා බලන විට පෙනී යයි. එබඳු කථා ඒ ඒ රටවල ගෙතී ඇත්තේ ඔවුන්ගේ ආගමික පිළිගැනීම් හා මහජනයාගේ රුචිය නැමී ඇති සිද්ධීන් ද ආශ්‍රය කොට ගෙන බව කිව හැකිය. පැරණි අවධියේ දඹදිව උගතුන් විසින් ගොතන ලද එවැනි කථා නිර්මාණවාදයට මෙන් ම දේවභක්තියට ද, රජුන් අතර පැවති යුද්ධ කෝලාහලවලට ද, වීරාභිවාදනයට ද, හදිසි භාග්‍යෝදයන්ට ද මුල්තැන දෙමින් සැකසී ඇත. දශකුමාර චරිත, කථාසරිත්සාගර වැනි පොත් ගැන සලකන විට මේ බව පැහැදිලි වෙයි. හින්දු භක්තිකයන් අතර එවැනි පොත පත බහුලවූ නමුත් දඹදිව බෞද්ධයන් අතර පැතිර ගියේ ඊට හාත්පසින් ම වෙනස් කථා විශේෂයකි. දශකුශල ක්‍රියා, දශරාජධර්ම, දශපාරමිතා ආදියට මුල්තැන දෙමින් ඒ ගුණධර්ම පිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ බෝධිසත්වයන් ඇතුළු උදාර පුද්ගලයන්ගේ චරිත මේ කථා මඟින් පතුරුවා හැරීම මේ බෞද්ධ සම්ප්‍රදාය විය. දශකුසල ක්‍රියාවෙන් ඔප් නැංවූ රාජ චරිතය දශරාජධර්මය අනුව ගොඩනඟා ඇත. බෝධිසත්ත චරිත නිර්මාණය දශපාරමිතාවට අනුව සකස් කර තිබේ. ඒ අතර ධර්මය හා අධර්මය අතර සිදුවූ ගැටීම් හා අවසානයේ ධර්මයට ජය ලැබීම ද , ලෞකික තත්ත්වයෙන් එබඳු ජයග්‍රහණ ලැබිය නොහැකි තැන ඔවුන්ගේ භාග්‍යය නිසා දේවානුග්‍රහය ලැබීම එදා ඒ කථාවල ස්වරූපය විය.

ලක්දිව ස්වභාෂාවෙන් පළවූ පැරණි කථා දඹදිව දී ගෙතුණු පාලි කථාවල සිංහල පරිවර්තන වූ බව පෙනේ. මෙරට පාලි උගතුන් විසින් මෑතකදී පාලියෙන් ලියන ලද කථා ද, දඹදිව පාලි උගතුන්ගේ කථාවල ස්වරූපය ම අනුගමනය කරමින් ලියා ඇත. මේ නිසා ලක්දිව ගෙතුණු බෞද්ධ කථාවල ස්වරූපය ද දඹදිව කථාවල ස්වරූපය ම බව කිව යුතුය. මේ කථාවලින් කෙරී ඇත්තේ ද වර්තමාන කථාවලින් කෙරෙන දේ ම මිස ඊට වඩා වෙනස් වූවක් නොවේ. චරිත නිරූපණය අතින් එදා සිටි කතුවරයන් අද සිටින නවකථා කතුවරයන්ට කොහෙත් ම නො දෙවෙනි බව නම් සත්‍යයකි. එදා කථාව එදා සමාජයට මෙන් ම එදා පොත පත ලියූ ශෛලියට ද අනුකූලව ගෙති ඇති අතර අද නවකථාව අද සමාජයට හා අද ඇති වෙනත් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අද පිළිගත් ශෛලියකින් සකස් වී තිබේ. අද නවකථාව හැඩගැසී ඇති ආකාරය දෙස බලා එදා කථා ලියූ අය නූගතුන් ලෙස සලකතොත් එය ඒ ප්‍රකාශය කරන්නාගේ නූගත්කම මිස එදා සිටියවුන්ගේ නූගත්කම නොවේ. යමක් විවේචනය කරන විට එය පැවති වනවානුවත්, එදා සමාජයත්, එදා පැවති අවශ්‍යතාත් ගැන සලකා එය විවේචනය කළ යුතුය. අද නවකථාවක් ලියන රචනා ශෛලියෙන් එදා කථාවක් ලිවුවේ නම් එය මිනිසුන්ගේ හාස්‍යයට ලක්වනු ඇත. කාල පරිණාමයෙන් ඇති වන විකෘතිය බලපා ඇත්තේ මේ කථාවලට පමණක් නොවේ.

පෙරදිග හින්දු හා බෞද්ධ රටවල මනුෂ්‍යයාගේ ජීවිත පරමාර්ථය ඉතා උසස් ඉලක්කයක් දෙසට යොමුවී තිබේ. විශේෂයෙන් බෞද්ධයාගේ ජීවිත පරමාර්ථය ඉතා උදාරය. අප ඉහතින් දැක්වූ දශකුශල, දශරාජධර්ම, දශපාරමිතා යන උසස් ගුණධර්ම මත මිනිස් ජීවිතය ගොඩනැංවීමට බෞද්ධයෝ මහත් තැතක් දැරූහ. ඒ උදාරවූ ජීවිත පරමාර්ථය දෙසට මිනිසා යොමු කරනු පිණිස ය. ඔවුන් විසින් එදා නිපදවූ කථාවල යටි අදහස එය විය. එබඳු උදාර ජීවිත පරමාර්ථයක් නැති, හිස් විනෝදය ම ගරු කොට සැලකූ යුරෝපීයයා මේ උසස් ආධ්‍යාත්මික ගුණ වගාවෙන් බැහැර විය. ඔවුන්ගේ නිබන්ධන අතර වැඩි කොටසක මේ බොල් බව කැපී පෙනේ. ධනයත්, ඒ ධනය නිසා ලබන කාමුක විනෝදයත් ඔවුහු උසස් කොට තැකූහ. ඒ කථාවක් කියවූ පසු පාඨකයා තුළ කිසියම් මානසික විකෘතියක් පහළ වෙයි. සමහර විට ඒ විකෘතිය ක්ෂණික විය හැකිය. කථාවෙහි පාඨකයා තුළ පහළ කළ මානසික උද්වේගය තරමට ඒ විකෘතිය ඔරොත්තු දී පවතී. ඒ විකෘතිය ඔහුගේ මනුෂ්‍යත්වය උසස් කර ගැනීම සඳහා උදවු දෙන පැත්තට බර කිරීම බෞද්ධ සම්ප්‍රදාය විය. එබඳු උදවුවක් නැති, හුදු විනෝදය පමණක් පහළ කරන කථාව බෞද්ධයා සලකන්නේ හිස් ප්‍රලාපයක් ලෙසිනි. රාමායන, මහාභාරත වැනි පොත් නොකියවිය යුතු යැ යි පැරණි මහ තෙරවරුන් විසින් පවසන ලද්දේ මේ නිසාය.

නවකථා වූ කලී මිනිස් සිතෙහි පහළ වන හැඟීම් ප්‍රකට කරන්නක් ලෙස සලකනු ලැබේ. ඒ හැඟීම් ක්‍රියා කළ ආකාරය ගැන දැන ගැනීමෙන් පාඨකයා ලබන අවබෝධය කුමක් දැ යි අප විසින් සලකා බැලිය යුතුය. වෙන කෙනකුට සිදුවූ අත්වැරැද්දක් දැන ගැනීමෙන් අපට එබඳු අත්වැරැද්දක් නොවන්නට අපි පරෙස්සම් වෙමු. වෙන කෙනකු බේබදුකමින් විපතට පත් වනු දැක අපි එයින් පාඩමක් ගෙන බේබදුකමින් ඉවත් වෛමු. නපුරු මිනිසකුගේ නැතහොත් දුෂ්ට මිනිසකුගේ චරිතයක් ඇසුරු කොට ලියන ලද නවකථාවක් කියවීමේදී එහි එන කථානායකයා තුළ හෝ ඔහුගේ අනුගාමිකයන් තුළ පැවති කුරිරු අදහස් හා කුරිරුකම් නිසා ඔවුන්ට මුහුණ පාන්නට වූ භයානක අවස්ථා පාඨකයාගේ සිතෙහි මැවී යයි. එයින් එබඳු චරිත ඇතිවීමේ දෝෂයත්, එයින් ඔවුනට මුහුණ පාන්නට සිදුවන විපත්තිකර තත්ත්වයත් හෙතෙම අවබෝධ කර ගනී. පාඨකයාට මේ අවබෝධය ලැබීමෙන් හෙතෙම තමාගේ චරිතය සකස් කර ගැනීමේ එක් පාඩමක් ඉගෙන ගනී. මේ ප්‍රතිඵලය තිබෙන නිසා ම නවකථාව සමාජයට අවශ්‍ය වූවක් ලෙස සලකනු ලැබේ.

පාඨකයා තුළ එබඳු විකෘතියක් පහළ නොකරන හුදු කාමුක ප්‍රීතියක් පමණක් ගෙන දෙන නවකථාවක් අතට දීමෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක් ද ? එය පාඨකයා නැළවීම කැ යි කියතොත් අපි ඔවුන්ට අනුකම්පා කරමු. අපි නැටුමක් බලා නැළවෙමු. විහිළුවක් බලා නැළවෙමු. එය ද සමාජයට අවශ්‍යය. නවකථාවකින් බලාපොරොත්තු වන්නේ ද එබඳු හිස් නැළවීමකැ යි කීම පිළිගත හැකි ද ? සාහිත්‍යය රටක ඉදිරිගමන සඳහා වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි පමණ සේවයක් කරන බව අපි පිළිගෙන සිටිමු. නවකථාව සාහිත්‍යයේ එක් ප්‍රධාන අවයවයකි. අන් කවදාටත් වඩා අද එය බලපාන්නට වී ඇත. සිනමා චිත්‍රයක්, නවකථාවක් පමණ සමාජය විනාශ කිරීමට මෙන් ම යහමඟට ගැනීමටත් හැකි වෙනත් ප්‍රබල ආයුධයක් අද නැත.

ඒ ඒ යුගවලදී රටක මිනිසුන්ගේ රුචිය යම් යම් අතට වැඩියෙන් බරවෙයි. එය අන් කවුරුත් විසින්වත් කරනු ලබන්නක් නොව ඉබේ ම සිදුවන වෙනසකි. මීට අවුරුදු විස්සකට පමණ පෙර මේ රටේ නවකථා අතර රහස් පරීක්ෂක නවකථා හා වීරකථා වැඩියෙන් ජනප්‍රිය විය. කල්යෑමේදී ඒ රුචිය වෙනස් විය. මේ භින්න රුචිකත්වය නවකථාවට මෙන් ම චිත්‍රපටයට ද එක හා සමානව බලපැවැත්වීය. එබඳු අවස්ථාවලදී පාඨක රුචිය අනුව පොතපත සපයමින් ඒ මඟින් කියවන්නන් තුළ සුහද හැඟීම් පහළ කරවීමට ගත්කතුවරයා මහන්සි දරයි. එසේ නැතිව කියවන අවස්ථාවේදී පමණක් පාඨකයාගේ විනෝදය ඇති කරවන, කියවා අවසන්වූ පසු ගතයුතු මොන ම හරයක් වත් නැති නවකථාව හෝ වෙනත් කථාවක් පුස්සකි. අපි කුඩා දරුවන්ට යම් යම් ක්‍රීඩා මඟින් යමක් උගන්වන්නට බලාපොරොත්තු වන්නෙමු.

තනි ඉගෙනීමට කම්මැලිකමක් දක්වන දරුවා ක්‍රීඩාව හා සම්බන්ධව ඉගෙනීමට රුචිය දක්වන්නේ එහි ඔහුට රස විඳීමට යමක් ඇති හෙයිනි. නවකථාව පිළිබඳ ස්වරූපය ද මේ හා සමානය. ඉගෙනීමට යමක් නැති නවකථාවත්, ඉගෙනීමට යමක් නැති ක්‍රීඩාවත් එක හා සමානය. එබඳු ක්‍රීඩාව ව්‍යායාමය සඳහා හොඳය. එබඳු පොතපත කියවීම ක්ෂණික ආස්වාදය සඳහා හොඳය. නමුත් ගත්කතුවරයා කල්පනාකාරි නොවුවහොත් ඒ ක්ෂණික ආස්වාදය පාඨකයාගේ පහත් රුචිය වැඩි දියුණු කරන්නක් විය හැකිය.

පාඨකයා තුළ ක්ෂණික ආස්වාදයක් ඇති කිරීම මුල්කොට ගොඩනැඟුණු අවරදිග නවකථා කලාව අද චරිත නිරූපණාත්මක නවකථා කලාවක් වශයෙන් හඳුන්වනු ලැබේ. පුද්ගලයකුගේ චරිතයක් විදහා දැක්වීමේ හෝ ඔහුගේ යටිසිත ක්‍රියාකාරී වූ හැටි දැක්වීමේ ප්‍රතිඵලය කුමක් ද ? එය දැන ගැනීමෙන් පාඨකයා ලබන ප්‍රයෝ ජනය කුමක් ද? එය හුදු විනෝදය පමණක් සලකා දෙන්නක් නම් එබඳු ක්ෂණික ප්‍රයෝජනයක් පිණිස දක්ෂ ලේඛකයකුගේ කාලයත්, ශ්‍රමයත් යෙදවීම සාර්ථක ක්‍රියාවක් වශයෙන් සැලකිය හැකිද ? මේ ප්‍රශ්නවලට ලැබෙන පිළිතුර විවිධ විය හැකිය. ඒ විවිධත්වයට හේතුව ගැන එකෙකා දරන මත නන්වැදෑරුම්ය. එක් කරුණක් මෙහිදී අමතක නොකළ යුතුය. එනම් සුහද මිනිස් ජීවිතයක් ගොඩනැංවීමට ආධාර නොවන ලිපියක් හෝ පොතක් සාර්ථක සාහිත්‍ය කෘතියක් ලෙස අප නොපිළිගන්නා බවය.

පැරණි කථාව හා වර්තමාන නවකතා අතර ඇති වෙනස ගැන මෙකල සිටින නවකථාකාරයකුගෙන් ප්‍රශ්න කළහොත් එකපාරට ම ඔහු පැරණි කථාව සමච්චලයට භාජනය කර එය කිසි වැදගැම්මකට නැති ක්‍රමයකින් බිහිවුණු ‘පට්ටන්දරයක්’ ලෙස දක්වනු ඇත. මම ඔහුගේ ප්‍රකාශය නොපිළිගනිමි. පැරණි කථා ලියූ යුගය ගැන සලකා එහි ශෛලිය ගැනත්, වාග්විලාසය ගැනත් අප නිගමනයකට බැසිය යුතුය. එදා ලේඛන කලාව පැවති තත්ත්වය අනුව ඒ කථාකාරයා සිය කථාව ලියන්නට ඇත. ඒ ක්‍රමය අදට නොගැළපීම අනෙකකි. අප විසින් සැලකිය යුත්තේ කථාව කියවීමෙන් පසු පාඨකයා තුළ පහළ වන හැඟීම් කෙබඳු විය හැකි ද යන්න ගැනය. එයින් ලේඛකයා බලාපොරොත්තු වන අදහස ඉටුවී තිබේ නම් එය සාර්ථක සාහිත්‍ය කෘතියක් ලෙස පිළිගත හැකිය. ශෛලිය කොතරම් නවීන වුවත්, වාග්විලාස කොතරම් සාටෝප වුවත් එය කියවීමෙන් පාඨකයාට පිහිටක් නොලැබේ නම් ඒ කථාව අසාර්ථක සාහිත්‍ය කෘතියකි.

අප මෙලොව උපන්නේ ජීවත්ව සිට මැරී යන්නට පමණක් නොවේ. ‘ජීවත්වීම’ යන්නෙන් ආහාරපාන, ගේදොර, ඉඩකඩම් ඇතුළු ඔහුගේ ගිහි ‘ ආම්පන්න’ පමණක් නොව විනෝදය, විවේකය ඇතුළු ඔහුට අවශ්‍ය සෙසු අංගෝපාංග ද කියවෙයි. මේ සෑම අංගෝපාංගයක් ම මිනිසාට මෙන් ම තිරිසනාට ද ඔහුගේ ස්වරූපය අනුව අවශ්‍යය. ඒ නිසා මේ ජීවත්වීම මිනිසාට පමණක් නොව ලෝකයේ උපන් සෑම සතකුට ම අයිති සාධාරණ ක්‍රියාවකි. තිරිසනාගෙන් මිනිසා වෙනස් වන්නේ කුමකින් ද? මේ ප්‍රශ්නයට ‘ශිෂ්ටත්වය’ යැ යි යමකු පිළිතුරු දෙනු ඇත. ඒ ශිෂ්ටත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? මෙහිදී පෙර අපර දෙදිග පිළිගැනීම් වෙනස් ය. අපරදිග මිනිසාගේ ශිෂ්ටත්වය බාහිර මෙවලම් ඇසුරු කොට ඇති කර ගනු ලැබූ ඇඳුමක් වැනි එකකි. එය ඇඟලා ගෙන කවර අන්දමේ දුසිරිත්වල යෙදුණත් ඔහුගේ ශිෂ්ටත්වයට පලුද්දක් නොවේ. නමුත් අප පිළිගන්නා ශිෂ්ටත්වය එබඳු ඇඳුමක් නොව මිනිසාගේ ආධ්‍යාත්මික ගතිගුණවල ඇති යහපත්කම අනුව ගොඩනැඟුණකි. කොටින් කියතොත් ඔහුගේ කයත්, වචනයත්, සිතත් දහමට මිස අදහමට බර නොවීම ශිෂ්ටත්වයයි. ඒ දහම හා අදහම වෙන් කර දෙන්නේ අප පිළිගත් ආගම මඟිනි. ඒ ආගමික උපදේශ අනුව හැඩගැසීමට අපි සංස්කෘතිය යන නම භාවිත කරමු.

අපේ සාහිත්‍යය ඇතුළු සෑම එකක්ම සංස්කෘතිය හා සම්බන්ධය. සාහිත්‍යය සංස්කෘතියට පටහැනි වූ විට පරදින්නේ සාහිත්‍යය මිස සංස්කෘතිය නොවේ. සංස්කෘතිය ඉන්ද්‍රකීලයක් සේ නොසෙල්වී සිටී. එය සොලවාලීම සඳහා කඩුවක් හෝ තුවක්කුවක් ශක්තිමත් නොවූ බව අපේ ම යටගියාව අපට කියා දෙයි. එම නිසා අපේ ලේඛකයන් සංස්කෘතියේ මඟ පෙන්වීම අනුව නොගියොත් වැනසෙන්නේ ඔවුන් ම බව මතක තබා ගත යුතුය.

පන්සිය පනස් ජාතක පොත වර්තමාන ලේඛන කලාවට අනුව නැවත සකස් කර ගත යුතු යැ යි ළඟදී ප්‍රකාශ කරන ලද්දේ අපේ නම ගිය ලේඛකයකු විසිනි. දැනට වෘද්ධ ජීවිතයක් ගත කරන ඔහුට මිනිස් ජීවිතයක් ගොඩනැංවිය යුතු ආකාරය ගැන අවබෝධයක් ලැබී ඇති බව ඒ ප්‍රකාශයෙන් පෙනී යයි. දශපාරමිතාවන් මුදුන්පත් කරලීමේ බලගතු හැඟීමකින් වෙලී ගිය ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ හැඟීම් හා වචන ද, ක්‍රියා ද පිළිබිඹු වී ඇති පන්සිය පනස් ජාතක පොත යහපත් මිනිස් ජීවිතයක් ගොඩනැංවීමට කෙබඳු රුකුලක් වේ දැ යි ඔහුට පැහැදිලි වී ඇත. මිනිස් සිතේ සැඟවී ඇති කැත අදහස් වැසිකිළි ගොඩ අදින්නාක් මෙන් එළිපෑදුම් කරන අපේ ඇතැම් නවකථා කතුවරයන්ට මේ වෘද්ධ ලේඛකයාගේ ප්‍රකාශය හොඳ පාඩමක් ලෙස මම සලකමි. ඒ තරුණ ලේඛකයන්ගේ සාටෝප, සාඩම්බර තරුණ ජීවිතය අනුක්‍රමයෙන් ගෙවී වැඩිවියට පත් දරුමල්ලන් ඇති පියවරුන් බවට පත්වූ පසු අර වෘද්ධ ලේඛකයා අද නැවතී සිටින තැන ඔවුන් ද වාඩිගන්නා බව සිකුරුය.

චරිත පරිශෝධනයට ඉවහල් නොවන නවකථා හිස් ප්‍රලාපයකි. විනෝදය සලසා දිය යුත්තේ සභ්‍ය ස්වරූපයෙන් මිස අසභ්‍ය ස්වරූපයෙන් නොවේ. අසභ්‍ය විනෝදය වැරදි විනෝදයකි. ශෘංගාරාත්මක විනෝදය වුවත් සභ්‍ය ස්වරූපයෙන් වින්දනය කළ හැකිය. සැඟවිය යුතු තැන් සඟවා නොකියා ඒවා විවෘත කොට දැක්වීමෙන් රසවත් ශෘංගාරයක් පහළ කළ හැකි නොවේ. වාච්‍යාර්ථය ඉක්මවූ ව්‍යංගය ඇත්තේ ධ්වනි කාව්‍ය තුළ යැ යි ද, එය උත්තම කාව්‍ය සංඛ්‍යාවට අයත් යැ යි ද පැරණියන් කී වචන සම්පූර්ණ සැබෑවකි. නවකථාව තුළ ද මේ ව්‍යංගය රජකම් කරන තැන් දක්නට ඇත. තිර හතකින් වසා ඇති දේවරූපය මහානුභාව සම්පන්න බලයක් ඇති තැනක් ලෙස සලකන ගැමියා විවෘතව ඇති දේවරූපයට බුහුමන් නොකරයි. මේ ස්වභාවය මිනිස් සමාජයේ ලොව පවතින තුරු ඉවත් නොවන්නකි. මිනිසකු තුළ සැඟවී ඇති නින්දිත වූ ද, දරුණුවූ ද අදහස් ප්‍රකට කිරීමේදී මේ ව්‍යංගය අත්නොහැරීමට නවකථාකාරයා විසින් වග බලා ගත යුතුය. අපේ ඇතැම් නවකථාකාරයන් තුළ මේ අවබෝධය නොමැතිවීම නිසා ඔවුන්ගේ පොත පත පහසුවෙන් විකිණී ගියත්, උගතුන්ගේ පිළිකුලට භාජන වූයේ ඒ නිසා බව මෙහි සඳහන් කළ යුතුය.

වර්තමාන නවකථා යුගයේ ආදි පුරුෂයන් අතර ප්‍රමුඛයා වූ පියදාස සිරිසේන මහතා විසින් ලියන ලද නවකථා මා ඉහතින් දැක්වූ ආධ්‍යාත්මික ගුණ වගාව පිණිස යොමු කර ඇති සැටි ප්‍රකටව ම පෙනෙන්නට තිබේ. ඒ නවකථා අද අප පිළිගෙන ඇති නවකථා සම්ප්‍රදාය අනුව යම් යම් දුර්වලතා වලින් යුක්ත බව සැබෑවකි. නමුත් ඒ නවකථා ලියූ යුගය ගැන සලකා ඒවායේ තත්ත්වය මනින විට ඒ නවකථාවලට ලැබෙන්නේ උසස් තත්ත්වයකි.

ඒ මහතාගේ රහස් පරීක්ෂක නවකථාවල ‘ වික්‍රමපාල’ දුම්රියේ යන විටත්, තමා අනිකෙකු හමුවී සාකච්ඡා කරන විටත් අනුක්‍රමයෙන් ජාති වාත්සල්‍යය සහ ධර්මිෂ්ඨ ජීවිතය ගැන කරුණු දැක්වීමට බර වේ. එදා සිංහල මිනිසුන් තුළ බලපැවැත්වූ යුරෝපීය ඇවතුම් පැවතුම්වලට පහර දෙයි. සුරාවෙහි සහ සූදුවෙහි ආදීනව දක්වයි. සිරිසේන මහතා ඒ නවකථා ලියූ යුගය තුළ පැවති තත්ත්වය එබඳු විය. එය එකල සිටි බුද්ධිමත් සිංහල මිනිසුන් තුළ බලපැවැත්වූ ශ්‍රේෂ්ඨ පරමාර්ථය විය. එදා ඔවුන් විසින් ගෙන යනු ලැබූ ඒ ව්‍යාපාරය නිසා සාර්ථක ප්‍රතිඵල ලැබූ හැටි අපට දැන් පැහැදිලිය. සාහිත්‍යයත්, දේශනාත් මඟින් ඔවුහු සමාජ විප්ලයක් කළහ.

නමුත් බුද්ධිමත් මිනිසුන් විසින් ගොඩනංවන ලද ‘ සභ්‍යත්ව මන්දිරය’ අද දෙදරුම් කා ඉරිතළා ඇති හැටි අපට පෙනෙන්නට තිබේ. එය නැවත ප්‍රතිසංස්කරණය කළ යුත්තේ වර්තමාන සාහිත්‍යකාරයන් හා දේශකයන් විසිනි.

ඉතා ම සභ්‍ය මිනිසකු වශයෙන් පිටතින් පිළිගැනී ඇති පුද්ගලයකුගේ පවා යටි සිතෙහි යම් යම් පහත් හැඟීම් හා පහත් රුචිකම් බලපැවැත්විය හැකිය. ඒ පහත් හැඟීම් හා පහත් රුචිකම් ක්‍රියාත්මක කිරීමට ඔහුට ඉඩ ලැබුණු විට හෙතෙම එයින් ප්‍රයෝජන ගනී. එබඳු සැඟවුණු තැන් අනාවරණය කිරීමෙන් අප පාඨකයන්ට දෙන පාඩම කුමක් ද? අපේ ජාතක පොත මේ අතින් ගෙන ඇති මඟ ප්‍රශංසනීය යි. මා ඉහතින් දැක්වූ ව්‍යංගය ජාතක පොත විසින් මෙබඳු තැන පාවිච්චි කර ඇත. නමුත් අපේ නවක නවකථාකාරයෝ ඒ තැන් නග්න කර දක්වති. නග්න දේහය දෙස බලන්නා සුජගුප්සාභරිත වෙයි. නමුත් හෙතෙම වැසුණු දේහයෙහි මඳින් මඳ පෙනෙන තැන් රසවත් ලෙස බලයි.

නවකථා පමණක් නොව අප විසින් සමාජයට දෙනු ලබන ඇසින් බලන හෝ කනින් අසන සෑම දෙයක් ම මිනිසාගේ සුචරිත වර්ධනයට හා බුද්ධිවර්ධනයට ඉවහල් වන ලෙස සකස් කොට දිය යුතුය. නැතිනම් අපේ ව්‍යායාමය නිෂ්ඵල වනු ඇත. එපමණක් නොව එය සමාජයට අහිතකර වනු ද ඇත.

අපේ සෑම කටයුත්තක ම ප්‍රධාන ඉලක්කය විය යුත්තේ සභ්‍ය මිනිසුන් නිර්මාණය කිරීමය. විනෝදය වුවද සභ්‍ය විනෝදය විය යුතුය.

බිනර අව අටවක

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි.
21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]