මහා මෙහෙවරක යෙදෙන
දහම් පාසල් ගුරුවරයා
නාගොල්ලාගම
හක් /බමුණුගම
ශ්‍රී සම්බෝධි විහාරයේ
කුණ්ඩගල ධම්මරක්ඛිත හිමි
ශ්‍රී ලංකාවේ දහම් පාසල් සේවයට 2011 අගෝස්තු මස 03 වන දිනට වසර 116 ක්
සම්පූර්ණ වේ. දිවයින තුළ ක්‍රියාත්මක වන සමාජ සේවාවන් අතර වඩාත්ම
පුළුල් ලෙස, විශාල පරිමාණයකින් හා මනා සංවිධානයකින් සිදු කෙරෙන මෙම
මහඟු සමාජ සත්කාරයේ ගාමක බලවේගය හෙවත් නියමු පිරිස දහම් පාසල් ගුරුවරු
වෙති. දහම් පාසල් සේවය පිළිබඳව බොහෝ අය බොහෝ විට කථා කළද, දහම් පාසල්
ගුරුවරයා පිළිබඳව වැඩිපුර කථා කරනු දක්නට නොලැබේ. එබැවින් ඉතා නිහඬව
මහා මෙහෙවරක යෙදෙන දහම් පාසල් ගුරුවරයා පිළිබඳව මදක් සිහිපත් කිරීම මෙම
ලිපියෙහි අරමුණයි.
තම උගත්කම , හැකියාව හා දක්ෂතාව තුළින් සමාජයේ ප්‍රගමනයට කිසියම්
දායකත්වයක් ලබා දෙන පුද්ගලයන් “සම්පත් පුද්ගලයන්” වශයෙන් හඳුන්වනු
ලැබේ. ශ්‍රී ලාංකික සමාජය තුළ වෙසෙන එවැනි සම්පත් පුද්ගලයන් අතර
අපූර්වතම පුද්ගලයා දහම් පාසල් ගුරුවරයා යැයි පැවසුවහොත් එතරම් වරදක්
නැතැයි සිතිය හැකිය. ඊට ප්‍රධාන හේතුව වන්නේ සෑම සම්පත් පුද්ගලයකුම
වාගේ තමන් විසින් ලබා දෙනු ලබන සේවය වෙනුවෙන් කිසියම් ප්‍රතිලාභයක් ලබන
අතර, දහම් පාසල් ගුරුවරයා හුදු නිස්සරණධ්‍යායාශයෙන් හා පරම පවිත්‍ර
චේතනාවෙන් තම කාලය, ශ්‍රමය, පමණක් නොව ඇතැම් විට මිල මුදල් පවා කැප
කරමින් කටයුතු කිරීමය.
මහින්දාගමනයෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු සම්බුදු දහම පදනම් කරගෙන ශ්‍රී
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සකස් විය . එය “බෞද්ධ අධ්‍යාපනය” නමින්
හැඳින්විණ. ග්‍රාමීය මට්ටමේ ආරාම වලින් ආරම්භ කර ජාතික මට්ටමේ මහා
විහාර (විශ්ව විද්‍යාල) දක්වා පැතිර තිබුණු එම අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම
වාගේ් ක්‍රියාත්මක වූයේ භික්ෂූන් වහන්සේ වෙතිනි. ඉතා ක්‍රමානුකූල ලෙස
සකස් වී තිබුණු ශ්‍රී ලංකාවේ එම බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ඉංගී‍්‍රසින්
විසින් විනාශ කරනු ලැබූ අයුරුත්, අධ්‍යාපනය භික්ෂූන් වහන්සේ වෙතින්
බැහැර කර ක්‍රිස්තියානි මිෂනාරීන්ගේ අනුග්‍රහය යටතේ ඇති කරන ලද පාසල්
වලට පවරන ලද අයුරුත් අපි දනිමු.
අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුක්ත, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “ යහපත්
පුරවැසියන්” සමාජයට බිහි කළ බෞද්ධ අධ්‍යාපන ආයතන වෙනුවට ඇති වූ පාසල්
වලින් සමාජයට බිහි වූයේ දැනුමෙන් පමණක් පිරිපුන් ගුණදම් වලින් හීන
පුරවැසියන් නිසා සමාජය ක්‍රමයෙන් අසහනකාරී, අප්‍රසන්න තත්ත්වයකට
පත්වන්නට විය. මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා යෙදිය
යුතු එකම පිළියම ලෙස එකල විසූ දේශ මාමක, දූර්දර්ශී බුද්ධිමතුන් විසින්
දහම් පාසල් සේවය ආරම්භ කරන ලදී. එදා සිට බුදු දහම හා බෞද්ධ සාරධර්ම
විධිමත් ලෙස පරපුරෙන් පරපුරට රැගෙන යන ධර්ම දූතයන් බවට පත් වූයේ දහම්
පාසල් ගුරුවරයාය. ගමේ විහාරස්ථානය ඇසුරේ එම විහාරවාසී භික්ෂුන්
වහන්සේලාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම දහම් පාසල්වල ගුරුවරුන් ලෙස
භික්ෂුන් වහන්සේ ද කටයුතු කිරීම මේ සඳහා ඉමහත් ශක්තියක් වී ඇති බවද කිව
යුතුය.
දහම් පාසල් ගුරුවරයාට රජය මගින් වේතනයක් ලබාදිය යුතු යැයි එක් එක්
කාලවලදී රජයේ බලධරයන් වෙතින් ප්‍රකාශ වූ අතර, ඒ සෑම අවස්ථාවකදීම එයට
බලවත් ලෙස විරුද්ධ වූයේද දහම් පාසල් ගුරුවරුන්මය. ඊට හේතුව එසේ වේතනයක්
ලබා දුනහොත් තම ශ්‍රමය, කාලය කැප කරමින් උතුම් සේවයක් ලෙස සලකා
නිස්සරණාධ්‍යාශයෙන් කටයුතු කරන ගුරුවරුන් වෙනුවට මුදල් බලාපොරොත්තුවෙන්
කටයුතු කරන නුසුදුසු පුද්ගලන් එම සේවය තුළට පැමිණීම නිසා එහි පවතින
පවිත්‍රභාවය කෙළෙසී යාමට ඉඩ තිබූ බැවිනි. තමා විසින් ඉටු කරනු ලබන
සේවයෙහි උත්තරීතර භාවය ආරක්‍ෂා කර ගැනීම පිණිස දහම් පාසල් ගුරුවරයා තුළ
ඇති ඕනෑකම ඉන් මනාව පැහැදිලි විය.
දහම් පාසල් ගුරුවරයකු ලෙස කටයුතු කිරීම පහසු කටයුත්තක් නොවන බවද සඳහන්
කළ යුතුය. ඒ සදහා විශාල කැප කිරීමක් කළ යුතුව තිබේ. සියලු දුසිරිත්
වලින් වැළකී සිටිය යුතුය. බටහිර සිරිත් විරිත් වලින් වැළකී හෙළ බොදු
සිරිත් විරිත් අනුගමනය කළ යුතුය. ඇඳුමෙන් පැළඳුමෙන් පමණක් නොව කථා
බහෙන්ද සංවර විය යුතුය. කොටින්ම තම සිසු දරුවන්ට පරමාදර්ශයක් විය
යුතුය. ගම තුළ වෙසෙන සියලු දරුවන් තම සිසු දරුවන් බැවින් ගම තුළ
ජීවත්විය යුත්තේද ආදර්ශවත් අයුරිනි. “මම දහම් පාසල් ගුරුවරයෙක්මි” යන
සිහි බුද්ධිය ඇතිවය.
වෙනත් ඕනෑම සේවයක්, රාජකාරියක් කරන පුද්ගලයකුට තම සේවා මුරය, රාජකාරි
කාලය නිම වීමෙන් පසු තමාට අවශ්‍ය ලෙස හැසිරීමේ නිදහස තිබේ. උදාහරණයක්
ලෙස දිවා කාලයේ සිසුන්ට ගණිතය ඉගැන්වූ ගුරුවරයාට සවස් කාලයේ අවශ්‍ය නම්
අවශ්‍ය ඕනෑම විලාසිතාවකට ඇඳුම් පැළඳුම් කළ හැකිය. ඒ සඳහා ඔහුට කිසිදු
බාධාවක් නැත. නමුත් දහම් පාසල් ගුරුවරයාට ඒ කිසිවක් සඳහා නිදහස නැත.
ඔහු උගන්වන්නේ බුදු දහමය. බුදු සිරිතය.බෞද්ධ සිරිත් විරිත්ය. ඔහු
ගුරුවරයකු වන්නේ ඉරු දින පැය කීපයකට පමණක් නොව මුළු ජීවිත කාලයටමය. ඔහු
වෙතින් යම් අඩුපාඩුවක් සිදුවුවහොත් ඔහුගේ ප්‍රතිරූපය සම්පුර්ණයෙන්ම කඩා
වැටේ. එබැවින් දහම් පාසල් ගුරුවරයාටද භික්ෂූන් වහන්සේ නමක මෙන්
ආපාණකෝටික සීලයක් රැකිය යුතුව තිබේ.
රැකියාවක නියුතු ඕනෑම පුද්ගලයකුට සතියකට නිවාඩු ලැබෙන්නේ දින එකක් හෝ
දෙකක් පමණි. අවශ්‍ය ගමන් බිමන් යාම, ඇඳුම් පැළඳුම් පිරිසුදු කර සකස් කර
ගැනීම, ගෙදර දොර අවශ්‍ය කටයුතු කර ගැනීම හා කායික මානසික විවේකය සඳහා
එම කාලයද ප්‍රමාණවත් නැති තරම්ය. නමුත් දහම් පාසල් ගුරුවරයා තමාට
නිවාඩු ලැබෙන එම සුළු කාලයෙන්ද කොටසක් දහම් පාසල් සේවය සදහා වැය කරයි.
ඇතැම් විට ඔහු දහම් පාසල් දරුවන් වෙනුවෙන් මෙසේ වැය කරන්නේ තම දූ
දරුවන්ගේ යහපත සඳහා කැප කිරීමට ඇති කාලයයි.
බොහෝ දහම් පාසල්වල පුස්තකාල පහසුකම් නැත. එම නිසා සිසු දරුවන්ට
ඉගැන්වීම සදහා අවශ්‍ය කරුණු රැස්කර ගැනීම පිණිස අදාළ පොත්පත් මිලදී
ගැනීමට දහම් පාසල් ගුරුවරයාට සිදුවේ. ඒ බව අවබෝධ කරගෙන ඇති රජය මෑතක
සිට ඔවුනට පුස්තකාල දීමනාවක් ගෙවීමට කටයුතු කර තිබේ. නමුත් බොහෝ දහම්
පාසල් ගුරුවරුන් එම දීමනාවද තම පෞද්ගලික පරිහරණය සඳහා නොගෙන දහම් පාසලේ
පොදු පුස්තකාලයක් ඇරැඹීමට හෝ වැඩි දියුණු කිරීමට, සුබසාධක අරමුදල්
පිහිටුවීමට හා දහම් පාසල් සංවර්ධන අරමුදල් සඳහා බැර කිරීමට පියවරගෙන
තිබේ.
ශ්‍රී‍්‍ර ලංකාවේ බන්ධනාගාරවල සංඛ්‍යාලේඛන දත්ත පිරික්සීමේදි පෙනී ගොස්
ඇති කරුණක් නම් විධිමත් ලෙස දහම් පාසල් අධ්‍යාපනයක් ලද පුද්ගලයන් සියයට
එකක් වත් බන්ධනාගාර ගත නොවන බවය. එය දහම් පාසල් මෙහෙවරේ ජයග්‍රහණයකි.
දහම් පාසල් ගුරුවරයාගේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයකි.
දහම් පාසල් ගුරුවරයා පිළිබඳව අපට කෙටියෙන් මෙසේ පැවසිය හැකිය. ඔහු
සමාජය පිරිසුදු කරන සමාජ ශෝධකයෙකි. තම වටිනා කාලයත්, ශ්‍රමයත්, දේශයේ
දරුවන්ගේ යහපත සඳහා කැප කරන සමාජ සේවකයෙකි. මානව සිත් සතන් රුදුරු
චේතනාවලින් මුදා පහන් බවට පත් කරන මනෝ වෛද්‍යවරයෙකි. පරපුරෙන් පරපුරට
දහම් දැනුම රැගෙන යන ධර්ම දූතයෙකි. මානව සංහතිය හැඩ ගැසිය යුත්තේ මෙලෙස
යැයි පෙන්නුම් කරන පරමාදර්ශයකි. එබැවින් ඔහු ශ්‍රී ලංකාවේ බෞද්ධ
ජනතාවගේ නොමද ගෞරවයට ලක්විය යුතු අපූර්ව පුද්ගලයෙකි. |