UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ අවඅටවක 2011 ජුලි 23 වනදා සෙනසුරාදා

බෞද්ධයන් ගේ දේව වන්දනාව

සුගිය සතියේ නිමාවට පත් වූ මේ වසරේ කතරගම ඇසළ පෙරහර නිමිත්තෙන් ලිපි දෙකක්, ඇසළ පුර පසළොස්වක පොහෝ දා (14 වන දා) බුදුසරණ පත්‍රයේ මැද පිටු දෙකෙහි පළ කෙළෙමු. කතරගම දෙවියන් උදෙසා පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් බුදුසරණ පත්‍රයේ එ තරම් ඉඩ ප්‍රමාණයක් ලබාදීම සුදුසු දැයි පාඨකයෙක් අපගෙන් විමසා සිටියේ ය. එම පාඨකයාට කරුණු පැහැදිලි කිරීමට අපට හැකි වූව ද එය විශේෂයෙන් කතා කළ යුතු මාතෘකාවක් බව අපට හැඟිණ. එහෙත් මෙය කිසිදු ආකාරයේ නිදහසට කරුණු දැක්වීමක් හෝ අප ගේ ක්‍රියාව යුක්තිසහගත කිරීමක් නො වේ.

දේව සංකල්පය නිර්මාණය වී ඇති ආකාරය මෙහි දී ප්‍රථමයෙන් ම සලකා බැලිය යුතු ය. එය මෙ සේ දැක්වීමට පුළුවන.

1. ස්වභාවික බලවේග කෙරෙහි දේවත්වය ආරෝපණය කිරීම. (හිරු, සඳු මෙන්)

2. සැබෑ ලෙස ම ජීවත් වූ පුද්ගලයකු සතුව තිබූ ගුණ සලකා දේවත්වය ආරෝපණය කිරීම( අලුත්නුවර දේවතා බණ්ඩාර වැනි)

3. කාල්පනික දේවත්වය (ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟන / කතරගම දෙවියන් වැනි)

මෙහි දී අප ගේ අවධානය යොමු වන්නේ කාල්පනික දෙවියකු වන කතරගම දෙවියන් කෙරෙහි ය. නම් තිස් හතකින් හැඳීන්වෙන කතරගම දෙවියන් පිළිබඳ ව සිංහල විශ්වකෝෂයේ සඳහන් කරුණු මෙහි පහත උපුටා දක්වමු.

‘හින්දු දේව කථාවන්ට අනුව කතරගම දෙවියෝ මහේශ්වරයාගේ පුත්‍රයෙකි. එක් කතා පුවතකින් කියැවෙන අන්දමට මහේශ්වරයා මහානුභාවසම්පන්න මන්ත්‍රයක් දනී. මේ මන්ත්‍රය අතට මතුරා යමකු ගේ හිස මත තැබී නම් ඔහු දා අළු වන්නේ ය. බක නම් අසුරයෙක් මේ මන්ත්‍රය මහේශ්වරයා ගෙන් ඉගෙන අනතුරු ව ඔහු විනාශ කොට උමාව ලබා ගැනීමේ අදහසින් සිය අතට මතුරා ගෙන මහේශ්වරයා වෙතට ගියේ ය.මහේශ්වරයා ද බියෙන් දුවන්නට වන්නේ ය. සිදුවීමට යන විපතින් මහේශ්වරයා බේරාගැනීම සඳහා විෂ්ණු දෙවියෝ අසුරයා එන මඟ ස්ත්‍රී වේශයක් මවාගෙන සිටිය හ.’

‘ස්ත්‍රී රූපයට වශී වූ අසුරයා ඇයට විවාහ යෝජනා, කෙළේ ය. තමා අත්හැර නො යන බවට හිස අත් තබා දිවුළොත් විවාහ වීමට කැමැති බව ඇය කියා සිටියා ය. අසුරයා තම අත හිස මත තබා ගනිත් ම දා අළු වී ගියේ ය. අනතුරුව අසුරයාට බියෙන් දුවන මහේශ්වරයාට ද මේ ස්ත්‍රිය මුණ ගැසිණ. ඇය ස්ත්‍රී වෙසින් සිටි විෂ්ණු බව නො දැන ඔවුත් ඇයට විවාහ යෝජනා කෙළේ ය. එ විට ස්ත්‍රියගෙන් ලැබුණු පිළිතුර වූයේ උමාවගෙන් අවසර ගෙන එන්නැයි’ යනුයි. ඔහු උමාවගෙන් අවසරගෙන පැමිණි කල්හි ස්ත්‍රියගෙන් ලැබුණේ අනපේක්‍ෂිත පිළිතුරකි. එනම්, තමා දරුවකු ලබා සිටින හෙයින් නැවතත් අවසර ලබා පැමිණිය යුතු බව ය. එසේ පැමිණි කල්හි තවත් දරුවකු ලැබූ බව පවසමින් නැවත අවසර ගෙන එන මෙන් ඇය කියා සිටියා ය.’

‘මෙ සේ දරුවන් දෙදෙනකුය, තිදෙනකුය, සිවු දෙනකුය වශයෙන් අවසර ඉල්වා ඉක්බිතිව සදෙනකුය කියා අවසර ඉල්වන කල්හි මෙය විෂ්ණු ගේ මායාවක් විය යුතු යැයි සිතා උමාව ද එතැනට පැමිණියා ය. මෙ සේ පැමිණි උමාවට කුමාරවරු සය දෙනෙක් දක්නට ලැබිණ. ඉන් සතුටට පත් ඕ, කුමාර කන්දක් නො වේ දැයි කියා ඔවුන් සදෙන ම එකට අල්වා බදා ගත්තා ය. එ විට එම කුමාරවරුන් සදෙන මුහුණු සයක් සහ අත් දොළසක් සහිත එක ශරීරයක් ඇතියකු බවට පත් වූ හ. ඒ නිසා ඔහුට ස්කන්ද කුමාර යන නම ඇති විය. ස්කන්ද කුමාරයන් ගේ උත්පත්තිය සම්බන්ධයෙන් තවත් විවිධ කථා ප්‍රවෘත්ති ඇත. ඉන් එක් පුවතකට අනුව සුරපද්ම නම් අසුරයාගෙන් සුරයනට කරදර පැමිණි අවස්ථාවේ සුරයෝ ඒ බව ඊශ්වරයාට සැල කර සිටිය හ. එම පුවත ඇසූ ඊශ්වර තම නේත්‍රයන්ගෙන් ගිනි පුපුරු සයක් නික්ම වූයේ ය. එම ගිනි පුපුරු සය ශර වනයට වැටී කුමරුන් සදෙනකු බවට පත් විය. ඊශ්වර ගේ පතිනිය මොවුන් දැක සතුටින් සදෙන ම එකට අල්වා සිඹ සැනසෙන විට එම සදෙනා ම මූණු සයක් ද අත් දොළසක් ද එක සිරුරක් ද ඇතියකු බවට පත් වූයේ ල. ශරවනභව යන නම කඳ කුමරුට ඇති වූයේ එහෙයි නැයි කියති.’

කතරගම දෙවියන් උදෙසා පැවැත්වෙන ඇසළ උළෙල පිළිබඳ ව එහි මෙ සේ සඳහන් ය.

‘මෙය පැවැත්වෙන්නේ කතරගම දෙවියන් තමන් ගේ නියම ශක්ති හෙවත් දේවසේනා (ද්‍රවිඩ භාෂාවෙන් තෙයිවානි අම්මාල්) හා සමඟ විවාහ වීමෙන් පසු ලක්දිව්හි දී ‘වල්ලි’ නමැති වැදි අඟන සරණ පාවා ගැනීම නිමිති කොටගෙන ය. උත්සවයේ ප්‍රධාන අංකය වූ මඟුල් පෙරහර දෙවන සතියෙහි වඩාත් උත්කර්ෂවත් වෙයි.’

මේ උත්සවය සමඟ බෞද්ධයන්ට ඇති බැඳීම කුමක් ද? ඊට හේතු මෙ සේ ය.

‘බෞද්ධ වෘත්තාන්තයන්ට අනුව කතරගම දෙවියන් වනාහි ලංකා පාලක දෙවිවරුන් සතරදෙනාගෙන් එක් කෙනකු වන අතර, එතුමෝ මතු බුදුවීමට පෙරුම් පුරන බෝධිසත්ව කෙනෙක් වෙති. මේ දෙවියන් අනෙකකු නො ව බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ දවස කතරගම රාජධානිය කොට විසූ මහාසේන හෙවත් මහාඝෝෂ නම් රජතුමා ය.’

මෙ බඳු දේව විශ්වාසයක් බුදු දහමට එකතු වූයේ ඇයි ද යන්න මෙහි දී මතුවන ප්‍රශ්නය යි. එය මිනිසා ගේ අධ්‍යාත්මික දිළිඳුකම පිළිබඳ ප්‍රශ්නයකි. මේ අධ්‍යාත්මික දිළිඳුකම තුරන් කිරීම අප ගේ ද උත්සාහය වන නමුදු ඊට ප්‍රතිවිරුද්ධ සංස්කෘතික අංගවලින් බැහැරවීම පහසු නැත.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 22 සිකුරාදා අපර භාග 09.22 ට ලබයි.
23 වන දා සෙනසුරාදා අපර භාග 11.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 23 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි 30 වන සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]