වහුමුවේ
විජයවංස නා හිමි ප්‍රශ්නය
(සං.නි.04 සගය්හ සූත්‍ර 256 පිට බුද්ධ ජයන්ති මුද්‍රණය)
දෙවියන් සහිත ලෝකයා සැපය ලෙස සම්මත කරගනුයේ යම්තාක් ඇතැයි සිතන පි‍්‍රය
කැමැති මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ධර්මයෝ ය. මේ කාමගුණ යම්
තැනෙක නැතිද එය ඔවුනට දුක්ඛ සම්මතයකි. මෙම ජන සම්මතය පටිසොතගාමී (වෙනස්
මඟකට යොමුකරලීම බුදුන් වහන්සේගේ කාර්ය විය. පැහැදිලි කරන්න.
පිළිතුර
ජරා මරණ දුකට නිමාවක් පැනවීම බුදුරජාණන් වහන්සේගේ අපේක්‍ෂාව නම්
උන්වහන්සේගේ ධර්ම සන්නිවේදනය ඒ අරමුණ උදෙසාමය. රාගයත්, මෝහයත්,
ද්වේෂයත් විසින් මැඩුණ සිත් ඇති සත්වයා ඉන්වෙනත් මගක් වූ පටිසෝතගාමී
මඟකට (උඩුගංබලා) අවතීරණ කරලීමට නම් පුද්ගලයා තුළ ගැඹුරු කායික හා
මානසික පරිවර්තනයක් කළ යුතුව තිබේ.
ඉහත සඳහන් ජන සම්මත දුකකට නැඹුරු වූ ලෝකයාට දම් දෙසුවද ඔවුන් එය අවබෝධ
නොකරන්නේ නම් තමනට වෙහෙස පමණක් වේදෝය සලකා දම් දෙසීම පිළිබඳව
බුදුවීමෙන් අනතුරුව සැකයක් ඇති වූ බව බුදුරදුන් වදාළහ. එහෙත් අල්ප
රජස්ක වූ ද (කෙලෙස්) මහා රජස්ක වූද තියුණු (ශ්‍රද්ධාදි) ඉන්ද්‍රියන්
ඇත්තාවූද මෘදු ඉන්ද්‍රියන් ඇත්තා වූද යහපත් හා අයහපත් ආකාර ඇත්තා වූ ද
පහසුවෙන් හා අපහසුවෙන් අවබෝධ කළ හැක්කා වූද පරලොව භය දකින්නා වූද
නොදකින්නා වූ ද සත්වයන් ඇතිබව බුදු නුවණින් සළකා (අරිය පරියේසන සූත්‍ර)
දම් දෙසීමට තීරණය කළහ.
ප්‍රශ්නය
බුදු දහමට අනුව ‘ජීවිතින්ද්‍රිය’ යනුවෙන් භාවිතා කරන්නේ කුමක් සඳහාද?
යන්න පැහැදිලි කරන්න.
පිළිතුර
ඉන්ද්‍රිය යන වචනය නිෂ්පන්නව ඇත්තේ අධිපති හෙවත් පාලකයා යන අරුත දෙන
‘ඉන්ද්‍ර’ ශබ්දයෙන් වන අතර ඒ අනුව ඉන්ද්‍රිය යන්නෙහි අධිපති, අධි මොක්ඛ
සහ සහ අභිබවන යන ලක්‍ෂණ පවතී. ඒ අනුව ජීවිතින්ද්‍රිය යන්නෙන් මිනිසාගේ
කායික සහ මානසික ක්‍රියාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ ශක්තිය අදහස් කළ බව
පෙනේ.
වෙනත් වචන වලින් කියතොත් ජීවිතයම ඉන්ද්‍රියයක් වේ. සප්‍රාණිකත්වයෙන්
(ප්‍රාණය ඇති) පරිබාහිරව පවත්නා එය පාලනය කරනු ලබන වෙනත් බල වේගයක්
ජීවිතින්ද්‍රිය යන්නෙන් බුදු දහම අවධාරණය කොට නැත. බුදු ගොස් හිමියන්
“ඨිතිය හෙවත් අඛණ්ඩ පැවැත්ම ජීවිතින්ද්‍රියට යෙදිය හැකි තවත් නමක් ලෙස
(ඨිනිති, ජීවිතින්ද්‍රියස්ස එතං අධිවචනං) (වි.ම. වි. 24) හඳුන්වා දී
ඇත.
ප්‍රශ්නය
ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි එන ගාථා ධර්මයකි මේ.
නත්ථි රාග ස්මො අග්ගි
නත්ථි දොස සමො කලී
නත්ථි ඛන්ධා සමා දුක්ඛා
නත්ථි සන්ති පරං සුඛං
ධ.ප. සුචවග්ග 6
නත්ථි රාග සමො අග්ගි
නත්ථි දොස සමො ගහො
නත්ථි මොහ සමං ජාලං
නත්ථි තණ්හා සමා නදී
ධ.ප. 18 මලවග්ග 17
ගාථා ධර්ම දෙක්හිම සමානාර්ථ එක්ව ගත්විට රාගය සමාන ගින්නක් ද්වේෂය සමාන
අපරාධයක් මෝහය සමාන දැලක් තණ්හාව සමාන නදියක් පංචස්ඛන්ධයට සමාන දුකක්
නැත. නිවනට වැඩි සුවයක් නැත. බුදු දහමට අනුව බෞද්ධයෙකුගේ සම්මා සංකප්ප
විය යුත්තේ මෙම දේශනාවයි. පැහැදිලි කරන්න.
පිළිතුර
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා දිට්ඨිය සම්මා සංකප්පය වෙත යොමුවෙයි.
නිවැරැදි අදහස් නිවැරැදි සිතුවිලි යනු මෙය දැක්විය හැකි ය. කෙනෙකු
පිරිසුදු වන්නේ හෝ කිලිටි වන්නේන් ඔහුගේ සිතිවිලි නිසා ය. සිතිවිලි
වලින් ඔහුගේ ස්වරූපය විනිශ්චය වන අතර අනාගතය ද හැඩගැසේ. නරක සිතිවිලි
නිසා පුද්ගලයා පහත හෙළන අතර යහපත් සිතිවිලි නිසා ඔහු උසස් වේ. සමහර විට
එක සිතිවිල්ලක් ලොවම විනාශ කිරීමට හෝ රැක ගැනීමට සමත් විය හැකි ය.
මේ කුසල හා අකුසල සිතිවිලි සියලුදෙනාගේම සිත තුළ නිලීනව (සැඟවී) තිබේ.
පුහුදුන් මනසේ අනපේක්‍ෂිත අවස්ථාවලදී පාලනය කරගත නොහැකි තරම් වේගයෙන්
යුතුව මතුවිය හැකිය. රහත් බවින් මේ සියලු කර්මයන් මුළුමනින්ම නැසී යන
හෙයින් එතෙක් සසර පුරා සිත කය එක්ව (පුද්ගලයා) ගමන් කරයි.
මෝහය හා එක් වූ රාගය හා ද්වේෂය මේ මුළා වූ ලෝකයෙහි සියලු පාපයන් ගේ
මූලික හේතුවයි. සමස්ත ලෝකයාගේම සතුරා රාගයයි. සත්වයා වෙත සියලු පාපයන්
ළංකර ගන්නේ පාපයන් නිසයි. මෙම රාගයට යම් බාධකයක් පැමිණිවිට ද්වේෂය
වැළඳගත් අපරාධයක් බවට පත්වෙයි.
පි‍්‍රය හෝ අපි‍්‍රය අරමුණ කෙරේ දක්වන ඇල්ම අනුව කායික හා මානසික
උත්තේජනය ක්‍රියාත්මක වෙයි. කායික හෝ මානසික උත්තේජනය පංචස්කන්ධය
මුල්කොට පවතී.තම භාවනාමය ප්‍රඥාවෙන් ආත්මය (මම) යන හැඟීම දුරලීමෙන්
රාගය මෙන්ම ද්වේෂය ද දුරුකර ගැනීමෙන්, පරම සුවය වූ නිවන සාක්‍ෂාත් කරගත
හැකි ය.
ප්‍රශ්නය
ඉවසීම වඩන්නයි ආනන්ද හිමියන්ට අවවාද කළ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
අහං නාගොව සංගාමෙ
චාපාතො පතිතං සරං
අති වාක්‍යං තිතික්ඛිස්සං
දුස්ලීලොහි බහුජ්ජනො
යුද බිමට ගිය ඇතෙක් ඊතල පහර ඉවසාගන්නාක් මෙන් මම ද නින්දා බස් ඉවසා
ගතිමි වැඩිදෙනා හික්මීමක් නැති මිනිස්සුය. හික්මුණු ඇතා හෝ අශ්වයා සභා
මැදට ගෙන යති. හික්මුණු සතාගේ පිටමත රජු ද නගියි. මිනිසුන් අතර
ශ්‍රේෂ්ඨ වන්නේ නින්දා බස් ඉවසිය හැකි අයයි. හික්මුණු අශ්වතරයෝ උතුම්
වෙති.
අජානීය අශ්වයෝද දළ ඇති මහ ඇත්තු ද එසේම උතුම්ය. එහෙත් මනාව හික්මුණු
මිනිසුන් ඒ හැමටම වඩා උතුම් වෙති. මෙම අවවාදය බුදුරජාණන් වහන්සේ
දේශනාකොට වදාළ අවස්ථාව කුමක්ද?
පිළිතුර
බුදුරජාණන් වහන්සේ නවවන වස කොසබෑ නුවර ගත කළහ. එහිදී සිදු වූ විශේෂ
සිදුවීමක් නම් මාගන්දියා නම් රුසිරියෙන් අගපත් යුවතිය තම දෙමව්පියන්
සමඟ බුදුරජාණන් වහන්සේ හමුව ඇති වූ සාකච්ඡාවෙහිදී බුදු බණ අසා
මාගන්දියාගේ දෙමව්පියෝ අනාගාමී වූහ. එහෙත් බුදු වදනට කුපිතවූ මාගන්දියා
උන්වහන්සේ කෙරේ බැඳගත් වෛරයෙන් වෙලී සිට පසු කලෙක රාජකීය දේවියක වීමෙන්
උදේනි රජුගේ අග මෙහෙසිය වූවා ය. එතැන් සිට බුදුරදුන්ට නින්දා අපහාසවන
කටයුතු සැලසුම් කළාය.
නගරයෙන් බුදු රදුන් පලවා හරින්නට නොසරුප් වදනින් උන්වහන්සේ ඇතුලු මහ
සඟරුවනට ගැරහුම් කළහ.
මෙම අපහාස දරා සිටින්නට නොහැකි ආනන්ද හිමියන් ඒ බව බුදුරජාණන් වහන්සේට
දැන්වූ විට ඉහත දැක් වූ අයුරින් දේශනා කළ සේක.
|