UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන්ගේ අසමසම මඟ පෙන්වීම

‘ලෝකානං ගුරු’ වශයෙන් ලෝකයට ගුරුවරයකු වූ අප බුදුරජාණන් වහන්සේ ලෝකයාට යහපත, දියුණුව මනා කොට කියා දුන් නිසාම උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය ලෝවැස්සන්ට අමෘතයක් විය. ශ්‍රාවකයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද අගය කිරීම් තුළින් උන්වහන්සේගේ මඟ පෙන්වීමේ විශිෂ්ටත්වය මනාව නිරූපිත වෙයි.

* සත්‍යය අවබෝධ කළා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධය සඳහා ධර්මය දේශනා කරන සේක. ( බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දෙසෙති. )

* දැමුනා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය වීම සඳහා ධර්මය දේශනා කරන සේක. ( දන්තෝ සෝ භගවා දමථාය ධම්මං දෙසෙති.)

* ශාන්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ශාන්තිය සඳහා ධර්මය දේශනා කරන සේක. (සන්තො සො භගවා සමථාය ධම්මං දෙසෙති.)

* ක්ලේශ ඕඝයෙන් තොරවූ ඒ භාග්‍යවතුන් වහන්සේ එතෙර වීම සඳහා ධර්මය දේශනා කරන සේක. ( තිණ්ණො සො භගවා තරණාය ධම්මං දෙසෙති. )

* කෙලෙස් පිරිනිවනින් නිවී ගියා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ සෙස්සන්ගේ ක්ලේශ පරිනිර්වාණය සඳහා ධර්මය දේශනා කරන සේක. ( පරිනිබ්බුතො සො භගවා පරිනිබ්බානාය ධම්මං දෙසෙති. )

‘පච්චත්තං වේදිතබ්බො’ යනුවෙන් පැවසෙන අයුරින් ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගත් දේ ප්‍රත්‍යක්ෂ කරවීමට දහම් දෙසීම බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය වූ බව පෙනේ.

ලෝක ඉතිහාසය දෙස බැලීමෙන් විවිධ මාර්ගෝපදේශකයන් විසින් පරාර්ථයම ආත්මාර්ථය කරගනු ලැබීම ප්‍රකට කරුණක් වූ බව පෙනේ. එහෙත් බුදුරජාණන් වහන්සේ ස්වකීය ජීවිතය කැප කළේ සත්වයන්ගේ මෙලොව පරලොව යහපත පිණිස නිශ්ශරණාධ්‍යාශයෙනි. තම ශ්‍රාවකයන්ට ද එසේ කටයුතු කරන ලෙස උපදෙස් දුන් බුදුරජාණන් වහන්සේ, ධර්මය නමැති දායාදය පිණිසම ධර්මයේ හැසිරිය යුතු බව අවධාරණය කළහ.

උන්වහන්සේ තම දර්ශනය මෙලොව පුද්ගල හා සමාජ ප්‍රගතියටත් පරලොව විමුක්තියටත් එකසේ ගැළැපෙන අයුරින් ඉදිරිපත් කළ සේක. ඒ මාර්ගය සඳහා උන්වහන්සේ උපදේශකයෙකු වූහ.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානුසාසනං

එහිදී, අධිෂ්ඨාන ප්‍රතිබද්ධ වීර්ය දියුණු කරමින් අකුසල් අත්හැරිය යුතු බවත්, කුසල් දියුණු කරගත යුතු බවත්, කෙලෙසුන්ගෙන් සිත පවිත්‍ර කිරීමත් තමන් වහන්සේගේ අනුශාසනය විය.

එමෙන්ම ආනන්ද තෙරුන් ගෝපක මොග්ගල්ලාන බමුණාට බුදුරජාණන් වහන්සේ කෙබඳු කෙනකු දැ’ යි මෙසේ හඳුන්වා දේ.

‘සොහි බ්‍රාහ්මණ භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජානෙතා අනක්ඛාතස්ස මග්ගස්ස අනක්ඛාතා මග්ගවිඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදෝ මහානුභාව පන එතරහි සාවකා විහරන්ති පච්චාසමන්නාගතා.’

මෙයින් භාග්‍යවතුන් වහන්සේ නූපන් මඟක් උපදවා දෙන, හඳුනා නොගත් මඟක් හඳුන්වා දෙන, නොකී මඟක් කියා දෙන, මනාව මඟ දක්නා, මඟෙහි දක්‍ෂ කෙනකු බවත්, ශ්‍රාවක ගණයා එම මඟ අනුගමනය කරමින් උන්වහන්සේගේ පසුපස ගමන් කරන බවත් පැහැදිලි කෙරේ. මේ ප්‍රකාශය අනුව ආනන්ද තෙරුන් තථාගතයන් වහන්සේ දැක ඇත්තේ මාර්ගෝපදේශකයකු වශයෙනි.

‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං’

යනුවෙන් තම මාර්ගෝපදේශකත්වය තුළින් අපේක්‍ෂා කළේ ස්වකීය වටිනා ධර්මය ලෝවැසියන්ට උගන්වා ඔවුන් යහමග යැවීමත් එයින් මිනිස් සමූහයාගේ සමඟිය ගුණය, අවබෝධය වඩ වඩාත් දියුණු කරවීමත් මිස හුදෙක් මිනිසා බුදු දහමට කැමැති කරවා ගැනීම නොවන බව ඉහත ධර්ම පාඨයෙන් පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ ස්වකීය මාර්ගෝපදේශනය සඳහා භාවිත කළ දේශනා ක්‍රමය උන්වහන්සේ සතු මාර්ගෝපදේශකත්වයේ සුවිශේෂීතාවකි. සැමදෙනාටම සැමවිටම එක ලෙස ධර්ම දේශනා නො කළහ. අවස්ථාව, අසන්නන්ගේ මානසික තත්ත්වය, එයින් ඔහුට ඇතිවන ඵලය, කාලය ආදිය අනුව උන්වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය වෙනස් විය.

භගවා ධම්මයා කථාය සන්දස්සේයි සමාදපේසි සමුතොපෙසි සම්පහංසෙසි.....

මෙය බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය පිළිබඳ පැහැදිලිව හඳුනාගත හැකි තැනකි. ධර්මය අසන්නා ඒ කරුණු පිළිගත්තකු කොට, ඒවා පිළිපැදීමට උත්සාහ කරවා, බණ අසා පිටත්වන්නා සතුටට පත් කර පිටත්ව යන්නට හැරීම බුදුරජාණන් වහන්සේගේ සිරිතය. මාර්ගෝපදේශකයාණන් කෙනකු වශයෙන් බුදුරජාණන් වහන්සේ සතු සුවිශේෂත්වය වන්නේ උන්වහන්සේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී වන නිසාවෙනි. එමෙන්ම උන් වහන්සේ එසේ අන්‍යයන්ට අනුශාසනා කළ අතර ම අනුශාසකයන්ට ද එකී ක්‍රමය අනුගමනය කරන ලෙස උපදෙස් දුන්හ.

‘ පළමුවෙන් තමා අවවාදයට, අනුශාසනයට සුදුස්සෙකු විය යුතුය. අනතුරුව අනුන්ට අනුශාසනා කළ යුතුය. එවැනි ප්‍රාඥයා කෙලෙසීමට පත් නොවෙයි.’ යනුවෙන් අනුශාසනයට පෙර තමන් පිළිබඳ ස්වයං විවේචනයක යෙදෙන ලෙසට අනුශාසකයන්ට දී ඇති අවවාදය තුළින් පෙනී යන්නේ සැබෑ මාර්ගෝපදේශකයකුගේ ගති ස්වභාව තමා සතු බවය.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි උත්තිය පරිබ්‍රාජකයාට ප්‍රකාශ කරන්නේ,

‘උත්තිය, මම විශිෂ්ට ඤාණයෙන් දැනගෙනම සත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝක වැලපීම් හා දුක් දොම්නස් අන්තංගමය පිණිස, ආර්ය මාර්ගය අවබෝධය පිණිස, නිවන් සාක්‍ෂාත් කිරීම පිණිස, ධර්මය දේශනා කරන්නෙමි යනුවෙනි.

මෙසේ බුදුරජාණන් වහන්සේ දේශකයකු වශයෙන් නිසරු කිසිවක් ඉදිරිපත් නොකරන බව පෙන්වා දී තිබේ.

එමෙන් ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මොහොතේ සුභද්‍ර භික්‍ෂුව අන් ශාස්තෘන් පිළිබඳ ප්‍රශ්න කළ විට බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු නොදී සුභද්‍රට ප්‍රයෝජනවත් දෙයක් ම වදාරති.

එය ජීවිතය අවසාන මොහොතේ වුව ද බුදුරජාණන් වහන්සේගේ නිවැරැදි මාර්ගෝපදේශකත්වය නිරූපණය වන අවස්ථාවක් ලෙසින් හැඳිනගත හැකිය.

බුදුරජාණන් වහන්සේ තම මාර්ග දේශනය සඳහා උපයෝගී කරගත් ක්‍රමය කාණ්ඩ සතරකට වර්ග කර දැක්විය හැකිය. එනම්, ඒකංස, විභජ්ජ, පටිපුච්ඡා සහ ඨපනීය යනුවෙනි.

එමෙන්ම, කූටදත්ත බමුණාගේ ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේ මාර්ග දේශකයකු වශයෙන් කෙබඳු ශ්‍රේෂ්ඨත්වයකින් යුතුවීදැයි පැහැදිලි වේ.

‘ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ යහපත් තෙපුල් ඇත්තෝය. යහපත් මිහිරි බණ තෙපලන්නෝය. නොසිස් වු සිලිටි බසින් යුක්ත වන්නෝය. තමන් වෙත එන්නවුන් ‘එන්න, මෙහි ආවේ මැනවැ’ යි පිළිගන්නා චේතනාව ඇත්තෝය. මිහිර දනවන තෙපුල් ඇත්තෝය. බැම නොහකුළුවන්නෝය. ළඟට පැමිණි තැනැත්තාට තමන් ම පළමුවෙන් කතා කරන්නෝය’.

මෙසේ ප්‍රියවාදීබවින් තමාගෙන් ඉටුවිය යුතු සේවය ඉටුකිරීම නිසා බුදුරජාණන් වහන්සේ සරණ සොයා ආවෝ, උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය අගය කළහ.

තමා දෙසූ මාර්ගය අනුන්ට කියා දෙනවිට දේශකයා නො කළ යුතු කාරණා කිහිපයක් ද අනුදැන වදාළහ.

න අක්ඛිපෙ තොව පරික්ඛිපෙ පරෙ
න ඔක්ඛිපේ පාරගතං න ඒරයෙ
න වත්ත වණ්ණං පරියායුබ්‍යාහරෙ
අනුද්ධතො සම්මිත භාණි සුබ්බතෙ

* තමා හුවා නොදැක්විය යුතුය.
* අනුන් හෙළා නොදැකිය යුතුය.
* අනුන් පහත් කොට නොබැලිය යුතුය.
* සන්සුන් පැවැත්ම ඇති තැනැත්තකු, පමණ දැන කතා කරන්නකු මෙන්ම මනා පැවැතුම් ඇත්තෙකු ද විය යුතුය.

බුදුරජාණන් වහන්සේ තම මාර්ගෝපදේශකත්වය උදෙසා ඉවහල් කරගන්නා ලද්දේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන සතර බඹ විහරණයන් ය. කිසිදු භේදයකින් තොරව තුන්ලොව වසන සියලු ම සත්වයන් කෙරෙහි පතළ එකී බඹ විහරණයන් නිසාම උන්වහන්සේ අසහාය මාර්ගෝපදේශකයෙක් වූහ. එමෙන්ම සහිය කුමාර තෙමේ බුදුරජාණන් වහන්සේට පහදින්නේ ඔහු අන් ශාස්තෘවරුන්ගෙන් ප්‍රශ්න ඇසූ විට කෝපය ප්‍රකාශ කළත් බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ප්‍රශ්න ඇසීමට ඉඩදීම පිළිබඳය.

“එතු විඤ්ඤුපුරිසො අසඨො අමායාමි
උජුජාතිතො අහමනුස්සාමි අහං ධම්මං දෙසෙමි”

බුදුරජාණන් වහන්සේ තම ධර්මය ඇසීම සඳහා ඇරැයුම් කර ඇත්තේ කපටි කෛරාටිකකම් නැති අවංක බුද්ධිමතුන්ට ය. උන්වහන්සේ තම මාර්ගෝපදේශකත්වය, අවංකත්වය මුල්කරගෙන සිදුකරන්නට යෙදුණි.

“සාදු සාදු, තෙපි බොහෝ ජනයාට හිතසුව පිණිසත් ලොවට අනුකම්පා පිණිසත් කාලය ගෙවන්නාහුය”

මෙසේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප හිමියන්ගේ පරාර්ථ චර්යාව කෙරෙහි පැහැදෙමින් එය අගය කිරීම සැබෑ මාර්ගෝපදේශකයකුගේ විශිෂ්ට ලක්ෂණයන්ට උදාහරණයකි. එමෙන්ම තම ශ්‍රාවකයන්ගේ ක්‍රියාකලාපය දැක පැහැදුණු, උදම් ඇනූ වෙනත් මාර්ගෝපදේශකයකු ලොව නොමැති යැ’යි කීම නිවැරැදිය. නන්ද හිමියන් විසින් දේශනා කරන ලද ධර්මය අසා ඊට ප්‍රශංසා කරමින්, ඔබ වැනි සැදැහැයෙන් අනගාරික ජීවිතයට පිවිස සිටින අය රැස් වූ විට කළ යුත්තේ එබඳු දැහැමි කථාවක නිරත වීම බවට කෙරෙන විස්තරය එයට හොඳම නිදසුනකි.

බුදුරජාණන් වහන්සේ නියම මාර්ගෝපදේශකයකු වශයෙන් තම අනුගාමිකයන්ට දී ඇති නිදහස අගනේය. කාලාම සූත්‍රය තුළින් තම ශ්‍රාවකයන්ට සිතීමට, විමසීමට හා අදහස් ප්‍රකාශ කිරීමටත් ඉඩ සලසා දුන් අයුරු පැහැදිලි වේ.

“ එතතුම්හෙ කාලාම මා අනුස්සවෙන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානෙන මා තක්කහේතු මා නය හේතු”

කොතරම් වැදගත් අදහසක් වුව ද විමසීමට ඉඩ නොදීමෙන් එය පිළිකුලට භාජනය වේ යැ’ යි අදහස් කරමින් ධර්මය පිළිබඳ විවෘත විවේචනයකට ඉඩක් දී තිබේ.

“මහණෙනි, පඬුවන් රත්රන් දවා කපා උරගා බලන්නාක් මෙන් මගේ වචනය හුදු ගෞරවයෙන් පමණක්ම නොපිළිගත යුතුය”.

මෙයින් විමංසනය සඳහා බුදුරජාණන් වහන්සේ ලබාදුන් ඉඩකඩ මනාව නිරූපණය වේ.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ කිසිකෙනකු තමාගේ දහමේ බලයෙන් ඇද බැඳ තබා නොගත් අතර පුද්ගලයාට රිසි සේ ක්‍රියා කිරීමට අවසර ලබා දුන් සේක.

“භද්දිය, එන්න ඔබ මාගේ ශ්‍රාවකයෙක් ය, මම ඔබගේ ශාස්තෘ වෙමි යැයි මම ඔබට කීයෙම් ද ?

“ නැත ස්වාමීනී,”

“සුනක්කත්ත, එන්න මා උදෙසා වාසය කරන්න, කියා මා ඔබට කීයෙම් ද ?.

“නැත ස්වාමීනී,”

යනුවෙන් භද්දිය හා සුනක්කත්ත සමඟ කරන සංවාද තුළින් පැහැදිලි වන්නේ යම් යම් ප්‍රතිඥා දීමෙන් සසුනට, ධර්මයෙහි හැසිරීමට පුද්ගලයන් පොළඹවා ගැනීමක් බුදු දහම තුළ නොමැති බවය. වීමංසන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තම ශාස්තෘත්වය පරීක්‍ෂා කිරීමට නිදහස ඇතිබව පෙන්වා දී තිබේ. උන්වහන්සේ පෙන්වා දුන්නේ කැට කිරිල්ලියකට පවා ස්වකීය කැදැල්ලෙහි ඇය මනාප දෙයක් කථා කිරීමට නිදහස පවත්නා සේ, ඕනෑම දෙයක් ගැන විමසා තෝරා ගැනීමට තම ශ්‍රාවකයන්ට අවසර ඇති බව සඳහන් කිරීම තුළිනි.

තම මාර්ගෝපදේශකයාණන් ගැන ශ්‍රාවක පිරිස කරන අගැයීම තුළින් උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ නිරවද්‍යතාව ප්‍රකට වේ.

“මහණෙනි, කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට ඔබලා ගර්හා නොකරන්නාහු ද යන මෙය ඔබලාට පවරන්නෙමි” යි වදාළහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට අපි ගර්හා නොකරමු. භාග්‍යවතුන් වහන්සේ මඟ උපදවන සේක. නොකියවූ මඟ කියාදෙන සේක. මාර්ගයේ දක්‍ෂ සේක. මාර්ගය අනුගමනය කරන ශ්‍රාවකවරු දැන් මාර්ග සමන්නාගතව වඩිති.

බුදුරජාණන් වහන්සේ කිසිවිටෙකත් ස්වකීය ආධිපත්‍යයක් ඇති කර ගැනීමට උත්සාහ කිරීමක් හෝ ඒ පිළිබඳ දෙසීමක් හෝ නොකළහ.

“මම සංඝයා පරිහරණය කරමි යනුවෙන් හෝ සංඝයා මා උදෙසා විසිය යුතුය යන හැඟීමක් මට නැත”.

මේ අනුව ආධිපත්‍යයකින් තොර වු නිදහස් මාවතක් ඔස්සේ ගමන් කරන අනුගාමිකයන් පිරිසක් බිහිකිරීම බුදුරජාණන් වහන්සේගේ වුවමනාව වූ බව පෙනේ. අන්තවාදී ලෙස යම් යම් ඉගැන්වීම්වල එල්බගෙන එම ඉගැන්වීම් පමණක් සත්‍යයැ’ යි ද අන් ඉගැන්වීම් සියල්ල අසත්‍යයැ’ යි යනාදි වශයෙන් ගැනීම අනුවණකමක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

අයථා ලෙස එකි නිදහස් චින්තනය යොදවමින් කටයුතු කරන තම ශ්‍රාවකයන් දෙස උපේක්‍ෂාවෙන් බලමින් කරුණු ඉදිරිපත් කළ අසහාය මාර්ගෝපදේශකයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. “නිර්වාණයත්, ඊට සපැමිණි හැකි නිර්වාණ මාර්ගයත් පැහැදිලිව පිහිටා ඇති කල්හිත්, ඇතැම් ශ්‍රාවකයන් මා විසින් අවවාද අනුශාසනා දෙනු ලබන කල්හිත්, නිර්වාණය වූ කලී අත්‍යන්ත නිෂ්ටාවකි යැ’ යි නිර්වාණයට විවිධ අර්ථකථන හා ආකල්ප සංකල්ප ආරෝපණය කරමින් සිටිති. ඔවුහු නිවන් අරමුණු කොට සසරින් මිදීමට උත්සාහ නොගනිති.

“ඒව මේව ඛෝ බ්‍රාහ්මණ තිට්ඨන්තෙව නිබ්බාණමග්ගං .... අථ ච පන මම සාවක මයා ඒවං ඔවදියමානා ඒවං අනුසාසියමානා අප්පේකච්චෙ අච්චන්තතිට්ටං නිබ්බාණං ආරාධෙන්ති. ඒකච්චේ නාරාධෙන්ති ඔත්ථ ක්‍යාහං බ්‍රාහ්මණ කරෝමි.”

මෙයින් ප්‍රකට වන සුවිශේෂි කරුණ නම් තථාගතවරු වනාහි මාර්ගය කියාදෙන්නෝ පමණි යැ ‘ යි බුදුරජාණන් වහන්සේ සිදුකරන කරුණු පැහැදිලි කිරීමයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන මාර්ගයෙහි ගමන් කිරීම හෝ නොකිරීම ශ්‍රාවකයන්ගේ කටයුත්තක් බවත් බුදුරජාණන් වහන්සේ හුදු මාර්ගෝපදේශකයකු පමණක් බවත් මෙහිදී මනාව පෙන්වා දෙනු ලැබේ.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දත් සියල්ලම දේශනා නො කළහ. ඒ ගුරු මුෂ්ටියක් වශයෙන් තබා ගැනීම සඳහා නොව ලෝවැස්සන්ට ප්‍රයෝජනවත් නොමැති බැවින් යැ’ යි සංයුක්ත නිකායේ දී බුදුරජාණන් වහන්සේ ම දේශනා කරති.

“ මහණෙනි, කවරක් නම් වැඩියැ’ යි ඔබ සිතන්නහු ද මා විසින් අත්ලෙන් ගන්නා ලද ඇට්ටේරියා කොළ සමූහය ද ? නැතහොත් අවට ඇට්ටේරියා වනයෙහි තිබෙන කොළ ද ?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අත්ලෙන් ගන්නා ලද ඇට්ටේරිය කොළ ඉතා අඩුය. එහෙත් අවට ඇට්ටේරිය වනයෙහි තිබෙන කොළ ඉතා වැඩිය.”

“එපරිද්දෙන් මහණෙනි, මා දන්නා නමුත් දේශනා නොකරන ලද දේ ඉතා වැඩිය. දේශනා කරන ලද දේ ඉතා අඩුය. කවර හෙයින් මවිසින් එය නොදෙසනා ලද්දේ ද ?. මහණෙනි, එය ප්‍රයෝජනවත් නොවන හෙයිනි. නිර්වාණය ලැබීමට ප්‍රයෝජනවත් නොවන හෙයිනි.”

මේ අයුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්වයාට දෙලොව දියුණුව සඳහා හේතුවන දේ පමණකි. මාර්ග සත්‍යාවබෝධයට අදාළ නොවන සියලු කරුණු බුද්ධ දේශනාවෙන් බැහැර කරන බුදුරජාණන් වහන්සේ නිර්වාණගාමී මාර්ග සත්‍යාවබෝධයම සත්ව ප්‍රජාවට දෙසති. එහෙයින් තමන් වහන්සේ අවබෝධ කොටගත් ධර්මය මාර්ග ප්‍රතිපදාවක් වශයෙන්ම විවරණය කොට පෙන්වන බව බුදුරජාණන් වහන්සේ ම ‘පොට්ඨපාද’ සූත්‍රයෙන් මෙසේ දක්වන්නාහ.

“ඒතං හි ඛෝ පොට්ඨපාද අත්‍ථසංහිතං ඒකං ධම්මසහිතං ඒකං ආදී බ්‍රහ්මචරියකං ඒකංහි පොට්ඨපාද නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, උපසමාය අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති. තස්මා ඒකං මයා බ්‍යාකතන්ති.

මේ අනුව පැහැදිලි වන්නේ දෙසිය යුතු දෙය පමණක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ විශිෂ්ට මාර්ගෝපදේශකයකු වශයෙන් හඳුනා ගත හැකි බවයි. බුදුරජාණන් වහන්සේ ගේ මාර්ගෝපදේශකත්වයේ කිසිවිටකත් ගුරු මුෂ්ටියක් නොවීය. එය විවෘතවම ඉදිරිපත් කළහ. එය හක් ගෙඩියක් මෙන් ඇතුළත පිටත දෙකම එක සේ ධවලය.

“දෙසීතො ආනන්ද, මයා ධම්මො අන්තරං අබාහිරං කරිත්වා

න තත්වානන්ද තථාගතස්ස ධම්මේසු ආචරියමුට්ඨී”

මෙසේ ආනන්ද හිමියන්ට දේශනා කරන්නේ තමන් ගුරුමුෂ්ටි තබා නොගත් බවයි. බුදුරජාණන් වහන්සේගේ මෙකී විවෘත බව පැහැදිලි වන හොඳම නිදසුනක් ලෙස පිරිනිවන් මංචකයේ දී අවසාන වශයෙන් භික්‍ෂූන් අමතා තමාගෙන් දැනගත යුතු යමක් ඇත්නම් ඒ සියල්ල විමසන ලෙස කරන ප්‍රකාශයෙන් හඳුනාගත හැකිය. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ පරමාර්ථය පරාර්ථ සේවය බව ඉහතින් ද විස්තර කළෙමු. ඒ පරාර්ථ වූ මාර්ගෝපදේශකත්වයේ දී තථාගතයන් වහන්සේට, සැගවිය යුතු නැති කරුණු සතරක් ද චෝදනා නො කළ හැකි කරුණු තුනක් ද දක්වා ඇත.

“මහණෙනි, තථාගතයන් වහන්සේට සැඟවිය යුතු නැති කරුණු සතරකුත්, චෝදනා නො කළ හැකි කරුණු තුනකුත් තිබේ.”

සැඟවිය යුතු නොවන කරුණු සතර නම්,

තථාගතයන් වහන්සේ පිරිසුදු කාය සමාචාර ඇති සේක.
තථාගතයන් වහන්සේ පිරිසුදු වාක් සමාචාර ඇති සේක.
තථාගතයන් වහන්සේ පිරිසුදු මනෝ සමාචාර ඇති සේක.
තථාගතයන් වහන්සේ පිරිසුදු ආජීව ඇති සේක.
චෝදනා නො කළ හැකි කරුණු තුන නම්,
තථාගතයන් වහන්සේ ස්වක්ඛාත ධර්ම ඇත්තෝ නොවෙති ‘ යි කියා ද,

තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිබ්බානගාමී පටිපදාව මැනැවින් නොපෙන්වන ලදැ’ යි කියා ද,

තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අර්හත්බව ලබා වාසය නො කරති’ යි කියා ද යනුවෙනි.

මිහිපිට පරමාදර්ශී මාර්ගෝපදේශකත්වයේ ශ්‍රේෂ්ඨ මහත්මා ශක්තිය මෙහි අන්තර්ගතය. අප මාර්ගෝපදේශකයාණන් අනුගමනය කළ දේශනා විලාශයත් කායික, වාචසික, මානසික සංවරය සහ අධ්‍යාත්මික අසමසමත්වයත් නිසා දේශිත ධර්මය සත්‍ය විය. එය අනුගමනය කළෝ පරම විමුක්තිය ලැබූහ. එමෙන්ම උන්වහන්සේගේ ඒ ධර්ම දේශකත්වය අසමසම විය. ඒ බව ත්‍රිපිටකයේ විවිධ තැන්වලදී අපට හඳුනාගත හැකිය. වරක් පිංගියානි බමුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ඒ පිළිබඳ කරන වර්ණනය ද එවැන්නකි.

“බඩගින්නේ සිට දුර්වල වූ තැනැත්තකුට මී වදයක් ලැබුණොත් මී වදය කොතනින් හෝ උරා බී සෑහීමට පත් වී මිහිරි රසයක් ම විඳී. ඒ සේම ගෞතමයන් වහන්සේගේ ධර්මය කවර කොටසක් ඇසූවත් ඒ අසන තැනැත්තා අපමණ සතුටක් ලබයි.

සුදු සඳුන් හෝ රත් සඳුන් කැටයක් ලබන කිසියම් තැනැත්තෙක් එය කවර තැනකින් ආඝ්‍රාණය කළත් නොසෑහෙන සුවඳක් ලබයි. එමෙන්ම තථාගතයන් වහන්සේගේ ධර්මයේ කවර තැනකින් ඇසූවත් ඒ අසන්නා අප්‍රමාණ සතුටක් ලබයි.

ලෙඩක් සෑදී දුකට පත් රෝගියකුගේ අසනීපයක් දක්‍ෂ වෛද්‍යවරයකුගේ එක බෙහෙතින් සැණකින් ඉවත්වන්නා සේ තථාගතයන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් කෙනකුගේ ශෝක, වැලපුම, දුක් දොම්නස් ආදිය සැනකින් හා මැනවින් ඉවත් වේ.

ග්‍රීස්මයෙන් ක්ලාන්ත වූ පිපාසිත වු මිනිසෙක් පැහැදිලි පිරිසුදු දිය ඇති, සුදු වැලිතලා හා මනා තොටක් ඇති පොකුණකට පැමිණ පොකුණට බැස පැන් පානය කොට ග්‍රීස්මය හා පිපාසය නිවා ගනී ද එමෙන්ම ගෞතමයන් වහන්සේගේ ධර්මයෙහි කවර අංගයක් හෝ ඇසීමෙන් සියලුම ක්ලාන්ත පිපාසාදිය සංසිදේ.

මෙසේ වර්ණිත බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය තුළින් පෙනී යන්නේ විශිෂ්ට මාර්ගදේශකත්වය සඳහා උපයුක්ත භාෂා මාධ්‍යයයි. ලෞකික වූ වචන සමුදායකින් අලෞකික වූ දෙයක් විස්තර කිරීමට නොහැකි නමුත් අභියෝගය අභිභවනය කරගත් බව උන්වහන්සේගේ දේශනා විලාශය තුළින් ගම්‍යමාන වේ. ආලවක යකුන් බුදුරජාණන් වහන්සේගේ මාර්ගදේශනය අවසානයේ උන්වහන්සේගේ දේශනා විලාසය වර්ණනා කරන අයුරින් ද යථෝක්ත කාරණය වටහා ගත හැකිය.

“ගෞතමයන් වහන්සේ ඉතාම මැනෑවින් මට පහදා දුන් සේක. යටිකුරු වූ දෙයක් උඩුකුරුකර පෙන්වන්නාක් සේද, මංමුලා වූවකුට පාර කියා දෙන්නා සේ ද, ඇස් ඇත්තන්ට රූප දැකීම සඳහා අන්ධකාරයේ තෙල් පහනක් අල්ලන්නාක් සේද බුදුරජාණන් වහන්සේ මට මැනැවින් කරුණු පහදා දුන් සේක”.

මේ අයුරින් ත්‍රිපිටකය පුරාම අපට දැකිය හැකි සුවිශේෂ කාරණයක් වන්නේ බුදුරජාණන් වහන්සේගේ අසමසම මාර්ගෝපදේශකත්වයයි. උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ නිවන් අරමුණු කර ගැනීම පමණක් නොව ලෞකික පුද්ගලයන්ට පවිත්‍ර වූ සාධාරණ දිවි පැවැත්මෙහි අගය ගැන කළ දේශනාද ඇතුළත් ය. එකල බාහිර විමුක්තිය අරමුණු කොටගෙන ගොඩනැඟුණු යාඥා ක්‍රමය වෙනුවට අධ්‍යාත්මික ශාන්තිය පසක් කරලීම සඳහා ආර්ය මාර්ගය දේශනා කළ බුදුරජාණන් වහන්සේ මිනිස් සන්තානයේ ගැබ් වී තිබූ නිවහල් බව අවදි කළ සේක. “ආරහථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ” යනුවෙන් “යහපත් වැඩ අරඹව්, කරව්, ඒ වැඩ සඳහා නික්මෙව්, ඒ වැඩවල යෙදෙව්” යනුවෙන් තම සිවුවනක් පිරිසට අවවාද කළ බුදුරජාණන් වහන්සේගේ මාර්ගදේශකත්වය අධ්‍යාත්මික හරයන් උදෙසා වූවක් බව මැනැවින් ප්‍රකට වේ.

පරිනිබ්බාන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ තමන් වහන්සේ මාර්ගෝපදේශකයකු, ගුරුවරයකු මිස ගැලවුම්කරුවකු නොවන බවත් මාර්ගය කියා දීම හැර බලහත්කාරයෙන් කෙනකු එම මාර්ගයේ ගෙන ගොස් බලයෙන්ම ඔහු නිවන් පුරට ඇද දැමීම තමාට කළ හැකි දෙයක් නොවන බවත් ය. එමෙන්ම උන්වහන්සේගේ මාර්ගදේශකත්වයේ මුඛ්‍ය පරමාර්ථය සසර කෙටි කර ගැනීම හෙවත් නිවන් කරා යොමුකරවීමය. එය තම තමන් විසින්ම ළඟා කර ගනු ලැබිය යුත්තක් බව තථාගතයන් වහන්සේගේ අවසාන දේශනයෙන් ද ගම්‍ය වේ.

“හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ”

“මහණෙනි, දැන් නුඹලා අමතමි, සංස්කාරයන් නැසෙන සුළුය. අප්‍රමාදයෙන් සම්පාදනය කරව්”.

මෙය පන්සාළිස් වසක මාර්ගදේශකත්වය නිම කළ තථාගතයන් වහන්සේගේ අන්තිම අවවාදය විය.

මේ නයින් බුදුරජාණන් වහන්සේ තරම් විශිෂ්ට මාර්ගෝපදේශනයකින් යුතු වෙනත් ශාස්තෘවරයකු හෝ දාර්ශනියකු හෝ තුන් ලෝකයේම නොමැති බව සක්සුදක් සේ පැහැදිලිය.

“බුද්ධ ධර්මය සර්ව ශුභවාදී නොවේ. අශුභවාදී ද නොවේ. ජීවිතයත් ලෝකයත් ඇති සැටියෙන්ම (යථාභූතං ) දක්නා හෙයින් එය යථාර්ථවාදි යැයි කිව හැකිය.

මිනිසා බොරුවෙන් නළවා මායා ලෝකයක සැතැපවීමක් හෝ බොරු බියවලින් සහ පව්වලින් තැති ගැන්වීමක් හෝ බුද්ධ ධර්මයේ නැත්තේ ය. මිනිසා කවරෙක් ද, ඔහු වටා පිහිටි ලෝකය කුමක්ද , යන්න තතු පරිද්දෙන් නොවළහා කියා දෙන බුද්ධ ධර්මය සැබෑ නිදහසත්, සැනසීමත්, සතුටත් පිළිබඳ මාර්ගය පෙන්වා දෙයි.

මෙසේ මාර්ගෝපදේශකයකු වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් කිසිවිටෙකත් ලෝකය නොරවටන ලද බව පරම සත්‍යයකි. තුන් ලෝකයේම විශිෂ්ට මාර්ගෝපදේශකයාණන් නම් බුදුරජාණන් වහන්සේම බව නුවණැතියන්ට වැටහේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ යනු පැහැදිලිවම දේවදූතයකු හෝ ගැලවුම්කාරයකු නොවේ. හුදෙක් මඟ පෙන්වන්නකු ම පමණක් බව ( අක්ඛාතාරෝ තථාගතා ) පෙළ දහමෙහි මනාව විග්‍රහ වේ.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 30 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.50 ලබයි.
ජූලි 01 වන දා සිකුරාදා අපර භාග 02.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි 08 වනදා
සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]