පොසොන් අමාවක 2011.06.30
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ද?
රටක් වශයෙන් අප ලජ්ජාවට පත් කැරෙන ආකාරයේ
තොරතුරක් මානව හිමිකම් හා සංවර්ධනය සඳහා නීතීඥයෝ
(LHRD)
නමැති සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ නීතීඥ කල්‍යානන්ද තිරාණගම
මහතා විසින් පසුගිය දා අනාවරණය කැර තිබේ. කොළඹ රේණුකා හෝටලයේ
පැවැති සම්මන්ත්‍රණයක දේශනයක දී ඒ මහතා අනාවරණය කැර ඇත්තේ, ළමා
අපයෝජන හා කාන්තාවන්ට එරෙහි ලිංගික වැරැදි සම්බන්ධයෙන් ලැබුණු
පැමිණිලි සංඛ්‍යාව 1995 දී 900 ක් වූවද 2010 දී එය 2000 දක්වා
ඉහළ ගොස් ඇති බව ය.
මේ සංඛ්‍යා ලේඛන මඟින් අප ඉදිරියේ අඳිනුයේ සැබෑ චිත්‍රය නො වන
බව ද අපි තේරුම් ගත යුත්තෙමු. මේ සංඛ්‍යා ලේඛන හුදෙක් පරිපාලන
ජයග්‍රහණ පිළිබඳ සංකේත මිස අයහපත් සමාජ ක්‍රියාකාරීත්වයේ සැබෑ
ප්‍රකාශනය නො වේ. එ බැවින් සමාජයේ සැබෑ තත්ත්වය සොයා ගැනීමට අප
උත්සාහ දැරිය යුතු අතර ම මේ බොල් සමාජ අස්වැන්න ගැන බෞද්ධයන්
වශයෙන් ලජ්ජාවට හා බියට පත්විය යුතු ය.
ළමා අපයෝජන හා කාන්තාවන්ට එරෙහි ලිංගික වැරැදි පිළිබඳ පැමිණිලි
සංඛ්‍යාව මෙ සේ ඉහළ ගොස් ඇත්තේ, 1995 දී නව නීති රීති හඳුන්වා
දී තිබිය දී බව ද නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කැර
තිබේ. එයින් පැහැදිලි වන එක් කරුණක් නම්, දඬුවම පමණක් පිළියම
නො වන බව ය.
මෙහි දී යෙදිය යුතු පිළියම් දෙකක් තිබේ. එයින් පළමු වැන්න නම්,
පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම ය. දෙවන පියවර වන්නේ, අපරාධ
පාලනය සඳහා බුදු දහමෙන් ආලෝකයක් ලබා ගැනීම යි.
විවාහ සංස්ථාව ශක්තිමත් කිරීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු
දැක්වෙන උපුටා ගැනීමක් මෙහි පහත පළ කරමු. එය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
අසංග තිලකරත්න ලියූ ‘ස්වාමිභාර්යා සම්බන්ධය’ නමැති ලිපියෙනි.
‘පවුල් ජීවිතයක් ගත කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රධාන දෙය
ලිංගික තෘප්තිය ලබා ගැනීම පමණක් විය නො හැකි ය. හුදු ලිංගික
ආසාවන් පිරිමසා ගැනීමට පමණක් නම් ලෝකයෙහි කවදත් මාර්ග සකස් වී
තිබී ඇත. ඊට වඩා වැදගත් පෞද්ගලික සාමාජික අරමුණු වැදගත් වේ.
ඇමෙරිකා පවුල් සේවා සංවිධානය නමැති සුප්‍රකට ආයතනය මඟින්
පිළිගෙන ඇති පරිදි විවාහ ජීවිතය සතු කාර්යයන් මෙ සේ ය.
1. මූලික ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් වන ප්‍රජනනය කිරීම හා
විශේෂ සංස්කෘතික හා පාරම්පරික උරුමයන් පරපුරෙන් පරපුරට යැවීම.
2. කායික ආරක්‍ෂාව සහ වර්ධනයට අදාළ කටයුතු සැපයීම.
3. මානසික සහනය හා තෘප්තිය ලබා ගැනීම හා සමාජික, ආගමික, මානසික
හා බුද්ධිමය වර්ධනය සඳහා අවශ්‍ය අවස්ථාවන් සැපයීම.
4. සමාජයේ නිහතමානී චරිත ලක්‍ෂණ හා ආචාරාත්මක පදනමකින් යුතු
ජීවන තත්ත්වයක් වර්ධනය කිරීම.
5. පවුලේ සාමාජිකයන් අතර සාමය පවත්වා ගැනීම මෙන් ම ධනය හා
වස්තුව ද වගකීමද සාමාජිකයන් අතර බෙදාදීම.
6. පවුලේ සාමාජිකයන් හා පිටස්තර සමාජය අතර යහපත් සබඳතාවක් ගොඩ
නැංවීම.
මෙ බඳු පුළුල් අරුතකින් යුතු විවාහ සංස්ථාවක් ගොඩනැඟිය හැකි
නම්, ලිංගික අපචාර වළක්වා ගැනීමට පුළුවන. අපරාධ වැළැක්වීම සඳහා
බුදුදහමෙන් ලබා ගත හැකි උපයෝගීතාව දැක්වෙන උපුටා ගැනීමක් මෙහි
පහත පළ කරමු. එය, මහාචාර්ය නන්දසේන රත්නපාල ලියූ ‘බුදුසමයයි,
අපරාධ විද්‍යාවයි’ නමැති ලිපියෙනි.
‘ලංකාවේ අපරාධ විද්‍යාව දියුණු කිරීමට බුදු දහමින් ලැබෙන ආධාරය
ගැන අප කල්පනා කළ යුතු ය. අපරාධ නීති පිළිබඳ සමාජ විද්‍යාත්මක
වර්ධනය වටහා ගැනීමට මෙන් ම අපරාධ වලට මුල් වූ සංකීර්ණ හේතු
හඳුනා ගැනීමට ද අපරාධ අඩුකිරීමට ගත යුතු පියවර වටහා ගැනීමට ද
බුදුදහම අපට විශාල ඥාන සම්භාරයක් සපය යි. මෙතැන දී පළමුවෙන් ම
බුදු දහමේ එන නීති රීති අප විසින් හැදෑරිය යුතු ය. මේවා විනය
නීති නමින් සංඝ සමාජය උදෙසා පනවා ඇත. මීට අමතරව ‘ගිහි නීතිය’
(ගිහි විනය) නමින් හැඳින්වෙන (සිඟාලෝවාද සූත්‍ර වැනි) කොටස්
දක්නට ලැබේ. විනය නීති පනවා ඇත්තේ එක්තරා දර්ශනයක පිහිටමිනි.
මේ දර්ශනය මධ්‍යම ප්‍රතිපදාවෙන් නියෝජනය වෙයි. ශීල, සමාධි,
ප්‍රඥා යන මූලික අංග මත පිහිටි මධ්‍යම ප්‍රතිපදාව නිවන කරා අප
ගෙන යන ඒකායන මාර්ගය යි. ගිහි වුවත්, පැවිදි වුවත් නිවනට යන්නට
අප කාටවත් මධ්‍යම ප්‍රතිපදාව හැර වෙතත් මඟක් නැත.’
‘මා මෙ සේ තර්ක කරන්නේ ශීල - සමාධි – ප්‍රඥා මූලධර්ම මුල් කොට
සංඝ සමාජය උදෙසා පැන වූ නීති, ගිහි සමාජයට උචිත ලෙස සකස් කර ගත
හැකිය යන අර්ථය මතු කරන්නට ය. බෞද්ධ නීතිය, ‘චේතනාව‘ මුල් කර
ගනියි. එය තවදුරටත් සිත, කය, වචනය හා චේතනාව අතර වෙනස බලයි.
නූතන නීතිය MENSREA නමින් හඳුන්වන්නේ ද මෙය යි. ”
මේ පිළිබඳ ව අප සමාජයේ දැඩි අවධානය යොමු විය යුතු ය. |