UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
සාධු සමාජයක ගති ලක්‍ෂණය වන්නේ එක් අයෙකුගේ යහපත් බව සමස්ත සාධු සමාජයේම යහපත් බවේ ඓක්‍යයයි. පෙළ දහමට අනුව එය පැහැදිලි කරන්න.

පිළිතුර
සුමන වග්ග මහාසාල සූත්‍රයේ (අං.නි. අනුව) බුදුරජාණන් වහන්සේ වරෙක ඒක පුද්ගල යහපත, සද්ධං කුලපුත්තං නිස්සාය හේතුවෙන් අන්තොජනා වටා සිටින්නවුන් (ඇසුරු කරන්නවුන්) කරුණු පහකින් අභිවෘද්ධියට පැමිණෙන බව දේශනා කළහ.

එනම්,
1. සැදැහැයෙන් වැඩිදියුණු වේ (සද්ධා)
2. සිල්වත් බවින් වැඩි දියුණුවේ (සීල)
3. පරිත්‍යාගයෙන් (දීමෙන් (චාග) වැඩිදියුණු වේ.
4. ප්‍රඥාවෙන් වැඩි දියුණු වේ. (පඤ්ඤා)
5. ශ්‍රෘතයෙන් (ඇසීමෙන්) (ශ්‍රැත) වැඩිදියුණු වේ.
යන කරුණු මගින් පුද්ගල යහපත සිදුවන බව පැහැදිලි කර ඇත.


ප්‍රශ්නය
බුදු දහමට අනුව සසර පැවැත්මට ප්‍රධාන සාධකයකි තෘෂ්ණාව. මිනිස් මනස තුළ තණ්හාව උපදවන හේතු කාරකයන් අතර ඉච්ඡාව (ආශාව) මූලික වෙයි. එම දුර්ගුණයන් රහත්බව දක්වාම මිනිස් මනස තුළ ක්‍රියාත්මක වෙයි. සිව්වැදෑරුම් වූ ඉච්ඡාව නම් වූ දුර්ගුණ මොනවාද?

පිළිතුර
ඉච්ඡා (ආශාව) නම් දුර්ගුණ මෙසේ ය.

1. අත්‍රිච්ඡතා -
තමා වෙත කෙතෙක් ලැබුණත් තෘප්තිමත් නොවීම හා අනුන් සන්තකය තමා වෙත ලබා ගැනීමට ඇති ලොල්බව අත්‍රිච්ඡතාවයයි. මෙම අත්‍රිච්ඡතාවයෙන් යුක්ත පුද්ගලයාට සැමවිටම තමාවෙත ලැබුණු දෙයට වඩා අනුන් සතු දෙයම මහත්ය. වටිනා බවින් ද වැඩිය යනුවෙන් මානසික අවනතියට පත්වෙයි.

2. පාපිච්ඡතා -
තමා කෙරෙහි නැතිගුණ පහළ කිරීම හා පිළිගැනීමෙහි පමණ නොදන්නා බව පාපිච්ඡතා නම් වෙයි. කුහක පිළිවෙතක්ම අනුගමනය කරන මොහු ශ්‍රද්ධා සීලාදී ගුණ දහමින් පිරිහුණද ලොවට ඒ බව සඟවා සත්ගුණවතෙක් සේ පෙනී සිටී.

3. මහිච්ජතා -
මහත් ආශා හෙවත් කිසිදිනක තෘප්තිමත් නොවන ලෝභී බවයි.

4. අප්පිච්ඡතා
ඇතිගුණ ප්‍රකට නොකිරීම සහ පිළිගැනීමෙහි පමණ දන්නා බව අප්පිච්ඡතාවයයි අප්පිච්ඡතාවය මහත් ගුණයකි. තමන් කිසිවිටකත් තමා සතු සද්ගුණයන් අනුන් වෙත දැනගැනීමට අකමැති වෙයි. එම ශ්‍රාවක හඳුනාගැනීම ඔහු බලවත් සේ විමසිලිමත්ව සිටීම පිළිවෙතක් කර ගනී.


ප්‍රශ්නය
දෙවි මිනිසුන් සහිත ලෝකයාට ඉතා කඩිනමින් (දෙව මනුස්සාන නචිරස්සෙව) භෝග සම්පත් බහුල කරගත හැකි හේතු හතරක්. (මහන්තං වෙපුල්ලත්තං පාපුණන්ති භොගෙසු) බුදු දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ ලෞකික සම්පත් බහුල වීමට හේතු කාරණ හතරක් (අං.නි) චක්ක සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි. එනම්,

පතිරූප දේශ වාසය

1. තමාට සුදුසු (ප්‍රතිරූප) අභිරුචියට හේතුවන පෙදෙසක විසීම.
2. සත්පුරුෂ ආශ්‍රය
3. ආත්ම පාරිශුද්ධිය (සඤ්ඤත දමිත බව) සිත හා කයෙහි තැන්පත් බව පෙර වාසනා (පින් ඇති) පුබ්බේච කතපුඤ්ඤ ගුණය ඇති බව.


ප්‍රශ්නය
දානය දස පාරමිතාවලින් පළමු වැන්නයි. ලොව්තුරා බුදු බව පතා යන ආර්ය මාර්ගයෙහි එක් බෝසත් ගුණයක් ද වෙයි. පෙළ දහමෙහි දානය යන සත් ක්‍රියාවට විවිධාර්ථ දැක්වෙන පුවත්, සඳහන් වෙයි.පරිත්‍යාගය කරන්නා සහ එය ලබන්නා (දායක – ප්‍රතිග්‍රාහක) දෙපාර්ශ්වය ම ප්‍රතිදානයක් ලබන අන්දම සුප්පාවාස කෝලිය සිටු දියණියට දේශනා කොට වදාළ දහම් පිළිවෙතින් පැහැදිලි වේ. පෙළ දහම් තොරතුරු ඇසුරු කරමින් පැහැදිලි කරන්න.

පිළිතුර
(අං.නි. 4 – 120 පිටු) සුප්පාවාස සූත්‍රයට අනුව සුප්පාවාසාවෙනි, දන් දීමෙන් ප්‍රතිග්‍රාහක වෙත (ලබන්නාට) ලැබීම් පහක් දී දායක හෙවත් දෙනු ලබන්නාට එම ලැබීම් ප්‍රතිදානයක් වශයෙන් ලබා ගනී. (සුප්පාවාසෙ අරියසාවි පටිග්ගාහකානං චත්තාරිඨානානි දෙති)

1. ආයුෂ දෙයි (ආයුං දෙති)
2. වර්ණය දෙයි (වර්ණං දෙති)
3. සැපය දෙයි (සුඛං දෙති)
4. බලය (ශක්තිය) දෙයි (බලං දෙති
5. ප්‍රඥාව
මෙම දානයෙන් දායක පක්‍ෂයද ආයු වර්ණ සැපය බලය හා නුවණ යන ප්‍රතිලාභයන් ලබයි.


ප්‍රශ්නය
නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සන් දිට්ඨිකය (සන්දිට්ඨිකො) දහමෙහි ඇති මෙම ගුණය ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර
දිට්ඨි නම් දැකීමයි මනා (යහපත්) දැකීම සන්දිටිඨික නම් වෙයි. ඒ මනා දැකීමට සුදුසු වූ යමක් වේද ඒ සන්දිට්ඨික ගුණයෙන් යුතුය. නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා ප්‍රතිවෙධ වශයෙන්ද ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවෙධ වශයෙන් ද දකිනු ලබන්නේ සසර බිය තුනී වී යයිද ඒ නිසාම වස්ත්‍රයට නිසිවූයේ “වත්ථික” වන්නාසේ ම මනා දැකීමට සුදුසු වූයේ සන්දිට්ඨික නම් වෙයි.


ප්‍රශ්නය
පැරැණි ශ්‍රී ලංකා පුරාවිද්‍යා ගවේෂණවලදි බෝධි සත්ව ප්‍රතිමා බොහොමයක් හමු වී තිබේ. මෙම බෝධි සත්ව ප්‍රතිමා හමු වූ ස්ථාන පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර
අනුරාධපුර අභයගිරි විහාර සන්නිපාත ශාලාව අසළ තිබී බෝධි සත්ව ප්‍රතිමා දෙකක පාද කොටස් පමණක් සොයාගෙන තිබේ. ඒ හැර දිග්ගලට බටහිරින් ඇති ආරාමයේ ස්ථූපයට ඊසාන දෙස විශාල ප්‍රතිමා ගෙයක් බෝධි සත්ව ප්‍රතිමා සඳහා වෙන් වූවක් සේ අනුමාන කළ හැකි ය.

තවද අභයගිරි ව්‍යාපෘතියේ කැණීම්වලින් බෝධි සත්ව ප්‍රතිමාවක් ලෙස සැලකිය හැකි ගල් පිළිමයක උඩකොටස හමුවිය. හිටි පිළිම සඳහාත් පද්මාසන එහි දක්නට ලැබෙයි. විශාලතම බෝධිසත්ව ප්‍රතිමාව මොණරාගල දිස්ත්‍රිකකයේ දඹේගොඩ ප්‍රදේශයේ දී ද හමු වී ඇත.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]