ගුණවත් චරිතය මහඟු අබරණකි
අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත නිකායේ අනුනායක
තිරිකුණාමලයේ ආනන්ද හිමි
නිවෙසේ බුදුන් වැදීම සියලු දෙනා එක්ව මහත් ගෞරවයෙන්,
ශ්‍රද්ධා ගුණ පෙරදැරිව සිදු කෙරෙන්නේ නම් එය පවුලේ සියලු දෙනාගේම චරිත
සංවර්ධනයට මහත් අනුබලයක් වනු ඇත.
එසේම, විශාල අවබෝධයක් පවුල තුළ ගොඩ නැඟීම ද එතුළින් සිදු වේ.
බුදු දහම යනු ප්‍රතිපත්තිය මුල් කර ගත් දර්ශනයකි. විශේෂයෙන්ම බෞද්ධයා
දස කුසල් ප්‍රත්පත්තිය අනුව පිළිවෙත් පිරීම කළ යුතුයි. දාන, ශීල භාවනා
ඔස්සේ ප්‍රතිපත්ති පිරීම කළ යුතුය.
අප සමාජයේ ජීවත් විය යුත්තේ බෞද්ධයන් බව කාටත් පැහැදිලිව හඳුනාගත හැකි
අයුරිනි. විදේශිකයකුට වුවද අප බෞද්ධයන් බව පහසුවෙන් හඳුනාගත හැකි විය
යුතුය.
මේ සියල්ලටම මුල් වන්නේ අපගේ හැසිරීම් රටාවන් ය. පුද්ගලයකුගේ මෙලොව
ජීවිතය මෙන්ම පරලොව ජීවිතය ද සාර්ථක කර ගැනීමට උපකාරී වන්නේ ඔහුගේ
ක්‍රියාකාරකම් හෙවත් හැසිරීම් ය.
වර්තමාන සමාජය තුළ ධර්ම සන්නිවේදනය විශාල ලෙසින් පැතිරී ගියත් දහම් පොත
පත වැඩියෙන් ජනතාව අතරට ගියත් ජනතාවගේ ප්‍රතිපත්ති ගරුක බව නම් ඉතා
මඳය. 1956 බුද්ධ ජයන්තියත් සමරා 2600 සම්බුද්ධත්ව ජයන්තිය අප සමරනුයේ
වඩා දියුණු සමාජයකය. මේ දියුණුවට සමගාමීව චරිතවත් බව හා
ප්‍රතිපත්තිගරුක බව මුල් තැනක් ගෙන තිබිය යුතුය.
එසේ වී නම් එය සමස්ත ජනතාවගේම දියුණුවට බලපානු ඇත. නියම පිළිවෙත අප තුළ
නොමැත්තේ නම් බෞද්ධයන් යැයි සිතාගත් පමණින් අප බෞද්ධයන් වන්නේ නැත.
බෞද්ධ හැදියාව සැම විටම ක්‍රියාකාරකම්වලින් මතු වී පෙනිය යුතුය.
විශේෂයෙන් අපගේ කතා බහ, ගමන බිමන ඇතුළු ක්‍රියාකාරකම්වලින් ද සමස්ත
ජීවිතය තුළින් ද සිල්වත් බව නොපෙනේ නම් සමාජය ගුණ ගරුක වන්නේ නැත.
ආගම්, ජාති ආදී වශයෙන් අප බෙදී සිටියත් බුදු දහම කාටත් පොදු දර්ශනයක්
බවත්, එහි ජාති, කුල මල ආදී කිසිදු භේදයක් නොපවතින බවත් අප වටහා ගෙන
කටයුතු කළ යුතුය. විශේෂයෙන් පන්සල් සුරකින සමාජයක සැම විටම දියුණුව
ඇතිවන බව අප සිත්හි තබා ගැනීම අවැසි වේ.
ගුණ දහම් පිරිහෙන සමාජය ගුණ දහම් හඳුනන සමාජයක් බවට පත් කළ හැකි වන්නේ
පංච ශීල ප්‍රතිපත්තියට මුල් තැනක් දීමෙනි. මානුෂීය ගුණාංග සුරැකීමට
බෞද්ධයන්ම විය යුතු නැත. පංචශීලයේ වටිනාකම හඳුනා ගැනීමට බුද්ධිමත් කා
හටත් හැකියාව තිබේ. පළමුව තමන් ශීලයෙහි ගුණ ධර්මයෙහි පිහිටා කටයුතු කළ
යුතුය.
තමන්ට පළමුව සැනසීම උදාවීමෙනි තම පවුලට, පරිසරයට, සමාජයට සහ පොදුවේ
රටටම සැනසීම උදා වන්නේ විශාල සමාජ පෙරැළියක් ඇති කිරීමට පංච ශීල
ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් හැකි වේ.
බුදු රජාණන් වහන්සේ දේශනා කර වදාළ දස කුසල ප්‍රතිපදාව ජීවිතය නිවැරැදි
දිශාවට ගමන් කරවීම සඳහා ගත හැකි හොඳම මාර්ගයකි.
අප දුර දිග නොබලා, ඇතැම් විට නොසිතා කරනු ලබන ක්‍රියාවක් තවත් අයකුට
විශාල හිරිහැරයක් කරදරයක් වීමට පුළුවන. කුඩා කල සිටම අනුන්ට කරදරයක්
නොවන ලෙස දිවි ගෙවීමට දරුවන් පුරුදු කළ යුතුය. ඔවුන් කුසල් දහම්හි
යෙදවිය යුතුය. යම් අයකු තවත් අයකුට කරදරයක්, හිරිහැරයක් කරයි නම් එතැන
ශීලයේ, සදාචාරයේ පලුද්දක් ඇතිවේ.
ගමනක් බිමනක් යන අවස්ථාවක වුවද අනුන්ගේ සැපත ගැන සැමවිටම කල්පනාකාරී
විය යුතුය. අනෙක් පුද්ගලයාගේ සුළු අත්වැරැද්දක් ඉවසීමට නොහැකි නම් එතැන
ශීලය හෝ ඉවසීම නැත. අප සැමවිටම ඉවසීම පුරුදු කළ යුත්තේ ඉවසීම නිසා බොහෝ
ගැටලුවලට විසැඳුම් ලැබෙන බැවිනි. ගැටුම් වළකාලීමට ඇති හොඳම මඟ ඉවසීමයි.
ඉවසිම පුරුදු කළ යුත්තේ නිවෙසෙනි. ඊට මවුපියන් මූලික විය යුතුය. ඇතැම්
මවුපියන් තම දරුවන්ගේ සුළු අඩුපාඩුවක් පවා ඉවසන්නේ නැත. සුළු කරුණකටත්
අඬ දබර කර ගන්නා පවුල් සමාජයේ දක්නට ඇත. එවන් පරිසරයක හැදෙන වැඩෙන
දරුවා ඉවසීම ප්‍රගුණ කරන්නේ නැත.
සුළු දෙයක් නො ඉවසීමේ විපාකය ඇතැම් විට සුළු නොවන බව සිහි තබා ගත
යුතුය. ගුරු දෙගුරුන්ගේ වගකීම වන්නේ දරුවාගේ චින්තනය දියුණු වන ලෙස
තමන් ගේ හැසිරීම් පවත්වා ගෙන යෑමය. අනාගත සමාජය සදාචාරසම්පන්න කළ හැකි
වන්නේ එසේ කළහොත් පමණි. අතීතයේ ගුරුවරු දරුවාගේ අධ්‍යාපනයට සමගාමීව
ගුණදම් වර්ධනයට ද ඇප කැප වූහ.
අධ්‍යාපනයේ සැබෑ අරුත වන්නේ දැනුමෙන් හිස පුරවාගත්, එහෙත් ගුණයෙන් හීන
පිරිසක් සමාජයට බිහි කිරීම නොවේ. ගුණ යහපත්, එසේම දැන උගත් පුරවැසියන්
සමාජයට දායාද කරලීමයි. එදා ගුරුවරයා හා සිසුවා අතර ගෞරවනීය සම්බන්ධයක්
පැවතුණ ද අද ඇතැම්විට ගුරුවරයා හා ශිෂ්‍යයා අතර එවන් සම්බන්ධයක් දැකීම
අසීරු වී ඇත. සමහර අවස්ථාවල ගුරුවරයා විසින් වරදකට කරන ලද දඬුවමට
පළිගන්නා තරමට සිසුන් යහගුණවලින් ඈත් වී තිබේ.
අද බොහෝ විට ගුරුවරුන් අතින් සිදුවන්නේ සිසුවා විභාගයෙන් සමත් කරවීමට
අවැසි දැනුම ලබාදීම පමණි. දැනුම ලබා දීමට පමණක් සීමා නොවී දරුවා යහමඟට
යොමු කිරීම ගුරුවරයාගේ වගකීම වන්නේය.
අප විසින් කරනු ලබන සියලු ක්‍රියාවන්ට කරුණාව මෛත්‍රිය මුල් කර ගත
යුතුය. පව් කිරීමට ලජ්ජා විය යුතුය. බිය විය යුතුය. පාණාතිපාතා
වේරමණී... ශික්ෂා පදය සම්පූර්ණ කිරීමට නම් අප සියලු පණ ඇති සතුන්ට මෙත්
සිත පතුරුවා ලිය යුතුය.
අද වැඩි දෙනා බොහෝ පින්කම් සිදු කරන්නේ එය චාරිත්‍රයක් ලෙසින්
සලකාගෙනය. පාරම්පරිකව පැවැත එන්නක් නිසාය. වැඩිහිටියන් එම සිරිත්වල
නියැළෙන නිසාය. එහෙත් එම පින්කම්වල සැබෑ අරුත එහි අනුසස් සහ එම පින්කම්
නිවැරැදිව, කුසල සිතුවිලි පෙරදැරිව සිදුකරන ආකාරය ආදිය ගැන ද අපගේ
අවධානය යොමුවීම අවශ්‍යය. බෞද්ධයන් ලෙස අප කළ යුත්තේ තමන්ගේ පෞරුෂ
වර්ධනයට උපකාරී වන මේ ගුණාංග තම දිවියට එකතු කර ගැනීමය.
සියලුම බෞද්ධ නිවාසවල උදේ, සවස බුදුරජාණන් වහන්සේ උදෙසා පහනක් දැල්වීම
සිරිතක් ලෙස කරගෙන එනු ලැබේ. එහෙත් පවුලේ සියලු දෙනාම එක්වී බුදුරජාණන්
වහන්සේ නමදින්නේ නම් ඒ ඉතාම කලාතුරකිනි. නිවෙසේ සාමුහිකත්වය ඇතිවන්නේ
සියලු කාර්යයන්හි සැම දෙනාගේම දායකත්වය ලද විටය. පින්කම් සඳහා සියලු
දෙනා එක් වු විටය. සමඟිය, එකට වැඩ කිරීම පිළිබඳ අවබෝධයක් ලබා දීමට එය
කදිම අවස්ථාවකි.
නිවෙසේ බුදුන් වැදීම සියලු දෙනා එක්ව මහත් ගෞරවයෙන්, ශ්‍රද්ධා ගුණ
පෙරදැරිව සිදු කෙරෙන්නේ නම් එය පවුලේ සියලු දෙනාගේම චරිත සංවර්ධනයට
මහත් අනුබලයක් වනු ඇත. එසේම, විශාල අවබෝධයක් පවුල තුළ ගොඩ නැඟීම ද
එතුළින් සිදු වේ.
බොහෝ නිවාසවල සියලුම වැඩ කටයුතු කෙරෙන්නේ මවගේ අතිනි. මේ නිසා ඇය
පීඩාවට, කලකිරීමට පත්වීමත් සිදුවේ. පවුලේ සියලු දෙනා තමන්ට කළ හැකි
සුළු වැඩ කොටස් හෝ තෝරා බේරා ගෙන සිදු කරන්නේ නම් නිවෙසේ මාතාව එතරම්
වෙහෙසට පත්වන්නේ නැත. පවුලේ සියලු දෙනා අතර වැඩ බෙදි යනවා පමණක් නොව එම
නිවෙස කරුණාවට, මෛත්‍රියට වාසස්ථානයක් බවට ද පත් වේ. එම නිවෙස සතුට
ඉතිරුණ, සාමකාමී බව රජයන සුවපහසු තැනක් වනු ඇත.
එබැවින් මේ සියලු කාරණා සලකා බලමින් පළමුව තමන් ප්‍රතිපත්ති ගරුක වී,
සමාජයට සැනසිලිදායක වන පුද්ගලයකු වන්නට සියල්ලන්ම ඉටාගත යුතුය. තමන්
පළමුව විනයක්, ශික්ෂණයක් ඇතිව ජීවත් වුවහොත් පමණකි සමාජය යහමඟට ගැනීමට
හැකි වන්නේ.
සටහන
තාරක වික්‍රමසේකර |