UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දයා සිරිවර්ධනයන් ගේ තෙමස් ගුණ සමරුව නිමිත්තෙනි

මගේ ගුරු තරුව

ප්‍රියාදර සිසු දරුවෙනි, මම ආවෙ ඔබට බස උගැන්වීමටයි. ඔබ හැම හොඳ සිංහල උගත යුතුයි. ඒ කියන්නෙ සුබස. අපට බස ලෙළවන්ට හැකි නම් සමාජය ජයගන්න හැකියි. ඒත් අද අපේ හෙළ බස යටපත් වී තිබෙන යුගයක්. මේ ළමයින් වටහා ගන්න ඕන. ඉංග්‍රීසි අපට අවශ්‍ය බසක්. මව් බස අපේ උත්තම බසයි.’

මෙවදන් අපට පවසන ලද්දේ එදා මගේ සිංහල ඇදුරු දයා සිරිවර්ධනයන් විසිනි. ඒ 1959 අවුරුද්දය. මට මතක සැටියට එවකට මා උගනිමින් සිටියේ රත්නපුර ශාන්ත ඇලෝසියස් කොලීජියේ කනිටු පෙළ - 10 ශ්‍රේණියේ ය. එම වසර මුලදී අපේ පන්තියට මේ සිංහල ඇදුරුතුමාණන් පැමිණි සැටි පනස් වසරකට පසු අද මට මගේ මතක පොත පෙරළා ආවර්ජන කළ හැකියි. අලුත් සිංහල ගුරුතුමා පන්තියේ මඳක් උස් වේදිකාවට නැඟී දෑත් එක්කොට ගනිමින් අපට ආයුබෝවන් කීවේ මුවපුරා විකසිත සිනහවකින් ....

”අද සිට ඔබට හෙළ බස උගන්වන ගුරුතුමා, මම දයා සිරිවර්ධන”...

ඔහු කතාකරන්නේ් නොනිමෙන සිනා රැල්ලක් ඇතිවය. ඒ ලජ්ජාශීලී පුළුල් හසරැල්ල හැම මොහොතක ඔහු ගේ වතෙහි රැඳී තිබීම අද ද මට විස්මයක් වෙයි...

”අපි හැමෝ ම දැන හඳුනා ගන්න එපායැ.”

ඔහු එක් එක් සිසුවාගෙන් නම විමසයි. මම පරාක්‍රම කීවෙමි. “කදිම නමක්නෙ. පැරකුම් කියමු.”

ඔහු සිනාසෙමින් කීවා මතකය. එදා සිට දයා සිර්වර්ධන සිසු අප සැමගේ හදවත්වල ලැගුම් ගත් ඇදුරිඳු වීය.

අද පාසල් පද්ධතියේ සිංහල විෂය කෙතරම් නීරස අසම්පූර්ණ පාඩමක් බවට පත් ව ඇද්ද යනු විසි වසරක් පාසල් ගණනාවක උගැන්වූ ගුරුවරයකු වන මම දැන් කල්පනා කරමි. ළග දී අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කීප දෙනකු මා හා පැවසුවේ දැන් පාසල්වල සිංහල උගැන්වීමට සුදුසු ගුරුවරුන් නොමැති බව ය. එදා මා උගත් ඇලෝසියස් කොලීජිය කතෝලික පල්ලිය සතු කීර්තිමත් පෞද්ගලික විද්‍යාස්ථානයක් විය. එම අධිපතීන් ගේ අභිලාෂය වූයේ සෑම විෂයකට ම පරිණත විශේෂඥ ගුරු භවතුන් පත්කිරීම ය. එබැවින් ආචාර්ය මණ්ඩලය බල ඇති යන්ත්‍රයක් හා සමාන විය. වටාපොත නම් ඉතා පිටිහර පුංචි පාසලේ පස්වැන්න දක්වා උගත් මගේ ආධ්‍යාත්මය වැඩුණේ එහි දී ය.

සවැන්නේ සිට රේල් බසයෙන් රත්නපුරේ ශාන්ත ඇලෝසියස් කොලීජියට එමින් උගත් මගේ බුද්ධිය හැඩගැසුණේ එම විදුහල් සෙවණෙහිය. දයා සිරිවර්ධන මේ අසිරිමත් සිංහල ඇදුරිඳුන් අපට ලැබුණු පසු සිසුකැල බලා සිටියේ ඔහු පන්තියට පැමිණෙන මොහොත එළඹෙන තුරුය. කුමාරතුංගයන් ගේ සුබසින් දැඩි එඩි ගෙන සිටි එතුමා බසින් අප හද පොබ කළේ ය. අප සිත් සවි බල ගැන්වීය.

1950 – 60 දශකය සංක්‍රමණීය සමාජ අවධියක් විය. එහි ප්‍රතිවිරෝධ නිවැරැදිව හඳුනාගත් ප්‍රාඥයන් පරපුරෙන් සමාජයෙහි ගුරු බලවේගයක් ගොඩනැඟෙමින් තිබිණ. දයා සිරිවර්ධන බඳු අසිරිමත් ගුරුවරුන් අයත් වූයේ එම සමාජ ප්‍රවාහයට බව අද මගේ මනැසට පෙනී යයි. මේ ගුරු බලවේගය 56 පෙරළියෙන් උත්පාද වූවක් නොවන්නේ ය. එය අද බොහෝ දෙනෙක් නොදනිති. විසිවන සියවසේ මුල් භාගයේදී මෙරට බුද්ධිමය නවෝදයක් බිහිවූයේ ඉංග්‍රීසි - සිංහල දෙබසින් ම පෝෂණය වූ දේශීය චින්තනයකින් සැදි ප්‍රබුද්ධ සමාජ කොටසක් බිහිවීමෙන් ය. මීමන – ජීබී වැනි කොළඹ යුගයේ කවීන් ද, පියදාස සිරිසේන – ඩබ්ලිව්.ඒ.සිල්වා බඳු නිර්මාණකරුවන් ද කුමාරතුංග - වික්‍රමසිංහ වැනි ප්‍රබල මතවාදීන් ද අයත් වන්නේ එම සමාජ මෙහෙයුමටය. 56 පෙරළියෙන් බමුණු කුලය බිඳ වැටීම සිදු වූයේ යම් සේ ද, 70 දේශපාලන සංස්කෘතියෙන් හා 80 වෙළෙඳ කුලයෙන් අර ප්‍රබුද්ධ සමාජ මෙහෙයුම ද අභාවයට පත් විය.

දයා සිරිවර්ධනයන් එදා නවයොවුන් අපට කියූ දේ වැටහුණේ ඉවෙන් මෙනැ යි දැන් මට සිතේ. ඔහු ගේ සිතීමෙහි ප්‍රතිවිරෝධාත්මක ගැඹුර පසක් වන්නේ් අද ය. ’....මේ කොලීජිවල සම්ප්‍රදාය – විනය විශිෂ්ටයි. එහෙත් චින්තනය පරගැතියි. මේ ළමයි කළ යුත්තේ ඒ පරගැති සිරිත ඉවත දා අධ්‍යාපන හරය උකහා ගැනීමයි. මේ කොලීජිවලින් ඉතා ඉහළ උගතුන් බිහිවෙනවා. පරගැති භාවය ඉවත දමන්නට ශක්තිය ලැබෙන්නේ, අපේ බස උසස් ලෙස ඉගෙනීමෙන් පමණයි. බසේ රහස එය යි.’

උසස් බස් වහර සාදා පාදා දෙන්නට දයා සිරිවර්ධන ඇදුරුපාණන් සිංහලය උගැන්වූයේ මුළු පන්තිය ම සාහිත මන්දීරයක් බවට පත් කරමින් ය. ඔහුගේ බසට සවන්දීමට වෙනත් පන්තිවල සිසුහු ද ගුරුවරු ද පන්තියෙන් පිටත රැස්ව හුන්හ. අප උගත් පෞද්ගලික කොලීජි – පල්ලි පාසල් රජය සතු කිරීම සිදු වූයේ මේ අතර ය. මෙහි දී දයා සිරිවර්ධනයන් දැරූයේ ජනප්‍රිය මතවාදය නොවේ.

”...බණ්ඩාරනායකතුමා ඝාතනයවීම ගැන ඇතැම් අධිපතීන් සතුටු වෙන්නේ දේශීය චින්තනයක්, දෙස බස රැස ගැන හැඟීමක් නැති නිසා. එහෙත් මේ පෞද්ගලික පාසල් ජනසතු කිරීම අවශ්‍ය පියවරක් නොවෙයි. අද මේවාට පැමිණෙන්නේ ඔබ වැනි මධ්‍යම පන්තියේ දරුවන් වෙද මහතුන්ගේ ගුරුන්ගේ ලිපිකරුවන්ගේ දරුවන් වැඩි පිරිසක්. ජනසතුවෙන් මේ පරිපාලනයත් ඒ විශිෂ්ටත්වයත් බිඳ වැටෙනවා. රජය කළ යුතු කාරිය වන්නේ මේවා රජයේ මෙහෙයවීමකට ලක් කිරීමයි’

දයා සිරිවර්ධනයන් එදා තරුණ අපහට පැවසූ එම යථාර්ථය ඊළඟ දශකයෙහි අප දෑස හමුවේ සැබෑවක් විය. 70න් පසු දශකයේ පාසලත් – ගුරුවරයාත් – අධ්‍යක්ෂකයාත් දේශපාලනීකරණය විය. රජයේ පාසල්වල ආධ්‍යාත්මය බිඳ වැටුණේ එතැන් සිටයි. 80න් පසු එළඹි දශකයෙහි ගුරුවරයාත් – අධ්‍යාපනයත් අක්මුල් නැති වාණිජකරණයකට හසුවිය. මේ නිරුවත මෑතකදී බියකරු ලෙස පිළිබිඹු වූයේ රජරට භික්ෂු විශ්වවිද්‍යාලයේ නවක වදයෙනි. ජයලත් මනෝරත්න ගේ ‘ගුරු තරුව‘ නාටකයෙන් අප දුටුවේ ඒ දුක්මුසු ඛේදවාචකයේ අඳුරු සෙවණැල්ල යි. මීමන ප්‍රේමතිලක එදා ‘පාළුගම’ කාව්‍යයේ දී මෙසේ කවියට නඟා ඇත්තේ ද ඒ ඉකිබිඳීමය.

සිසු බිඟුන සැනැසූ
දෙමිනි හෙළ බස රොන් රස
මගේ ගම්බද මේ ගුරු
පියුම මැලවි ද නැතිවිද?

ඊනියා නූතන
දියුණුව ද පිරිහීමකි
අද අපේ ගම්බද ඇති
පාසල එයට නිදසුන්
රේකා ගණිත හෝ
වීජ ගණිතය නොදතුදු
හෙළ බස් සයුර අළලා
මිණි බැලූ අගතිසි ගුරු
පියුම මැලවි ද නැතිවිද
ඒ ගුරුතරු බැස ගියේ ය. අලුත් අධ්‍යාපන යුගයේ නවීන ගුරුවරයා පැමිණේ

සියල්ලක් දනිතැයි
සිතති උඩඟුව මොර දෙති
නියම ලෙස දන්නා
දෙයක් නම් පෙනෙනට නැති!
(මීමන – පාළුගම)

සැබෑ දැනුම් වසාගෙන ව්‍යාජ දැනුම් වැපිරුණු සැටිය මීමන ගේ මේ කවිවලින් එදා ප්‍රතිරාව කෙරුණේ. අද විශ්වවිද්‍යාලය ද ජාතික අධ්‍යාපන ආයතනය ද, විද්‍යුත් මාධ්‍යය ද භාෂාව හා භාෂා සම්ප්‍රදාය බිඳලමින් තරුණ පරපුර අධ්‍යාත්මික ශක්තියෙන් තොර සිතන්ට බැරි වඳයන් පිරිසක් බවට පත්කරමින් සිටී. මව් බස මව්කිරි සේ සම වේ. ඉන් තොරව සංස්කෘතික – බුද්ධිමය නවෝදයක් සිදු නොවන්නේ ය. අප යොවුනෙහි දිවි ගෙවූ ඒ සමාජ ඉතිහාසය විනිවිද දකින විට මගේ සිංහල ඇදුරු දයා සිරිවර්ධනයන් ගේ ඒ මුව හස රැල්ලත් ඒ හෙළ බස් රොන් රසයත් සිතින් විඳින විට පසක් වන්නේ ඔහු හා ඔහු වැනි ගුරුන් අපට අත්පත් කොට දී ඇත්තේ අන් කිසිත් නොව ජීවිතයම බව ය. ගුරු වෘත්තියෙන් විශ්‍රාම ලැබ දයා සිරිවර්ධන මහත්මා ‘බුදුසරණ’ පත්‍රයේ කර්තෘත්වයට හවුල්වීම මට පෙනී යන්නේ ඔහු ගේ දිරි ගමනේ තවත් මාර්ග ඵලයක් හැටියටය.

ඔහුගේ ප්‍රඥාව ප්‍රභාවත් වූයේ ධර්මාවබෝධයෙන් ය. ‘බුදුසරණ’ පත්තරේ නුවර – ගම්දනව්වල බෞද්ධ ගෙවල පහනක් බවට පත්වීමට හේතුවක් වූයේ ඔහු පෙන්වා දුන් දිවි දයාවම ය.

’මනමේ’ නාටකයෙන් නැඟී එන දිසාපාමොක් ඇදුරු ගේ හඬ ස්වරය....

’විද්‍යා සාගරයේ පතුලෙන් ගොඩ ගෙන

අගනා මාණික්‍ය පලඳමි සිසු ගෙල

මගේ ගුරු දයා .... ඒ ඔබගේ දූත හඬය. ඒ ඔබ පෑ ගුරු අරුතය. මේ ජීවිත සන්ධ්‍යාවේ දී මා අද දකින්නේ, දැයෙන් සමුගත් ඔබ ගේ ඒ ආලෝක කසිණයයි.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 01 වනදා බදාදා පූර්ව භාග 01.38 ට ලබයි.
2 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 01 වන දා බදාදාය.

මීළඟ පෝය
ජුනි 09 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]