මහාචාර්ය
කාලෝ ෆොන්සේකා
බුදු සමය සර්ව ප්‍රකාරයෙන් ම
බුදුන්ගේ බුද්ධි මහිමයේ ඵලයකි
විනිවිද යන මනුෂ්‍ය බුද්ධියක
අසමාන අග්‍ර ඵලයකි.
විද්‍යාව වනාහී හුදු මනුෂ්‍ය බුද්ධියේ
වැදගත් නිර්මාණයකි.
ඒ ලක්‍ෂණය ඇසුරෙන් ද
විද්‍යාව බුදු සමයට සමීප ය.
නවීන
විද්‍යාව මිනිස් ජීවිතය කෙරෙහි දක්වන බලපෑම ඉමහත් ය. නවීන පන්නයේ ජීවන
රටා නවීන විද්‍යාවේ දැඩි ආභාෂයෙන් වෙන් කළ නොහැකි ය. නූතන ලෝකයේ නගරවල
වාසය කරන ජනයා පරිහරණය කරන කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, බේත්
හේත්, අවි ආයුධ, යාන වාහන, පොත් පත්, කෙළි සෙල්ලම් ආදී සියල්ල කෙරෙහි
නවීන විද්‍යාවේ සුවිශේෂ බලපෑම අතිවිශාල ය.
නවීන විද්‍යාවෙන් පරිබාහිර ව නූතන දිවි පෙවෙතක් ගැන සිතිය නොහැකි ය.
මිනිසාගේ සාමාන්‍ය ආයු කාලය වැඩි කිරීමට, මිනිස් ජීවිතය සෞඛ්‍ය සම්පන්න
කිරීමට, සැප පහසු කිරීමට, ආස්වාදජනක කිරීමට නවීන විද්‍යාවෙන් ලැබෙන
පිටුවහල අපි කවුරුත් පාහේ ප්‍රතික්‍ෂේප නො කරමු.
එහෙත් නවීන විද්‍යාව මිනිස් සංහතියට ප්‍රදානය කර ඇත්තේ සහනයක් ම නො වේ.
නවීන විද්‍යාව විසින් ගතානුගතික චින්තනයේ එල්බ ගෙන සිටි මිනිසුන් කෝප
කළ අවස්ථා විටින් විට මතු වී තිබේ. ඒ වනාහි විද්‍යාත්මක සංකල්ප හේතු
කොට ගෙන බමුණු මතිමතාන්තරවලට අභියෝග එල්ල වූ අවස්ථා ය. නොයෙක්
සාම්ප්‍රදායික ආගමික විශ්වාසවලට නවීන විද්‍යාත්මක සංකල්පවලින් දරුණු
අභියෝග එල්ල වී ඇති බව නො රහසකි. ගතානුගතික ආගමික විශ්වාසයකට
විද්‍යාත්මක ප්‍රහාරයක් එල්ල වූ සෑම අවස්ථාවක දී ම ඒ ප්‍රහාරයට ඔරොත්තු
දීම සඳහා අදාළ ආගමික විශ්වාසයට නව අර්ථකථනයක් ඉදිරිපත් කිරීමට පූජක
පක්‍ෂයට සිදු විය. යම් නිශ්චිත විශ්වාසයක් සම්බන්ධයෙන් ආගමකින් සහ
විද්‍යාවෙන් පරස්පර විරෝධී අර්ථකථන ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවල
විද්‍යාත්මක අර්ථකථනය සම්ප්‍රදායික පිළිගැනීම අභිභවනය කොට ඇත. සියලු
ආගමික දර්ශනවාද අතරින් නවීන විද්‍යාත්මක සංකල්පවලින් අවම තර්ජන එල්ල වී
තිබෙන්නේ බෞද්ධ දර්ශනයට බවයි මගේ ඒකාන්ත නිගමනය. එය එසේ වන්නේ කුමක්
නිසාද කියා මේ ලිපියෙන් විමසා බැලේ.
මූලික වශයෙන් විද්‍යාව කාර්යයන් දෙකක් ඉටු කරයි. ඉන් පළමුවැන්න සොබා
දහමේ සිදු වන විවිධ විපර්යාස ක්‍රමවත් පිළිවෙළකට විස්තර කිරීමය.
දෙවැන්න ඒ විපර්යාස ඇති වීමට හේතුභූත වන සාධක හෙළි පෙහෙළි කිරීම ය.
සොබා දහමේ සිදු වන එබඳු විපර්යාසවලට ඉදිරිපත් කරනු ලබන විවිධ අර්ථකථන
අතරින් මිනිසුන් බහුතරය අවසානයේ දී පිළිගන්නේ මිනිස් ජීවිතයට සාර්ථක
ලෙස යොදා ගත හැකි ඒවා ය. නූතන ලෝකයේ වෙසෙන දැන උගත් මිනිසුන්
විද්‍යාත්මක සංකල්ප සහ මතිමතාන්තර පිළිගැනීමට යොමු වන්නේ ඒවා ලෞකික
ජීවිතය සාර්ථක කරගැනීමට පිටුවහලක් වන බව පසක් කරගෙන සිටින බැවිනි. අද
ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ ලෞකික ලෝක දෘෂ්ටිය මූලික වශයෙන් විද්‍යාත්මක
ආකල්පය මත ගොඩනැඟුණකි. සාම්ප්‍රදායික ආගම පදනම් කොටගත් ජීවිත රටා
අතරින්, බුදු සමය තරම් නවීන විද්‍යාත්මක ආකල්පයට අනුකූල වන අන් එකක්
ගැන මම නො දනිමි. එය එසේ වන්නේ කුමක් නිසාද කියා ටිකක් විමසා බලමු.
පළමුව : තමන් මිනිසකු විනා දෙවියකු නො වන බව බුදුන්වහන්සේ යළි යළිත්
අවධාරණය කළ සේක. මිනිසුන්ට උන්වහන්සේ ආමන්ත්‍රණය කළේ මිනිසකු ලෙසිනි.
අන් ආගම් ශාස්තෘවරුන් මිනිසුන් ආමන්ත්‍රණය කළේ දේව ස්වරූපයෙනි.
ජේසුන්වහන්සේ තමන් සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙළින් ම නියෝජනය කරන බව
සෘජු ව ම පැවසූ සේක. නබිනායකතුමා තමන් දෙවියන් වහන්සේගේ සුවිශේෂ දූතයා
බව තරයේ කියා සිටි සේක. බුදු හාමුදුරුවෝ හුදු මිනිසකු වශයෙන් ඉපිද,
මිනිසකු වශයෙන් ජීවත් වී, මිනිසකු වශයෙන් පිරිනිවන්පෑ සේක. උන්වහන්සේට
දේවත්වය මුසු වූයේ නැත. නිර්මල බුදු සමයට දෙවි දේවතාවන් සමඟ ගනුදෙනු
නැත. විද්‍යාවත් දෙවි දේවතාවන්ගෙන් ස්වාධීන ය. එනයින් බලන කල, විද්‍යාව
බුදු සමය වාගේ ය.
දෙවනුව : බුදු සමය සර්ව ප්‍රකාරයෙන් ම බුදුන්ගේ බුද්ධි මහිමයේ ඵලයකි
විනිවිද යන මනුෂ්‍ය බුද්ධියක අසමාන අග්‍ර ඵලයකි. විද්‍යාව වනාහී හුදු
මනුෂ්‍ය බුද්ධියේ වැදගත් නිර්මාණයකි. ඒ ලක්‍ෂණය ඇසුරෙන් ද විද්‍යාව
බුදු සමයට සමීප ය.
තෙවනුව : බුදු රදුන් වදාළේ මිනිසාගේ විමුක්තිය මිනිසා විසින් ම සලස්වා
ගත යුතු බව ය. දෙවි දේවතාවන්ගේ ආනුභාවයෙන් එය සලස්වා ගත නොහැකි බව
එයින් අධ්‍යහාර වේ. විද්‍යාව ද දෙවි දේවතාවන්ගේ පිහිට නො පතයි. නො
තකයි. මේ ආකල්පය පිළිබඳ ව ද විද්‍යාව බුදු සමයට නෑකම් කියයි.
සිව්වනුව : බුදුන් වහන්සේ චින්තන නිදහස අගය කළ සේක. එය ප්‍රගුණ කිරීමට
නිරන්තරයෙන් රුකුල් දුන් සේක. තමන් දෙසූ දහම පවා විචාර බුද්ධියෙන් තොර
ව නො පිළිගැනීමට සිය ශ්‍රාවකයන් පෙළඹවූහ. සිය පිරිනිවන් මංචකයේ දීත්
තමන්ගෙන් ප්‍රශ්න ඇසීමට සිය ගෝලයන් දිරිගැන්වූහ. උන්වහන්සේ දෙසූ කාලාම
සූත්‍රය නිදහස් චින්තනයේ ප්‍රඥප්තිය වැනි ය.
“කාලාමයෙනි, ඔබ සැක කිරීමත්, විමතියට පැමිණීමත් සුදුසුම ය. ඔබගේ සැකය
ඇති වූයේ සැක සහිත තැනකම ය.
කාලාමයෙනි, ආරංචියෙන් හෝ, පරම්පරාවෙන් ආ නිසා හෝ, මෙහෙමලු යන කටළු කතා
නිසා හෝ, මේ අපගේ පිටක සම්ප්‍රදාය යි සිතීමෙන් හෝ, තර්ක හේතුවෙන් හෝ නය
හේතුවෙන් හෝ මේ කාරණය යහපත් වගේ පෙනේ යැයි කල්පනා කිරීමෙන් හෝ, මෙය අප
සිතා බලා සතුටින් ගත් දෘෂ්ටියට ගැළපේ යැයි සිතීමෙන් හෝ, මොහු සුදුස්සකු
යැයි සැලකීමෙන් හෝ, මොහු අපගේ ගුරු යන හැඟීමෙන් හෝ ;නාපිළිගනු.
“විද්‍යාත්මක ආකල්පය විදහාපාන මෙතරම් පැහැදිලි තවත් ප්‍රකාශයක් මිනිස්
චින්තන ඉතිහාසයේ මම නො දකිමි.
පස්වනුව : බුදුන්ගෙන් විද්‍යාමාන වූ අනුන් ඉවසීමේ ගුණය ආගම පිළිබඳ
ඉතිහාසයේ ඉන් පෙර හෝ පසුව හෝ ප්‍රදර්ශනය වී නැත. ඒ ගුණය පිළිබඳව බුදු
සමයට ඇත්තේ අද්විතීය වාර්තාවකි. ඒ ඉවසීමේ ගුණය බුදුන්ගේ මහා කරුණාවේ
ප්‍රතිඵලයකට වඩා මහා ප්‍රඥාවේ ප්‍රතිඵලයක් ලෙස නිගමනය කිරීම
යුක්තියුක්ත ය. උන්වහන්සේ කිසි විටෙක අවිචාරාත්මක නො වූ සේක. ඒ නිසා ම
ආධානග්‍රාහී නො වූ සේක. ඒ උන්වහන්සේ වදාළ ධර්මය හුදෙක් මිනිසුන් දේව
භාෂිතයක් අදහන්නේ එය දේව භාෂිතයක් ම ලෙස අදාළ පොත්වල එන නිසා ය. එය
බුද්ධිගෝචර ද නැද්ද යන්න නොවැදගත් ප්‍රශ්නයකි. එහෙයින් දේව භාෂිතයක් මත
පදනම් වූ ආගමක් අවිචාරාත්මක ආධානග්‍රාහී ආකල්පයක් ජනිත කරවන සුලු ය.
විද්‍යාවේ පරම සත්‍යය අඩංගු නොවන බව විද්‍යාවේ මූලධර්මයකි. එහෙයින්
විද්‍යාත්මක ආකල්පය කිසි විටෙක ආධානග්‍රාහී නො වන්නේ ය. “ඒහි පස්සිකො”
යනු බුදු සමයටත් විද්‍යාවටත් පොදු වූ ආකල්පයකි.
අවසාන විග්‍රහයේ දී බුදු සමය ලෝකෝත්තර ධර්මයකි. ලෝකෝත්තර ධර්මයක්
වශයෙන් වුවත් එහි අන්තර්ගත ලක්‍ෂණ නවීන විද්‍යාත්මක ආකල්පයකින් යුතු
අයකුට අතිශයින් ආකර්ෂණීය වේ. එහෙත් අන් සෑම ආගමක් මෙන් ම ජන සම්මත බුදු
සමය ද නොයෙක් අද්භූත, අවිද්‍යාත්මක, අභූත මතිමතාන්තරවලින් දූෂණය වී ඇත.
ඒවා බුදු සමයේ හරය වන චතුරාර්ය සත්‍යයට සම්බන්ධ නැත. ඒවා සම්බන්ධ වන්නේ
බුදුන්ගේ උපත, හැඩ රුව, එදිනෙදා ගෙවූ දිවි පෙවෙත ආදිය සමග ය. අපේ දහම්
පාසල්වල එවැනි විස්මයජනක අද්භූත දෑ අදත් උගන්වනු ලැබේ. ඒවා ඉගැන්වීමෙන්
බුදු සමයට සිදු වන සේවයක් නැත, අනෙක් අතට හානියක් සිදු වීමට ඉඩ තිබේ.
(මෙය 1984 දී ලියන ලද්දකි.) |