වෙසක් පුර පසළොස්වක 2011 - 05 - 17
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය
ශ්‍රමය වගුරන්නන් විසින් පවත්වා ගෙන යන ලෝකය ප්‍රභූවරු පාලනය
කරති. එහෙත් ඒ දෙපාර්ශ්වයට ම කළ නො හැකි කාර්ය වන ලෝකය වෙනස්
කිරීම පැවැරී ඇත්තේ දාර්ශනිකයන් වෙත ය. එ සේ වුව ද සෑම ජන
සමජයකට ම දාර්ශනිකයකු බිහි කළ නො හැකිය. ආහාර, ආරක්ෂාව,
අධ්‍යාපනය හා විනෝදාස්වාදය තහවුරු කළ විමංශනශීලි සමාජයක්
දාර්ශනිකයකුට තිඹිරි ගෙයකි. එහෙත් එ බඳු සමාජයක පවා
දාර්ශනිකයකු බිහිවීම අතිශයින් දුලබ ය.
බටහිර දර්ශනය බිහි කිරීමේ ලා දායකත්වය සැපැයූ ඩිමොක්‍රිටස්,
සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් , චාර්ල්ස් ඩාර්වින්, කාල්
මාක්ස්, සිග්මන් ෆේරායිඩ් , බර්ට්‍රන්ඩ් රසල් ආදී
දාර්ශනිකයන් බිහි වූ සමාජ පසුබිමෙන් ද අපට බොහෝ දේ උගත හැකි ය.
දාර්ශනික ඥානයේ අග්‍රඵලය වන ගෞතම බුදුරජාණන් වහන්සේ (ක්‍රි.පූ.
623 –543 ) සම්බන්ධයෙන් කතා කිරීමේ දී ද උන්වහන්සේ පහළ වූ සමාජ
පසුබිම හැදෑරීම වැදගත් ය. එම සමාජ පසුබිම හඳුනා ගැනීමට ඉවහල්
වන කරුණු කිහිපයක් සිංහල විශ්වකෝෂය උපුටා දක්වමින් මෙහි සටහන්
කැරේ.
“ඍග් වේදයෙන් ඇරැඹි අවුරුදු දහස් ගණනක් තිස්සේ උත්තර භාරතයේ
වර්ධනය වෙමින් ආ භාරතීය දාර්ශනික විප්ලවය ක්‍රි.පූ. හය වන
සියවස වන විට ලෝකයේ හා සත්ත්වයා ගේ ආරම්භය කුමක් ද? අවසානය
කුමක් ද? මරණින් පසු කුමක් සිදුවේ ද? මෙලොවින් ඔබ්බෙහි පරලොවක්
ඇත් ද? මෙ ලොව සිට පරලොවට යන සනාතන ආරම්භයක් තිබේ ද? සත්ත්වයා
මෙ ලොව දී සිදු කරන හොඳ නරක ක්‍රියාවන්හි විපාක ඇත් ද? යනා දී
දාර්ශනික ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගනු සඳහා විවිධ තරාතිරම්වල
බුද්ධිමත්හු වනගත ව භාවනා වඩමින් ද, තැන තැන විවාද පවත්වමින් ද
ඤාණ ගවේෂණයේ යෙදී සිටිය හ. මෙ සේ සත්ත්වයන් ගේ විමුක්තිය හා
පරම සත්‍යය සොය ගෙන ගිය මහා දාර්ශනික ව්‍යාපාරයේ ප්‍රතිඵල ලෙස
ක්‍රි.පූ. හය වන සියවස වන විට උත්තර භාරතයේ හැට හතරක් පමණ
දර්ශන වාද බිහි ව තිබිණ.”
මෙ බඳු සමාජ පසුබිමෙක යස ඉසුරු මැද දිවි ගෙවූ සිදුහත්
කුමාරයාණෝ විසි නව වන වියේ දී තම ජිවන රටාව පමණක් නො ව උපතින්
ලද පාලන උරුමය ද අත්හැර එ කල ප්‍රකට ආචාර්යවරුන් යටතේ මඟ
සොයමින්, සාවුරුද්දක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියාවන්හි නිරත වූ හ.
එම දාර්ශනික අභ්‍යාසයෙහි අසාර්ථක භාවය ම නව දාර්ශනික
ප්‍රවේශයක් බව පත් විය. ඉක්බිති, නේරංජනා නදී තීරයෙහි පිහිටි
බුද්ධගයාවේ බෝ රුක මුල දී එම දාර්ශනික අභ්‍යාසයේ අවසානය
සනිටුහන් වන විට එතුමන් තිස්පස් වන වියට එළඹ තිබිණ.
එ සේ වුව ද එය පහසු අභ්‍යාසයක් නො වූ බව මාර පරාජය නමැති
සංකේතාත්මක විවරණයෙන් පැහැදිලි ය. සූත්‍ර නිපාතයේ පධාන සූත්‍රය
පදනම් කොට ගෙන ලලිත විස්තරයේ සඳහන් කරුණු පිළිබඳ ව විවරණයක
යෙදෙන මහාචාර්ය ධම්මානන්ද කෝසම්බි මෙ සේ පවස යි.
“මනුෂ්‍ය වර්ගයා ගේ හිත සුව තකා කිසිවෙක් ඉදිරියට යන්නේ නම්
පළමුවෙන් ම ඔහුට පහර දෙනුයේ කමොපභොග පිළිබඳ වාසනා (කෙලෙස්)
නමැති මාර සෙනඟ යි. ඔවුන් යටපත් කොට තවත් ඉදිරියට පියවර තබයි
නම් ඒ අතර අසන්තෝෂය (අරතිය) ඔහු වෙත පහළ වෙයි. අනතුරු ව
කුසගින්න, පිපාසය ආදි සේනාවෝ එකෙකුගෙන් පසු අනෙකා වශයෙන්
ඉදිරිපත් වෙති. ඒ සියලුම කෙලෙස් විකාර විනාශ කොට විනා
කල්‍යණකාර තත්ත්වය අත්පත් කරගත නො හැකිවෙයි. එ හෙයින් ම
බුදුරජාණන් වහන්සේ මාරයා, පරාජය කළ සේක. උන්වහන්සේ ඒ චිත්ත
විකාර ජයගත් බව පමණක් මේ මාර පරාජයේ අදහස වශයෙන් තේරුම් ගත
යුතු යි “
“කලාකරුවන් විසින් බෞද්ධ චිත්‍ර කලාවෙහි මේ සිද්ධිය අති සුන්දර
චිත්‍රයනට නඟන ලදී. ලෝභ, ද්වේෂ, මෝහ , මද, මාත්සර්ය ආදී දුෂ්ට
මනෝභාවයනට මූර්තිමත් ස්වරූපයක් දීම සඳහා ඔවුන් ගත් උත්සාහය
අතිශයින් ම ප්‍රශංසනීය යැයි හැඟේ. කවියා මේ සිද්ධිය වර්ණනා
කළායින් පසු චිත්‍රකරුවෝ එය මූර්තිමත් කිරීමට ප්‍රයත්න කළෝ ද
නො එ සේ නම් චිත්‍රකරුවන් අතින් මේවා චිත්‍ර ගතවීමෙන් පසු එය
අනුකරණය කරමින් කවියෝ ඒවා වර්ණනා කළෝ ද යනු පැවසිය නො හැකි ය.
කෙසේ වුව ද මෙය ඉහත සඳහන් සේනාවට මූර්තිමත් ස්වරූපයක් දීමට ගත්
උත්සාහයක් බව නම් පැහැදිලි ය.” (භගවාන් බුද්ධ )
අදට වසර දෙදහස් හය සියයකට පෙර බෝ රුක මුල දී බුදු නුවණ පහළ වීම
නමැති මේ අසිරිමත් සිද්ධිය මානව වංශ කතාවට නව පරිච්ඡේදයක්
එක්කොට තිබේ. එහෙත් සම්බුද්ධත්වය නිවැරැදි ව විග්‍රහ කිරීම අපට
කළ නො හැකි ය. එම තතත්වය ඇස පහළවීම (චක්ඛුං උදපාදි ) ඤාණය
පහළවීම (ඤානං උදපාදි) , ප්‍රඥාව පහළවීම (පඤ්ඤා උදපාදි)
විද්‍යාව පහළ වීම (විජ්ජා උදපාදි) ආලෝකය පහළවීම (අලෝකෝ උදපාදි)
යනුවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ම හඳුන්වා ඇති නිසා එය
මානසික පරිවර්තනයක් ලෙස වටහා ගැනීමට පුළුවන.
එ බැවින් ප්‍රඥාවෙන් තොර ව විමුක්තිය ළඟා කර ගත නො හැකි බව
සියලු දෙනා තේරුම් ගත යුතු ය. ධර්මය වටහා ගෙන අනුගමනය නො කැරේ
නම් කෙතරම් අලංකාර ලෙස සම්බුද්ධත්වය සැමරුව ද එහි අර්ථයක්
නොමැත. |