බුදුරදුන්ගේ
ගුරු භූමිකාව
රත්මලාන ශ්‍රී රත්නාරාමාධිපති
සූරියගොඩ සිරිධම්ම නා හිමි
මානව
සමාජයෙහි වගකීම් සම්භාරයක් උසුලන ගෞරවාන්විත සේවාවක නියුතු උතුමෙක් ලෙස
ගුරුතුමා නම් කළ හැකිය. දරුවන්ගේ දක්ෂතා දැන හැඳින එම හැකියාවන් වර්ධනය
කොට යහපත් පුරවැසියකු බිහිකිරීම ගුරුවරයාගෙන් ඉටුවිය යුතු කාර්යභාරයකි.
ආගමික ශාස්තෘවරයකුගේ ගුරු භූමිකාව ඊට එහා විහිදී යන මහඟු මෙහෙවරෙකි.
උන්වහන්සේගේ ඉගැන්වීම් ක්‍රමවේදය මෙලොව යහපත පිණිස පමණක් නොව පරලොව
ශුභසිද්ධිය හා අවසන මෝක්ෂය ද ළඟාකර දෙන්නක් විය යුතුය. එබඳු ආගමික
ගුරුවරුන් අතර අද්විතීය ස්ථානයෙහි වැජඹෙන්නේ අප බුදුරජාණන් වහන්සේ බව
බෞද්ධ අබෞද්ධ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ පිළිගැනීමයි.
බුදුපියාණන්ගේ තක්සලාව විටෙක උද්‍යානයකි. තව විටෙක අමු සොහොනකි.
නැතහොත් ගල් ලෙනකි. ගල් තලාවකි. නැතිනම් වැලි තලාවකි. තවත් විටෙක
වනස්පති වෘක්ෂ මූලයකි. මහ වනයකි.
එකල පැවති ප්‍රධාන ම අධ්‍යාපන ක්‍රමවේදය දේශනාවයි. ශ්‍රාවකයා යනු
දේශනාවට ඇහුන්කන් දෙන ශිෂ්‍යයාය. ශිෂ්‍යයා බොහෝ අසා ධාරණය කරගත් විට
බහුස්ස්‍රත නම් වෙයි. බුදුරජාණන් වහන්සේ තම ශිෂ්‍යයන්ට ඉගැන්වීමට
දෘශ්‍යමය සාධකයන් ද ඉදිරිපත් කළහ. උන්වහන්සේ සිංසපා වනයේ දී කොළ මිටක්
අතට ගෙන “මහණනි, මගේ අතේ තිබෙන කොළ ද? වැඩි මේ වනයේ තිබෙන කොළ දැයි
විමසූහ. භික්ෂූන්ගේ පිළිතුර වුයේ වනයේ තිබෙන කොළ වැඩි බවයි. එසේම
මිනිසත් බව ලැබ නැවත මිනිසත් බව ලබාගන්නා පිරිස, අතේ ඇති කොළ මෙන්
ස්වල්ප දෙනෙකැයි ද වනයේ තිබෙන කොළ මෙන් දුගතිගාමී වන්නන් බහුල බවත්
පෙන්වා දුන්හ.
රාහුල පොඩි හිමි කලක් අම්බලට්ඨිකාවෙහි විසී ය. දිනක් උන්වහන්සේ බැලීමට
බුදුරජාණන් වහන්සේ වැඩම කළහ. බුදුරදුන් වඩින බව දුරදීම දුටු රාහුල පොඩි
හිමි, අසුනක් පනවා පා දෙවීමට වතුර භාජනයක් ද තැබී ය. බුදුරදුන් වැඩම
කොට අසුනෙහි වාඩි වී අනතුරුව පා දොවාගන්නා ලදී. බඳුනෙහි දිය ටිකක්
ඉතුරු කළ බුදුපියාණෝ “රාහුල බඳුනෙහි ඇති දිය ස්වල්පය පෙනෙනවාදැයි
විමසූහ. පේනවා යන්න රාහුල හිමියන්ගේ පිළිතුර විය. “රාහුල යම්කිසි
ශ්‍රමණයෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ මහණකමත් මේ දිය ස්වල්පය මෙන්
ඉතා සුළුයි.” ඊළඟට ඒ වතුර ස්වල්පය ද ඉවත ලූ බුදුරජාණන් වහන්සේ “රාහුල
දැන දැන බොරු කියන ශ්‍රමණයාගේ මහණකමත් මේ දිය නැති බඳුන මෙන් හිස් යැ
යි වදාළ සේක. අනතුරුව බඳුන මුනින් නැමූ බුදුහිමි “රාහුල දැන දැන බොරු
කියන පැවිද්දාගේ මහණකමත් මුනින් නැමූ බඳුන මෙනැ’ යි පවසා රාහුල
හිමියන්ට බොරු නො කියන ලෙස අවවාද කළ සේක. අනතුරුව කැඩපත දෘශ්‍ය සාධකයක්
ලෙස ගෙන පාඩමක් ඉගැන්වී ය.
චුල්ලපන්ථක පොඩි හිමියන්ට හාර මාසයකින් වත් සතර පද ගාථාවක් වනපොත් කරගත
නො හැකි විය. මේ නිසා මහා පන්ථක හිමි උන්වහන්සේට ගිහිව ගෙදර යන්නට නියම
කෙළේය. හිමිදිරි පාන්දර සිවුරු හැරීමට යන පොඩි හිමියන්ට බුදු හිමි මුණ
ගැසුණි. තොරතුරු අසා දැන පොඩි හිමියන් ගඳකිලියට කැඳවාගෙන ගොස් වාඩිවීමට
සලසා සුදු රෙදි කැබැල්ලක් දී “රාජොහරණං, රාජොහරණං” කියමින් පිරිමදින්නට
නියම කළහ. චුල්ලපන්තක හිමි සුදු රෙදි කෑල්ල පිරිමදියි. හිරු උදාවෙයි.
දහඩිය දමයි. රෙදි කැබැල්ල කිළිටි වෙයි. අනිත්‍ය මෙනෙහි වෙයි.
ගුරුවරයකු වශයෙන් බුදුරජාණන් වහන්සේගේ කායික දඬුවම් දීමක් නැත. මානසික
දඬුවම් අවස්ථාවෝචිත පරිදි දෙනු ලැබීය. “බ්‍රහ්මදණ්ඩනය” උපරිම දඬුවම ය.
එය පැනවූයේ ඡන්න තෙරුන්ට ය. දඬුවමක් පණවන්නේ ද හික්මවා ගතහැකි අයට
පමණි. යසෝජ ප්‍රමුඛ තෙරවරු දුර බැහැර සිට සවස් බාගයෙහි ජේතවනාරාමයට
පැමිණෙති. ආසන පැනවීමේ දී මහත් ඝෝෂාවක් ඇතිවිය. අනඳ හිමි ඇමතු
බුදුහිමියෝ “කුමක්ද?” ඔය උස් හඬ. මසුන් මරන තැන කෙවුලන් වගෙයි.
(කේවට්ට, මඤ්ඤේ මච්චවිලෝපේ) වහාම අරමින් පිටව යන්නැයි නියම කළහ.
උන්වහන්සේ ද තමන්ගේ වරද පිළිගෙන අරමින් බැහැර ගොස් භාවනා කොට රහත් වූහ.
නැවත පැමිණි විට බුදු හිමියෝ ඒ තෙරවරුන් සමඟ රාත්‍රි කාලය ම සමාධි සුව
වැළඳූහ.
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රමය මනෝවිද්‍යාත්මකව සකස් වූවෙකි.
අනුපුබ්භී කථාව හෙවත් අනුපිළිවෙළ කතාව එයට හොඳ නිදසුනක් වශයෙන් දැක්විය
හැකි ය. “දාන කථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං.. ආදී වශයෙන් එම කථන
මාර්ගය සකසා ඇත. මනුෂ්‍යයෝ තමා පිළිබඳව තම වස්තුව පිළිබඳව මමායනයකින්
ජීවත් වෙති. එය බොහෝ කාලයක සිට පැවත එන බැඳීමකි.
මේ බැඳීම කඩන්නට නම් ඊට වැඩි බැඳීමක් සිතට ඇතුළු කළ යුතුය. මේ නිසා දන්
දීමෙහි සිල් රැකීමෙහි අනුසස් වශයෙන් ලැබෙන දිව්‍ය සම්පත්තිය පිළිබඳ
වර්ණනාවක යෙදෙති. එවිට පරණ බැඳීම ලිහිල් වී අලුත් බැඳීමක් සිතට පිවිසෙ
යි. කාමයන්ගේ ආදීනව, කෙලෙස් සහිත බව වෙනස් වන ස්වභාවය පැහැදිලි කර
දෙති. එනිසා පැලපදියම් වූ ලිහිල් වූ පරණ බැඳීමත් අලුතින් පිවිසුණු
බැඳීමත් නැති වී නික්මීමේ ආනිශංස පිළිබඳව සිත යොමුවේ.
නන්ද තෙරුන් පිළිබඳව අනුගමනය කොට ඇත්තේ ද මේ මනෝවිද්‍යාත්මක ක්‍රමවේදය
යි. නන්ද කුමරු ජනපද කල්‍යාණි සමඟ පෙමින් වෙළී සිට විවාහ වන දිනයේ දී
උපක්‍රමයෙන් විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කළහ. නන්ද බුදුරදුන් සමඟ යනු
දුටු ජනපද කල්‍යාණි නා හිස පීරමින් උඩුමහල් තලයේ සිට “ගියාට කමක් නෑ
ඉක්මනට එන්න” යැයි කීවාය. මහණ වී භාවනා කරන විට සිහිපත් වන්නේ ම ජනපද
කල්‍යාණිය කී වදනයි. මේ නිසා නන්ද හිමි සිවුරු හැරීමට කල්පනා කරන බව
දැනගත් අනෙක් භික්ෂූහු උන්වහන්සේ බුදුරදුන් වෙත පමුණුවති. බුදුරජාණන්
වහන්සේ නන්ද හිමියන්ගෙන් කිසිවක් නො විමසූහ. නන්ද හිමියන් ද සමඟ
දෙව්ලොවට වැඩම කළහ. දෙවියෝ, දෙවඟනෝ පැමිණ බුදුරදුන්ටත් නන්ද හිමියන්ටත්
වැඳ වැඳ ගිය හ. ලස්සන දෙවඟනන් දුටු නන්ද හිමියන්ට දෙවඟනන් පිළිබඳව
සිතක් පහළ විය. ඒ දැනගත් බුදු පියාණෝ “නන්ද දෙවගනන් ලස්සනදැයි විමසා
ලස්සන යැයි කී විට දෙවඟනන් පන්සියයක් ලබාදීමට ඇප වෙති. නැවත මිනිස්
ලොවට පැමිණ භාවනාවට සිත යෙදවී ය. දෙවඟනන් ලබා ගැනීමට භාවනාවේ යෙදෙන
නන්ද හිමියන්ට අනෙක් හිමිවරු විහිළු තහළු කරති. ලජ්ජාවට පත් නන්ද හිමි
හොඳින් භාවනා කළේ ය. ප්‍රතිඵලය වූයේ නොබෝ දිනකින් ම සිව්පිළිසිඹියාපත්
මහ රහත් භාවයට පත්වීම යි.
ආලවක වැනි දරුණු යක්ෂයන් බුදුරජාණන් වහන්සේ දමනය කළ සේක්, ඔවුන්ට අවනත
වී සිතේ පැවති තද ගතිය ලිහිල් කිරීමෙනි. අංගුලිමාල වැනි මිනීමරුවන්
කාරුණික වදන් භාවිතයෙන් දමනය කළහ. සච්චක වැනි මනත්ථද්ධ බමුණන් වාද
මාර්ගයෙන් දමනය කළහ.
බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ සෑම කෙනෙක් ම අවසන උන්වහන්සේට අවනත භාවයට
පත් වූහ. ප්‍රශංසා කළහ. භාග්‍යවතුන් වහන්ස, ඉගැන්වීම ඉතා මැනවි.
යටිකුරු කළ භාජනයක් උඩුකුරු කළාක් මෙන්, වැසුණු දෙයක් විවෘත කළාක්
මෙන්, මං මුළාවූවකුට පාර කියා දුන්නාක් මෙන්, අන්ධකාරයෙහි පහනක්
දැල්වූවාක් මෙන් නන් අයුරින් දේශනා කරන ලදී. අද පටන් මම තිසරණ ගත
උපාසකයකු වෙමි. යැයි බෞද්ධ උපාසකයකු බවට පත් වෙයි. බුදුරජාණන් වහන්සේ
කෙතරම් දක්‍ෂ ගුරුවරයකු ද යත් සමහරු උන්වහන්සේ ළඟ ආවර්නනීය මායාවක් ඇති
බව පැවසූහ.
|