ගණේගම සරණංකර නා හිම,
තමන් ගේ සිරුර කැලිකෑලිවලට කපන හතුරා කෙරෙහිත් මෛත්‍රිය නො වඩා
තරහ හිතක් ඇති කර ගත්තොත් ඔහු බුදුරදුන් ගේ අවවාද පිළිපදින්නෙක් නො
වේය. බුදුරදුන් අනුගමනය කරන්නෙක් නොවේ ය.” බුදුහු පවසති. මෙය මෙසේ නම්
හිංසාව ගැන කුමන කතා ද?
බුදුන්වහන්සේ
අබෞද්ධයකු බෞද්ධ කිරීමේ දී පොරොන්දු පහකට බඳවා ගත්හ. එයට පඤ්චශීල යයි
කියනු ලැබේ. ඒ පඤ්චශීලයේ පළමු පොරොන්දුව හෝ ගිවිසුම පණ ඇති සතකු නො මරණ
බවට පොරොන්දු වෙමි, යනුයි. මෙයින් පෙනෙන්නේ බෞද්ධයකු වීමේ දී
මූලිකවශයෙන් තිබිය යුතු ගුණය අවිහිංසාවාදී බවය යනු යි. බුදුන්වහන්සේ
හැම ක්‍රමයකම හිංසාව හෙළා දැක්කාහ. මිනිසුන්ට පමණක් නොව සියලු සතුන්ට ම
මෛත්‍රිය දක්වන ලෙස නියම කළහ.
සම්බෙ තසන්ති දණ්ඩස්ස - සබ්බෙ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා - න හනෙය්‍ය න ඝාතයෙ
සියලු දෙන ම දඬුවමට භයවෙත්, සියල්ලෝ ම මරණයට බිය වෙත්. ඒ නිසා තමාත්
දඬුවමට හා මරණයට බිය බැවින් තමා ම උපමා කොට සිතා අනුනන් නො නැසිය යුතු
ය. නො මැරිය යුතු ය.
සම්බෙ තසන්ති දණ්ඩස්ස - සම්බෙසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා - න හනෙය්‍ය න ඝාතයෙ
සියලු දෙනම දඬුවමට තැති ගනිත්. සියල්ලන්ට ම ජීවිතය පි‍්‍රයය. ඒ නිසා
තමා උපමා කොට සිතා අනුන් නො නැසිය යුතු ය.
බුදුන්වහන්සේ හා මහාවීර හැර අනික් ශාස්තෘවරු තිරිසන් සතුන්ට කරුණාව
නොදැක්වූහ. තිරිසන් සතුන් මරා මස් පිණිස අනුභව කිරීමට අනුබල දුන්හ.
එබැවින් තිරිසන් සතුන් ගේ ගෞරවය අනික් ශාස්තෘවරුන්ට හිමි නො වේ. මහාවීර
අවිහිංසාව පිළිබඳ ව සීමාව ඉක්මවීය. ඔහුගේ පරම ධර්මය අවිහිංසාවයි. ඔහු
ජලයට පවා පණ ඇතැයි සලකයි. ජලය මැඩ ගෙන ඔරු පාරු ආදී යාත්‍රාවලින් යෑම
පවා පාපයක් කොට සලකයි. ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ දී පවා කුඩා ප්‍රාණින්
මැරෙන බැවින් මුඛවාඩමක් පාවිච්චි කරන ලෙස නියම කරයි.
බුදුරදුන් අනුදැන වදාළ ත්‍රිකෝටිපාරිශුද්ධමාංසය පවා නොපිළිගනී. මේ නිසා
කිසි ම ජෛන ආගමිකයෙක් මස් මාළු අනුභව නො කරයි. මේ සීමාන්තික
අවිහිංසාවාදය නිසා ජෛන ආගම ඇදහීමට දුෂ්කර එකක් විය. ඉන්දියාවෙන් පිටතට
එය පැතිර ගියේ නැත. ගොවිකම් කිරීමේ දී පවා සතුන් මැරෙන බැවින් ජෛනයෝ
වෙළෙඳාම හැර ගොවිකම් ආදී වෙන කර්මාන්තවල නො යෙදෙති. බුදුන් වහන්සේ ගේ
අනුශාසනය මධ්‍යම ප්‍රතිපදාව බැවින් උන් වහන්සේ සීමාන්ත අත්හළහ. එබැවින්
ම උන්වහන්සේගේ අනුශාසනය ලෝකයේ ඕනෑම රටක ඕනෑම වැසියකුට පිළිපැදිය හැකි
තරමට මධ්‍යස්ථය. උන්වහන්සේ සතුරු මිතුරු, ලොකු කුඩා, අඳුනන නාඳුනන,
දුටු නුදුටු හැම සතකුගේ ම ජීවිත ප්‍රාණය, ඒ සතාට පි‍්‍රය බව සැලකූහ.
මෛත්‍රී කිරීමේ දී හැම තරාතිරමක ම, හැම සතකුම, අඩංගු වනු සඳහා -
අපාදකෙහි මම මෙත්තං - මෙත්තං ද්විපාදකෙහි මෙ,
චතුප්පදෙහි මෙ මෙත්තං - මෙත්තං බහුප්පදෙහි මෙ
“මා ගේ මෛත්‍රිය පා නැති, නයි පිඹුරු - පොළොං ආදී දීර්ඝ ජාතීන් හා ය.
මාගේ මෛත්‍රිය දෙපා ඇත්තන් හා ය. මා ගේ මෛත්‍රිය සිවුපා ඇත්තන් හා ය.
මා ගේ මෛත්‍රිය පැත්තෑ, කංකුඩු ආදි බොහෝ පා ඇත්තන් හා ය.”
සබ්බෙ සත්තා සබ්බෙ පාණා - සබ්බෙ භූතා ච කෙවලා
සබ්බෙ භද්‍රානි පස්සන්තු - මා කඤ්චි පාපමාගමා.
“හැම සත්වයෝ ද, හැම ප්‍රාණීහු ද, හැම භූතයෝ ද යන මේ හැම දෙන ම යහපතක් ම
දකින්වා! මොවුන් කෙරෙන් කිසිවකු කරාත් දුකක් නො පැමිණේවා!” යනුවෙන්
බුදුන් වහන්සේ හැම කෙනකුටම මෙත් වඩන ලෙස උගැන්වූහ. උන්වහන්සේගේ
දේශනාවෙහි අනුන්ට හිංසා පීඩා හා පාඩු අලාභ සිදුවන විදියේ තබා එවැන්නක්
සිදුවීමට තුඩු දෙන විදියේ වචනයක් හෝ අදහසක් අඩංගු වී නැත. කකචූජම
සූත්‍රයෙන් බුදුහු මෙසේ වදාරති. “උභතො දණ්ඩකෙ න පි චෙ භික්ඛවෙ කකචෙන
චොරා ඔචරකා අඞග ම¼ඞ්ග නී ඔකංකෙය්යුං, තත්‍රා පි යො මනො පදුසෙය්‍ය, න මෙ
සො තෙන සාසනකරො. තත්‍රාපි වො භික්ඛවෙ එවං සික්ඛි තබ්බං න වෙච නොචිත්තං
විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම, හිතානුකම්පිච
විහරිස්සාම, මෙත්තචිත්තාන දොසන්තරා තඤ්ච පුග්ගලං මෙත්තාසහගතෙන චෙතසා
එරිත්වා විහරස්සාම. තදාරම්මණංච සබ්බාවන්තං ලොකං මෙත්තා සහගතෙන චෙතසා
විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අඛ්‍යාපජ්ජෙන එරිත්වා
විහරිස්සාමාති. එවංහි වො භික්‍ඛවෙ සික්ඛිතබ්බං.” මහණනි, ඉදින් දරුණු
හොරුන් අවුත් දෙපැත්තේ දඬු ඇති මහකියතකින් ශරීරයේ කොටස් කෑලිකෑලිවලට
කපද්දී යමෙක් ඒ හොරුන් කෙරෙහි හිත අමනාප කර ගත්තොත්, දූෂිත හිතක්, තරහ
හිතක් ඇති කර ගත්තොත් හෙතෙමේ මගේ අනුශාසනය කරන්නෙක් නොවේ.
පිළිපදින්නෙක් නො වේ. මහණනි, එබඳු අවස්ථාවක දී වූවත් තොප විසින් මෙසේ
සිතිය යුතු යි. අපේ හිත වෙනස් වන්නේ නැත. මොවුන්ට තද වචන නො කියන්නෙමු.
හිතානුකම්පීව, තරහ නො වී මෛත්‍රිය පතුරුවමු. ඒ මෙත් සිතට අරමුණු වූ
සියලු ලෝකයා කෙරෙහි මහත් වූ, අප්‍රමාණ වූ, වෛර නැති මෛත්‍රිය පතුරුවා
වසන්නෙමුයි කියා යි. මහණනි, හතුරකු කෙරෙහි වූවත් මෙසේ සිතන්නට පුරුදු
විය යුතු යි.” (කකවූපම සූත්‍රය – මජ්ඣිම නිකාය)
තමන් ගේ සිරුර කැලිකෑලිවලට කපන හතුරා කෙරෙහිත් මෛත්‍රිය නො වඩා තරහ
හිතක් ඇති කර ගත්තොත් ඔහු බුදුරදුන් ගේ අවවාද පිළිපදින්නෙක් නො වේය.
බුදුරදුන් අනුගමනය කරන්නෙක් නොවේ ය.” බුදුහු පවසති. මෙය මෙසේ නම්
හිංසාව ගැන කුමන කතා ද? මොන ම කරුණක් නිසා වත්, මොන ම කෙනකුට වත්
හිංසාවක්, පීඩාවක් කිරීමට බුදුන් වහන්සේ ගේ ධර්මයෙන් බෞද්ධයකුට ඉඩක්
නැත. එබැවින් සැබෑ අවිහිංසාවාදියා බුදුන් වහන්සේ ය. සැබෑ සිතින් බුදුන්
වහන්සේ අදහන හැබෑ බෞද්ධයන් අතර හිංසාවක්, පීඩාවක්, ප්‍රාණඝාතයක්,
කලහයක්, ආරවුලක්, අමනාපයක්, ගහ බැණ ගැනීමක්, ලේ හැලීමක් ඇති වන්නට මොන
ම ඉඩක් වත් නැත. යම් පිරිසක් අතර මේවා සිදුවෙතොත් එහි තේරුම ඔවුන් හැබෑ
බෞද්ධයන් නො වන බව යි. මෛත්‍රියේ මූර්තිය වූ බුදුන් වහන්සේ
අවිහිංසාවාදයේ ද මූර්ති යයි.
බුදුන් වහන්සේ ගේ අවිහිංසාප්‍රතිපත්තිය ආසියාතිකයන් තුළ කොතරම් දුරට බල
පැවැත්වූයේ දැයි කියතොත් ජාතීන් අතර හා රටවල් අතර යුද්ධ කිරීම බොහෝ දුර
අඩු විය. යුද්ධ කොට ජය ගෙන යුද්ධ කිරීම සදහට ම නැවැත් වූ ධර්මාශෝක වැනි
අවිහිංසාවාදී මහා අධිරාජයෙක් පහළ විය. සිරිසඟබෝ වැනි ධාර්මික රජවරු ඇති
වූහ. මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු වැනි අවිහිංසාවාදී ලෝකප්‍රසිද්ධ
ජනනයකයෝ පහළ වූහ. පෙරදිග, අපරදිග යන දෙදිගෙන් ඉතා ම වැඩියෙන්
ප්‍රාණඝාතය හෙවත් සතුන් මැරීම කෙරෙන්නේ අපරදිග ය. සතුන් මැරීම තබා මස්
මාංසවත් අනුභව නො කරන ඉතා ම වැඩි පිරිසක් සිටින්නේ පෙරදිග ය. කුරා
කුහුඹියකුට වත් හිංසාවක් නොකොට සියලු සත්වයෝ නිදුක් වෙත්වා යි අවංක
කරුණාවෙන් ප්‍රාර්ථනා කරන්නන් ඉතා ම වැඩි පිරිසක් සිටින්නේ පෙරදිග ය.
මෙයට හේතුව අවුරුදු 2500 ට පසුත් බුදුන් වහන්සේගේ අවිහිංසා ධර්මය
පෙරදිග මිනිස් සමාජයේ සිත් තුළ බල පැවැත්වීමයි. බෞද්ධ සිතුම් පැතුම් ජන
ජීවනයට කැවී තිබීමයි.
(බුදුහාමුදුරුවෝ කෘතියෙනි)
|