UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැනසුම ලබන්න සිත ගැන සිතන්න

අපගේ ඇස්, කන්, නාසාදී ඉඳුරන් තුළින් ලැබෙන සෑම අරමුණක් ගැනම සෝදිසියෙන් වාසය කරන්න ඕනේ. ඒ හැම අරමුණක් ම වෙනස් වෙන හැටි විනාශ වී යන හැටි දකින්න. ඒ ඒ මොහොතේ ඇතිවන සිද්ධියට මුහුණ දීම හැර වෙන කළ හැකි දෙයක් අපට නෑ. සිද්ධිය දෙස නුවණැසින් බලන්න. සිදුවීම් එලෙසින් ම සිදුවේවි. අප කළ යුත්තේ එය නුවණැසින් දැකීමට වෑයම් කිරීමයි.

බුදු දහම කියන්නේ පරම පවිත්‍ර වූ දැක්මකට. කිසිම තැනක වැරදීමක් නෑ. කෙනකුට ඕනෑම අවස්ථාවකදී මොහොතක් පාසා සැනසිල්ල උදාකර දෙනවා. එයට අමුතු උත්සාහයක් ගන්න ඕනෙ නෑ. ඇස් පනාපිටම දැන් දැන් ම අත්දකින්න පුළුවන්. කවුරුන් හෝ කීවාට, කවර තැනක හෝ සඳහන් වුණාට, ඒවා පිළිගැනීමෙන් පලක් නෑ. ප්‍රතිඵලය ලැබෙන්නේ තමාගේ ඇතුළතින්ම දුටු ප්‍රමාණයටයි.

ඒ අත්දැකීමෙන් ලබන සැනසුම කිසිම කෙනකුට කවර අයුරකින්වත් වෙනස් කරන්න බෑ. වචනයෙන් විග්‍රහ කරන්නත් බෑ. ඒ සැනසුම ලැබූ තැනැත්තාට හැම තැනකදීම ලොව්තුරු සුවය විඳිමින් කාලය ගත කරන්න පුළුවන්. ඔහු ලෝකය වෙනස් කර නෑ. ඔහු ලෝකය පිළිබඳ තමා තුළ පැවැති වැරැදි මත, වැරදි දෘෂ්ටි අයින් කළා පමණයි. ‘වස්ත්‍රයේ කිළිටි බව අයින් කළාම සැහැල්ලුව පිරිසුදු බව පි‍්‍රය මනාප බව නිරායාසයෙන් ම ලැබෙනවා වගේ.’ ඒ සඳහා අප දකින්න ඕනේ අප තුළ ක්‍රියාත්මක වන ධර්මයයි. බුදුරදුන්ගේ පවිත්‍රත්වය හෝ අධ්‍යාත්මිකව ලැබූ ශක්තිය අපට පොතක් තුළින් දැක ගන්න බැහැ.

අප විසින් කළ යුතු වන්නේ ඒ පාරිශුද්ධ වූ ආධ්‍යාත්මික ශක්තිය අපේ ජීවිත තුළත් වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීමයි. මෙය, තම තමා විසින් ම කරගත යුතු දෙයක්. “පච්චත්තං වේදිතබ්බෝ” කීවේ ඒ නිසාම තමයි. තමා ලබා ගන්නා දේ තමා සතුයි. තමා සතු දේ කිසිවකුට වෙනස් කරන්න බෑ. තමා පසු පස ගමන් ගන්නා හොඳම කල්‍යාණමිත්‍රයා තමන් සතු ධර්ම ශක්තිය පමණයි. ධර්මය ඉගෙනීම යථාර්ථයෙන් ම කළ යුතු දෙයක්. අපේ ජීවිත තුළ පවතින අතෘප්තිකර භාවය, අසහනකාරී ස්වභාවය, අසතුට ට පත්වන ස්වභාවය යන තත්ත්වයන්ගෙන් ඉවත් වී තෘප්තිකර ආකාරයකට දවස ගත කිරීම සහ සතුට හා සැනසුම ලබා ගැනීමටත් අප හා ජීවත් වන අසල්වැසියන්ටද සතුට හා සැනසුම ලබා දීම සඳහාත් ධර්මය ප්‍රායෝගික ජීවිතයට ආවේණික කර ගත යුතුයි. එවිට ඇත්තෙන් ම අපට ධර්මය ආශිර්වාදයක් වෙනවා. ධර්මය පිළිපදින්නා ධර්මය විසින්ම ආරක්‍ෂා කරනවා කියන්නේ ඒ නිසයි.

මනස සන්සුන් කර ගත්තට පස්සේ මනස පවතින්නේ මනසට ආවේණික වූ සත්‍ය වූ ස්වභාවයෙන්. මනස සසල වුණාට පස්සේ කෙළවරක් නැති සිතිවිලිවලින් පුරවලා මනස දූෂිත වූවක්, විකෘති වූවක් කරනවා. මේ නිසා අප පළමුව කළ යුතු වන්නේ මනස සැහැල්ලු කරමින්, මනස සන්සුන් කරමින්, මනස නිරෝගී කරමින් සහ මනස ශක්තිමත් කරමින් අප ජීවත් වන මේ විශ්වයේ පවතින සැබෑ වූ සත්‍ය අවබෝධ කර ගැනීමට වීර්ය උපදවා ගැනීමයි.

මිනිසා ජීවත් වීමේ දී සෑම මොහොතක ම ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට මූලිකත්වය දෙමින් කටයුතු කරනවා. මේ පංචේන්ද්‍රියන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තු ගෝචර වීම හේතුවෙන් හා ඒවාට අනුව සිත මෙහෙයවීම හේතුවෙන් අපගේ කටයුතු වල ව්‍යාකූල ස්වභාවයක් ඇති කරනවා. මෙහිදී කළ යුතු වන්නේ ධර්මය ප්‍රායෝගිකව භාවිතයට ගැනීමයි. මෙහිදී ධර්මය ලෙස මා අදහස් කරන්නේ ස්වභාව ධර්මයේ පවත්නා වූ පරම සත්‍ය ස්වභාවයයි.ස්වභාව ධර්මයේ පවත්නා වූ මෙම පරම සත්‍ය ස්වභාවය අප ජීවිතය තුළත් සාධාරණව පවතින බව අවබෝධ කර ගත යුතුයි. එහිදී මනසට මුල් තැන ලැබෙන අතර මනසේ ක්‍රියාකාරීත්වය ද පළමු කොට අවබෝධ කර ගන්න ඕනෙ. සිත දුබල දුර්වල එකක්. ‘දියෙන් ගොඩ දැමූ මාළුවෙක් සේ චලනය වන ස්භාවයෙන් යුක්තයි.’ චලනය වන නිසා සිතේ ශක්තියක් නෑ. මේ චලනය නතර කර ගත්තොත් එතැනයි ශක්තිය ගොඩ නැඟෙන්නේ.

පහනක දැල්ල සෙලවෙනව නම්, ඒ දැල්ලේ ආලෝකයෙන් යමක් කියවන්න බෑ. ඒ දැල්ල සෙලවෙන නිසා. ඒ දැල්ලේ ආලෝකයෙන් වැඩක් ගන්න නම් ඒ දැල්ල සෙලවීම නතර කරන්න ඕනෙ .දැල්ලෙ සෙලවීම නතර වුණාම, නතර කළාම ඒ පැතිරෙන ආලෝකයෙන් වැඩක් ගන්න පුළුවන්. දැල්ල සෙලවීම නතර කිරීමට බලන්න ඕනෙ, ඇයි මේ පහන් දැල්ල සෙලවෙන්නේ කියලා. දැල්ල සෙලවෙන්නෙ සුළඟ නිසා. කොහෙන් ද මේ සුළඟ හමන්නේ. දොරටුවලින්. දොරටුවලින් සුළඟ එනතාක් කල් දැල්ල සෙලවෙනවා. සෙලවීම නවත්වන්නට නම් සුළඟ ඒම නතර කරන්න ඕනෙ. සුළඟ නතර කරන්න නම් හොඳින් දොරටුව වහන්න ඕනෙ. ඔබෙත්, මගේත් සිත සෙලවෙනවා. සිත සෙලවෙන්නේ කුමක් නිසාද? අරමුණු නිසා. චක්ඛුද්වාර, සෝතද්වාර, ඝාණද්වාර, ජිව්භාද්වාර, කායද්වාර, මනෝද්වාර යන දොරටු නිසා. ඒ නිසා දොරටු වලට රැකවරණයක් අවශ්‍ය වෙනවා මොනව ද මේ ඉන්ද්‍රීය හයට ගෝචර වන්නේ? කොහොම ද සිත පිරිසුදු කර ගන්න ඕනේ? තණ්හාව, අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තණ්හාව ඇත්තේ. අවිද්‍යාව තණ්හා දෙක නිසයි සසර දුක අපට උරුම වෙලා තියෙන්නේ. සැනසීම ලැබීම අපේක්‍ෂාව නම් අවිද්‍යා, තණ්හා දෙකෙන් මිදෙන්න ඕනේ.

මෙතන දී ප්‍රධාන වන්නේ මනස නමැති ඉන්ද්‍රීය රැකීමයි. කොහොමද මනේන්ද්‍රිය රැකෙන්නේ? මනේන්ද්‍රියේ දී තමයි පින්වතුනි අවිද්‍යාව ක්‍රියාවට නැඟෙන්නේ. එහෙනම් මනේන්ද්‍රිය රැකගත්තා නම් සියල්ල ම රැකගත්තා වෙනවා. සිත රැක ගත්තා නම් ඔක්කොම රැකෙනවා. ඔක්කොම රැක ගත්තේ නැති වුණත් කමක් නෑ සිත රැක ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තැන සිහියට නගලා බලන්න. මෙන්න මේ ඉන්ද්‍රීය ආරක්‍ෂා කළොත් විශ්ව ධර්මතාවයන් පිළිබඳ යථාවාදී ව අවබෝධ කරගන්නටත් ඒ තුළින් ඔබ ලැබූ මිනිස් ජීවිතයේ උපරිම ඵලය නෙළා ගන්නටත් හැකි වෙනවා.

මනස කැලඹීමට පත් වනවිට එකක් යටපත් කරමින් තවත් එකක් වශයෙන් එකින් එක අභිභවා යන සිතුවිලි පරම්පරාවක් විදිහට ගලාගෙන යන සිතුවිලි පැතිරෙන්නට පටන් ගන්නවා. මෙහි දී කරන්න ඕනේ මෙසේ ගලාගෙන එන සිතුවිලි පරම්පරාව අතැහැරීමට පුරුදු වීමයි. සතුට අතුරුදන් වන විට ඇති වන්නේ දුකක්මයි. ඇත්ත වශයෙන් ම විග්‍රහ කර බලන කොට මේ ජීවිතයේ කිසිම කටයුත්තක් කිසිම අවස්ථාවක දී සතුටක් ගෙන දෙන්නේ නෑ. සතුටක් ලැබුවත් එය තාවකාලිකයි. එම සතුටු සිතින් යුතුව ගත කර පුංචිම පුංචි අවස්ථාව ක්‍රමයෙන් දුකක් බවට පෙරළෙනවා. මිනිසා සෑම මොහොතකදී ම උත්සාහ ගන්නේ එම දුක නැවතත් අමතක කිරීමට උත්සාහ දරමින් එම දුක් සහගත තත්ත්වය සතුටක් යැයි තවතවත් තදින් අල්ලා ගැනීමට උත්සාහ දැරීම පමණයි. එසේ කිරීමෙන් කිසි ම දවසක අපට සැනසීමක් නම් ළඟා කර ගන්න බැරි වෙනවා. ලෝකයේ ඇති දේ තුළ හොඳ නරක දුක සැප කියලා දෙයක් නෑ. ඒවා සිතේ නිර්මාණ පමණයි. අපේ සිත නින්දට වැටුනට පස්සේ තාවකාලික ව අපි ලෝකයෙන් ඉවත් වෙනවා. ඒ අවස්ථාවේ දී ලෝකය ගැන කිසිම විග්‍රහයක් අපි ළඟ නෑ. නින්දෙන් අවදි වුණාට පස්සේ නැවතත් ලෝකයට එකතු වී කටයුතු කරනවා. එහි දී අපි නැවතත් ලෝක විග්‍රහයට ලක් වෙනවා. සිතක් නැතිනම් ලෝකයකුත් නෑ. ලෝකය කියා දෙයක් මවා ගෙන තියෙන්නේ සිත විසින්. සිතට එන මායාකාරී ස්ත්‍රී පුරුෂ, ලස්සන අවලස්සන වේවා මේ සියල්ල සත්‍යය නොවෙයි. සිතේ මවා ගැනීම්, භාවනාව තේරුම් නොගත්ත අයට මේ ධර්ම විග්‍රහයන් තේරුම් ගන්න බෑ.

අපගේ ඇස්, කන්, නාසාදී ඉඳුරන් තුළින් ලැබෙන සෑම අරමුණක් ගැනම සෝදිසියෙන් වාසය කරන්න ඕනේ. ඒ හැම අරමුණක් ම වෙනස් වෙන හැටි විනාශ වී යන හැටි දකින්න. ඒ ඒ මොහොතේ ඇතිවන සිද්ධියට මුහුණ දීම හැර වෙන කළ හැකි දෙයක් අපට නෑ. සිද්ධිය දෙස නුවණැසින් බලන්න. සිදුවීම් එලෙසින් ම සිදුවේවි. අප කළ යුත්තේ එය නුවණැසින් දැකීමට වෑයම් කිරීමයි.

හේතුඵල වශයෙන් සිදුවන දෙයට අනුව ඒ සිද්ධියට පමණක් මුහුණ දෙන්න. තමන්ට යැයි ගත හැකි දෙයක් නෑ. මම මට යනු සංඥාවක් පමණයි. අතීතය හා අනාගතය සිතෙන් අයින් කරන්න. වර්තමානය වුණත් අල්ලා ගන්න අවශ්‍ය නෑ. අතීතය අනාගතය පිළිබඳ සිතුවිලි වලට නොවැටී මේ දැන් සිටින මොහොත ගැන පමණක් මෙනෙහි කරමින් විසීම සැනසීම ලැබීමට පහසුම මඟ යැයි වදාළ බුදු වදන නිතර සිහියට ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]