UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුන්වහන්සේ ලොවට දුන් පණිවුඩය

බුදුන්වහන්සේගේ ඉගැන්වීම ඊසාන දිග ඉන්දියානු සමාජයේ සෑම ප්‍රදේශයක් තුළ ම ඉතා සීග්‍ර ලෙස පැතිරී ගියේ මක්නිසාද යන ප්‍රශ්නය මතු කිරීම ඓතිහාසික වටිනාකමකින් යුත් කරුණක් පමණක් නොව වර්තමානයට ද එය අදාළ වනු ඇත. මීට හේතුව වී ඇත්තේ අද අප ජීවත් වන කාල වකවානුව බුදුදහම නැගෙනහිර මෙන් ම බටහිර ද මනුෂ්‍යයන් රාශියකගේ ජීවිත කෙරෙහි විශාල බලපෑමක් දැක්වීමට ආරම්භ වී ඇති යුගයක් වීමයි.

බුදුදහමේ අපූර්ව සාර්ථකත්වයටත් වර්තමානයේ එය කෙරෙහි මෙතරම් අවධානයක් යොමු වීමටත් මා හිතන අන්දමට හේතු වී ඇත්තේ එහි ඇති ප්‍රධාන ලක්ෂණ දෙකකි. එක් ලක්ෂණයක් නම් එම ධර්මයේ ඇති අරමුණයි. අනෙක එහි අනුගමනයට ඇති ක්‍රම වේදයයි.

අරමුණ වශයෙන් ගත් කල බුදුන්වහන්සේ තම ධර්මය සංග්‍රහ කර ඇත්තේ මනුෂ්‍ය පැවැත්මේ පදනමෙහි ම පවතින බරපතළ ම ප්‍රශ්නය එනම් දුක පිළිබඳ ප්‍රශ්නයට අමතන අයුරිනි. උන්වහන්සේ එය කරන ලද්දේ සාමාන්‍යයෙන් ආගම්වලට ආවේණික අද්භූත මිථ්‍යාවන් මත පිහිටාගෙන නොවේ. තවද එම ධර්මය එහි අවසානය දක්වා නිවැරදිව අනුගමනය කරන්නකුට පරම සැපතත් සාමයත් මේ ලෝකයේදී ම මේ කාලය තුළදී ම ලබාගත හැකි බවට උන්වහන්සේ සහතික වෙයි. කළ යුත්ත වූ මිනිසාගේ මනස බැඳී ඇති විවිධ බැමි සහ විලංගු වලින් එය මුදවා නිවහල් කිරීමේ මූලික කාර්යය හැරුණු කොට විවිධ දෘෂ්ටීන් පිළිබඳ මතවාද හෝ ආධ්‍යාත්මික විද්‍යාවන්ගේ සියුම් ගවේෂණය ආගමික වත්පිළිවෙත් හා වන්දනාමාන කිරීමේ ක්‍රම ආදිය පිළිබඳ ව උත්සුක වීම් ආදි සියලු කරුණු එම මුලික අරමුණට අදාළ නැති එයින් පරිබාහිර දේවල් ලෙස සලකා බුදුන් වහන්සේ විසින් බැහැර කරන ලදී.

බුදුදහමේ දැක්වෙන විමුක්ති මාර්ගය එහි ප්‍රධාන සංකල්පය වූ චතුරාර්ය සත්‍යය තුළට ගොනුකර ඇති අයුරින් ම එහි ඇති මෙම ප්‍රායෝගික නැඹුරුව මනාව පැහැදිලි වේ. එනම්

1. ජීවිතය දුක් සහිත බව කියවෙන දුඞඛ සත්‍යය

2. දුක ඇතිවන්නේ තෘෂ්ණාව හේතුකොට ගෙන බව දැක්වෙන දුඞඛ සමුදය ආර්ය සත්‍යය

3. තෘෂ්ණාව නැති කිරීමෙන් දුක නැතිවෙන බව දැක්වෙන දුඞඛ නිරෝධ ආර්ය සත්‍යය සහ

4. දුක නැති කිරීමට ඇති මාර්ගය දැක්වෙන දුඞඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදා ආර්ය සත්‍යය යන මේ අයුරිනි.

බුදුන්වහන්සේ දුක සහ එයින් මිදීමේ ක්‍රමය තම ධර්මයෙහි කේන්ද්‍රීය ලක්ෂ්‍යය කර ගත්තා පමණක් නො ව දුක පිළිබඳ ගැටලුවට විසඳුම් දැක්වීමේ දී ඒ පිළිබඳ ව පුදුම අන්දමේ මනෝවිද්‍යාත්මක විනිවිද දැක්මක් පෙන්නුම් කරයි. උන්වහන්සේ දක්වන අන්දමට දුකට හේතු ඇත්තේ අපගේ් සිත් තුළ ම ය. මුලින් ම ඊට හේතු වන්නේ විවිධ දේවල් සම්බන්ධයෙන් අප තුළ ඇතිවන තෘෂ්ණාව සහ විවිධ දේවල් වල ඇලී ගැලී සිටීමට ඇති ආශාවයි. ඉන්පසු තවත් පියවරක් ආපස්සට යන උන්වහන්සේ මූලික ව ම අප තුළ ඇති කිසි ම දෙයක යථා තත්ත්වය තෝරා බේරා ගැනීමට නොහැකි වන මෝහය ඊට හේතුවන බව වදාරයි. මේ ආකාරයට දුක ඇතිවන්නේ සිත තුළ බැවින් දුක නැති කිරීමට සිතෙහි ඇතිවන ක්ලේශයන් සහ මුලින්ම ඉවත්කොට යථා තත්ත්වය අවබෝධ කරගත හැකි පරිදි සිතට පිළියම් කළ යුතුය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මෝහාන්ධකාරයේ ගිලුන විවිධ දුක් කම්කටොලුවල ග්‍රහණයට හසු වූ පෘථග්ජන මනසකින් ආරම්භ වී සත්‍යාවබෝධ වූ නිදහස සහ සතුට පිරි දීප්තිමත් මනසකින් අවසන් වේ.

බුදුන්වහන්සේ තමන් වහන්සේගේ ඉගැන්වීමෙහි මුල සහ අග සම්බන්ධ කිරීමට ඉතා පැහැදිලි නිශ්චිත සහ ප්‍රායෝගික කරුණු අටකින් සමන්විත මාවතක් ඉදිරිපත් කරයි. එම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වේ.

1. මනුෂ්‍ය පැවැත්මේ මූලික කරුණ පිළිබඳ නිවැරදි දැක්ම හෙවත් සම්මා දිට්ඨියෙන් සහ

2. එම මාර්ගයෙහි යාමට අවශ්‍ය පුහුණුව ලැබීම සඳහා නිවැරදි අධිෂ්ඨානය යන කරුණු දෙකෙන් මාර්ගය ආරම්භ වේ. ඉන්පසු එම මාර්ගය

3. සම්මා වාචා හෙවත් නිවැරදි වචනය

4. සම්මා කම්මන්ත හෙවත් නිවැරදි ක්‍රියාව සහ

5. සම්මා ආජීව හෙවත් නිවැරදි ජීවිතය යන සදාචාරාත්මක සාධකත්‍රය ඔස්සේ ගමන් කොට භාවනාව සහ මනස දියුණු කිරීම හා සම්බන්ධ සාධක තුන වන

6. සම්මා වායාම හෙවත් නිවැරදි වෑයම

7. සම්මා සති හෙවත් නිවැරදි සිහිය සහ

8. සම්මා සමාධි හෙවත් නිවැරදි සමාධිය

යන පියවර කරා පැමිණේ. අනුගාමිකයා එකී නිවැරදි මාර්ගයට අවතීර්ණ වීමේ සාධක අට තමන් තුළ පරිණත තත්ත්වයට පත් කරගත් විට ඔහුට එයින් ලැබෙන අභ්‍යන්තර විනිවිද දැකීමේ හැකියාව නිසා මනුෂ්‍ය පැවැත්මේ යථා ස්වභාවය අවබෝධ කොට ගෙන ගමනෙහි නියම ප්‍රතිඵල භුක්ති විඳීමට හැකි තත්ත්වයට පත්වෙයි. එනම් පූර්ණ ප්‍රඥාව සහ නොසැලෙන මානසික විමුක්තිය ඇතිවීමය.

බුදුදහම අනුගමනය කරන ක්‍රමවේද

බුදුදහම අනුගමනය කර ඇති ක්‍රම වේදයේ ස්වරූපය එහි ඇති අරමුණ හා බෙහෙවින් ම අනුරූප වෙයි. බුදුදහමෙහි ඇති පැහැදිලි මනෝවිද්‍යාත්මක නැඹුරුව නිසා එහි ඇති සුවිශේෂ ලක්ෂණ වලින් එකක් ස්වයං විශ්වාසය කෙරෙහි දක්වන අවධාරණයයි. බුදුන් වහන්සේ වදාළ අන්දමට විමුක්තියට යතුර ඇත්තේ මානසික පාරිශුද්ධත්වයත් නිවැරදි අවබෝධයත් මත බැවින් අපට අපගේ ගැලවීම අන් කෙනකුගේ පිහිටෙන් ලබාගත හැකිය යන අදහස උන්වහන්සේ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කළහ. බුදුන් වහන්සේ තමන් වෙත කිසිම දේවත්වයක් ආරෝපණය කර නොගන්නා අතර ම තමන් පුද්ගල ගැලවුම්කරුවකු බවද කිසිවිටෙකත් ප්‍රකාශ නොකරති. ඒ වෙනුවට බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රමයෙන් අනුගමනය කළයුතු මාර්ගය පෙන්වා දෙන්නේ මාර්ගෝපදේශකයකු හා ගුරුවරයකු ලෙසිනි.

ප්‍රඥාව හෙවත් විනිවිද දැකීම විමුක්තිය ළඟාකර ගැනීමේ ඒකායන පිටුවහල බැවින් බුදුන්වහන්සේ තමන්ගේ අනුගාමිකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ තමන් වහන්සේ වෙත තබන අන්ධ විශ්වාසය හෝ ප්‍රශ්නවලින් තොර කීකරු බව හෝ නොව එක් එක් අය තමන්ගේ වැටහීමේ මට්ටම අනුව ධර්මය තේරුම් ගෙන ඒ ධර්මය අනුගමනය කිරීමයි. බුදුන්වහන්සේ තම ධර්මය විමසීමට කැමති අයට ඔවුන්ගේ අවබෝධයේ මට්ටමත් බුද්ධිමත් අනුව ධර්මය පරීක්ෂාකොට බැලීමට ආරාධනය කරයි. බුදුන් වහන්සේ ගේ ධර්මය හෙවත් ඉගැන්වීම වාචසික වූ කිසියම් ලබ්ධියක් වශයෙන් විශ්වාස කිරීමට හිමි වූවක් නොව පුරුදු පුහුණු කොට ප්‍රතිඵල දැකිය හැකි ප්‍රායෝගික දහමකි. කෙනකු නියම මාර්ගයට අවතීර්ණ වී ධර්මය පුහුණු කිරීම අරඹත් ම ඔහුට තමා තුළ වර්ධනය වන දැඩි සතුටක් හා සාමකාමී බවක් දැනෙන අතර එම මාර්ගයේ ඉතා පැහැදිලි ව දක්වා ඇති පරිදි පියවරෙන් පියවර ඉදිරියට යාමේදී එම හැඟීම් පුළුල් වී ගැඹුරු වන බවක් දැනේ.

බුදුන් වහන්සේගේ මුල් ඉගැන්වීම්වල ඇති ඉතාමත් ම සිත්ගන්නා සුලු ලක්ෂණය නම් විනිවිද පෙනෙන පළිඟුවක් මෙන් එහි ඇති අතිශය පැහැදිලි බවයි. ධර්මය විවෘතය, සුපැහැදිලියි. සරලයි එහෙත් ගැඹුරුයි. එය සාදාචාරාත්මක පාරිශුද්ධිය සමග එක් වූ දැඩි විචාරාත්මක ස්වරූපයෙන් යුතුවා මෙන්, උත්කෘෂ්ට දර්ශනයක් පිළිබිඹු කරන අතරම එදිනෙදා ජීවිතයේ අත්දැකීම් වලටද අනුකූලය. සම්පූර්ණ සත්‍යය අවබෝධ වන්නේ අදියරෙන් අදියර වුවද, ඉගැන්වීම මූලික ප්‍රතිපත්ති වලින් ආරම්භ වන අතර ආවර්ජනය සඳහා ඒවා නිර්ණායකයන් වශයෙන් යොදාගත් වහාම ඒවායේ ඇති වලංගුතාවය පැහැදිලි වේ. සාර්ථක ව ප්‍රගුණ කරන එක් එක් පියවර වඩා ගැඹුරු වූ අවබෝධය කරා පුද්ගලයා ගෙන යයි. බුදුන්වහන්සේ තම ධර්මයේ විෂය ක්‍ෂේක්‍රය කරගත්තේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම එකසේ පොදු ප්‍රශ්නයක් වූ දුක පිළිබඳව වන බැවින් ඔවුන්ගේ් මිනිසත් බව නිසා බුදුන්වහන්සේට තම ඉගැන්වීම් සියලු දෙනා වෙතම යොමු කළ විශ්ව්‍යාප්ත පණිවුඩයක් බවට පත් කිරීමට හැකිවිය. උන්වහන්සේ විසින් පැහැදිලි කොට දුන් විමුක්ති මාර්ගයේ දොරටු පැරණි ඉන්දීය සමාජයේ ජීවත් වූ බ්‍රාහ්මණ රාජ කුමාර, වෙළෙඳ, ගොවි හා අසරණ කුලහීන කුලීන යනාදී සියලු දෙනාටම කිසි පංති භේදයක් නොමැති ව එකසේ විවෘත කොට දෙන ලදී. ජගත් මානව වර්ගයා ම සඳහා කැප වූ ව්‍යාපෘතියක් වශයෙන් බුදුන් වහන්සේ තම ඉගැන්වීම ස්ත්‍රී වර්ගයාට ද එකසේ විවෘත කොට දුන් සේක. බුදුදහම ඉන්දීය දේශ සීමාවලින් ඔබ්බට විහිදී ලොවපුරා පැතිරුණු ආගමක් ලෙස ව්‍යාප්ත වූයේ එහි ඇති මෙම සමස්ත මානව වර්ගයාට ම පොදු විශ්ව පරිමාව නිසාය.

බුදුන්වහන්සේ ගිහි ජනයා සඳහා නිර්දේශ කළ විනය පද්ධතිය පන්සිල් නමින් හැඳින්වෙන අතර එමඟින් ප්‍රාණඝාතය, සොරකම, ලිංගික අපචාරය, බොරුකීම සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම යන වැරදි ක්‍රියාවලින් වැළකී සිටීම බලාපොරොත්තු විය. මෙම වැළකී සිටිය යුතු යැයි නිර්දේශිත ආචාර ධර්මවල ක්‍රියාකාරී අංශය හදවත තුළින් එන අභ්‍යන්තර ගුණාංගයන්ට අනුරූප වේ.

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]