UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

දුක නිවීමට පමා නොවෙමු

කිසා ගෝතමිය තණ්හාව හා ආශාව කුමන ආකාරදැයි අවබෝධ කොට ගත්තා ය. තණ්හාව නිසා දුක ඇතිවන අන්දම ද තේරුම් ගත්තා ය. ආශාව හා තණ්හාව නැති කිරීමෙන් විමුක්තිය ලබාගත හැකි බවද ඈ අවබෝධ කළා ය. ඒ සඳහා යා යුතු මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය බව බුදුපියාණන් වහන්සේ විසින් ඇයට පෙන්වා දෙන ලදී.

මේ නිමක් නැති සසර ගමනේ දී අපි විවිධ ජීවිත අත්දැකීම් ලබමින් භවයෙන් භවයට ගමන් කරමු. මේ දිගු භව ගමනේ දී අප සැරැසී සිටින ජීවිතය නමැති වැරහැල්ලට පැලැස්තර හා අණ්ඩ දමනවා විනා අප කරන්නේ කුමක්ද? මේ ජීවිත වැරහැල්ලට එක පැලැස්තරයක් දමා අවසන් කරන විට තවත් තැනක් ඉරී ඇති බව අපට පෙනී යයි. එයට පිළියම් කර අවසාන වන විට තවත් කිහිප පළක් ඉරී ඇති බව අපට හසු වෙයි.

මේ අන්දමට ජීවිත වැරහැල්ලට තාවකාලික පිළියම් යොදන අප කරා මරණය පැමිණෙන්නේ අපටත් හොරාය. අනතුරුව අපි විලාප නඟමින් ඉතා අකැමැත්තෙන් මරුවා හා පිටත්ව යමු. ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනැස යන මහ බලවතුන්ගේ බලවත් ඉල්ලීම පරිදි අපි ඔවුනට වහල් වී ඔවුන් කියන දෙයම ඉටු කරමින් සිටින්නෙමු. ඔවුන් විසින් අණ කරනු ලබන දේ ඉටු කිරීමෙන් අප ලබන්නේ මොහොතක ආස්වාදයක් පමණකි. මේ ආස්වාදය ලුහු බැඳගෙන එන නිමක් නැති මහා දුක් කන්දරාව නිසා අපි එයින්ම ජීවිතය විඳවමු. ජීවිතය වසාගෙන පැතිර පවතින මේ දුක් සමුදාය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඇත්තේ අප කීයෙන් කී දෙනාටද?

ජීවිතයේ හැම අංශුවක් පුරා පැතිර පවතින දුක තේරුම් ගැනීමට අපි එක් උදාහරණයක් දෙසට හැරෙමු. දීර්ඝ ගමනක් යෑම සඳහා අපි ශීඝ්‍රගාමී බස්රියකට ගොඩ වී සුව පහසු ආසනයක් ලබා ගනිමු. ඉතා සැනසිලිදායක අන්දමින් එහි අසුන් ගන්නා අපට තරමක් දුර ගමන් කළ පසු අර මුලදී දැනුණු සුව පහසුව තව දුරටත් දැනෙන්නේ නැත. කෙමෙන් කෙමෙන් අප තුළ අසහනය හා අපහසුව හට ගනියි.

එක ඇළයකට හැරී ඉරියව් මාරු කරමින් ද, යළි යළිත් වෙනත් ඉරියවුවලට මාරු වෙමින්ද අපි ගමනෙහි යෙදෙමු. දිගටම වාඩි වී සිටීමත් දුකකි. නැඟී, සිටගෙන සිටීමත් දුකකි. කෙටියෙන් කිවහොත් මේ හැම දෙයක්ම දුකකි. මීට හේතුව කුමක්ද?

අපේ ජීවිතයේ නිතර අප ලුහුබැඳගෙන එන දුකය. කිසාගෝතමිය කරපින්නා ගත්තේ, අකාලයේ මියැදුණු තම දරුවාගේ මළකඳ පමණක් නොව, හදවත දවාලන කටුක වියෝ දුකකි. ඒ දුක ඇය කෙතරම් පීඩාවට පත් කළේදයත් එයින්ම ඈ උමතුබවට පත්වූවාය. මිය ගිය දරුවා කෙසේ හෝ සුවපත් කර ගත හැකිය යන උමතු විශ්වාසය ඇය තුළ විය.

බුද්ධිමත් උදවිය අද පමණක් නොව එදා දඹදිව සාමාන්‍ය සමාජයේ ද අපමණ සිටියහ. එවැනි එක් පින්වතකු කිසා ගෝතමියට කීවේ මළ දරුවා සුවපත් කරදිය හැකි වෙදැදුරු කෙනකු අසවල් තැන සිටිනවා යනුවෙනි. ඒ බුද්ධිමතා සිතුවේ නොඅනුමානවම කිසාගෝතමියගේ ප්‍රශ්නයට විසැඳුමක් බුදු හිමියන්ගෙන් ලැබෙනු ඇත කියා ය.

බුදු හිමියන් කිසාගෝතමියට කියූ පරිදි ඇගේ මළ දරුවා සුව පත් කරදීමට නම් කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙන ආ යුතු ය. කිසා ගෝතමිය මිය ගිය දරුවා කර පින්නාගෙන නොමළ ගෙයකින් අබ මිටක් සොයමින් නගරය පුරා කරක් ගැසුවා ය.

දරුවාගේ මළ කඳද රැගෙන, කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගිය

කිසාගෝතමියට තේරුම් ගියේ මරණය ඇගේ දරුවාට පමණක් නොව, සියල්ලන්ටම පොදු වූ ඉතා සුලබ ධර්මතාවක් බවයි. කෙමෙන් පිළිකුලට පත්වීගෙන යන දරුවාගේ මළකඳ සොහොනට දැමූ කිසාගෝතමිය දැඩි වෙහෙසට පත්ව සිටියා ය. ඇය ආපසු බුදුහිමියන් සොයා ගියා ය.

දරු වියොවින් සිහි විකලව සිටි කිසාගෝතමියට ධර්මය දේශනා කොට සත්‍යය අවබෝධ කර දීමට වඩා, ප්‍රායෝගික අත්දැකීමකින් සත්‍යය අවබෝධ කර ගැනීමට මඟ පාදා දීම බුදුහිමිගේ අධ්‍යාපන ක්‍රමවේදය විය. කිසා ගෝතමිය ක්‍රියාවෙන් අවබෝධය ලැබුවා ය. ඇය බුදු හිමි පිහිට පතා ආපසු ආවේ එහෙයිනි.

ජීවිතය යනු කෙළවරක්, නිමක් නැති මහා දුක් සමුදායකි. මේ දුක හැම මොහොතකම අප ලුහුබැඳ එයි. මේ දුකට හේතුව කුමක්ද? අප තුළ පවතින ආශාව හෙවත් තණ්හාවය. දරු සම්පතක් බලාපොරොත්තු වී බොහෝ කාලයක් සිටි කිසාගෝතමියට ලැබුණු දරුවා ළදරු වියේදීම මරු වසඟයට පත් විය.

ඇය දරුවියොවින් උමතු බවට පත්වූයේ එහෙයිනි. තමන්ට රටක් රාජ්‍යයක් වැනි වූ දරුවා අකාලයේ වියෝවීම ඇගේ මහත්වූ දුකට හේතු විය. කිසාගෝතමියගේ මෙන්ම අප හැමගේම දුකට හේතුව මේ තණ්හාව හා ආශාව නොවේද?

කිසා ගෝතමිය තණ්හාව හා ආශාව කුමන ආකාරදැයි අවබෝධ කොට ගත්තා ය. තණ්හාව නිසා දුක ඇතිවන අන්දම ද තේරුම් ගත්තා ය. ආශාව හා තණ්හාව නැති කිරීමෙන් විමුක්තිය ලබාගත හැකි බවද ඈ අවබෝධ කළා ය.

ඒ සඳහා යා යුතු මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය බව බුදුපියාණන් විසින් ඇයට පෙන්වා දෙන ලදී. කිසාගෝතමිය බුදු හිමියන් පෙන්වා දුන් ඒ මඟ අනුගමනය කළා ය.

ලෝකය දුක මත පිහිටා ඇති බව සම්බුද්ධ දේශනයයි. එබැවින් මේ දුක් සහිත සසරෙන් අප වහ වහා නික්මිය යුතු ය. සසර බැඳුම කෙළවර කළ යුතු ය.

උසස් මිනිසත්බව ලබා උපත ලද අප සියල්ලන් කෙරෙහිම ඒ සඳහා අප්‍රමාදිව කටයුතු කිරීමේ හැකියාව ඇත. කළ යුත්තේ ඊට වීර්යය වැඩීමයි. සිතෙහි පිරිසුදු බව වර්ධනය කර ගැනීම සඳහා කල්දැමීම අවැසි නැත. ඒ සඳහා සුදුසුම මොහොත මේ මොහොතයි.

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]