බක් අව අටවක 2011.04.25
විදු ඇසින් ග්‍රහ චාරය බැලීම
මිනිසා අභ්‍යාවකාශය තරණය කොට පනස් වසරක් පිරීම මානව ඉතිහාසයේ
වැදගත් අවස්ථාවක් බවට සැකයක් නොමැත. 1961 අප්‍රේල් මස 12 වන දා
සෝවියට් දේශය අභ්‍යාවකාශ ගත කළ වොස්ටොක් – 1 නමැති යානයෙන්
යූරී ගගාරීන් අභ්‍යාවකාශය තරණය කිරීම මානව ඉතිහාසයේ නව
පරිච්ඡේදයක ආරම්භය විය. 1969 දී නීල් ආම්ස්ට්‍රෝං සඳමත පා
තැබීම මිනිසා ගේ අභ්‍යාවකාශ තරණය කිරීමේ වැඩ පිළිවෙළෙහි
දැවැන්ත ඉදිරි පියවරක් වුව ද එය ඇමෙරිකාව හා රුසියාව අතර
පැවැති සීතල යුද්ධයේ එක් ප්‍රතිඵලයකි. නූතන විද්‍යාව හා
තාක්‍ෂණය ලද මේ ජයග්‍රහණය නිසා ආගම් මෙන් ම පාරම්පරික
පිළිගැනීම් ද අභාවයට යනු ඇතැයි සිතන්නට මිනිසා පොළඹවනු ලැබිණ.
එ පමණක් ද නො ව තමා මේ මහා විශ්වයේ එක ම උරුමකරුය යන
අධිපතිවාදී හැඟීම මිනිසා තුළ ජනිත කිරීමට එය ඉවහල් වූ කරුණකි.
සෑම ජීවියකු ගේ ම පැවැත්ම පාරිසරික සමබරතාව මත රඳා පවතින බව
මෙන් ම පරිසරය යනු පොළොව, ජලය හා වාතය යන සාධක පමණක් නො ව තමා
විසින් නිර්මාණය කරන ලද සමාජ පරිසරය ඊට ඇතුළත් බව ද මිනිසා
විසින් නො සලකා හරින ලද්දේ එම අධිපතිවාදී මානසිකත්වයෙනි.
මේ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වූයේ මානව ශිෂ්ටාචාරය ගොඩනැඟීමට
යොදාගත්, බොහෝ දේ ඉතා සාහසික ලෙස ඉවත දැමීම ය. ජාතක කතා
විශ්වාස කළ හැකි දැයි පසුගිය වසරේ අප්‍රේල් මස 06 වන දා ඩේලි
නිව්ස් පුවත්පතෙහි පළ වූ ලිපිය එයට කදිම උදාහරණයකි. එ සේ
අසන්නවූන්ට අනුව නීල් ආම්ස්ට්‍රෝං සඳමත පා තැබූ පසු සස ජාතකයට
වලංගු බවක් නොමැත. සස ජාතකයේ ඇතුළත් මෙහි පහත සඳහන් කොටස
විද්‍යාත්මක චින්තනයට පටහැනි යැයි මේ ඊනියා බුද්ධිමතුන් සිතන
සෙයකි.
‘ඉක්බිති ශක්‍රදේවේන්ද්‍රයෝ සස පණ්ඩිතයන් වහන්සේ තිරිසන් ව කළා
වූ අරුමය මේ භද්‍රකල්ප මුළුල්ලෙහි සියලු සත්වයන්ට ප්‍රකාශ ව
පෙනෙනු මැනවැයි අංජන කූට පර්වතය තමන් ආනුභාවයෙන් මිරිකාපියා,
රස ඇරගෙන චන්ද්‍ර මණ්ඩලයෙහි සස රූපය හැඳ බෝධිසත්වයන් වඩා
ගෙනවුත් ඒ වන ලැහැබ අලුත් හීතණ ඇතිරි පිට වඩා හිඳුවාලා තමන් ගේ
දිව්‍ය ලෝකයට ගියා හ. ඒ පණ්ඩිතවරු සතර දෙන සමඟ එක්සිත් ව
අටසිල් පන්සිල් නො කඩ කොට රැක කම් වූ පරිද්දෙන් ස්වර්ගස්ථ වූ
හ.’
අංජන කූට පර්වතය (අඳුන් ගිර) මිරිකා ලබා ගත් සායම් ගෙන සා
රුවක් සඳමත ඇඳි පුවතෙහි ඇති චමත්කාරය විඳීමට නො හැකි තරමට
වත්මන් බුද්ධිමතුන් අන්ධවීම ලජ්ජාවට කරුණකි. කෙ සේ වූව ද නූතන
විද්‍යා හා තාක්‍ෂණ දැනුම මත තම ඉරණම තීරණය කිරීමේ වරද තේරුම්
ගැනීමට ඇතැම් විද්‍යාඥයන් උත්සාහ ගන්නා බවක් අද පෙනෙන්නට තිබේ.
ඇමෙරිකාවේ නාසා ආයතනය මෑතක සිට රාහු කාලය ගැන උනන්දුවක්
දැක්වීම මෙයට උදාහරණ වශයෙන් ගත හැකි ය.
මේ නව ප්‍රවණතාව පැහැදිලි කැරෙන තවත් උදාහරණයක් පේරාදෙණිය
විශ්ව විද්‍යාලයයේ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා
විසින් සපයා තිබේ. භූමි කම්පා හා ග්‍රහ චලිතය අතර සම්බන්ධයක්
ඇතැයි සොයා ගැනීම එම උදාහරණය යි. ඔහු තම මතය මෙ සේ පැහැදිලි
කැර ඇත.
‘ග්‍රහ වස්තු සහ භූමි කම්පා අතර සබඳතාවක් තිබේදැයි විමසීම
පිණිස පසුගිය අවුරුදු සියය ඇතුළත ලොව පුරා සිදු වූ භූමි කම්පා
අතුරින් රිච්ටර් මාපකයේ දර්ශක හයකට වැඩි ප්‍රබලතාවක් ඇති
සිදුවීම් 136 ක් කෙරෙහි අප ගේ අවධානය යොමු වුණා. ඒ එක් එක්
භූමි කම්පාව සිදු වූ දවසේ ග්‍රහචාරය සිතියම් ගත කොට බැලූ විට
ග්‍රහයන් කිහිප දෙනකු එක ආසන්නයට පැමිණි අවස්ථාවල භූමි කම්පා
සිදුවන බව පෙනී ගියා.’
‘එක් එක් දිනයට අදාළ ග්‍රහචාරය සොයා ගැනීම සඳහා භාවිත කළේ
ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව සකස් කළ පරිගණක මෘදුකාංගයක්. එම
මෘදුකාංගය ඉපැරැණි ජ්‍යෝතිෂ ගණිත ක්‍රම ඇසුරින් දියුණු කළ
එකක්. නැප්චූන් හා ප්ලූටෝ හැර බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති,
සෙනසුරු ආදී ග්‍රහයන් ගමන් කරන ආකාරය අනුව භූමි කම්පාවක්
සිදුවන දිනයත් ප්‍රදේශයත් අනුමාන කළ හැකි යි. මේ සොයා ගැනීම
පසුගිය පෙබරවාරි මස 25 වන දා පැවැති ශ්‍රී ලංකා භූ විද්‍යාඥයන්
ගේ සංගමයේ රැස්වීමේ දී ඉදිරිපත් කළා.’
ඔහු ගේ මේ සොයා ගැනීම සාර්ථක යැයි හෝ පැරැණි ජ්‍යෝතිෂ විද්‍යා
දැනුම පරිපූර්ණ යැයි කීමට අපට නො හැකි ය. එ හෙත් නීල්
ආම්ස්ට්‍රෝං ගේ පා සටහන උපයෝගී කැර ගෙන සස ජාතකය මකා දැමීමට
උත්සාහ කිරීම අමනකමක් බව නම් කිව හැකි ය. මන්ද යත්, ජාතක කතා
වැනි ආගමික සාහිත්‍යයෙන් අපේක්‍ෂිත අරමුණු යහපත් මිනිසකු
බිහිකිරීම වන බැවිනි. |