දහම් මග
ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි
ශ්‍රී ලංකා ධම්ම විහාරය හා කඩුගන්නාව, මුදලිවත්ත, දීපාලෝක විහාරයන්හි
උභය
විහාරාධිපති අධ්‍යාපනපති
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කොට ඇත්තේ මෙලොව සැප පිණිස නොව පරලොව
සැප පිණිස යැයි ඇතැම් දෙනාගේ පිළිගැනීමයි. ඒ වැරදි මතයකි. මංගල,
සිඟාලෝවාද, පරාභව, ව්‍යග්ඝපජ්ජ වැනි සූත්‍ර දේශනා පිරික්සීමේදී බුද්ධ
දේශනාව දෙලොව සැප පිණිස දේශනා කරන ලද්දක් බැව් පෙනේ. සත්වයාට සැප ලබන
මග කියා දෙන්නේ ධර්මය තුලිනි. ලෝකයෙන් එතෙර කිරීම, එතෙරවීම යන අර්ථය
ලෝකෝත්තර නම් වේ. සත්වයා තුල සෝවාන්, සකදාමී, අනාගාමි අර්හත් යන සතර මග
හා සතර ඵලයන් ද නිවනද යන ලෝකෝත්තර ධර්ම ළඟාකර දෙන බැවින් බුදු දහම නව
ලෝකෝත්තර ධර්ම යනුවෙන් සමහරු හඳුන්වති.
සත්‍යය ලොව හැමදාම පවතී. කලින් කල අසත්‍යයෙන් සත්‍යය වැසී යන බැවින්
ඇතැම් විට සත්‍යය ලෙස සමහරු අසත්‍යය දකිති. නිසරු දෙය සරු දෙය ලෙස
සලකති. බුදුවරයන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ අසත්‍යයෙන් වැසී ගිය
සත්‍යය ලෝකයාට මතුකර පෙන්වීමටයි. මහ වනයක් මැදින් ගමන් කරන එක්
පුරුෂයෙකු වැලිතලාවෙන් වැසීගිය පැරණි මාවතක සළකුණු දකී. ඒ ඔස්සේ ගමන්
කරන ඔහුට පැරණි නගරයක නටබුන් දැක ගැනීමට ලැබෙයි. ඒ බැව් ඔහු රජුට
දන්වයි. රජතුමා අවශ්‍ය පිරිස යොදාගෙන කැණීම් කර වැලිතලාවෙන් වැසීගිය
පැරණි නගරයේ නටබුන් මතුකර ගනී.
මේ කරුණු ගෙනහැර දක්වන බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාගේ
කාර්යයද ඊට සමාන කර පෙන්වමින් නගර සූත්‍රය දේශනා කරති. වැලිතලාවෙන්
වැසීගිය ඉපැරණි නගරය මතුකර ගත්තාසේ අසත්‍යයෙන් වැසී ඇති සත්‍ය මතු කර
දැක්වීම බුදුවරයෙකු පහල වීමේ ප්‍රතිඵලයයි.
බුද්ධ කාලයටත් පෙර සිටම නොයෙක් ශාස්තෘවරු විවිධ කාලයන්හිදි විවිධාකාර
ධර්ම ගෙනහැර දක්වා තිබේ. දුරක්ඛාත ධර්ම හා ස්වාක්ඛාත ධර්ම වශයෙන් ඒ
සියල්ල දෙවර්ගයකට ඇතුළත් කළ හැකිය. ප්‍රත්‍යක්‍ෂ අවබෝධයෙන් හා විමංසන
බුද්ධියෙන් තොරව පරපුරෙන් ආ නිසා හෝ අසා දැන ගැනීමෙන්, පොත පතෙහි
ඇතුලත් වූ බැවින් හෝ විශ්වාසය පදනම් කරගෙන දේශනා කොට ඇති ධර්ම
දුරක්ඛාතා ගණයට ඇතුලත් වේ. මනාකොට දැනගෙන ප්‍රත්‍යක්‍ෂ අවබෝධයෙන් දේශිත
ධර්ම ස්වාක්‍ඛාත ධර්ම වේ. දුරක්‍ඛාත ධර්මයෙන් පිළිගන්නවුන්ට යහපතක්
සිදුනොවේ. ඔවුන් අන්ධයෙකුගේ තවත් අන්ධයින්ගේ කණ වැල අල්ලාගෙන යන්නාසේ
මග නොදැක ගමන් කරන පිරිසකි. බුදු දහම අනෙකෙකුගෙන් අසා දැනගෙන කළ
දේශනාවක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ විසින්ම ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ කර
ගත් ධර්මයකි. එහෙයින් එය ස්වාක්ඛාත දේශනාවකි. බරණැස ඉසිපතනයේ මිගදායේ
දී කළ ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයේ දී බුදුරජාණන්
වහන්සේ මෙසේ දක්වති.
“ මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්‍ඛු කරණී, ඤාණ කරණී, උපසමාය
අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති “
තථාගතයන් වහන්සේ විසින් ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ කරන ලද දර්ශන මාර්ගය
ඤාණය ඇති කරන, භාවනා මාර්ග ඤාණය ඇති කරන, මධ්‍යම ප්‍රතිපදාව නම් වූ
ධර්ම මාර්ගය කෙලෙස් සංසිදවීම පිණිසද, චතුරාර්ය සත්‍යය මනාව දැන ගැනීම
පිණිසද, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසද, නිර්වාණාවබෝධය සඳහාද හේතුවන බව
එයින් ප්‍රකාශිතය. බුදුරජාණන් වහන්සේගේ මෙම දේශනාව මගින් ධර්ම මාර්ගය
අනුව ගමන් කරන්නෙකුට ලද හැකි ප්‍රතිඵලය පැහැදිලිවම පෙන්වා දෙයි.
“ තුම්මෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා “ තථාගතයන් වහන්සේ මග කියා
දෙන්නාහ. තොපම කළ යුතුය. ධර්මයේ අරමුණ වඩාත් පැහැදිලි කෙරෙන මෙම දේශනා
පාඨයට අනුව බුදුරජාණන් වහන්සේ මාර්ගෝපදේශකයෙකු බවත්, කට පාඩම් කර
ගැනීමෙන් හෝ මතක තබා ගැනීමෙන් නොව ධර්මයේ ප්‍රතිඵල ළඟා කරගත හැකි වන්නේ
ධර්ම මාර්ගයේ හැසිරීමෙන් බවත් පැහැදිලිවේ.
සම්බුද්ධත්වයෙන් පළමු වසර කීපය තුළ බුදු දහම වැළඳගත් ගිහි පිරිස මෙන්ම
සසුනට ඇතුළත් වූ පැවිදි පිරිසද ඉතා කෙටි කාලයක දී මග ඵල ලබා ගනිමින්
දහමෙහි ඵල නෙලා ගත්තේ දහම් මගෙහි හැසුරුණු බැවිනි. පළමු අවධියේ දී
භික්‍ෂූන් වහන්සේලාට කරුණු සිහි කිරීම පමණක් ප්‍රමාණවත් වූ බවත්, එහෙත්
පසු කාලය වන විට නැවත නැවතත් කරුණු පැහැදිලි කර දීමට තමන් වහන්සේට අධික
වෙහෙසක් දැරීමට සිදුවූ බවත්, මජ්ඣිම නිකායේ කකචූපම සූත්‍රයේ එන සඳහන
තුළ පසු කාලීන භික්‍ෂූන් වහන්සේ හුදෙක් ධර්ම මාර්ගය පිළිපැදීමේ අරමුණෙම
සසුනට ඇතුළත් නොවූ බැව් ප්‍රකට වේ. ගිහි පිරිස ද භික්‍ෂුව අනුව ගිය
බැවින් නිවන් මග සාදාගත්තො අල්ප වූහ. කල්ගත වෙත්ම බුදු දහමද සෙසු ආගම්
මෙන් විශ්වාසය පදනම් කරගත් ඇඳහීමෙන් ප්‍රතිඵල ළඟාකර ගත හැකි ආගමක් ලෙස
පිළිගත්තෝ බහුල වූහ.
“ මහණෙනි එක්තරා පුරුෂයෙක් දිග ගමනක් යෑමට පිටත් වෙයි. ඔහුට සැඩ පහර
ඇති මහ ගඟක් හමුවයි. මෙතෙර සැක සහිතය. බිය කරුය. එතෙර යහපත්ය. බිය
රහිතය, එගොඩ වීමට ඔරුවක් හෝ ඒදණ්ඩක් ද නැත්තේය. ඔහුට මෙසේ සිත්වෙයි. ලී
දඩු එකතුකොට පහුරක් බැඳ අත් පා වලින් වෑයම් කරමින් එහි පහුරේ උදව්වෙන්
එතෙර වුවහොත් මැනවි. “ මහණෙනි එසේ සිතූ ඒ මිනිසා අවශ්‍ය දේ එකතු කරගෙන
පහුරක් බැඳ, අත් පා වලින් වෑයම් කරමින් ඒ පහුරේ උදව්වෙන් පහසුවෙන් එතෙර
වෙයි. එසේ එතර වූ ඔහුට මෙසේ කල්පනා වෙයි.
මේ පහුර මේ ගඟෙන් එතෙර වීමට මට බෙහෙවින් උපකාරි විය.මෙය පිහිට කොට ගෙන
මෙතෙරට ආවමි. එබැවින් මේ පහුර හිස මත හෝ කර මත තබා ගෙන මා යන එන තැනක
ගෙන ගියහොත් සුදුසුය.
මහණෙනි! ඔබ මේ ගැන කුමක් සිතන්නෙහිද? මෙසේ කරන පුද්ගලයා පහුරට කරන
යුතුකම් ඉටු කරන්නේද? බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේගෙන් විමසා
සිටි පැනයට පිළිතුර වුයේ පහුර ජලයේ පා කර හැරීම හෝ අකුලකට දමා යාම මිස
කර තබාගෙන නොයා යුතු බවයි. උන්වහන්සේලාගේ පිළිතුර අනුමත කරමින්
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වදාළ ධර්මය ද පහුරකට උපමා කොට අලගද්දූපම
සූත්‍රය දේශනා කළහ. දුක් සහිත වූ සසර සයුරෙන් එතෙර වීමට පහුරක් කර ගත
යුතු ධර්මය එතරවීමෙන් පසු රැගෙන යා යුතු නොවේ. අපි හැම දෙනාම සසර ගමනකට
අවතීර්ණව සිටිමු. මෙහි ඇරඹුම කෙසේ කවදා සිදු වූයේදැයි නො දනිමු. “
අනමතග්ගෝයං භික්‍ඛවෙ සංසාරො පුබ්බාකොටි න පඤ්ඤයති” අනවරාග්‍ර සංසාරයෙහි
ඇරඹුම නොපෙනේ, එහෙත් නිමාවක් තිබේ.ඒ සියලු කෙලෙසුන් නසා නිවන්
අවබෝධයයි. නිවන් අවබෝධ කරන තුරු අප සසර ගමන් කළ යුතුය. ගමන සුන්දර
නොවේ. දුක් සහිතය. බිය කරුය. එයින් එතරවීමට මගක් තිබේ. ඒ දහම් මගයි.
ධර්මය, ලොව පවතින සමයක උතුම් මිනිසත් බව ලබා සිටින අපි දහම් මග
නිවැරදිව වටහාගෙන ඒ මග යමින් දුක් දුරු කර ගනිමු.
|