බක් පුර පසළොස්වක 2011.04.17
සොබාදහම කියන දහම
දැනට අප රටේ පවතින දැඩි උෂ්ණාධික කාලගුණ තත්ත්වය මෙන් ම පසුගිය
කාලයේ ලොව පුරා රටවල් රාශියක ජනතාව පීඩාවට පත් කළ වර්ෂාධික
කාලගුණය, භූමි කම්පා හා සුනාමි ව්‍යසන ආදිය පමණක් නො ව දේශපාලන
කුනාටු පවා ආගමික අර්ථයකින් විග්‍රහ කිරීමේ ප්‍රවණතාවක් දක්නට
ලැබේ. මේ සියලු විග්‍රහයන්හි අවසානය සමඟ ලෝක විනාශය නමැති
සංකල්පය ද කුමන ආකාරයකට හෝ බැඳී පවතී. සියලු ස්වභාවික විපත්
‘ලෝක විනාශය තමයි’ යනුවෙන් සිතන මානසිකත්වය තුරන් කිරීම අපහසු
බව අපි දනිමු. එහෙත් මිනිස් ජීවිත සමඟ සොබා දහම බැඳී ඇති අයුරු
පහදා දීම අප ගේ යුතුකමකි. අද අපි ඒ සඳහා බක් මාසය නමැති කාල
පරාසය උදාහරණ කොට ගන්නෙමු.
පැරැණි චන්ද්‍ර මාස ක්‍රමය යටතේ වර්ෂය ආරම්භ වනුයේ බක්
මාසයෙනි. ජීව ලෝකයෙහි ස්වභාවික විපර්යාස විද්‍යානුකූල ව
නිරීක්‍ෂණය කිරීමෙන් ලද ප්‍රතිඵලයක් වන සෘතු භේදය අනුව වසන්ත
සෘතුවේ ආරම්භය ද බක් මාසය යි. අලුත් සහල් මංගල්‍යය, මුට්ටි
මංගල්‍යය හා බක් මහ උළෙල ආදී උත්සව යෙදී ඇති නිසා ද බක් මාසය
සිංහලයාට ඉතා වැදගත් ය.
එහෙත් 1815 මාර්තු මස 02 වන දා සිට ඉංගී‍්‍රසි දින දර්ශනය මෙ
රට භාවිතයට ගැනීමත් සමඟ බක් මාසය වසරේ හතරවන මාසය බවට පත් විය.
පෘථිවියට සිය කක්ෂය වටා එක් වරක් ගමන් කිරීමට ගත වන කාලය අනුව
වර්තමාන දින දර්ශනයේ දවස් තීරණය කිරීම පැරැණි ඊජිප්තු වැසියන්
විසින් ලොවට දුන් දායාදයක් ලෙස සැලැකේ. පෘථිවිය සූර්යයා වටා
ගමන් කිරීමට ගතවන කාලය දින 365 යි විනාඩි 5 යි තත්පර 46 ක්
යැයි පිළිගෙන වර්තමාන දින දර්ශනය නිර්මාණය කැර තිබේ. කෙ සේ වූව
ද කිතු උපතින් අවුරුදු 533 ක් ගත වූ පසු භාවිතයට ගත් ක්‍රිස්තු
වර්ෂ ක්‍රමය පදනම් කොට නිපැයූ වත්මන් දින දර්ශනය ආරම්භ වීමට
පෙර පැවැති ක්‍රමය යටතේ වසරකට තිබූ මාස ගණන දහයකි. ඒ අනුව වසර
ආරම්භ වූයේ මාර්තු මාසයෙනි. මධ්‍යධරණී මුහුද අසල ජීවත් වූ
මිනිසුන් විසින් වසරේ ආරම්භය ලෙස සූර්යයා සමකයට මුදුන් වන
මාර්තු මස 21 වන දා සලකා ඇත. ඉන්පසු, ඊජිප්තු ජාතික තාරකා
විද්‍යාඥයකු වූ සොසීජන් ගේ උපදෙස් මත ජුලියස් සීසර් විසින්
ලොවට හඳුන්වා දුන් ජුලියන් දින දර්ශනය මඟින් මාස 12 ක වර්ෂ
ක්‍රමයක් භාවිතයට ගැනිණ.
එ සේ භාවිතයට එක් වූ ජුලියන් දින දර්ශනයේ වර්ෂයක් සාමාන්‍ය කාල
නිර්ණයට වඩා විනාඩි 11 කුත් තත්ත්පර 14 කින් අඩු බව පසු ව
අනාවරණය විය. ඒ අනුව සෑම වසර දෙසීයකට ම වරක් අතිරේක දින
එකහමාරක වැඩිවීමක් සිදු වේ. එ බැවින් වසර දහසකට දින හතක
වැඩිවීමක් ද, වසර 1600 ක දී දින 10 ක වැඩිවීමක් ද ඇතැයි ගණනය
කැර තිබේ. දහතුන් වන ග්‍රෙගරි නමැති දේවගැතිවරයා විසින් දහසය
වන සියවසේ දී ඊට පිළියමක් වශයෙන් වසර හතරකට වරක් පෙබරවාරි
මාසයට දින 29 ක් අයත් වන අධික අවුරුදු ක්‍රමයක් හඳුන්වා දෙනු
ලැබී ය. ඒ අනුව අධික අවුරුද්දකට දින 366 ක් තිබේ. මේ නිසා
වර්තමාන දින දර්ශනය ග්‍රෙගරියානු දින දර්ශනය ලෙස හැඳින් වෙයි.
සෞරග්‍රහ මණ්ඩලයට හා අලංකාරයට අධිපති ‘ඇප්‍රොසිටෙ’ දෙවඟනට
උපහාර පිණිස වත්මන් දින දර්ශනයේ හතර වන මාසය අප්‍රේල් යැයි නම්
කැරැ තිබේ. එ බැවින් වසන්ත සෘතුවෙන් වසර ඇරැඹීමක් අද සිදු නො
වේ. මෙය ස්වභාවික ලෝකය හා මිනිසා අතර තිබූ බැඳීම එක්තරා
ප්‍රමාණයකට ලිහිල් වීමකි.
සඳු ගේ වාරය අනුව අව පක්‍ෂය හා පුර පක්‍ෂය යැයි මාසය කොටස්
දෙකකට බෙදා තිබිණ. ඒ අනුව සියලු සුබ කටයුතු සඳහා පුර පක්‍ෂය ද
සියලු අසුබ කටයුතු සඳහා අව පක්ෂය ද යොදා ගැනීම පැරැණි සිරිත
විය. සඳු ගේ වාරය මිනිස් සිරුරෙහි සියලු වෙනස්වීම් කෙරෙහි
බලපාන බවට තිබූ විශ්වාසය එම සිරිතට හේතු වී තිබේ.
ග්‍රෙගරියානු දින දර්ශනය අනුව හැසිරෙන වර්තමාන මිනිසා ජීවලෝකය
ගැන සැලැකිලිමත් වන්නේ අතීත මිනිසා මෙන් තමා ද එහි කොටසක් ලෙස
සිතා නො වේ. එහෙත් ඉපැරැණි මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනයක්
මඟින් පැවසේ යැයි අනුමාන කැරෙන 2012 දෙසැම්බර් මස 21 වන දා
ලෝකය විනාශ වන බවට පවතින මතය නිසා වර්තමාන මිනිසා ජීවලෝකය ගැන
සිතීමට පටන් ගෙන තිබේ. ක්‍රි.ව. 900 දී පමණ විනාශ වූ බව සිතන
මායා ශිෂ්ටාචාරයේ ඉඟියක් වැලැඳ ගැනීමට තරම් වත්මන් දියුණු
මිනිසා අසරණ වීම විමතියට කරුණකි. එ පමණක් ද නො ව සියලු
ස්වාභාවික විපත් ලෝක විනාශයක ඉඟියක් යැයි කීමට තරම් ලෝකය
පිළිබඳ ව නො දන්නා තත්ත්වයකට පත්ව සිටින්නාට දියුණු මිනිසකු
යැයි කිව හැකි ද?
මහා තාක්‍ෂණික දියුණුවක් හා විද්‍යා දැනුමක් හඹාගොස් දෙවියන්
ඉදිරියේ හඬා වැටීමට සිදුවීම විහිළුවක් නො වේ ද? |