බෞද්ධ සන්නිවේදනය
ත්‍රිපිටකාචාර්ය , පණ්ඩිත
කලුන්දෑගම සමිත හිමි
බුදුන්වහන්සේගේ හා ශ්‍රාවකයන් වහන්සේගේ
ධර්ම ප්‍රචාරක සේවාවේ වැදගත්ම කරුණක් නම්
ඒ හැමදෙනා වහන්සේම එම කාර්යයට යොමුවීමට පූර්වයෙන් අර්හත් ඵලයට පැමිණ
පූර්ණ සුදුසුකම්
ලබා සිටීමයි. සන්නිවේදනයේ සාර්ථකත්වය සඳහා
පණිවුඩය දෙන තැනැත්තා එම පණිවුඩය
මනාව අවබෝධ කරගෙන සිටීම ඉතා වැදගත්ය.
සන්නිවේදනයේ ප්‍රධාන අංග ලෙස කතා කිරීම, ලිවීම හා අංග චලනය යනාදිය
පෙන්වා දිය හැකිය. ඒවා තුළින් අදහස් ප්‍රකාශනය සිදුවන අතර අතීතයේ හා
වර්තමානයේ ක්‍රියාවලි හා අත්දැකීම් අනාගතය කරා ගෙන යෑමත් සිදු වේ.
සමාජයේ ජීවත් වීමේදී සිය අදහස්, අපේක්ෂා ,අභිමතාර්ථ, මිනුම් හා
ආකල්පාදිය අනෙකුත් අය වෙත ගලායෑමට සැලැස්විය යුතුය.
බුදුන් වහන්සේ සිය ධර්මය සන්නිවේදනය කළ ආකාරය විශේෂයෙන් අවධානය යොමුකොට
අවබෝධ කර ගත යුත්තකි අලුතෙන් සිතා බලා කටයුතු කිරීමට හැකි ඥානවන්ත
පුරුෂයින්ට දහම් ඇසීමට බුදුන් වහන්සේ ඇරැයුම් කළේ දහම් දෙසීමේ අපේක්ෂාව
පුද්ගලයා සම්‍යක්දෘෂ්ටියකු කර නිවන් මගට පිවිසුවාලීමම වූ හෙයිනි.
බුදුන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රම දෙවිධියකි. එම ධර්ම දේශනාව සම්මුති
දේශනාවටත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, නාමරූපාදී ගැඹුරු අභිදහම්පද යොදා
වදාළ පරමාර්ථ දේශනාවටත් අයත් වේ. ස්වකීය ධර්ම සන්නිවේදනය තුළින්
පුද්ගලයා ජීවිතයෙහි පූර්ණ අවබෝධය සඳහා යොමු කරවීමට“ සුනාථ ධාරේථ චරාථ
ධම්මේ” යනාදී ලෙස අනුශාසනා කළහ.
බුදුන්වහන්සේ ධර්ම සන්නිවේදනය කළේ වැදගත් පිළිවෙළක් අනුගමනය කරමිනි.
එහි පළමුවැන්න ආනුපුබ්බි කතාවයි. එහිදී චතුරාර්ය සත්‍ය ධර්මය කෙරෙහි
යොමුවීමට යෝග්‍ය වන ලෙස පුද්ගල මනැස සකස් කිරීම අපපේක්ෂිතයි. “තේසං
භගවා ආනුපුබ්බි කථං කථේසි සෙය්‍යථිදං දාන කතං සීල කතං සග්ග කතං කාමානං
ආදිනවං ඔකාරං සංකිලේසං නෙක්ඛම්මේ ච ආනිසංසං පකාසේති “ එනම්, දානාදි
පින්කම්, සිල් පිරීම සහ සැප ඇති පැවැතුම් මෙන්ම කාමයන්හී ආදීනව, කාමයේ
ලාමක බව, කෙලෙසීමට හේතු වන බව, කාම භවයෙන් මිදීමේ වටිනාකම පිළිබඳ දහම්
කරුණු පළමුව හඳුන්වා දිය යුතු බව මහාවග්ග පාලියෙහි සඳහන් වේ.
දෙවැනි පියවර ලෙස සාමුක්කංසික දේශනාව පවත්වති. එහිදී ආනුපුබ්බිකතාවෙන්
මනැස සකස් වුණු පුද්ගලයා සසර දුක පිළිබඳ සත්‍යයත්, දුක හටගැනීමට
හේතුවත්, දුකෙහි නිරෝධයත්, දුක්ඛ නිරෝධයට මගත් යන චතුරාර්ය සත්‍ය
ධර්මය අවබෝධ කර ගැනීමට යොමු කෙරේ.
අන්‍යයන්ට දහම් දෙසිය යුත්තේ කෙසේද යත්,
1. අනුපිළිවෙළ කතාව කියමින් දහම් දෙසිය යුතුය (අනුපුබ්බි කතං)
2. විවිධ නයින් කරුණු දක්වමින් දහම් දෙසිය යුතුය ( පරියාය දස්සාවි)
3. පරහට අනුකම්පාවෙන් දහම් දෙසිය යුතුය (අනුද්දය කතං)
4. ආමිස ලාභයක් නො සලකා දහම් දෙසිය යුතුය ( න ආමිසන්තරො)
5. තමා හා අනුන් නොගටා දහම් දෙසිය යුතු ය(අත්තානං ච පරංච අනුපහච්ච)
යනුවෙන් වදාරා තිබේ.
තවද ධර්මයෙහි ඇති වැදගත්ම අවස්ථාවක් ලෙස න්‍යෙයාර්ථ දේශනා හා නීතාර්ථ
දේශනා පෙන්වා දිය හැකිය. වචනයෙන් කෙලින්ම ප්‍රකට වන වාචිකාර්ථය ඉක්මවා
එයින් පැවසෙන ගැඹුරු යථාර්ථය තේරුම් ගත යුතුය. උදාහරණයක් ලෙස බෞද්ධ
කතාවක් සැලකුවහොත් එම කතාවේ සත්‍ය ,අසත්‍ය, ජීවමාන ,අජීවමාන ස්වරූපය
නොව එහි ඇති ධර්මෝපදේශ අවබෝධ කර ගත යුතුය. නීතාර්ථ දේශනා යනු වචනයෙන්ම
ප්‍රකට වන අර්ථය තේරුම් ගැනීමයි. මෙය වරදවා තේරුම් ගෙන ධර්ම දේශනා
කිරීම තථාගතයන් වහන්සේ වැරැදි ලෙස නියෝජනය කිරීමකැයි අංගුත්තර නිකායේ
පළමුවැනි නීතත්ථ සූත්‍රයෙහි සඳහන් වේ.
ප්‍රශ්න විසැඳීමේ ක්‍රම සතරක්ද බුදුන්වහන්සේ භාවිත කළ සේක.
1. ඒකසං ව්‍යකරණීය (එක එල්ලේම විසඳන ප්‍රශ්න)
2. විභජ්ජ ව්‍යකරණීය (බෙදා වෙන්කොට විසඳන ප්‍රශ්න)
3. පටිපුජ්ජා ව්‍යකරණීය (ප්‍රශ්න ඇසීම මගින් විසඳන ප්‍රශ්න)
4. ඨපණීය (පිළිතුරු නොදුන් ප්‍රශ්න)
වච්ඡගොත්ත පරිබ්‍රාජකයා බුදුන්වහන්සේගෙන්, ආත්මයක් තිබේද ආත්මයක් නැද්ද
යනුවෙන් ඇසූ ප්‍රශ්නවලටත,් දුකින් මිදීමට උපයෝගි නොවන ලොව පිහිටීම ආදිය
ගැන විමසූ පැනයන්ටත්, මාලුංක්‍යපුත්‍ර තෙමේ විමසූ ප්‍රශ්නවලටත්
පිළිතුරු නොදීම ඨපණීය ප්‍රශ්න යටතේ උදාහරණයි. මෙහිදී අප අවබෝධ කරගත
යුතු වන්නේ බුදුන්වහන්සේගේ එම පිළිවෙත ශ්‍රාවක අනුකම්පාවෙන් බිහිවූ
දාර්ශනික ප්‍රතිපත්තියක් විනා පිළිතුරු නොදැන දුර්මුඛවීමක් නොවන බවයි.
බුදුන්වහන්සේගේ හා ශ්‍රාවකයන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක සේවාවේ වැදගත්ම
කරුණක් නම් ඒ හැමදෙනා වහන්සේම එම කාර්යයට යොමුවීමට පූර්වයෙන් අර්හත්
ඵලයට පැමිණ පූර්ණ සුදුසුකම් ලබා සිටීමයි. සන්නිවේදනයේ සාර්ථකත්වය සඳහා
පණිවුඩය දෙන තැනැත්තා එම පණිවුඩය මනාව අවබෝධ කරගෙන සිටීම ඉතා වැදගත්ය.
සන්නිවේදන ක්‍රියාවලියේදි මාධ්‍ය හා භාෂාවේ වැදගත්කම පෙන්වීමේදී එකල
සමාජයේ ප්‍රචලිතව තිබූ කම්ම, පුනබ්බව, දුක්ඛ, කුසල, අකුසල, බ්‍රාහ්මණ
යනාදී වචනවලට බුදුන් වහන්සේ නව අර්ථකථනයක් දුන් ආකාරයත් එක් උදාහරණයකි.
බුද්ධ කාලීන සෙසු බොහෝ ආගම්වලට අනුව සියලුම ක්‍රියා කම්ම යන පොදු
නාමයකින් හැඳින්වූ අතර බුදුන් වහන්සේ කම්ම යන පදයෙන් හැඳින්වූයේ
සචේතනික ක්‍රියා පමණකි. නරක කම්ම (පව්) සෝදා හැරීමෙන් පිරිසුදු විය
හැකි බවත් , පුද්ගලයාගේ උප්පත්තිය මහා බ්‍රාහ්මණයාගේ නිර්මාණයක්
ලෙසත්,මහා බ්‍රාහ්මණයා උසස්ම පුද්ගලයා ලෙසත් එකල පිළිගෙන තිබුණි. නමුත්
පව් බැහැර කළ පුද්ගලයා පමණක් බ්‍රාහ්මණයකු වන බවත් (බාහිත පාපෝති
බ්‍රාහ්මණෝ) පුද්ගලයෙකුගේ උපත අනුව බමුණෙකු හෝ වසලයකු නොවන බවත් පුද්ගල
ක්‍රියාව තුළින් බමුණකු හෝ වසලයකු වන බවත් බුදුන් වහන්සේ වදාළහ.
බුදුන් වහන්සේ ඒ ඒ පුද්ගලයා පිළිබඳ මනාව වටහා ගත් හෙයින් ඒ ඒ පුද්ගලයා
හික්මවීම පිණිස නොයෙකුත් ශිල්පීය ක්‍රම උපයෝගි කරගත්හ. ඒ අතර ආලවක යක්ෂ
දමනය, අංගුලිමාල දමනය, පටාචාරාවට පිහිට වීමාදි නොයෙක් කතා ප්‍රවෘත්තීන්
පෙන්වා දිය හැකිය. තවද කිසාගෝතමිය සඳහා නවීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ
ක්‍රියාත්මක වන ප්‍රායෝගික අධ්‍යයන ක්‍රමයක් වශයෙන් හැඳින්විය හැකි
අමුතුම සන්නිවේදන ක්‍රමයක් භාවිත කළහ. රූප මදයෙන් මත් වූ ඛේමා බිසවට හා
ජනපදකල්‍යාණියටද දෘශ්‍ය ක්‍රමවේද මගින් ධර්මය සන්නිවේදනය කළ ආකාරය තවත්
උදාහරණයි. ප්‍රායෝගික ක්‍රමයක් මගින් නන්ද තෙරුන්ටද, චුල්ලපන්ථක
තෙරුන්ටද කුඩා දරුවන්ට ඉතා පොදුද්‍රව්‍ය වූ වැලි හා ජලය යොදා ගැනීමෙන්
සත් හැවිරිදි රාහුල සාමණේරයන්ටද ධර්මය සන්නිවේදනය කළ අයුරු, අවබෝධ කරවූ
අයුරු ආදී වශයෙන් තවත් බොහෝ උදාහරණ දැක්විය හැකිය. සමාජ අවශ්‍යතාවක් වන
සන්නිවේදනය අද වන විට තාක්ෂණික දියුණුව සමඟින් බොහෝ ඉදිරියට පැමිණ ඇත.
එහෙත් ඒ කිසිවකට ඉක්මවිය නොහැකි බුදුන්වහන්සේගේත්, ශ්‍රාවකයන්
වහන්සේගේත් ධර්ම සන්නිවේදනයේ පවතින යථාවාදි සහ ප්‍රායෝගික බව අපි
හොඳින් විමසා බලා අවබෝධකර ගනිමු. |