බුදුසමයේ
ශුද්ධස්නානය
විශ්‍රාමික ආචාර්ය, හීනටිපන
ඒ.ඇම්. තිලකරත්න
පුද්ගලයා කිළුටට පත්වෙන පළමුවැනි කරුණු හතර නම්
ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, හා මුසාවාදයයි. එම කිළුටු
හෙවත්
පාපයන්ගෙන් පිරිසුදු විය හැක්කේ ඒවායින් වැළකීමෙනි.
සතර කර්මක්ලේශ වලින් ගම්‍ය වන්නේ පංචශීල ප්‍රතිපත්තියයි.
‘ශුද්ධ ග_ගාවන්හි ස්නානය කිරීමෙන් පව් සේදී ගොස් ආත්මය පාරිශුද්ධියට
පැමිණේ’ යන විශ්වාසය බමුණු දහම තුළ අන්තර්ගතවන්නකි. බුදුරජාණන් වහන්සේ
විසින් විවේචනය කොට බැහැර කරන ලද මෙම අභිචාර විධිය හින්දු ආගමිකයන්
විසින් අනුගමනය කරනු ලබන බව අසන්නට ලැබේ. එම අභිචාර විධියට විකල්පයක්
බුදු සමය තුළ ද ඉගැන්වෙන බව පිළිගැනීමට සිදුවේ. කළ පවු සෝදා හැරීමක්
ඉන් අදහස් නොවෙන අතර පවු රැස්වීමෙන් වැළකීම බෞද්ධ පාපශොධන ක්‍රියාවලියේ
අරමුණ බව පෙනේ.
‘සිඟාලෝවාද සූත්‍රය’ නමැති ගිහි විනය අරමුණ කරගත් දේශනාවට පාදක වූ
නිදාන කතාව විමසීමෙන් මේ කරුණ හඳුනාගත හැකිය. සිඟාල ගෘහපති පුත්‍රයා
බුදුරජාණන් වහන්සේට මුන ගැසෙන්නේ ගංගා නම් නදි තීරයේදීය. අරුණෝදයත් සමග
එහි යන ඔහු ගඟට බැස නා ඇඳිවතෙන් හා සිරුරෙන් දිය වැස්සෙද්දීම
(අල්ලවෙත්‍ථා අල්ලකෙසො) නැෙගනහිර, බටහිර, උතුර, දකුණ, උඩ හා යට යන
සදිසාවන්ට නමස්කාර කරමින් සිටියේ ය. ශුද්ධ ගඞගාවක් සේ සැලකෙන ගංගා නම්
නදියෙන් ස්නානය කිරීමෙන් ඔහු බලාපොරොත්තු වූයේ කළ පව් සෝදා හැරීමය.
සදිසා නමස්කාරය සිඟාලෝවාද සූත්‍රයේ කේන්ද්‍රීය ඉගැන්වීම වන නිසා
සිඟාලගේ පාපශෝධනය ද්විතීයික කරුණක් බවට පත්ව තිබේ. එහෙත් සිඟාල සදිසා
නමස්කාරයෙහි යෙදෙන්නේ ගඞගානදියේ ස්නානය කිරීමෙන් පසුව බව අමතක කළ
යුත්තක් නොවේ. බුදුරජාණන් වහන්සේ ආර්යය විනය අනුව සිඟාල ගෘහපතියාට
සදිසා නමස්කාරය නිවැරැදිව කරන ආකාරය පෙන්වා දෙන්නේ ප්‍රාථමික වශයෙන්
කරුණු දාහතරක් දේශනාකිරීමෙන් අනතුරුවය. එම කරුණු දාහතර පහත දැක්වෙන
පරිදි ය.
1. සතර කර්මක්ලේශ
2. සතර අගති
3. භෝගවිනාශ මුඛසය
සතර කර්ම ක්ලේශ
පුද්ගලයා කිළුටට පත්වෙන පළමුවැනි කරුණු හතර නම් ප්‍රාණඝාතය,
අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, හා මුසාවාදයයි. එම කිළුටු හෙවත්
පාපයන්ගෙන් පිරිසුදු විය හැක්කේ ඒවායින් වැළකීමෙනි. සතර කර්මක්ලේශ
වලින් ගම්‍ය වන්නේ පංචශීල ප්‍රතිපත්තියයි. භෝග විනාශ මුඛ සයට ඇතුළත්
කරන ලද බැවින් සතර කර්මක්ලේශයන්ගෙන් සුරාමෙරය මජ්ජපමා දට්ඨානා යන්න
බැහැර කොට තිබේ. පංචශීල ප්‍රතිපත්තිය බෞද්ධ සදාචාර ධර්මයන්හි පදනම
වශයෙන් සැලකිය හැකි ය. බෞද්ධයා මූලික වශයෙන් සෑම සද්කාර්යකම නිරතවිය
යුත්තේ පංචශීල ප්‍රතිපත්තිය මත පිහිටා සිටිමිනි. එබැවින් කයින් හා
වචනයෙන් පිරිසුදුවීමට පන්සිල් රැකීම අත්‍යවශ්‍යය.
සතර අගති
පුද්ගලයා පාපයට නැඹුරුකරවන මානසික ප්‍රවණතාවන් හතරක් ලෙස ඡන්ද, ද්වේෂ,
භය, මෝහ යන සතර අගතීන් හැඳින්විය හැකි ය. ඡන්දාතය නම් රාගදී විවිධ
ස්වරූපවලින් සිතෙහි හටගන්නා ලෝභය මඟින් පාපයට පොළඹවනු ලැබීමයි. ද්වේෂය,
තරහ, අමනාපය, ඊර්ෂ්‍යාව වැනි මානසික ස්වභාවයන් මඟින් පුද්ගල සිත පාපයට
නැඹුරු කිරීම ද්වේශ ගතියකි. කුසල්, අකුසල්, හරි වැරැදි, නිසිලෙස තෝරා
බේරා ගැනීමට නොහැකිකම නිසා පාපක්‍රියාවන්හි නිරත වීම මෝහාගතියයි.
පුද්ගලයන්ට හෝ යම් යම් බලවේගයන්ට බියෙන් පාපක්‍රියා සිදු කිරීම භයා
ගතියයි. මෙම සතර අගතීන් විසින් පොළඹවනු ලැබීම නිසා මිනිසුන් විසින්
විවිධ පාපක්‍රියා හා අසාධාරණකම් සිදුකරන බව සමාජයේ සිදුවන විෂමාචාරයන්
විග්‍රහකොට බැලීමෙන් පෙනී යයි. අගතිගාමී පුද්ගලයා අවපක්‍ෂයෙහි සඳමෙන්
දවසින් දවස පිරිහෙන බව සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වේ.
භෝග විනාශ මුඛ සය
පුද්ගල ජීවිතයක බැබලීමට හේතුවන ආර්ථික සම්පත්, කීර්තිය හෙවත්
ජනපි‍්‍රයත්වය, උගත්කම, සමාජයෙන් ලැබෙන ගරුබුහුමන්, සහජ හා දියුණුකරගත්
හැකියාවන් හා අධ්‍යාත්මික ගුණධර්ම ආදි භෝග සම්පත් විනාශ වන්නට හේතුවන
කරුණු හයක් භෝග විනාශ මුඛ නමින් දක්වා ඇත. ඒවා මෙසේ ය.
1. මත්පැන් පානය
2. නොකල්හි වීථිසංචාරය
3. නැටුම් ගැයුම් ආදිය කෙරෙහි ලොල් බව
4. දූ කෙළියෙහි යෙදීම
5. පාපමිත්‍රසේවනය
6. අලසකම
මේ එක් එක් කරුණ නිසා ලැබෙන ආදීනව සිඟාලෝවාද සූත්‍රයෙහි විස්තරාත්මකව
දැක්වේ. මත්පැන් පානය හේතුවෙන් ධනය පිරිහීම, කෝලා හල ඇතිවීම, රෝගීවීම,
අපකීර්තිය, ලජ්ජාව නැතිවීම, නුවණ දුර්වල වීම යන දුර්විපාක ඇතිවේ.
නොකල්හි වීථි සංචාරය යන්නෙන් අදහස් වන්නේ නිෂ්ප්‍රයෝජන අවේලාවන්හි තැන
තැන ඇවිදීමයි. මේ නිසා තමනුත්, තම අඹු දරුවනුත් වස්තුවත් අනාරක්‍ෂිත වන
අතර සැකයට භාජනය වන අභූත චෝදනා ලබන දුක් කරදරවලට මුහුණ පාන පුද්ගලයෙක්
ද වෙයි.
නැටුම් ගැයුම් ආදියෙහි ලොල් වූ තැනැත්තා තම සියලු කටයුතු අතපසුකොට
විනෝදාස්වාදය පිණිස නෘත්‍යගීතාදිය පසුපසම හඹා යයි. ඒ හේතුවෙන් ඔහුගේ
භෞතික හා අධ්‍යාත්මික සංවර්ධනයට බාධා පැමිණෙයි.
දූ කෙළියෙහි යෙදීමෙන් සතුරන් ඇතිවීම පසුතැවිල්ල, වස්තුවිනාශය, විශ්වාස
කළ නොහැකි වීම, නින්දා ලැබීම ආවාහවිවාහයට අයෝග්‍ය බව යන ප්‍රතිවිපාක
ලබන්නෙක් වෙයි.
පාපමිත්‍ර සේවනය නිසා සූදුකාරයන් සල්ලාලයන්, බේබද්දන්, කපටින්,
ප්‍රයෝගකාරයන්, හොරුන් සමඟ ඇසුරට වැටෙයි. එමඟින් විවිධ දුෂ්කරතා වලට
මුහුණදෙන්නකු බවට පත්වෙයි. අලසකම නිසා විවිධ හේතු මවා ගනිමින් කටයුතු
මඟ හරියි.
පව්සෝදා හැරීමේ මඟක් වශයෙන් ගංගා ජලය ස්නානය කිරීම බුදුරදුන් විසින්
බැහැර කරනු ලැබූවකි. ජලස්නානයෙන් පමණක්, කළ පවු සෝදා හල ශුද්ධවන්තයකු
වන්නේ නම් පළමුවෙන්ම පිරිසුදු වන්නේ මත්ස්‍යාදී ජලජ සතුන් බව
බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
පුද්ගල සමාජ සම්බන්ධතා ලෞකික ජීවිතය උදාරත්වයට පත්කරගන්නා ආකාරය
සිඟාලෝවාද සූත්‍රය විස්තරාත්මකව උගන්වයි. එහෙත් එවැන්නක් බලාපොරොත්තු
විය හැක්කේ පාපක්‍රියාවලින් විමුක්ත වූ අවිසම වූ කය වචන ඇති යුතුකම් හා
වගකීම් පිළිබඳ නැඹුරු වන චිත්තස්වභාවයෙන් යුත් මෘදු ගතිගුණවලින් හෙබි
පුද්ගලයෙකුගෙනි. පවට බර වූ වගකීම් රහිතව ක්‍රියා කරන තැනැත්තකු වෙතින්
මවුපිය ගුරුවරාදීන්ට යුතුකම් ඉටුකිරීමක් කෙසේ නම් අපේක්‍ෂා කළ හැකිද?
එබැවින් ලොවී ලොවුතුරු සැපත් සාදා ගැන්මට බලාපොරොත්තු වන සියල්ලන්
විසින්ම බුදුරදුන් වදාළ පාපශෝධන පිළිවෙතින් පිරිසුදු බව ලැබීමට සිතට ගත
යුතු ය. |