UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ජෝර්ජ් කීට් සිත්තරා ගේ ගෝතමී විහාර බිතුසිතුවම්

ගෝතමී විහාරයේ පිටත බිත්තියේත් ඇතුළු බිත්තියේත් ඉතා විශාල ලෙස බිතු සිතුවම් රැසක් ඇඳ ඇති අතර ඒවා අතර දේවාරාධනාව, මහාමායා සිහිනය, සිදුහත් උපත, දුනු ශිල්ප දැක්වීම, සතර පෙර නිමිති දැකීම, රාහුල පුතු බැලීම, ගිහිගෙයින් නික්මීම, අනෝමා ගංතෙරෙන් එතෙර වීම, කේශච්ඡෙදනය, පිඬු සිඟා වැඩීම, ආලාර කාලාම මුණ ගැසීම, මාර යුද්ධය, වැනි විශේෂ සිදුවීම් ප්‍රධාන සිතුවම් අතරට ගැනේ.

ජෝර්ජ් පර්සිවල් ස්ප්‍රවුල් කීට් (GEORGE PERCIVAL SPROULE KEYT) යනු ජෝර්ජ් කීට් මහතාගේ සම්පූර්ණ නමයි. ජෝර්ජ් කීට් මහතා 1901 අප්‍රේල් මස 17 වන දින මහනුවරදී උපත ලබා ඇත.

මහනුවර ත්‍රිත්ව විදුහලෙන් තම ශිල්ප ඥානය, වැඩිදියුණු කරගෙන ඇති මේ සිත්තරා නිතරම මහනුවර මල්වතු විහාරය ඇසුරු කර ඇත. එම නිසාම කීට් බෞද්ධාගම කෙරෙහි දැඩි ඇල්මක් දක්වා ඇත. එයින් ජීවිතයේ ප්‍රබල වෙනසක්ද ඇති වී තිබේ.

ජෝර්ජ් කීට්ගේ කලා ජීවිතයේ නොමැකෙන කේන්ද්‍රස්ථානයක් වූයේ ඔහු විසින් නිර්මිත බොරැල්ලේ ගෝතමී විහාරයේ බිතුසිතුවම් සමූහයයි. බොරැල්ලේ ගෝතමී විහාරයේ බිතුසිතුවම් මෙතෙක් ලංකාවේ බිහි වූ විහාර බිතු සිතුවම් සම්ප්‍රදාය කඩා බිඳ දමා විප්ලවීය භාජනයකට බඳුන් කළ බිතු සිතුවම් ලෙස අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය. බොරැල්ලේ ගෝතමී විහාරය 1900 දී පමණ ආරම්භ කරන ලද්දකි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රබල සාමාජිකයකු වූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැතිතුමාගේ මෑණියන් වන ඇපලෝතියාද සොයිසා පීරිස් මැතිණිය විසින් දොඩන්දූව පියරතන මහනායක ස්වාමීන් වහන්සේට 1900 දී මෙම විහාරය පූජා කර ඇත.

මෙම විහාරයේ ජෝර්ජ් කීට් විසින් සිතුවම් කිරීමට අවශ්‍ය ලෙස පිටත බිත්තිවල තිබූ පැරණි සිතුවම් ඉවත් කොට සකසා ඇත. කීට්ට මේ චිත්‍ර සමූහය ඇඳීම සඳහා ක්‍රමවත් ලෙස එම බිත්ති සකසාදී ඇත්තේ ප්‍රසිද්ධ වාස්තු විද්‍යඥයකු වූ අන්ඩ්‍රැ බොයිඩ් විසිනි. 1940 –1942 කාලය තුළ මේ බිතු සිතුවම් කීට් විසින් ගොඩ නඟා ඇති අතර ඒවා ගොඩ නැඟීමට තෙල්වත්තේ ශ්‍රී අමරවංශ හා තෙල්වත්තේ ශ්‍රී ආරියවංශ යන හිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශකත්වයද කීට්හට මනාව ලැබී ඇත. ජෝර්ජ් කීට්ට මෙම චිත්‍ර නිර්මාණය කිරීම සඳහා ආරාධනය ලැබී ඇත්තේ ඇපලෝතියාද සොයිසා පීරිස් මැතිණියගේ මුනුපුරෙක් වූ හැරල්ඩ් පීරිස් මහතාගෙනි. බිතුසිතුවම් ඇඳීම සඳහා කීට් අමතර මුලක්ද අයකර නොමැති අතර සායම් සඳහා ගිය මුදල පමණක් ලබා ගෙන ඇත. ආචාර්ය එල්.ටී.පී. මංජු ශ්‍රී මහතාගේ සහායද කීට්හට ලැබුණු අතර ජාත්‍යන්තර කීර්තියට පත් ඡායාරූප ශිල්පියකු වූ ලයනල් වෙන්ඩ්ට් මහතාගේ විශේෂ ප්‍රශංසාවටද මේ චිත්‍ර සමූහය භාජනය වී ඇත.

තද දුඹුරු  (BURNT SIENNA)  වර්ණයෙන් රේඛා චිත්‍ර ලෙස මෙම චිත්‍ර සමූහය පළමුව ඇඳ තිබේ. තෙල්වත්තේ ශ්‍රී අමරවංශ ඛ්ඹ්මියන්ගේ ඉල්ලීම පරිදි කීට් පසුව එම චිත්‍ර වලට වර්ණ එකතු කර ඇත. ප්‍රවීණ කලා විචාරකයකු වු ඇල්බට් ධර්මසිරි මහතා මෙම චිත්‍ර සමූහය හඳුන්වන්නේ රේඛා මාධුර්යය (LINEAR HARMONY)  නමිනි.

ගෝතමී විහාරයේ පිටත බිත්තියේත් ඇතුළු බිත්තියේත් ඉතා විශාල ලෙස බිතු සිතුවම් රැසක් ඇඳ ඇති අතර ඒවා අතර දේවාරාධනාව, මහාමායා සිහිනය, සිදුහත් උපත, දුනු ශිල්ප දැක්වීම, සතර පෙර නිමිති දැකීම, රාහුල පුතු බැලීම, ගිහිගෙයින් නික්මීම, අනෝමා ගංතෙරෙන් එතෙර වීම, කේශච්ඡෙදනය, පිඬු සිඟා වැඩීම, ආලාර කාලාම මුණ ගැසීම, මාර යුද්ධය, වැනි විශේෂ සිදුවීම් ප්‍රධාන සිතුවම් අතරට ගැනේ.

මේ බිතු සිතුවම් වල මානව රූප ජීවමාන ප්‍රමාණයට වඩා විශාල ලෙස ඇඳ ඇත. උදාහරණයක් ලෙස බුදුරදුන් කිඹුල්වත් පුරයට වැඩම කරවීම, ප්‍රථම ධර්ම දේශනාව, පරිනිර්වාණය යන චිත්‍ර අපට හැඳින්විය හැකි ය. මෙහි සියලු මිනිස් රූප සජීවී මිනිස් රූප ප්‍රමාණයට වඩා විශාල ලෙස ඇඳ ඇත. තවද ගෝතමී විහාර බිතුසිතුවම් වල විශේෂත්වයක් වනුයේ එක් එක් සිද්ධීන් චිත්‍රණය කර ඇත්තේ එකෙකට එකක් ගලා යන පරිද්දෙනි. මෙහිදී සිද්ධියක් තවත් සිද්ධියකින් වෙන් කිරීමට කීට් උත්සාහ දරා නොමැත. මෙයට උදාහරණයක් ලෙස දේවාරාධනය, මහමායා දුටු සිහිනය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, දුනු ශිල්ප දැක්වීම සරණ මංගල්‍යය නළඟන රැඟුම් ආදිය ඇඳ ඇත්තේ එකම චිත්‍රයක් ලෙසය.

ගෝතමී විහාර සිත්තම් වර්ණ කිරීමේ දී කීට් පැතලි වර්ණ භාවිතා කර ඇත. මිනිස් රූපවල වටකුරු බව පෙන්වීමට ශරීරයට යොදන ලා පැහැයේම තද වර්ණ ඊළඟට යොදයි. සිතුවම් වල ඇඳුම් පැළඳුම් වර්ණ කිරීමේ දී ද පැතලි වර්ණම භාවිතා කර ඇත. තෙල් සායම් මාධ්‍යය භාවිතා කර ඇඳි මේ චිත්‍ර සියල්ලෙහිම නිල්, සුදු, කළු, රතු, කොළ, කහ, දුඹුරු, අළු ආදී වර්ණ වැඩිපුර කීට් විසින් භාවිතා කර ඇත. ඒ සියල්ලට අමතරව මේ චිත්‍ර ඇඳීම සඳහා සුදු වර්ණය කීට් වැඩිපුර භාවිතා කර ඇත. ඒ වගේම කීට් ඇතැම් අවස්ථාවල විසංගත වර්ණද භාවිතා කරමින් මෙම චිත්‍ර සමූහයට නව්‍ය බවක් එකතු කර දී ඇත. නිදර්ශන ලෙස අනෝමා ගං තෙරෙන් එතෙර වීම නමැති චිත්‍රය හඳුන්වා දිය හැක. මේ සිතුවමේ අශ්වයා සුදු පාටිනුත්, සිදුහත් කුමරු සුදු වස්ත්‍රයකින් සැරසී සිටින අයුරුත් දක්වා ඇති අතර පසුබිම සඳහා රතු වර්ණය භාවිතා කර ඇත. ගෝතමී විහාරයේ බොහෝ සිතුවම් වල පසුබිමට යොදා ඇත්තේ රක්ත වර්ණයයි. එයද මෙම චිත්‍ර සමූහයේ ඇති විශේෂතාවයකි.

ඇතැම් විචාරකයින් පවසන්නේ ගෝතමී විහාර බිතුසිතුවම් සමූහයෙන් බුද්ධාලම්භන පී‍්‍රතිය හෝ නිරාමිස සෞන්දර්යයට වඩා ලෞකිකත්වයට මේ සිතුවම් නැඹුරු බවයි. උදාහරණයක් ලෙස නාටිකාංගනාවන්ගේ නැටුම්, ගැයුම්, වැයුම්, මරඟනන් පැරදවීම සිදුහත් උපත ආදී චිත්‍ර අපට හඳුන්වාදිය හැකියි. මෙහි එන ස්ත්‍රී චරිත වල ළයාන්විත ස්වරූපයට වඩා ශෘංගාරාත්මක හැඟීම්, පුබුදුවාලන ස්වභාවයක් දිස්වේ.

විශේෂයෙන්ම නග්න පූර්ණ පියයුරු පුළුල් උකුල, තරබාරු අඟ පසඟ දැක්වීම තුළින් මෙය මනාව පැහැදිලි ය. කෙසේ වෙතත් ගෝතමී විහාර බිතුසිතුවම් සමූහය ලාංකීය කලා ඉතිහාසයේ පැවති සම්ප්‍රදායික ස්වරූපය බිඳ දමා එයට අලුත් බවක් එක්කර එයින් ද නොනැවතී ලාංකීය බිතු සිතුවම් සම්ප්‍රදාය අතික්‍රමණය කර වූ බිතු සිතුවම් සමූහයක් ලෙස අපට අවිවාදයෙන්ම හැඳින්වීමට පුළුවන. මේ බිතු සිතුවම් සමූහය විනාශ මුඛයට ඇද නොදමා රැක ගැනීම අප සතු ජාතික යුතුකමකි.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]