UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

අධ්‍යාපනයේ අරමුණු බොදු ඇසින්

බෞද්ධ දර්ශනය තුළ හමුවන පරමාදර්ශී පුද්ගලයා ශ්‍රද්ධා, ප්‍රඥා යන අංග දෙකෙන්ම පරිපූර්ණ විය යුතුය. මේ කරුණු වලින් බැහැර වන විට පුද්ගලයා කෛරාටිකයෙක් හෝ අනුවණ පුද්ගලයෙකු බවට පත් වේ.

මෙලොව එළිය දකින මිනිසා තොටිල්ලේ සිට මිනී වල දක්වාම බොහෝ කරුණු කාරනා ඉගෙන ගනිමින් සිටී. විධිමත් අධ්‍යාපනය මෙන්ම, අවධිමත් අධ්‍යාපනයද එකසේ වැදගත්ය. අධ්‍යාපනයේ අරමුණු ලෙස පිළි ගැනෙන්නේ පුද්ගලයාගේ මෙන්ම පොදු සමාජයේ සංවර්ධනය සනාථ කරණු සඳහා පිළියෙල කරගත යුතු අගැයුම් විශේෂයකි.

විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අධ්‍යාපන පරමාර්ථ ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැකිය.

1. පුද්ගල සංවර්ධනය වඩාත් වැදගත් බව
2. සමාජ සංවර්ධනය වඩාත් වැදගත් බව
3. පුද්ගල සංවර්ධනයත් සමාජ සංවර්ධනයත් එකසේ වැදගත් බව.

බෞද්ධ දර්ශනය අනුව සැලකිල්ලට යොමුකළ යුත්තේ මෙයින් තුන්වන පරමාර්ථයයි. සමාජයේ කොටස්කරුවෙකු ලෙස මෙලොව ජනිත වන පුද්ගලයාට කිසිසේත්ම හුදෙකලා දිවියක් ගතකළ නොහැකි ය. සමාජය යනුවෙන් හඳුනාගත හැකි වන්නේ ද පුද්ගල විවිධත්වය තුළින් ඒකත්වයක් ගොඩනගනු සඳහා මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ පුළුල් සංවිධානයකි. එම ඒකාත්වය නිර්මාණය කිරීමේ ප්‍රබල අවිය අධ්‍යාපන ක්‍රියාවලිය යි.

අධ්‍යාපනයේ එක් අරමුණක් විය යුත්තේ පුද්ගල රුචිකම්, ඉලක්ක, බලාපොරොත්තු හා කුසලතාවන් උපරිම තලයකට රැගෙන විත් සංවර්ධනය කිරීමයි. සිසු දරුවා සමාජ රාමුවේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය හැඩ ගැස්මක් සම්පාදනය අධ්‍යාපනයේ තවත් අරමුණකි. බුද්ධිබලය වැඩි දියුණු කිරීම, චිත්ත වේග පාලනය, සෑම පුරවැසියෙකුටම තිබිය යුතුය. මේවා අපේක්ෂිත මට්ටමින් දියුණු කළ හැකි වන්නේ උසස් පරමාර්ථ හා අරමුණු අනුව ගමන් කිරීම තුළිනි.

පරමාර්ථයන්හි උසස් පහත්බව නිර්ණය කරන ප්‍රබල සාධක බුදුදහම ඔස්සේ විශ්ලේෂණය කළ හැකිය. ලෝභයෙන්, ද්වේෂයෙන් හා මෝහයෙන් යුක්තව ක්‍රියාත්මක වන අදහස් අර්ථ විරහිතය. අලෝභයෙන්, අද්වේෂයෙන් හා අමෝහයෙන් පණ ගැන්වෙන සිතුම් පැතුම් වඩාත් උසස් ය.

පුද්ගලයා සමාජය තුළ ක්‍රියාකාරී වනවිට අනිකුත් සාමාජිකයන් වෙත ඔහු දක්වන ප්‍රතික්‍රියා මත මෙය වටහා ගැනීම පහසුය. කෙනෙක් යහපත් සමාජ ප්‍රතිචාර අත්පත් කරගනු ලබන්නේ, දීර්ඝ කාලයක් තිස්සේ ගරා පෙරා ගන්නා අත්දැකීම් සම්භාරය හා දැනීම් සම්භාරය පාදක කොට ඇතිකර ගන්නා අවබෝධය අනුවයි. උසස් මානසික හැකියා බුද්ධි කුසලතාවන් ප්‍රගුණ කිරීමෙන් පමණක්ම ලබාගත නො හැකි ය. මේ සඳහා සදාචාර ධර්ම ද සම්බන්ධ විය යුතුමය. එබැවින් උසස් මානසික ලක්ෂණ හා යහපත් පරමාර්ථ යන්න බුද්ධිය හා සදාචාරය යන දෙකෙහිම සංයෝජනයකි.

බෞද්ධ දර්ශනය තුළ හමුවන පරමාදර්ශී පුද්ගලයා ශ්‍රද්ධා, ප්‍රඥා යන අංග දෙකෙන්ම පරිපූර්ණ විය යුතුය. මේ කරුණු වලින් බැහැර වන විට පුද්ගලයා කෛරාටිකයෙක් හෝ අනුවණ පුද්ගලයෙකු බවට පත් වේ.

කෛරාටිකයාත්, මෝඩයාත් යන දෙදෙනාම සමාජයට අවැඩදායි වෙති. මීට අනුව බොදු අධ්‍යාපන අරමුණු වන්නේ් පුද්ගලයාගේ බුද්ධිය, තර්කණය මෙන්ම කරුණාව මුදිතාව වෛරයෙන් තොරව ජීවත්වීම වැනි භාවමය පක්ෂයට යොමුවූ ගුණ දහම් වර්ධනය කොට සුරක්ෂිත කිරීමයි.

ආර්. එස්. පීටර්ස් මහතා විග්‍රහ කරන පරිදි අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ අවදි බවෙන් හා විචාරශීලි මනසකින් යුතු පුද්ගලයන් බිහිකිරීමයි. නූතන අධ්‍යාපනඥයන් ඉදිරිපත් කරන විචාරශීලි බව නම් වූ සංකල්පය බුදුරජාණන් වහන්සේ ද අධ්‍යාපන ක්‍රියාවලියේදී ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති අන්දම අපූරුය. කේසපුත්ත නම් ගමේ කාලාම නම් බ්‍රාහ්මණ ශිෂ්‍ය පිරිසකට බුදුරජාණන් වහන්සේ මේ අරමුණ ඉතා විස්තර සහිතව ඉදිරිපත් කර තිබේ.

චරිත සංවර්ධනයෙහිලා බුදුදහමින් ලැබෙන මඟ පෙන්වීම මිලකළ නොහැකිය. ‘අත්ත සම්මා පණිධි’ වැනි දේශනා පාඨ වලින් පෞද්ගලික චරිත සංවර්ධනය යහපත් ස්ථානයක් හිමිකර ගැනීම හේතුකොට ගෙන දෙලොව දියුණුවට වැඩ සැලසෙන බැව් පෙන්වා දී ඇත.

පෞරුෂ වර්ධනය බොදු අධ්‍යාපන අරමුණු අතර තවත් එක් සුවිශේෂී අරමුණකි. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ, උස, මහත තේජාන්විත පෙනුමකින් යුතු වු විට පෞරුෂය ගොඩනැංවෙන බවකි. එය සැබෑ පෞර්ෂය නොවේ. පුද්ගලයෙකුගේ ඔහුටම ආවේණික වෙනත් කිසිවෙකුට සම කළ නොහැකි එමෙන්ම ප්‍රබල යහපත් ගුණාංග සියල්ලේ එකතුව පෞර්ෂයයි. බෞද්ධ දර්ශනයට අනුව පෞර්ෂය යනු, ස්වච්ඡන්දතාවෙන් හා ආත්ම විශ්වාසයෙන් කි‍්‍රයාත්මක වීමට පුද්ගලයා සතුව පවත්නා ප්‍රත්‍යෙකශක්‍යතාව යැයි දැක්විය හැකිය.

බුදුරජාණන් වහන්සේ පෞර්ෂයම අතිශය උසස් කොට සලකති. තමාගේ විමුක්තිය තමාම බව බෞද්ධ ධර්මය පසක්කර දෙයි. ‘’තමා පහනක් කොට වාසය කරන්න. පිහිට කොට වාසය කරන්න. වෙනත් සරණක් නො සොයන්න. පිරිසුදු බව හා අපිරිසුදු බව ඇත්තේ තමා වෙතමය. අනෙකෙක් අනෙකකු පිරිසුදු නොකරන්නේය’’ මෙයින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ ආචාර ධර්මවිෂය තුළ පුද්ගලයාගේ පෞර්ෂයට සුවිශේෂ මානයක් සලකුණු කර ඇති බවකි.

බෞද්ධ අධ්‍යාපනයේ පරමාර්ථය පුද්ගලයා කේන්ද්‍ර කොටගෙන ඔහු හාත්පස ක්‍රියාත්මක වන විවිධ සමාජ සංස්ථාවන් සමඟ ළදරු වයසේ සිටම සබඳතා පවත්වමින් අර්ථ සම්පන්න දිවියක් ගතකළ යුත්තේ කවර අන්දමකින්දැයි ඉගැන්වීමයි. සිඟාලෝවාද සුත්‍රයෙන් ඉදිරිපත් කරන ‘සදිසා වන්දනා’ සංකල්පයෙන් පැහැදිලි වන්නේ පුද්ගලයා හා සමාජය අතර, ක්‍රම ක්‍රමයෙන් සබඳතා වර්ධනය වන අන්දමත්, ඒ අවස්ථාවන්හිදී ඔවුනොවුන්ගෙන් සපිරිය යුතු යුතුකම් කෙසේද යන්නයි.

බුදුදහමෙහි අන්තර්ගත මෙම අධ්‍යාපන අරමුණු ඇසුරෙන් සමාජය ගොඩනැඟෙන්නේ නම් සමාජ ප්‍රශ්න හෝ විෂමතාවන් අවම වනු ඇත.

බෞද්ධ අධ්‍යාපන අරමුණු විශ්ලේෂණයේදී වැදගත් වන අදහස් බොහොමයක් මංගල සුත්‍රයෙන් ලබාගත හැකිය. බහුශ්‍රැතබව, ශිල්පඥානය, මනාව හික්මුණු කෙනෙකුවීම, යහපත් වචන කතා කිරීම මේ අතර වැදගත් වේ.

බෞද්ධ දර්ශනය අනුව සැකසුණු අධ්‍යාපන අරමුණු කිහිපයක් මහාචාර්ය එල්.ජී. හේවගේ මහතා ඉදිරිපත් කරයි.

1. තමන්ටත්, සමාජයටත් සැපතක් මිස විපතක් නොවන අන්දමින් ජීවත්වීමට අවශ්‍ය දැනීම ආකල්ප හා හැකියාව ලබාදීම.
2. සහජයෙන් තමන් ලද කුසලතාවලින් ප්‍රයෝජන ලබා ගතහැකි වන පරිද්දෙන් පෞර්ෂ වර්ධනයක් අත්කර ගැනීමට ආධාරදීම.
3. තමන් හා තමන් අවට පරිසරය පිළිබඳ යථා ස්වභාවය වටහා ගැනීමේ ආකල්ප දැනීම හා හැකියා වර්ධනයට අවස්ථාව සැලසීම.
4. මානව චර්යාවේ යථා ස්වභාවය හැඳින ඒ අනුව තමන්ටත් අනුන්ටත් සැපතක් මිස විපතක් නොවන පරිදි සකස් කිරීමට ගන්නා පෞද්ගලික හෝ සාමුහික වෑයම.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]