UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පොල්ගහවෙල වඩුවාව බඹරගල පුරාණ රජමහ විහාරය

පැරණි දඹදෙණි රාජධානියට අයත් පොල්ගහවෙල නාරම්මල අතර පිහිටි වඩුවාව නම් ගම්පියස දැනට දශක පහකට හෝ හයකට පෙර ගොඩමඩ ගොවිතැන ජීවනෝපාය කරගත් ආගමට දහමට නැඹුරුව ආවේනික ගති සිරිත් අගය කළ අවිහිංසක ජනතාවක් ජීවත් වූ සුන්දර නිස්කලංක ප්‍රදේශයකි.


නුවර යුගයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

මේ ගමට වඩුවාව යන නම ලැබීමේ කතන්දරය ජනප්‍රවාදයේ එන හැටියට ඓතිහාසික පුවතකි. දඹදෙණියේ රජකළ සාහිත්‍ය චක්‍රවර්ති පණ්ඩිත පරාක්‍රමබාහු රජ සමයෙහි රාජ ද්‍රෝහී වරදකට හසුව දඹදෙණි ගල මුදුනෙහි සිරකර තබන ලද වඩුවකු ආශි‍්‍රතව ගෙතී ඇති රසවත් පුවතකි.

රාජ උදහසට ලක් වූ වඩුවාට ආහාරපාන ලණු පොටක බැඳ ගල මුදුනට යැවීමේ වරම ඔහුගේ බිරිඳට පමණක් ලැබී තිබූ අතර බුද්ධිමත් ගැහැණියක වූ වඩුවාගේ බිරිඳ තම සැමියාට යවන බත් මුලෙහි ගල් කටුවක් හා මිටියක් යැවීමට සමත් විය. ලද දෙයින් ප්‍රයෝජනය ගත් වඩුවා එක රැයකින් පඩිපෙල කපා ගලෙන් බැස පැන ගියේලු. එසේ පැන ගොස් සැඟවුන ගම වඩුවාව නමින් කලෙක හැඳින්වෙන බව ජනප්‍රවාදයේ එයි.

හාත්පස විහිදුන යෝගමුව කන්ද, මාරගල් කන්ද, මානහෙට්ටි කන්ද වැනි කඳු පෙළකින් වට වූ වඩුවාව ගමෙහි බඹරගල ඓතිහාසික පුරාණ රජමහා විහාරයට එකී නම පටබැදුනේ අක්කර දහයකින් පමණ සමන්විත වූ විශාල ගලෙහි නොතෙමෙන ස්ථානවල විශාල වශයෙන් බඹර වද වලින් ගැවසී ගත් නිසා විය හැක. අද දක්වා ද එම දර්ශනය මෙහිදී දක්නට ලැබේ.

කෙසේ වුවද මෙම විහාරස්ථානයෙහි ඉතිහාසය සොයා බැලීමේදී පවතින ජනප්‍රවාද හා පුරාවිද්‍යා සාධක සැලකිල්ලට ගත යුතුය. මහනුවර යුගයේ සීතාවක අවසාන රාජධානි සමයේ මෙම විහාරස්ථානය ඉදිවන්නට ඇතැයි පුරාවිද්‍යා සමීක්ෂණ අනුව කිව හැක. තවද මෙම විහාරස්ථානයේ හමුවන ආදිම සාධක ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ. අදින් වසර විසි දහසකට තිස් දහසකට පමණ පෙර ලංකාවේ ජීවත් වූ බලංගොඩ මානවයා පරපුරේ මිනිසුන් මෙහි ලෙන් ආශි‍්‍රතව ජීවත් වූ බවට සාධක හමුවේ. ඔවුන් භාවිතා කළ ගල් ආයුධ වල කොටස් මෙහි වූ ලෙන් වලින් හමුවී ඇත.

අනුරාධපුර යුගයේදී බෞද්ධ ආරාම සංකීර්ණයක් ලෙසද භාවිතා කර ඇත. මේ කාලයේදී අද පවතින බඹරගල පත්තිනි දේවාලය හා පාලාගල දක්වා දිවෙන සම්පූර්ණ පර්වතය ආශි‍්‍රතව තනි ආරාමයක් ලෙස භාවිතා වී තිබේ. මේ යුගයට අයත් සෙල්ලිපි, කටාරම් ලෙන් වල දක්නට ලැබේ. මෙහි ඇති සෙල්ලිපි බ්‍රාහ්මී අක්ෂර දෙවන පෑතිස් රජ සමයෙහි බ්‍රාහ්මී අක්ෂර හා සමාන බවද පුරාවිද්‍යා සාධක අනුව කිව හැක.


විහාර මන්දිරයේ දොරටු පාල රූප

මහනුවර යුගයේදී නැවත මෙම විහාරය ප්‍රතිසංස්කරණය වූ බව පෙනේ. විහාරයේ ඇති බිතුසිතුවම් වලින් බොහෝමයක් නුවර යුගයට අයත් ය. ඒ අතර රහතන් වහන්සේලා සිය නමක් සිතුවම් කර ඇත. එසේම දහම්සොඬ ජාතකය, වෙස්සන්තර ජාතකය, සුජාතා දේවියගේ කිරිපිඬු දානය චිත්‍රයට නගා ඇත ඒ අතර. දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි.


බෝධීන් වහන්සේ අසල දසුනක්

නුවර යුගයේ (භික්ෂූ) සංඝ ශාසනයේ මහා යතිවරයාන කෙනෙකුන් වූ අසරණ සරණංකරාභිධාන හිමියන්ගේ ශිෂයකු සේ සැලකෙන තෙවරගම්පල සිල්වත් තැන මෙම ලෙනෙහි වාසය කල බවත් ලෙන ආශි‍්‍රතව තිබූ විශාල සපුගසක් කපා එය මැදි කර දහඅට රියන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර ඇති බව සඳහන් වේ. මෙම මහා ගල් පර්වතය ආශි‍්‍රතව ගල් කටාරං දොළහක් ද ඒ අසල විශාල ගල්කුලින් මතුවන ජල බිංදුවද පැරණි චෛත්‍යයක නටබුන්ද දක්නට ලැබේ.

වත්මනෙහි සංඝ පරම්පරා හතක් මෙම විහාරස්ථානයේ වැඩ සිට ඇති බවත් සරණංකර මාහිමිගේ ශිෂයකු වූ ගිනිගත්පිටියේ සංඝරක්ඛිත හිමියන්ගෙන් මෛම සංඝ පරම්පරාව බිහි වූ බවත් සඳහන් වේ. ප්‍රදේශයේ විහාරස්ථාන් විශාල සංඛ්‍යාවකට නායකත්වය හා ප්‍රමුඛස්ථානයක් බඹරගල විහාරස්ථානයට හිමි වෙයි. අද පවා අවට විහාරස්ථාන වල භික්ෂූන් වහන්සේලා පොහෝ පවුරුනු කටයුතු සඳහා සහභාගිවීම බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට පත්ව ඇත.

විහාරස්ථානයට සම්බන්ධ සතර පේරුව වශයෙන් දංගොල්ලගොඩ, මැදගංගොඩ, එගොඩගොඩ, පොරමඩල, බඹරගල, වඩුවාව, වෑකොටුව වශයෙන් නම් කොට තිබේ. දැනට බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී ඇති මහමෙව්නාව භාවනා අසපුවද මෙම විහාරස්ථානයට නුදුරින් පිහිටා ඇත.


දහඅට රියන් පිළිම වහන්සේ

සිසුන් 250 කින් සුසැදි ශ්‍රී‍්‍ර සුමන සාර සුහද දහම් පාසලද ප්‍රදේශයේ සිසු දරුවන්ට පිංකෙතකි. වත්මන් විහාරාධිපති පූජ්‍ය පාද බලල්ලේ සීලරංසි හිමියන් ය. උන්වහන්සේගේ අපරිමිත දයාව, කරුණාව, මෛත්‍රිය විහාරස්ථ කාරකාදීන්ටත් වන්දනාව සඳහා පිටතින් පැමිණෙන පිංවතුන්ටත් මනාව අවබෝධ වනු ඇත. තවද ගම තුළ සිදුවන සියලු සමිති සමාගම්වල මූලිකත්වය විහාරස්ථානය සතුව පැවතීමද විශේෂත්වයකි. ආදර්ශවත් ක්‍රියාවකි.

 


විහාර මන්දිරයේ පැරැණි දොරටුව

ඉදිරි පියවර ලෙස උස අඩි 500 - 600 පමණ වන ගල් පර්වතය මතට ගොඩවීම සඳහා පියගැට පෙලක් හා ප්‍රදේශයට දර්ශනය වන අයුරින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකිරීමටත්, ආශි‍්‍රත ගල්ලෙන් බෞද්ධ ජනතාවට දැකබලා ගැනීම සඳහා අවස්ථාව සලසාදීමත්, ඒවා සංරක්ෂණය කර ආරක්ෂා කර ඉදිරි පරපුරටද දායාද කිරීම අරමුණ වේ. මේ සඳහා පිහිටුවා ඇති විහාරස්ථාන කාර්යසාධක සමිතිය බෞද්ධ කොමසාරිස්තුමා යටතේ ලියාපදිංචි කර ඇති අතර අතර මෙය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඓතිහාසික බඹරගල පුරාණ රජමහා විහාරය විහාර වංසයේ නොමැකෙන සිහිවටනයකි.

 

 

 

 

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු මස 04 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]