නවම් අව අටවක පොහොය පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දා
ක්‍රීඩාව සෙල්ලමක් ලෙස සිතීම
සහභාගී වන්නන් ගේ කුසලතාව හෝ වාසනාව උරගා බැලීමෙන් විවේකය
ලැබීමට හෝ විනෝද කාලය ගත කිරීමේ මාර්ගයක් වශයෙන් කැරෙන
සංවිධානාත්මක කටයුත්තක් ලෙස ක්‍රීඩාව හැඳින් වූ යුගය දැන්
අවසන් ය. එ මෙන් ම එය තවදුරටත් ශාරීරික ව්‍යායාම පිණිස හෝ
ආගමික පුද පිළිවෙත් සඳහා පවතින අංගයක් ද නො වේ. නූතන පිළිගැනීම
අනුව, ක්‍රීඩාව යනු සමාජ සංවර්ධනය පිණිස පවතින සංස්කෘතික
කාර්යයක් ලෙස සැලැකේ. එම නිසා, කුසලතා දැක්වෙන ක්‍රීඩා හා දෛවය
අනුව ජයග්‍රහණය තීරණය වන ක්‍රීඩා ආදී වශයෙන් පැවැති වර්ගීකරණය
ද අද වන විට වලංගු නැත.
මේ තත්ත්වය අනුව බලන කල දසවන එක්දින ලෝක කුසලාන ක්‍රිකට්
තරගාවලිය දෙස පාඨක අවධානය යොමු කිරීම වරදක් යැයි අපි නො සිතමු.
පසුගිය 19 වන දා ඇරැඹි මේ තරගාවලියෙහි සත්කාරකත්වය ශ්‍රී
ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල් තුනට පැවැරී තිබේ. එම
නිසා මෙ වර ක්‍රිකට් ලෝක කුසලානය ගැන කතා කිරීමට සමාජයීය
වගකීමක් ද අපට ඇත.
කෙ සේ වූව ද, පාරිසරික, ආගමික හෝ සංස්කෘතික වුවමනාවන් මත බිහි
වී අතීතයේ සිට පැවත ආ අප ගේ ජාතික ක්‍රීඩාවන් වන අංකෙළිය,
පොරපොල් ගැසීම, එල්ලේ, ගුඩු, මල්ලව පොර, ලී කෙළි, ඔළිඳ කෙළිය
ආදී ක්‍රීඩා අභාවයට යෑම හා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිතවීම
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ සෘජු බලපෑම නිසා සිදු වූවක් බව අපි
දනිමු. එහෙත්, ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්තය වැනි ශීත දේශගුණය
සහිත ධනවත් රටකට පමණක් උචිත ශාරීරික ව්‍යායාමයක් යැයි කැරෙන
විග්‍රහය අසම්පූර්ණ ය.
දහතුන්වන සියවසෙහි මැද භාගයේ දී එංගලන්තයෙන් ඇරැඹි ක්‍රිකට්
ක්‍රීඩාව ක්‍රමවත් නීති රීති පද්ධතියක් යටතේ වර්ධනය වූයේ දහ අට
වන සියවසේ දී ය. කෙ සේ වූව ද වාර්තාගත ප්‍රථම තරගය ලෙස
සැලැකෙනුයේ ක්‍රි.ව. 1697 දී එංගලන්තයේ සසෙක්ස්හි පැවැති
ක්‍රිකට් තරගයකි. මේ අනුව බලන කල, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය
ගොඩනැඟෙන අවධිය වන විට ක්‍රිකට් ක්‍රීඩාව එ රට ඉතා ජනපි‍්‍රය
තත්ත්වයක පැවැති බව පැහැදිලි ය. යටත්විජිත භාවය නිසා ලද මේ
උරුමය, සංස්කෘතික වශයෙන් පෝෂණය කිරීමට හෝ දේශීය සංස්කෘතියට
අවශෝෂණය කැර ගැනීමට අප තවමත් සමත් වී නොමැත. එය ක්‍රිකට්
ක්‍රීඩාවේ දී භාවිත වන පරිභාෂණ මඟින් පැහැදිලි වනු ඇත. ඒවා
සමහරක් මෙ සේ ය..
මිඩ් ඕන්, මිඩ් ඕෆ්, ෆයින් ලෙග්, ඩීෆ් ෆයින් ලෙග්, ෂෝට් ෆයින්
ලෙග්, ෂෝට් ස්ක්වෙයාර් ලෙග්, ස්ක්වෙයාර් ලෙග්, ලෝන්ග් ඕෆ්,
ලෝන්ග් ඔන්, ගලී, සිලි මිඩ් ඕන්, සිලි මිඩ් ඕෆ් ආදී වශයෙන්
පන්දු රකින ස්ථාන සඳහා භාවිත වන ඉංගී‍්‍රසි වචන වෙනුවට සිංහල
වචන තනා ගැනීමට අපට හැකි වී නැත. එහෙත්, ක්‍රිකට් ක්‍රීඩාවේ
චමත්කාරය විඳ ගැනීමට හා ගැමි ක්‍රීඩාවක් ලෙස එහි නිරතවීමට ද මේ
තත්ත්වය අපට බාධකයක් නො වේ. එම නිසා ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට්
ලෝලීන් ලෙස ලොව පුරා ප්‍රකට ය.
එහෙත්, මෙ වර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමිතිකොට ගෙන
ඇතැම් මාධ්‍ය ආයතන, ඇතැම් වෙළෙඳ සමාගම් හා ඇතැම් කලාකරුවන්
විසින් නිර්මාණය කළ ප්‍රචාරක වැඩසටහන් හා වෙනත් නිර්මාණ දෙස
බැලූ විට ක්‍රීඩා ලෝලිත්වය වෙනුවට උන්මාදය, ක්‍රීඩාවේ පරමාර්ථය
අනිවාර්ය ජයග්‍රහණය බව හා සුහදතාව වෙනුවට හෙළා දැකීම සමාජගත
කිරීමට උත්සාහ දරා ඇති බව පෙනේ. මේ බව ක්‍රිකට් ගීතය අපට ගැළපේ
ද යනුවෙන් මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් විසින් පෙබරවාරි
මස 15 වන දා ‘දිනමිණ’ පුවත්පතට ලියන ලද ලිපියකින් ප්‍රශ්න කැර
තිබිණ. එහි මෙ සේ සඳහන් ය.
‘ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජාතික ගීය වශයෙන් හඳුන්වන
ගීතයක් ජනමාධ්‍ය මඟින් අසන්නට ලැබේ.’
‘ක්‍රීඩාවක් යනු සුහදත්වය, මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය විශ්වාසය
පදනම් ව සිදුවන සුන්දර අවස්ථාවක් විය යුතු ය. ක්‍රීඩාවක පැවතිය
යුතු ප්‍රධානතම ලක්‍ෂණය නීති ගරුකත්වය හා විනය යි. එම විනය,
නීතිය දැනවෙන පරිසරය ක්‍රීඩා පිටියේ පමණක් නො ව රටේ ද පැවැතිය
යුතු ය.’
‘ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගීතය පුරා කියැවෙන්නේ ජාතියේ අභිමානය
හෝ සංස්කෘතියේ සුහදත්වය නො ව වෛරය, උපහාසය හා අපහාසය දනවන
වාග්මාලාවකි.’
‘කොදෙව් රටේ පොල්ගස්වල කරටි කඩන්න, නවසීලන්තයේ තල්මසුන් ගේ හකු
පන්නන්න, කැන්ගරුවන්ට බජිරි කවන්න, එංගලන්තයේ මාලිගාවල උළු
හොල්ලන්න පමණක් නො ව තව්තිසා දෙව්ලොව ජනේලවල වීදුරු කඩන්නත් මේ
ගීතයෙන් යෝජනා කර සිටී. ගීතයේ පදමාලාවෙන් ඉන්දියාව,
ඕස්ට්‍රේලියාව, කොදෙව්දූපත්, නවසීලන්තය, එංගලන්තය යන රටවල
අභිමානය විනාශ කරමින් විපතක්, විනාශයක් කිරීමට ප්‍රේක්‍ෂකයන්
පොළඹවනු ලබයි.’
ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාව ලොව හමුවේ ප්‍රදර්ශනය කිරීමට
ලැබුණු මේ මහඟු අවස්ථාව මෙ සේ අවිචාරවත් ලෙස යොදා ගැනීම ගැන අප
ලජ්ජා විය යුතු නො වේ ද? |