UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ප්‍රතිමාව ලොවට හඳුන්වා දුන් ගන්ධාර බුදු පිළිම කලාව


සාරානාත් බුද්ධ ප්‍රතිමා වහන්සේ

අප මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ වසර 2000 කට අධික ඈත අතීතයකදී ලෝකයටම බුදු රුව හඳුන්වා දුන්, මෙකල පකිස්ථානයට අයත් ගන්ධාර බුදු පිළිම කලාව පිළිබඳ විමසා බැලීමටය. ඉන්දියාවේ මෙන්ම මෙකල පකිස්ථානයේද බෞද්ධ සිද්ධස්ථාන රැසක්ම දැකිය හැකි නිසා ඒ රටද සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගත් රටකි. ජාතක කතාවල සඳහන්වන තක්‍ෂිලාවද පිහිටියේ පකිස්ථානයේය.

පාකිස්ථානයේ ලාහෝර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ අති විශේෂ වූ බෝධිසත්ව පිළිමයක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි වැඩම කරවූ පිට 2006 මැයි 26 වැනිදා ශ්‍රී ලංකාවට බව ඉතා ප්‍රකට කරුණකි. එම පිළිමය වූයේ සිද්ධාර්ථ තවුසාණන් බුද්ධත්වයට පත්වීමට පෙර සය අවුරුද්දක් තිස්සේ “දුෂ්කර ක්‍රියා” කළ ආකාරය නිරූපණය කරෙන මූර්ති ඵලකයකි. එයද පකිස්ථානයේ මෙම ගන්ධාර බුදු පිළිම සම්ප්‍රදායට අයත් වූවකි.


තොළුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ

දුෂ්කර ක්‍රියාව යන වචනය සඳහා මෙකල පවා ඇතැම් අපරදිග පුරාවිද්‍යාඥයින් විසින් භාවිත කරනු ලබන ඉංගී‍්‍රසි වචනය වූ Fasting Buddha යන වචනයෙහි සාවද්‍ය බව ගැනද මෙහිදී පෙන්වා දිය යුතුය. පළමුවැනි වරද නම් දුෂ්කර ක්‍රියාව සිදුකරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසින් යැයි සඳහන් වීමය. දුෂ්කර ක්‍රියා කළේ බෝසතාණන් වහන්සේය. අනෙක් වැරැදි ව්‍යවහාරය නම් දුෂ්කර ක්‍රියාව සඳහා යොදා ඇති ඉංගී‍්‍රසි වචනය වූ ‘ෆාස්ටින්’ (Fasting) යන වචනයයි. ‘ෆාස්ටින්’ යන ආගමික චාරිත්‍රය සිදුකෙරෙන්නේ ඉස්ලාම් බැතිමතුන් විසිනි.

එසේ නම් සිද්ධාර්ථ තවුසාණන්ගේ දුෂ්කර ක්‍රියාව සඳහා යෙදිය යුතු නිවැරැදි ඉංගී‍්‍රසි වචනය කුමක්ද යන්න මෙහිදී පැන නැඟෙන ප්‍රශ්නයකි.

ඒ සඳහා යෙදෙන ඉංගී‍්‍රසි වචනය වන්නේ ඉඥතට Self Mortification යන්නයි. ඉහත සඳහන් එම මූර්තිය පිළිබඳ එකල ඉංගී‍්‍රසි පුවත්පත්වල පළ වූයේද සාවද්‍ය වූ ඉංගී‍්‍රසි ව්‍යවහාරයයි. සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ අවධානය යොමු කෙරෙන මෙකල, අප මේ නිවැරැදි ව්‍යවහාරයන් පිළිබඳ ද අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.

ගන්ධාර බුදු පිළිම සම්ප්‍රදාය පිළිබඳ සඳහන් කරන විට තවද විශේෂිත වූ කරුණක් මෙහිදී අපගේ අවධානයට ලක් කළයුතුව ඇත. එනම්, ගන්ධාර කලා සම්ප්‍රදාය ඇති වූයේ එකල භාරත දේශය හෙවත් ජම්බුද්වීපයේ වයඹ දිග ප්‍රදේශයේ (මෙකල පකිස්ථානයේ) ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසේදී පිහිටුවන ලද කුගාන අධිරාජ්‍යයේ (විදේශික රාජවංශයකි) රජතුමා ප්‍රබලතම වූ කනිෂ්ක රජුගේ රාජ්‍ය සමයේදීය. අසෝක රජතුමාට (ක්‍රි.පූ. 273 – 232 ) පසුව බුද්ධාගම (මහායාන බුදුසමය) ලොවෙහි, විශේෂයෙන් මධ්‍ය ආසියාවේ ප්‍රචලිත වුයේ කනිෂ්ක රාජ සමයේදීය.

කනිෂ්ක රජුගේ රන්කාසිවල මෙන්ම පකිස්ථානයේ ෂා.ජි.කි. ඩේරි (SHAH –Ji-Ki DHERI) හි හමු වූ කරඬුවෙහි ද ප්‍රථම වරට බුදුරුව නිර්මාණය කර ඇති බැව් ඉතා පැහැදිලිය. (Buddhist Dandhra-Ihsan H Nadien (History Art And Architecture –2008 – P. 52 , Lahore Pakistan)

ගන්ධාර බුදු පිළිම සම්ප්‍රදාය ඉන්දියානු හෘදයෙනුත් ගී‍්‍රක රෝම ශාස්ත්‍රයෙනුත් නිර්මාණය කරන ලද මූර්ති කලාවක් බව කලා විචාරකයන්ගේ නිගමනයකි. මේ කාලයේදිම දියුණුවට පත්වු මථුරා බෞද්ධ කලාව තුළ එවැනි විදේශීය ආභාෂයක් නොව දේශීය ලක්ෂණයක් දැකිය හැකිය.


පොළොන්නරුව ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ගන්ධාර බෞද්ධ කලාව එසේ විදේශීය ආභාසය සහිත වූ මූර්ති කලාවක් සේ සැලකෙන්නේ කුමක් නිසාදැයි විමසිය යුතුව ඇත.

ගන්ධාර බුදුපිළිම නිර්මාණයට පූර්වාදර්ශයට ගත හැකි බුද්ධ ප්‍රතිමා භාරතයේ හෝ වෙනත් කිසිම තැනක නොවූයේය. මේ නිසා භාරතයේ මෙම බුදු පිළිම නිරමාණයේදි එම මූර්ති ශිල්පීන්ට ආදර්ශයට ගත හැකිව තිබුණේ එවක (කණිෂ්ක රාජ සමයේදී ) ගී‍්‍රක රෝම දෙවිවරුන්ගේ රූපවල ඇඳුම් පැළැඳුම් ය. ඒ අනුව ගන්ධාර බුදු පිළිමවල සිවුර ගී‍්‍රක දෙවියකු වූ ඇපොලෝ දෙවියාගේ ටෝගා නමැති ඇඳුම අනුව නිර්මාණය කළේය.

එමෙන්ම ගී‍්‍රක සූර්ය දෙවියන්ගේ මූර්තිවල දක්නට ලැබෙන හිසකෙස් සකසා ඇති ආකාරයට ගන්ධාර බුදු පිළිම ශීර්ෂ ද නෙළා ඇති අන්දම දැකිය හැකිය. මේ සඳහා කදිම උදාහරණයක් ලෙස පකිස්ථානයේ හෝර්ට් මන්තුර් පුද බිමෙන් හමු වූ බුද්ධ ප්‍රතිමාව දැක්විය හැකිය. මෙසේ මුල් කාලයේදී බෞද්ධ ග්‍රන්ථවල සඳහන්වන බුද්ධ ලක්‍ෂණවලින් මෙම ප්‍රතිමාවල දක්නට ලැබෙන්නේ දීර්ඝ වූ කන් සහ ඌර්ණ රෝමය පමණි. ගන්ධාර බුද්ධ ප්‍රතිමා සියල්ලකම පාහේ බටහිර හා ඉන්දීය කලා සම්ප්‍රදායයන්ගේ මිශ්‍රණයක් දැකිය හැකිය. (දඹදිව බෞද්ධ කලාව ආචාර්ය ඩබ්ලිව්. පී. ආනන්ද ගුරුගේ පිටු 15 –16 – 1962 )

ගන්ධාර බුදු පිළිම කලාව මගින් බුදුරජාණන් වහන්සේ මානව රූපීව නිර්මාණය කළා මිස බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදාය එයින් මුර්තිමත් කිරිමට ගන්ධාර ශිල්පියා සමත්වී නැත. එසේ වුණද බුදුරජාණන් වහන්සේගේ උදාරත්වය හා මහේශාක්‍යභාව එම පිළිම වලින් නිරූපිතය.

ඉහත දී අපි භාරතය සහ ජම්බුද්වීපය යන නාමයන් සඳහන් කළෙමු. ඒ කරුණද පැහැදිලි කළ යුතුව ඇත.මෙකල පකිස්ථානය, ඉන්දියාව හා නේපාලයද ඇෆ්ඝනිස්ථානයේ කොටසක්ද බංග්ලාදේශයද වශයෙන් දක්නට ලැබෙන වෙනම රාජ්‍යයන් අසෝක රජතුමාගේ කාලයේදී ක්‍රි.පූ. 273 – 232 ) හඳුන්වන ලද්දේ ජම්බුද්වීපය යන නාමයෙනි. ඒ අනුව ඒ රටවල් සියල්ලම එකල එකම රාජ්‍යයෙකි.


කනිෂ්ක රාජ යුගයේ රන් කාසියක්

සමස්තයක් ලෙසින් සලකන කල්හි ගන්ධාර බුදු පිළිම මුද්‍රා සතරකින් නිරූපිතය. අභය මුද්‍රාව , ධ්‍යාන මුද්‍රාව, ධර්ම චක්‍ර මුද්‍රාව සහ භූමි ස්පර්ශ මුද්‍රාවයි. බෝධිසත්ව පිළිමද ගන්ධාර කලා සම්ප්‍රදාය අනුව රැසක්ම නිර්මාණය කර ඇත. එහිද ශීර්ෂය මෙන්ම ශරීරාංග නිර්මාණයේදී ද ගී‍්‍රක රෝම ආභාෂය දක්නට ලැබේ.

බුදු පිළිම හා බෝධිසත්ව පිළිම හැරුණු විට මෙම මූර්ති සම්ප්‍රදායට අයත් වන මූර්ති කැටයම් ඵලක ද දක්නට ලැබේ.

අල්පෝන්නත වූ එම මුර්තිවල භාරාත් හා සාංචි ආදි ස්ථානවල මෙන් නොව එක් සිද්ධියක් එක් රාමුවක දක්නට ලැබේ. උදාහරණයක් ලෙසින් සඳහන් කරතොත් සිදුහත් කුමාරෝත්පත්තිය නිරූපණය කෙරෙන මූර්ති කැටයමෙහි සල් අත්තක් අතින් අල්ලාගෙන සිටින මහා මායා දේවියගේ දකුණු ඇලයෙන් බෝසතාණන් වහන්සේ නික්මෙන ආකාරය නිරූපිතය.

එහි බෝසතාණන් වහන්සේගේ ඉණෙන් ඉහළ කොටස පමණක් මූර්තිමත් කර ඇත. සේවිකාවක විසින් මහාමායා දේවිය අල්ලාගෙන සිටිනු ලබන ආකාරයද එහි නිරූපිතය. බුද්ධ චරිතයෙහි සිද්ධීන් දැක්වෙන මූර්ති කැටයම්ද රැසෙකි.

ඉහතින් සඳහන් කළ කනිෂ්ක රජුගේ රන් කාසියේ එක පැත්තක බුද්ධ රූපය ද Boddo  යන අකුරුද සඳහන් කර ඇත. එහි අනෙක් පැත්තේ ඇත්තේ කනිෂ්ක රජුගේ රූපයයි. අද කාලයේදී නම් මෙය ඉතාමත් ප්‍රබල විරෝධතාවයක් එල්ලවීමට හේතුවක් වනු ඇති බව සැක නැත.

මෙයද ගී‍්‍රක රෝම ආභාෂය අනුව එම කාසි නිර්මාණය කිරීමකි. ඒ කාසිවල තිබුණේ ඒ රටවල ප්‍රචලිත දෙවිරුන්ගේ රූපයන්ය. මේ නිසා ප්‍රථම වරට බුද්ධ රූපය නිර්මාණය කිරීම කනිෂ්ක රාජ යුගයේදී සිදු වූ බව සඳහන් වේ.

බුදු පිළිම නිර්මාණය ගැන සඳහන් කරන ආචාර්ය ආනන්ද කේ. කුමාරස්වාමි ගේ අදහස වන්නේ ගන්ධාරයේ මෙන්ම මථුරා බෞද්ධ පූජා භූමියේද සමකාලිනව කුෂාන රාජයුගයේදී බුදු පිළිම නිර්මාණය වූ ආකරයකි. (Historyof Indian And Indunesian Art - London Reprint 1972 P.60) එමෙන්ම මථුරා බුදුපිළිම සම්ප්‍රදායට අයත් බුදු පිළිමවල ගන්ධාර බුදුපිළිමවල මෙන් රළු ස්වභාවක් නැත. තවද මථුරා බුදු පිළිමවල ඉන්දියානු දේශීයත්වයක් නිරූපණය වේ.

එපමණක්ද නොව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ලක්‍ෂණ ද එම බුදුපිළිමවල දැකිය හැකිය.

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු මස 04 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]