ආත්මයක්
හා
පුනරුප්පත්තියක්
තිබේද ?
ඉංගිරිය සුදම්පාය ධර්මායතන වාසී
බෝකුන්දර කුසලධම්ම හිමි
බුදුන් වහන්සේ ලොව පහළ වීමට පෙර නොයෙකුත් ආගමික කණ්ඩායම් විසින් මරණින්
පසුව නැවත උපදින බව පිළිගෙන තිබිණි. මේ අනුව මිය යන පුද්ගලයාගේ ආත්මය,
කරන ලද පින් පව් අනුව ආත්මයෙන් ආත්මයට නොවෙනස්ව දිගින් දිගටම සැරි සරන
බව පිළිගත් ශාස්වතවාදී ආගමික කණ්ඩායම් පනස් පහක් හා මරණින් පසු සියල්ල
අවසානය, නැවත උප්පත්තියක් නැත යන මතය දැරූ උච්ඡේදවාදී ආගමික කණ්ඩායම්
හතක් ඇතුළුව ආගමික කණ්ඩායම් හැට දෙකක් එදා තිබූ බව පොත පතෙහි දක්නට
තිබේ.
මිනිසාගේ ශරීරය තුළ පවත්නා නිත්‍යත්ව සංඛ්‍යාත ආත්මය සසර සැරි සරමින්,
කරන ලද පින් පව් අනුව දුක සැප විඳිමින් කෙළවරක් නොමැති ගමනක යෙදෙන බව
ආත්මවාදීන්ගේ විශ්වාසය විය. මරණින් මතු පුනරුප්පත්තියක් ලබා ගන්නා වූ
තම ආත්මය දුකෙන් තොරව සැපවත් කර ගැනීමට නම් පවෙන් වැළකී පින් දහම්
කිරීමට අවශ්‍ය බව ආත්මවාදීන්ගේ පිළිගැනීම විය. මෙය පිළිනොගත්
උච්ඡේදවාදී කණ්ඩායම් වල මතය වූයේ මරණින් පසු නැවත ඉපදීමක් නැත, එබැවින්
කළයුතු ඕනෑම දෙයක් කරගනිමින් මෙලොව ජීවිතය කෙසේ හෝ හොඳින් කා බී සැපෙන්
විනෝදයෙන් ගතකිරීම දුක නැති කර ගැනීමේ ක්‍රමය බව ඔවුන්ගේ පිළිගැනීම
විය. ආත්මයෙන් ආත්මයට මරණින් පසු උපත ලැබීම පිළිගත් අය මරණින් පසු ලබන
ඊළඟ ආත්මයේ දී සැපවත් තැනක උප්පත්තියක් ලබා ගැනීමට තිබෙන ආශාව නිසා, ඒ
සඳහා පිළිපැදිය යුතු වූ පූර්ණකාලීන ආගමික පැවැත්මක් අනුගමනය කිරීම
විවිධාකාර විය. ගංගා නදී වල ජලය ස්නානය කිරීමෙන් පව් සෝදා ගැනීම,
සූර්යා දෙස බලාගෙන තනි කකුලෙන් සිටගෙන බොහෝ වේලා කාලය ගත කිරීම, ගින්න
බලගතු දෙවියකු වශයෙන් සලකා ගිනි තැපීමෙන් ශරීරයට වද දී පව් දුරු කර
ගැනීමට වෙහෙසීම, උග්‍ර තවුස් වෙස් ගෙන වනයේ ගස් යට වාඩිවී ගස් වලින් තම
උකුලට වැටෙන ගෙඩි සහ කොළ පමණක් අනුභව කර තපස් රැකීමෙන් හා විවිධාකාර
පුද පූජා පැවැත්වීමෙන් පෙර ආත්මවලදී මෙන්ම මේ ආත්මයේ ද කරන ලද පව් දුරු
කර ගැනීමටත්, මරණින් පසු දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝකවල ඉපදීම පිණිසත්
මෙම කටයුතු වල යෙදී ඇත.
එදා දාන, ශීල, භාවනා කටයුතු වල යෙදීමෙන් ලෞකික ධ්‍යාන උපදවාගත් තවුසන්
පෙර විසූ කඳ පිළිවෙල දැනගෙන ඒ අනුව මේ එකම ආත්මය දිගින් දිගටම
සැරිසරනවා ඇතැයි නිගමනය කර තිබේ.
එබැවින් පරලොවක් ඇත පරලොවක් නැත යන පිළිගැනීම් මත බොහෝ ආගමික ඉගැන්වීම්
වලින් සමන්විත වූ සමාජයක උපත ලැබූ සිදුහත් කුමරු විසිනව හැවිරිදි වියට
පත්වන විට ගිහි ගෙය අතහැර ගියේ “යහපත හෝ හොඳ කුමක් ද කියා ගවේෂණය
කරන්නා” (කිං කුසල ගවේසි) අනුත්තර වූ උතුම් ශාන්ති පදයට මග සොයන්නා
“අනුත්තරං සන්නිවරපදං පරියෙසමානො” ලෙස ය. බුද්ධත්වයට පෙර හා පසුව සිදු
වූ දෙය විස්තර කරන ඉතාමත්ම වැදගත් සූත්‍රය වන අරියපරියෙසන සූත්‍රය
පරිශීලනය කිරීමෙන් ඒ ගැන කාටත් අවබෝධ කොට ගත හැකිය.
මේ උත්තමයා සම්බුද්ධත්වයට පත්විමෙන් පසුව සිදුකරන ලද ප්‍රථම ධර්ම
දේශනාවේ දී ලොව පළමුවෙන්ම එහි අගය අවබෝධ කර ගත්තේ කොණ්ඩඤ්ඤ නම්
ශ්‍රමණයාය. නමුත් ආත්මය පිළිබඳව ඔහු තුළ තිබූ දැඩි දෘෂ්ටිය හේතු කොටගෙන
ඔහුට නිවන අවබෝධ කර ගැනිමට නොහැකි විය. ඒ බව අවබෝධ කරගත් බුදුන් වහන්සේ
ඔවුනට අනාත්මයේ ලක්‍ෂණ පිළිබඳ සූත්‍රය (අනත්ත ලක්ඛන සූත්‍රය) දේශනා කළ
සේක. මෙම අනාත්ම ධර්මතාව අනුව නාම රූප හෙවත්, සිත හා ගත එක්ව ඇති වන
ක්‍රියාවක් මිස නොවෙනස්වන පදාර්ථයකින් සමන්විත ආත්ම කොට ගත්
පුද්ගලයකුගේ පැවැත්මක් නොමැති බව දේශනා කරන ලදි. එය අනාත්මිකව මෙලොව
ජීවත්ව සිටියදීම පුනර්භවයන් නිසා සිදුවන චේතනාවන් අතරක් නොමැතිව සිදුවන
ආකාරයයි. එසේ සිදුවන පුනර්භවයට ආත්මයක් අවශ්‍ය නොවන්නේය. මෙයින්
පැහැදිලි වන්නේ මෙලොව දුක මෙලොවදීම නැති කරගන්නා විද්‍යාත්මක විසඳුමයි.
නිත්‍ය ආත්මයක් හෝ ශාස්වත ලෝකයක් ගැන විශ්වාසය තිබෙන තාක් කල් සම්‍යග්
දෘෂ්ටියක් ඇති කර ගැනීමට පමණක් නොව ශීලයන් පවා පිළිපැදීමට නොහැකි බව
බුදුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් පැහැදිලිවම පෙන්වා දී තිබේ.
ආත්මය නිත්‍ය කොට ගැනීමෙන්, ආත්මය හා සම්බන්ධව බැඳී පවතින කර්මය ද
විපාක දෙන තුරු පවතින්නේ නම්, කර්මය ද ශාස්වත වන්නේය. නමුත් සියලු නාම
ධර්ම හා රූප ධර්ම නිරතුරුව වෙනස් වන්නේ නම්, නාම ධර්මයක් වන කර්මය ද
නිරතුරුව වෙනස් වන බව පිළිගැනීමට සිදුවේ.
සසර සැරි සරන්නේ එකම ආත්මයක් ය යන පිළිගැනීම නිසා, එම ආත්මය හිමි
පුද්ගලයා කෙළවරක් නැතිව දුක් සැප විඳින්නේ පූරුවේ කරන ලද කර්ම විපාක
අනුව යැයි ආත්මවාදීහු පවසති. මිනිසාගේ දුක සැප නිර්මාණය වීමේ ප්‍රබල
හේතුව කර්මය වුවද, සියලු වේදනීය ධර්ම කර්මය නිසාම සිදුවේ යැයි හෝ පූර්ව
කෘත කර්මය නිසාම සිදුවේ යැයි හෝ බුද්ධ ධර්මය පිළි නොගනී. සංයුක්ත
නිකායේ සීවක සූත්‍රය ඇසුරින් මේ පිළිබඳ බෞද්ධ මතය විස්තර කොට දැක්විය
හැකිය. සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් දුක සැප සියල්ල කර්මය නිසා සිදුවන බව
කියති යැයි මොලිය සීවක පරිබ්‍රාජකයා විසින් බුදුන් වහන්සේට සැලකළ විට
ඊට ලැබුන පිළිතුර වූයේ අට කාරණාවක් අනුව වේදනා ඇති වන බවයි. පිත නිසා
ද, සෙම නිසා ද, වාතය නිසා ද, සන්නිපාතය නිසා ද, සෘතු විපර්යාස නිසා ද,
වස විස නිසා ද, පරොපක්‍රම නිසා ද ඇතිවේ. සමහර වේදනා පමණක් කර්ම විපාක
නිසා ද සිදුවන බවත් ය.
බුදුන් වහ්නසේගේ ධරමාන කාලයේ දී නොයෙක් දෘෂ්ටි ගත් ආගමික කණ්ඩායම් වල
ශ්‍රාවකයින් බුදුරජාණන් වහන්සේ සමග වාදයට හා තර්ක කිරීමට පැමිණියේ
ආත්මය සදාකාලික අවිනශ්වර පදාර්ථයක් බව ඒත්තු ගැන්වීමට ය.
නමුත් බුදුරදුන් සමග වාදාභිමුඛවූ කිසිවෙක් රූප, වේදනා, සංඥා, සංඛාර,
විඤ්ඤාණ යන ස්කන්ධ පංඤචකයෙන් තොරවූ ආත්මය වශයෙන් ගතහැකි කිසිවක් තිබෙන
බව දැක්වීමෙහි අසමත් වූහ. නමුත් සච්චක, ආත්මය සහිත ශරීරය තමා සතු බව
පැවසීය.
ඒ ගැන ඇතිවූ වාදය මෙසේය. බුදුන් වහන්සේ සච්චක මේ රට කාගේද ? ස්වාමීනී
මේ රට ලිච්ඡවීන්ගේ ය. බුදුන් වහන්සේ : එසේ නම් මේ රටෙහි සිටින්නෙකුට
තමන් කැමති යමක් කිරීමට ලිච්ඡවීන්ට හැකිද? හැකි නම් ඒ කුමක් නිසාද?
සච්චක : හැකිය, එසේ කළ හැක්කේ රට ලිච්ඡවීන් සතු නිසාය.
බුදුන් වහන්සේ : ආත්මය සහිත ශරීරය ඔබ සතු නම්, මගේ ශරීරය මෙසේ වේවා,
මෙසේ නොවේවා කියා ඔබට උවමනා විදිහට ඔබේ ශරීරය පවත්වා ගන්නට පුළුවන් ද?
සච්චක නිරුත්තර විය. බුදුන් වහන්සේ ගේ හේතුඵල දහම අනුව වෙනස් නොවන
සදාකාලික කිසිවක් පැවතිය නොහැකි බව මෙයින් සනාථ වනවා ඇත.
එදා තර්කයට හා වාදයට ලක් වුනේ ආත්මයක් ඇත. (ශාස්වත වාදය) ආත්මයක් නැත
(උච්චේද වාදය) යන අන්තද්වයයි. මෙම අන්ත දෙක බැහැර කළ බුදුන් වහන්සේ
ඉදිරිපත් කළේ අනාත්මයයි. අනාත්ම ධර්මයෙන් අනාවරණය කොට ඇත්තේ විශ්වය තුළ
නිත්‍ය වශයෙන් සැලකිය හැකි කිසිවක් නොමැති බවයි. ධර්මයන්හි කිසිදු
ශාස්වත ගුණයක් නොමැත. ඒවා ස්වාධීන ස්වභාව රහිතය. ප්‍රතීත්‍ය
සමුත්පන්නය. හේතූන් හා ප්‍රත්‍යයන් නිසා හටගන්නා නාම – රූප ධර්ම හේතූන්
හා ප්‍රත්‍යයන් කෙරෙන් යැපෙන බව පැහැදිලිය.
බුදුන් වහන්සේ ලොවට අනුදැන වදාළ පටිච්චසමුත්පාදය සසර ගමනක් පිළිබඳව හෝ
පරලොවක් ගැන කරන ලද දේශනාවක් නොවේ’ මෙයින් පැහැදිලි කළේ මෙලොව තත්ත්වය
සහ පවතින ආකාරයත් දුක් දොම්නස් නැති කරගෙන මෙලොවදීම සිත නිවාගෙන (නිවන්
අවබෝධයෙන්) ජීවත්වන ආකාරයත් ය. මේ සම්බන්ධයෙන් පරලොවක් ගැන බුදුන්
වහන්සේ කිසි විටෙකත් දේශනා නොකළ සේක.
මරණයෙන් මතු නැවත උප්පත්තියක් තිබේද නැද්ද යන කරුණ ගැන දැන ගැනීමට
පැමිණි වච්චගොත්ත පරිබ්‍රාජකයාටත්, මාලුංඛ්‍යපුත්ත භික්‍ෂුවටත් බුදුන්
වහන්සේගෙන් පිළිතුරක් ලබා ගැනීමට නොහැකි විය. ඊට හේතුව (ආර්ය උතුමන්ට
පමණක් විෂය වන) සාමාන්‍ය පුද්ගලයෙකුට සනාථ කර පෙන්විය නොහැකි දේ ගැන
තථාගතයන් වහන්සේ පිළිතුරු නොදීමයි.
මරණින් පසු නැවත ඉපදීමක් ඇත, මරණින් පසු නැවත ඉපදීමක් නැත, දෙවියන්,
දේවතාවන්, භූ®තයින් ඇත නැත යන බව පුහුදුන් පුද්ගලයාට මුළුමනින් ඇති
සැටියෙන් දැනගත නොහැක. මේවා ගැන කථා කිරීම කිසි ප්‍රයෝජනයක් නැති කාලය
කා දමන සිත වියවුල් වන හැගීම් ඇති කර ගැනීම අනුවණ කමේ ලක්‍ෂණයයි.
මේ ගැන වාද කිරීමෙන් අමුතු නුවණක් ද නොලැබේ. දැහැන් වැඩීමෙන් සිත
දියුණු කළ විට මේ පිළිබඳ අවබෝධය, නුවණ නිතැතින්ම තමන්ට ලැබෙනු ඇත. නැවත
ඉපදීමක් ඇතිවන ආකාරය විස්තර කරදීම ද නොදැනීමක් උඩ කරන මුරගෑමකි.
දුක ඇත්තේ තමන් තුළය. දුකට හේතු ඇත්තේ ද තමන් තුළමය. දුක නැති කරගත
යුත්තේ ද තමුන් විසින්මය. දුක නැති කර ගැනීමේ මඟ හෙළි පෙහෙලි කරගත
යුත්තේ ද තමුන් විසින්මය.
එබැවින් පරලොවක් ඇද්ද නැද්ද යන්න ගැන සෙවීම නිවන් අවබෝධය සඳහා අවශ්‍ය
කරුණක් නොවේ. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශික්‍ෂණ
ප්‍රතිපදාවේ යෙදීමෙන් මේ ජීවිත කාලය තුළදීම අවශ්‍ය නම් නිවන් අවබෝධ කර
ගැනීමට පුළුවන.
ත්‍රිපිටකයේ විස්තර කර ඇති පුනර්භවය දැන් පුනරුප්පත්තියක් බවට පත්
කරගෙන තිබේ. මේ අනුව බුදු දහම ආගමක් ලෙස විකෘත කර ඇති ආකාරය ඉතා
පැහැදිලිව පෙනේ. බුදු දහම ආගමක් බවට පත්කර ඇති බව හොඳින්ම පෙනී යන්නේ
බුදුන් වහන්සේ දේශනා නොකළ පරලොවක් සම්බන්ධ කරගෙන මළගිය පෙරේත ඥාතීන්ට
පින් අනුමෝදනා කිරීම හඳුන්වා දීමෙනි. ඒ සමගම නිවන ද ප්‍රාර්ථනා කරමින්
දෙව් මිනිස් සැප කෙළවර මෛත්‍රී බුදු කෙනකු දැකීමෙන් ලබාගත හැකි බව
ශ්‍රාවකයන්ට උගන්වනු ලැබේ.
බුදුන් වහන්සේ සම්බන්ධයෙන් ලියා ඇති පන්සිය පනස් ජාතකය පුනරුප්පත්තිය
තහවුරු කොට ආත්මවාදය දෙසට බෞද්ධයා යොමු කරවීමට සකස් කරන ලද සාහිත්‍ය
ප්‍රබන්ධනයක් බව විශ්වාස කිරීමට පුළුවන. ඊට අමරතව මනුෂ්‍යා මරණින් පසුව
නැවත උපදින දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රේත ලෝක හා අපායවල් ආදියෙන්
බෞද්ධ සාහිත්‍ය පිරී තිබේ. දුටුගැමුණු රජතුමා මියගිය සැනින් තුසිත
දිව්‍ය ලෝකයෙන් එවා තිබූ දිව්‍ය රථයට එතුමා නැගුණු පසු රුවන්වැලි මහා
සෑය වටා තුන් වරක් පැදකුනු කොට රැස්ව සිටි සෙනඟ බලා සිටිද්දී දෙව්ලොව
බලාගිය ගමන සඳහා මහාවංසයේ පරිච්ඡේදයක් වෙන්කොට තිබේ.
මෙවැනි අද්භූත ආශ්චර්යවත් දේවල් බුදුන් වහන්සේ දේශනා කොට වදාළ හේතුඵල
දහම අනුව පිළිගත හැකිදැයි නුවණ ඇත්තෝ විමසා බලත්වා.
ආත්මය හා පුනරුප්පත්තිය පිළිබඳව ඉදිරිපත් කර ඇති කරුණු හොඳින් කියවා
බුදුන් වහන්සේ විසින් වදාළ චතුරාර්ය සත්‍ය සමග සසඳා බැලීමෙන්, බෞද්ධ නම
නොව බෞද්ධකම කුමක් දැයි තේරුම් ගැනීමට උත්සාහ ගන්නේ නම් ඉතා මැනවි.
ඉහතින් දක්වා ඇති ධර්ම කාරණා තේරුම් ගැනීමට ටිකක් අපහසුයි. ඊට අනුව
ක්‍රියා කිරීම බොහොම අපහසුයි. ඊට හේතුව කාලාන්තරයක් තිස්සේ අප පිළිගෙන
තිබුනේ ආත්මය හා පුනරුප්පත්තිය බෞද්ධ ඉගැන්වීමක් වශයෙනි. නමුත් මෙය
මිථ්‍යා දෘෂ්ටි වශයෙන් බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන ලද ඒවා
බව බොහෝ දෙනා නොදන්නවා ඇත. පොත් පත්වල ලියවී තිබෙන දේ බොහෝ අය වරදවා
තේරුම් ගනිති.
භාෂාවක වචන තේරුම් ගත් පමණින්, ඒ වචන වලින් කියවෙන ධර්මය අවබෝධ කොටගත
නොහැක. නමුත් මේ ධර්මයන් හරිහැටි තේරුම් ගත් අය ඉතා විරලය. ධර්මයේ සාරය
තේරුම් නොගෙන නිකම් කථා වස්තූන් ධර්මය හැටියට සලකන්නට යෑමෙන් බොහෝ දෙනා
අඳුරේ වැටී සිටිති. මේ ධර්මයන් පිරිසුදු ලෙස අවබෝධ කර ගන්නට නම්
නිදහස්ව සිතිය යුතුය. |