කුසල, අකුසල විනිශ්චය පිළිබඳ නිර්ණායක
ශාස්ත්‍රපති
ආර්.ඩී. ශ්‍රියානි හේමලතා
කුසල යන්නෙන් බුදු දහම සුවිශේෂී වූ වදනකින් හඳුන්වා දෙන්නේ නිර්වාණය
සාධනය කෙරෙන, භව නිරෝධය පිණිස ඉවහල්වන ක්‍රියාවන් ය. අලෝභ, අදෝෂ, අමෝහ
යන කුසල මූලයන් ඒ සඳහා පෙරටු වේ. පවට ඇති ලැජ්ජාව හා බිය නිසා උපදින
විද්‍යාව තුළින් කුසල් උපදී. අටුවාචාරීන් කුසල යන්න නිරවජ්ජතා,
ආරෝග්‍යතා යන නම්වලින් ද හඳුන්වා ඇත.
මජ්ඣිම නිකායේ (ද්වීතීය භාගය) සමණමණ්ඩිකා) සූත්‍රයේ කුසල සම්පන්න
පුද්ගලයකු සතු ලක්‍ෂණ 10 ක් දක්වා ඇත. එනම් සම්‍යග්දෘෂ්ටියෙන්
යුක්තවීම, සම්‍යක් සංකල්පයෙන් යුක්ත වීම, සම්‍යග් වචනයෙන් යුක්ත වීම,
සම්‍යක් කර්මාන්තයෙන් යුක්ත වීම, සම්‍යක් ආජීවයෙන් යුක්ත වීම, සම්‍යක්
වායාමයෙන් යුක්ත වීම, සම්‍යක් ස්මෘතියෙන් යුක්ත වීම, සම්‍යක් සමාධියෙන්
යුක්ත වීම, සම්‍යක් ඥානයෙන් යුක්ත වීම සහ සම්‍යක් විමුක්තියෙන් යුක්ත
වීම යනුවෙනි.
මජ්ඣිම නිකායේ (තෘතීය භාගය) සච්ච විභංග සූත්‍රයේ දී සම්මා ආජීවය
භාවනාවක් ලෙස වඩන අයුරු දක්වයි. දස අකුසලයන්ට විරුද්ධ වූයේ දස කුසලය
යි.
දේවවාදීන් පවසන්නේ යම් ක්‍රියාවක් නිවැරැදි වන්නේ දෙවියන් වහන්සේගේ
අනුමැතිය ඊට ලැබේ නම් පමණක් බවයි. එසේම, ආචාර විද්‍යාවේ එන ශාඛාවක් වන
උපයෝගීතාවාදී මතයට අනුව වැඩි දෙනාගේ උපරිම සැපත සිදුවන ක්‍රියා හොඳය.
එයින් අදහස් වන්නේ බොහෝ දෙනාගේ සැප වින්දනය මිස සියලු දෙනාගේ නොවේ.
උපයෝගිතාවාදී දර්ශනයන්හි තවත් විශේෂ ලක්‍ෂණයක් නම් අනවශ්‍ය සියල්ල
බැහැර කොට මූලික පරමාර්ථයට අදාළ දේ පමණක් කතා කිරීමයි. බුදුරජාණන්
වහන්සේ ද ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු නොදුන් අතර එහිදී සඳහන් කළේ ඒවා
නිවනට උපයෝගී නොවන බවයි. “නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, උපසමාය,
අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තති” මෙම පාඨයට අනුව අවම වශයෙන්
සසර පිළිබඳ කලකිරීමක් හෝ උපරිම වශයෙන් නිවන සඳහා හෝ හේතු නොවන කරුණු
ගැන සෙවීමක් නොකෙරෙයි.
මේ අනුව, බුදු දහම සදාචාර විනිශ්චයේ දී භාවිත කළ කරුණුම උපයෝගීතාවාදී
ආචාර විද්‍යාත්මක ලක්‍ෂණයන් ලෙස ඉදිරිපත් කර ඇත. ප්‍රතිභානවාදී මතය
අනුව, සිය වැටහීම මත ක්‍රියාවක හොඳ නරක තීරණය කිරීම සිදු වේ. මෙය
අංගුත්තර නිකායේ (ප්‍රථම භාගය) කාලාම සූත්‍රතයේ එන මතයට තරමක් සමානය.
“ඒත තුමෙහ කාලාම මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා
පිටකසම්පදානෙන, මා තක්කහේතු, මා නයහේතු, මා ආකාරපරිවිතක්කේන, මා
දිට්ඨිනිජ්ඣානක්ඛත්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති” “කාලාමයෙනි,
අනුශ්‍රව කතායෙනුදු නොගනුව, පරම්පරාකතායෙනුදු නොගනුව, තෙල මෙසේ වී යැයි
නොගනුව, අපගේ පෙළ හා යෙදෙති ද නොගනුව, තර්කග්‍රාහයෙනුදු නොගනුව, නය
ග්‍රාහයෙනුදු නොගනුව, ආකාර පරිවිතර්කයෙනුදු නොගනුව, අප සිතා ඉවසාගත්
දෘෂ්ඨිය හා සැසැඳෙතැයි ද නොගනුව, භව්‍යරූපතායෙනුදු නොගනුව, මේ මහණ අපට
ගුරුහයි ද නොගනුව, කාලාමයෙනි, මේ දහම් කුසල්ය, මේ දහම් අකුසල් ය, මේ
දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්භිතය, මේ දහම්හු සපුරන
ලද්දාට සමාදන් කොට ගන්නා ලද්දාට අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහයි තෙපි
යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව”.
මේ අතර සමාජවාදීන්ට අනුව මනුෂ්‍යයාගේ පැවැත්මට යම් ක්‍රියාවක් හිතකර
නම් එය හොඳය: අහිතකර නම් නරකය. සාපේක්‍ෂතාවාදී මතය අනුව හොඳ, නරක
පිළිබඳ අගැයුම් දේශ, කාල, සමාජ, සංස්කෘතික, ආගමික යන සංදර්භයන්ට අනුව
එකිනෙකට වෙනස්ය. සමාජයෙන් සමාජයට සංස්කෘතියෙන් සංස්කෘතියට ද ඒවා වෙනස්
මුහුණුවරක් ගනී. යථානුභූ®තවාදීන් පවසන්නේ ක්‍රියාවල හොඳ, නරක අගය
කිරීමක් පිළිගත නොහැකි බවයි.
බුදු දහම මිනිසාගේ ක්‍රියාවන් හොඳ නරක, කුසල අකුසල, පුණ්‍ය පාප, කණ්හ-
සුක්ල වශයෙන් අගැයුම්ශීලීව කතාකර ඇත. මිනිස් ක්‍රියාවන් අගැයුම්
කිරීමේදී නොයෙක් මතවාදයන් පවතින බැවින් බුදු දහම යොදා ගන්නා මිණුම් දඬු
කවරේදැයි විමසා බැලීම අවශ්‍ය වේ. බෞද්ධ ආචාර ධර්මය කෙනෙකුගේ සමාජ
ජීවිතය යහපත්ව පවත්වාගෙන යමින් මොලොව ජීවිතය සාර්ථක කරගැනීම ආදී වූ
ලෞකික පරමාර්ථයන් සපුරා ගැනීමටත් දෙවනුව මිනිසාගේ අධ්‍යාත්මික ශක්තිය
වර්ධනය කොට, දුක නැති කිරීමටත් උත්සුක වන්නකි. ඒ අනුව, මිනිසා විසින්
කය, වචනය සහ සිත යන තුන් දොරින් සිදු කරනු ලබන හැම ක්‍රියාවක් ම අගය
කරනු ලබයි.
බුදු දහමට අනුව, මිනිසා විසින් කරනු ලබන ක්‍රියාවලට ඔහු වගකිව යුතුය.
මිනිසා ක්‍රියාවන් පිළිබඳ ස්වාමියා වන අතර ඔහු පූර්ණ නියතිතාවයකට යටත්
වූවෙක් නොවේ. (ඔහු ස්වතන්ත්‍ර සත්වයෙකු නොවේ නම් ඔහු කරන ක්‍රියාවට
වගකීමට අවශ්‍ය වන්නේ ද නැත.) එමනිසා ක්‍රියාවක් කිරීමේදී පුද්ගලයාගේ
චේතනාව වැදගත් වේ. යම් කෙනෙක් ආයුධයකින් තව කෙනකුගේ ශරීරය කපා දැමීම
විනිශ්චය කිරීමේදි කවරාකාර තීරණයක් ලබාදිය යුතුද? වෛරය, ද්වේෂය මත එය
කර ඇත්නම් එවිට එය වරදකි. එහෙත් අභිප්‍රාය හා නිශ්ඨාව හොඳ නම් මාධ්‍ය
රළු වුවද එය එතරම් සැලකිල්ලට බඳුන් නොවේ. නිදසුනක් ලෙස දරුණු ආබාධයකට
ලක්වූ රෝගියකු ශෛල්‍ය කර්මයකට ලක්කරන වෛද්‍යවරයකු හට රෝගියා පීඩාවට
පත්කරන ක්‍රමයක් උපයෝගී කර ගැනීමට සිදු වේ. ඇතැම් විට ශෛල්‍ය කර්මයේ
අවසාන ප්‍රතිඵලය වශයෙන් රෝගියා මිය යාමට ද ඉඩ තිබේ. එහෙත් ඒ කිසිවකට
වෛද්‍යවරයා වගකීමට බැඳී නොසිටී. එයට හේතුව ඔහුගේ අදහස වූයේ රෝගියා
දිරවීම හෝ මරණයට පත් කිරීම හෝ නොවීම යි.
මජ්ඣිම නිකායේ (ද්විතීය භාගයේ) අභයරාජ කුමාර සූත්‍රය ඉහත සඳහන් කරුණ තව
දුරටත් සනාථ කරයි. බුදුරජාණන් වහන්සේ වෙත එන අභයරාජ නම් කුමාරයෙක්
උන්වහන්සේ අමිහිරි වදන් භාවිත කරන්නේදැයි විමසයි. එයට එක එල්ලේ
පිළිතුරු නොදෙන බුදුරජාණන් වහන්සේ ඔහුගේ ඇකයේ සිටින කුඩා දරුවා පෙන්වා
යම් අවස්ථාවක එම දරුවා තම මුවෙහි කැට කැබැලි ටිකක් දමා ගතහොත් කුමක්
කරන්නේදැයි ප්‍රශ්න කරති. එහිදී ඔහු පවසන්නේ දරුවා කෙරෙහි ඇති අසීමිත
ආදරය නිසා හඬද්දී හෝ ලේ ගලද්දී හෝ එය මුවින් ඉවත ඇද දමන්නට තමන් පසුබට
නොවන බවයි. එසේ නම්, යම් යම් අවස්ථාවලදී තමන් වහන්සේ ද රළු වදන් භාවිත
කරන්නේ ශ්‍රාවකයන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් ම බව බුදුරජාණන් වහන්සේ
දේශනා කරති. මාධ්‍ය රළු වුවද චේතනාව පිරිසුදු නම් බුදු දහම එය හොඳ
වශයෙන් අගය කරන බව පෙනේ. නූතන ආචාර විද්‍යාවේ ද ‘පළානුමේයවාදය’
(Pragmatism) යනුවෙන් මීට සමාන අදහසක් දැකගත හැකිය. එහිදී,
අභිප්‍රාය (අදහස )(Motive) මාධ්‍යය (උපක්‍රමය) (Means) සහ නිෂ්ඨාව
(අවසන් ප්‍රතිඵලය) (End) යනුවෙන් අවධානය යොමු කෙරෙන අංශ තුනකි. එහිදී
මූලික වන්නේ අභිප්‍රායයි.
ඉහත අදහසට සමාන තවත් ඉගැන්වීමක් අංගුත්තර නිකායේ (සිවුවන භාගය)
නිබ්බේධික පරියාය සූත්‍රයේ සඳහන් වේ. මිනිස් ක්‍රියාවක් විනිශ්චයේදී
බලපාන ප්‍රධාන සාධකය ලෙස සලකන්නේ චේතනාව (චේතනාහං භික්‍ඛවේ කම්මං
වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා) යි. යහපත් ක්‍රියාවක
දී පුද්ගලයා තුළ යහපත් සිතුවිලි හටගනී. ඔහු ක්‍රියාවට පෙළඹෙන්නේ එම
සිතුවිලි අනුවයි. එම යහපත් සිතුවිල්ලෙන් කළ ක්‍රියාවක් පින් හෝ කුසල
යනුවෙන් හැඳින්වේ.
ඉහත සඳහන් අයුරින් චේතනාව විග්‍රහ කරන්නාක් මෙන්ම කිසියම් ක්‍රියාවක
ප්‍රතිඵල විග්‍රහ කිරීම ද හොඳ නරක ක්‍රියා විනිශ්චයේ දී නිර්ණායකයක්
වේ. ප්‍රතිඵල විග්‍රහ කිරීම ප්‍රධාන කරුණු දෙකක් යටතේ සිදු කෙරේ. එනම්,
සංසාර සන්දර්භය තුළ එහි විපාක ඇතිවන ආකාරය සොයා බැලීම සහ සමාජ සන්දර්භය
තුළ එහි විපාක ඇතිවන ආකාරය සොයා බැලීම යන කාරණා දෙකයි.
සංසාර සන්දර්භයේ දී අපාය, නිරය ආදි දුක්ඛ ප්‍රතිඵල ලබාදෙන ක්‍රියා
අකුසල යනුවෙන් හැඳින්වේ. සුගති, සුඛ ප්‍රතිඵල ලබාදෙන ක්‍රියා කුසල
හෙවත් හොඳ ඒවාය. මෙහිදී පෘථග්ජනයා පරතෝඝොෂය මත පිහිටා තීරණ ගත යුතුය.
එනම්, අතීතයේ පවු කළ අය නිරාගත වූ බවත් අතීතයේ පින් කළ අය ස්වර්ගත වූ
බවත් කියැවෙන, අතීන්ද්‍රීය ප්‍රත්‍යක්‍ෂය අනුව දැන අවබෝධ කරගත්
උතුමන්ගේ ප්‍රකාශයන් මත පිහිටා සිටීමය. සමාජ සන්දර්භයේ දී තමාගේ
ක්‍රියාව තමාටත් සමාජයටත් කවාරාකාරයෙන් විපාක ලබාදේ ද යන්න ගැන අවධානය
යොමු කෙරේ.
මක්ක්‍ධිම නිකායේ (ද්විතීය භාගයේ) අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ මේ
සඳහා වැදගත් වන නිර්ණායකයක් දක්නට ලැබේ.
1. අත්තව්‍යාබාධායපි සංවත්තෙය්‍ය (තමන්ට දුක ලබාදෙන ක්‍රියා)
2. පරව්‍යාබාධායපි සංවත්තෙය්‍ය (අනුන්ට දුක ලබාදෙන ක්‍රියා)
3. උභයව්‍යාබාධායපි සංවත්තෙය්‍ය (තමාට මෙන්ම අනුන්ට ද දුක ලබාදෙන
ක්‍රියා)
වරද වශයෙන් හැඳින්වෙන දෙය තමන්ටත් අනුන්ටත් දුක ලබාදෙන ක්‍රියාවකි. ඔබට
යමක් කිරීමට වුවමනා වූ විට එය තමාගේ හෝ අනුන්ගේ හෝ උභය පක්‍ෂයේ ම හෝ
විපතට හේතුවේ ද දුක ඇති කරන දුක් බවට පෙරැළෙන ක්‍රියාවක් වේද යනුවෙන්
ප්‍රත්‍යවේක්‍ෂණය කළ යුතුය. ප්‍රත්‍යවේක්‍ෂණය තුළින් එය එසේ යැයි වැටහේ
නම් ඒතාන්තයෙන් ම නොකළ යුතුය. එහෙත් එය සැපත, ශාන්තිය පිණිස වේ නම්
කළාට වරදක් නැත.
කුසල අකුසල විනිශ්චයේ දී යොදාගත හැකි තවත් නිර්ණායක තුනක් තිබේ. එනම්,
අත්තාධිපතෙය්‍ය, ලෝකාධිපතතෙය්‍ය හා ධම්මාධිපතෙය්‍ය යන කරුණු තුනට අනුව
ක්‍රියාව විනිශ්චය කිරීමයි. යම් ක්‍රියාවක් සාවද්‍ය නම් එය ස්වකීය හෘද
ශාක්‍ෂියට අනුව තේරුම් ගත හැකිය. තමන්ට ඇතිවන පසුතැවිල්ල හෝ සතුට,
සොම්නස මත ක්‍රියාවේ හොඳ නරක තීරණය වේ. තමා තුළින් දෝෂාරෝපණයක් නොනැඟේ
නම් එය හොඳ කුසල ක්‍රියාවකි.එය අත්තාධිපතෙය්‍ය ක්‍රමය යි.
ලෝකාධිපතෙය්‍ය නම් යම් කරුණක් ලෝකයාගේ අවධානයට ලක්වන අයුරු විමසා බැලීම
යි. ධම්මාධිපතෙය්‍ය යනුවෙන් දක්වන්නේ තමා අදහන ආගම ධර්මයට අනුව හොඳ,
නරක විමසීම යි. කිසියම් ක්‍රියාවක් මෙම කරුණු තුනටම පටහැනි නොවන්නේ නම්
එය කිරීමට ද මෙම කරුණු තුනෙන් එකකට හෝ පටහැනි වන්නේ නම් එය නොකිරීම ද
කළ යුතුය.
කුසල, අකුසල විනිශ්චය කිරීමේ තවත් නිර්ණායකයක් සංයුත්ත නිකායේ (පඤ්චම
භාගයේ - 2 ) වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වේ. මෙලොවත් පරලොවත් සැපවත්
පිළිවෙතක් ඇත්දැයි බමුණු පිරිසක් නැඟූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ
අත්තුපනායික ධම්මපරියාය එයට සුදුසු බව දක්වා තිබේ. එනම්, තමා උපමා කොට
ගෙන කළ යුතු, නොකළ යුතු දේ තීරණය කිරීම යි.
මෙය ලෝක ආගමික ඉතිහාසයේ දැක්වෙන විරල ගණයේ ඉගැන්වීමකි. ඉතා වැදගත්
සාමාජික මිනුම් දණ්ඩක් මෙහි අඩංගුය. පුද්ගලයකු තමා කළ යුතු හෝ නොකළ
යුතු දෙය තීරණය කළ යුතු වන්නේ කිසියම් බාහිර දෙයකට තිබෙන බිය නිසා හෝ
පොතක පතක සඳහන්ව ඇති නිසා හෝ නොව තමාම උපමාවට ගැනීමෙනි.
(අහං ජීවිතුකාමො අමරිතුකාමෝ සුඛකාමෝ දුක්ඛපටික්කූලං), එනම් තමා දුකට
පත්වීමට, හිංසාවට ලක්වීමට අකැමැතිවා සේ සෙස්සන් ද ඊට අකැමැති බව
සිතීමෙනි.
බෞද්ධ ආචාර දර්ශනය මිනිස් සමාජය, තිරිසන් සතුන් මෙන්ම වෘක්‍ෂලතා ආදිය
කෙරෙහිද දයානුකම්පිත වෙයි.
මේ සියලු විග්‍රහයන්ට අනුව බුදු දහමට එකඟව කිසියම් ක්‍රියා මාර්ගයක
නිවැරැදි හෝ වැරැදි භාවය මැනීමට උපයෝගී කරගත හැකි සාධක 4 ක් අපට මෙසේ
ඉදිරිපත් කළ හැකිය.
1. කිසියම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමේදී එහි චේතනාව නිවැරැදි විය
යුතුය.
2. යොදා ගන්නා මාධ්‍යය ඝාතනයෙන් හා කායික වධයෙන් තොර විය යුතුය.
3. තිරිසන් සත්ව ජීවිත හා බාහිර පරිසරය ද සැලකිල්ලට පාත්‍රවිය යුතුය.
4. ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට පෙර එයින් ඇතිවිය හැකි ප්‍රතිඵලය
පිළිබඳ පූර්ව අධ්‍යයනයක් කිරීම අත්‍යවශ්‍ය ය.
එම කරුණුවලින් බැහැරව, පාපි ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයෙක් නොයෙක්
ආකාරයෙන් දුකට පාත්‍රවේ.
එනම්, තමා ම තමා විසින් විවේචනයට පත් කරනු ලැබීම, සමාජය විසින් පාපී
පුද්ගලයා ගර්හාවට ලක් කරනු ලැබීම හා පාපී පුද්ගලයා අයහපත් ආත්ම භාවයක
ඉපදීම වශයෙනි.
නිවන යනු බෞද්ධ ප්‍රතිපදාවේ අවසන් අරමුණයි. මේ අරමුණ සාක්ෂාත් කරගැනීම
සඳහා උපකාර වන ක්‍රියා, එනම් කුසල ක්‍රියා, ආලෝභ, අදෝෂ, අමෝහ යන හේතු
තුනෙන් යුක්තය. යහපත ළඟා කර ගැනීමට සහ අවසන නිර්වාණාවබෝධය සඳහා හේතු
නොවන ක්‍රියා නොහොඳ, නරක හෝ අකුසල ක්‍රියා ලෙස දැක්විය හැකිය.
පුද්ගල විමුක්තිය කේන්ද්‍ර කරගෙන ක්‍රියාවක වැරැදි හෝ නිවැරැදි බව
නිශ්චය කිරීමේදී, නිවැරැදි ක්‍රියා වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුව
කරනු ලබන ක්‍රියාය. |