UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ භාවනා ක්‍රම අතර මෛත්‍රී භාවනාව අතිශය ජනපි‍්‍රයව පවතිනවා. බොහෝ බෞද්ධයෝ අතිශය ගෞරවාදරයෙන් මේ භාවනා ක්‍රමය නිති ප්‍රගුණ කරනවා. සතර ඉරියව්වෙහිම ප්‍රගුණ කළහැකි පහසු භාවනා අරමුණක් බව ධර්මයේ සඳහන් වෙනවා. බොහෝ ආනිසංස ගෙනදෙන, විපුල ආනිසංස ගෙනදෙන උතුම් භාවනා ක්‍රමයක්. මේ උතුම් භාවනා කමටහන පිළිබඳ වඩා හොඳින් නිවැරැදිව හදාරා පිළිවෙත් ගරුකව වැඩිය යුතු වෙනවා. එසේ නොවුනහොත් ඇතැම් විට හානිදායක ප්‍රතිඵලවලටත් මුහුණ දෙන්න වෙනවා.

මෙත්සිත මනාව දිගු කාලයක් ප්‍රගුණ කිරීමේදී සිතට දැනෙන සැහැල්ලුව සහනය වචනයෙන් කියා නිම කරන්න බැහැ. එහි මහ පුදුම බලයක් ශක්තියක් තිබෙනවා. කිසිවෙකුට මැඩ පවත්වන්න නොහැකි යටපත් කරන්නට නොහැකි උසස් ආරක්ෂාවක් රැකවරණයක් එයින් ලැබෙනවා. මහා බලගතු ආරක්ෂාවක්. තමා වටා ගොඩ නැගෙනවා. දෙවියන් සහිත ලෝකයාගේ ගෞරවයට පත්වෙනවා. ඔවුන්ගෙන් වැදුම් පිදුම් හිමිවෙනවා. යක්ෂ භූතාදීන්ගෙන් කිසිදු විපතක් හානියක් කරදරයක් කිසිම අයුරකින් සිදුවන්නේ නැහැ. ඔවුන්ගෙන් ගෞරවය, රැකවරණය පමණක් නොව ආරක්ෂාවත් හිමිවෙනවා. උදව් උපකාරත් හිමිවෙනවා.

මෙත්තා කියන පාලි වචනය සංස්කෘත භාෂාවෙන් මෛත්‍රි ලෙස දක්වනවා. මිතුරුකම, හිතවත්කම, යහළුකම කියන අදහස් මෙහි ගැබ්වෙනවා. සාමාන්‍ය මිනිසා අදහස් කරන මෛත්‍රිය විවිධාකාර විය හැකියි. තමාට තම හිතවත් අයට, දරුවනට, යහළුවනට, ඥාතීන්ට අහිතවත් අයට, සතුරු අයට ඔවුන්ගේ මෛත්‍රීය වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මෙත්සිත කෙලෙස් දුරු කිරීමට, කෙලෙස් නැසීමට මිස කෙලෙස් වැඩීමට නොවේ. එනිසා මෛත්‍රිය රාගය, ආලය, කාමය ආදරය සමඟ බැඳුන එකක් නොවේ. එය පටිසෝතගාමි ප්‍රතිපදාවකි. මෛත්‍රියට සෘජු සතුරා වන්නේ ද්වේශයයි. එය අපට පැහැදිලිව හඳුනාගන්න හැකියි. රාගය, ආලය, කාමය, ආදරය යන ක්ලේශධර්ම මෛත්‍රියට සතුරු වෙයි. එය හඳුනා ගැනීමට බොහෝ අපහසු වේ. සතුරා සතුරු ලෙස එන්නේ නම් අපට හඳුනා ගැනීමට අපහසු නොවේ. සතුරා පි‍්‍රය හිතවතකු කල්‍යාණ මිත්‍රයකු, විශ්වාසවන්ත උදව්කරුවකු විලසින් පැමිණෙන්නේ නම් ඔහු හඳුනා ගැනීම අතිශය දුෂ්කර ය. බොහෝ විට මිතුරු වෙසින් පැමිණෙන සතුරාට ගොදුරු වන අවස්ථා උදාවෙනවා. මෛත්‍රී වෙසින් උපදින රාගය, රතිය, කාමය, ආලය ආදී ක්ලේෂයන් හඳුනා ගැනීම අතිශය දුෂ්කර වේ. මේ සඳහා ඉතා උසස් ලෙස සිහිනුවණ හා දහම් අවබෝධය තිබිය යුතුය. උසස් ගුරු ඇසුර ද තිබිය යුතු ය. අපට අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මෛත්‍රිය ඉතාම ශ්‍රේෂ්ඨයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ නැත. තමාට හිතවතාට, මිතුරාට, ඥාතියාට දුවට, පුතාට, මවට පියාට, මැදහත් අයට සතුරාට ආදී වූ මේ සැමට සමසේ අපරිමිත මෛත්‍රිය පැතිරවිය යුතුය. එය අපි හැමෝම භාවිත කරන කරණීය මෙත්ත සූත්‍රයේ පැහැදිලිව සඳහන්ව තිබෙනවා.

‘’මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
ඒතංපි සබ්බ භූතේසු
මානසං භවයේ අපරිමානං’’

උතුම් මව් පදවිය උසුලන, ආදරය, කරුණාව, මෛත්‍රියෙන් පිරිපුන් උසස් දරු සෙනෙහසක් ඇති මවක් යම්සේ සිය දිවි දෙවෙනි කොට තම එකම පුතු ආරක්ෂා කරන්නී ද එමෙන් සියලු ලෝක සත්ත්වයා වෙත අපරිමිත මෙත්සිත පැතිරවිය යුතුය. එය බුද්ධ චරිතයේ ආදර්ශයකි. අපේ බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රි බලය, ශක්තිය අපරිමිතයි. මෙතෙකැයි කියා ප්‍රමාණ කළ නොහැකිමය. දරුණු සොරුන්, රෞද්‍ර යක්ෂ, නාග භූ®තාදීන් පහසුවෙන් දමනය කිරීමටත් තම වසඟයට ගැනීමටත් හැකියාව ලැබුණේ අපරිමිත මෛත්‍රී චිත්ත බලය නිසයි. දුටුවන් බියෙන් සැඟවී පලායන තරම් භයානක වූ නාලාගිරි ආදි තිරිසන් සතුන් පවා අහිංසක සැදැහැති දරුවන් සේ සිරිපා මුල දනින් වැඳ වැටෙන පමණට සංවර කිරීමට, දමනය කිරීමට හැකිවූයේ ඒ උතුම් මෛත්‍රි බල ශක්තියෙනි. ජීවිත කාලය පුරාම ද්වේශයෙන් ක්‍රෝධයෙන්, වෛරයෙන් අනේක විධ තර්ජන, ගර්ජන, වදහිංසා පැමිණවීමට උත්සාහ කළ දේවදත්තට කිසිදු වෙනසකින් තොරව මෙත්සිතම වැඩූහ. ගිහිකළ තමනට දාව උපන් රාහුල කුමරුට වැඩි මෛත්‍රියක්, කරුණාවක් නොපැවැත් වූහ. සියල්ලටම සම සිතින් මෙත්සිත වැඩුවා. මහා කාරුණික තථාගතයන් වහන්සේ ගේ මේ උතුම් ආදර්ශයම ගුරුතන්හි තබා සියලු සතුනට සම මෙත් සිතම පැතිරවීමට හැකි හැම උත්සාහයක්ම ගත යුතුයි.

මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමට යොමුවන ආධුනිකයා වඩා සැලකිලිමත් විය යුතුයි. ආරම්භයේදී ම අරමුණු නොකළ යුතු පුද්ගලයන් කිහිප දෙනෙක් වෙයි. වෙසෙසින් අතිශයින් පි‍්‍රය, අපි‍්‍රය වෛරී, මැදහත් යන සතර පුද්ගලයන් පළමුව අරමුණු කිරීමෙන් වැළකීම වඩා යහපත්ය. භාවනාවට යොමුවන පුද්ගලයා මනස සැහැල්ලු ව සමබර ව පවත්වාගත යුතුයි. ආධුනිකයා නොදියුණු මනසකින් යුත් අයෙක් නම් මහත් වෙසෙට පත්ව නොමඟට යොමුවිය හැකිය. එනිසා ඉහතින් සඳහන් කළ සතර පිරිස අරමුණු කර මෙත් වැඩිය යුත්තේ උසස් ලෙස සිත දියුණු කර තම වසඟයේ සිත පවත්වා ගැනීමට හැකි වූ පසුවය. අතිපි‍්‍රය අය අරමුණු කරත්ම රාගය, රතිය, ආලය ඇසුරු කොට සිතිවිලි පහළ විය හැකියි. ඔවුනගේ දුක සැප විමසන ස්වභාවයේ සිතිවිලි හෝ ඔවුන් සමඟ කළ කී දෑ පිළිබඳ සිතිවිලි පහළව මහත් වෙහෙසට පත්විය හැකියි. කමටහන අමතක ව සිත වසඟ කර ගැනීමට ද නොහැකිව මහත් කරදරයකට ලක්විය හැකි අවකාශ බහුල වෙයි. මේ හේතු නිසා අතිපි‍්‍රය පළමුව අරමුණු නොකිරීම වැදගත් වේ. අපි‍්‍රය පුද්ගලයන් අරමුණු කර මෙත්සිත පතුරවන්නට ආරම්භ කළහොත් සිතට පිළිකුල් අරමුණු ඇතිවේ. ද්වේශයට පක්ෂව සිතිවිලි නොකඩවා ඇතිවිය හැකියි. සතුරු අය, වෛරී පුද්ගලයන් අරමුණු කර මෙත්සිත වඩන්නට යොමුවීමෙන් සිත ද්වේශයෙන් වෙලා ගැනීමේ අවකාශ වැඩිවේ. මෙත් සිත වෙනුවට ද්වේශයෙන් ඇවිලගත් සිත් පෙළක් හට ගතහොත් මහත් දුෂ්කරතාවයනට මුහුණ දෙන්නට සිදුවේ. ද්වේශ සහගත සිතිවිලි යටපත්කර, මැඩපවත්වා මෙත් සිතම බාධාවකින් තොරව වැඩිය හැකි පමණට සිත දියුණුව පවතී නම් සෘජු ලෙස සතුරු අය අරමුණු කර මනා සිහි නුවණින් මෙත්සිත වැඩීම සුදුසු ය. එයින් සතුරා මෙල්ල කිරීමටද හැකිවනු ඇත. මැදහත් අය ගරු තැනට, පි‍්‍රය තැනට පමුණුවා ගැනීමේදී සිතට වෙහෙසක් ඇතිවිය හැකිය. එබැවින් ආරම්භයේ දී සෘජුව මැදහත් අය අරමුණු කර මෙත්සිත වැඩීමෙන් වැලකීම යෝග්‍ය වේ.

එමෙන්ම මෛත්‍රී කමටහන් වඩන තැනැත්තා භාවනා අරමුණ සඳහා සෘජුව විරුද්ධ ලිංගිකයන් තෝරා ගැනීමෙන් වැලකිය යුතුය. පුරුෂයා ස්ත්‍රියක අරමුණු කර හෝ ස්ත්‍රියක් පුරුෂයකු අරමුණු කර කමටහන් වැඩීමෙන් වැළකීමට වගබලා ගතයුතු යි. ස්ත්‍රී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කරන පුරුෂයාගේ සිතට වහා රාගය පැන නැග එන්නේ ය. පුරුෂ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කරන ස්ත්‍රියගේ සිතට වහා රාගය පැන නගින්නේ ය. මෛත්‍රි සිත මුලාකර සිතට නැගෙන රාගය නමැති ගින්නෙන් දැවෙන්නට පුළුවන. රාගයෙන් සිත ඇවිලගත් කල, වෙලාගත් කළ මෛත්‍රි සිතට ඉඩක් නැත. ඔහු අන්ධයකු සේ ක්‍රියා කිරීමට යොමු වන්නේ්ය. මේ නිසා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි සෘජුව මෙත් සිත වැඩීම පිළිබඳ අතිශයින් සැලකිලිමත් විය යුතුය. මළගිය අය අරමුණු කර මෙත් සිත වැඩීමෙන් ඵල රහිත වේ. චිත්ත සමාධි ඉපදීම නොහැකි බව පෙන්වා දී ති‍ෙබ්.

මෛත්‍රී සිත වඩනු කැමති සැදැහැවත් අය පළමුව ද්වේශයේ ආදීනව මැනවින් නුවණින් විමසා බැලීමට හුරුකර ගතයුතු වේ. අප සැමගේ සිත්වල ද්වේශය නමැති ක්ලේශ මූලය පවතී. ඇතැම් අයගේ චරිත ද්වේශය බහුල කොට ඇත. පි‍්‍රය මනාප මුහුණින් යුතුව සියල්ල ඉවසීමේ ශක්තිය දියුණු කළ අයද අපට දක්නට ලැබේ. කෙසේ වුවද ද්වේශයේ ආදීනව මෙනෙහි කර භාවනාවට යොමුවීම වඩා සාර්ථක ක්‍රමය වේ. ද්වේශය සිත කය දවාලන ගින්නකි. සිත කිලිටි කරන, සිත දූෂණය කරන කය දවාලන ගින්නකි. සිත කිලිටි කරන, සිත දූෂණය කරන ප්‍රබල අකුසල මූලයකි. කුසල් අකුසල් හොඳ නරක, යහපත අයහපත හඳුනා ගැනීමට නොහැකි පරිදි සිත අන්ධ කරන නීවරණ ධර්මයකි.

සිත ද්වේශයෙන් වෙලාගත්කළ ඇවිලගත් කළ එහි බලපෑම සිතට පමණක් නොව ශරීරයටද බලපෑම් කරයි. රුධිර ධාතුව අපිරිසුදු කරයි. අපි‍්‍රය අමනාප පෙනුමක් ඇතිකරයි. දුටුවන්ගේ පිළිකුලට ලක්වෙයි. මරණින් මතු අපාගත වීමට සිදුවෙයි. ද්වේශයෙන් ඇවිලගිය ද්වේශයෙන් වෙලුන සිත් ඇති පුද්ගලයා කරන කියන සිතන සියල්ලම දුෂ්ටය, නපුරුය, සත්ව හිංසනය ඝාතනය සිදු කරයි. සොරකම, වංචාව, දූෂණ ක්‍රියා කරයි. තමාට සමාජයට අහිතකර ක්‍රියා කරයි. දුෂ්ට, රළු, සිත් රිදවන, සිත් කිලිටි කරන වචන කතා කරයි. අමිහිරි, අපි‍්‍රය අමනාප වචන බහුල ව කථා කරයි. සිතිවිලිත් දුෂ්ට වෙයි. තමාටත් සමාජයටත් අහිතවන නපුරු, දුෂ්ට දේ කීමට කිරීමට සිතයි. එමෙන් ම සියදිවි හානි කර ගැනීම, අන් අයගේ ජීවිතහානි කිරීම ආදී පවිටු ක්‍රියාවන්හි නිරත වෙයි. බිය ශෝකය හැඬීම වැලපීම ආදිය ඇතිවනුයේ ද්වේශය හේතුවෙනි. මෙපරිදි විවිධ අයුරින් විවිධ ස්වරූපයෙන් අපට දකින්නට, අසන්නට, අත්විඳින්නට ලැබෙන ද්වේශයේ ආදීනව නුවණින් විමසා බැලිය යුතු වේ.

අනතුරුව මනා නුවණින් මෙත්තානිසංස විමසා බැලීම වැදගත් වේ. සිතේ සංවරය, සැහැල්ලුව ඇතිකරයි. සිත දමනය වෙයි. කෙලෙස් දාහය සංසිඳවයි. සතුට, සැනසුම, පී‍්‍රතිය සොම්නස උදාකරයි. සිතේ ඇතිවන යහපත් ගුණ ශක්තිය සිරුරට ද යහපත් බලපෑම් ඇතිකරයි. රුධිර ධාතු ව පිරිසුදු කරයි. රුධිර සංසරණ ක්‍රියාවලිය ශරීරයට හිතකර ලෙස සැකසෙයි. හදවතේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි. සිත ප්‍රභාෂ්වර කරන අතර ශරීරයද පැහැපත් කරයි. අලංකාර කරයි. පියකරු පෙනුමක් ඇති කරයි. දුටුවන් අවනත වෙයි. සැමගේ පි‍්‍රය හිතවතෙක් වෙයි. සිතෙහි ඇතිවන පිරිසුදු පිවිතුරු බව නිසා සියලු කායික ක්‍රියා යහපත් වෙයි. මිහිරි වචන කථා කරයි. කනට පි‍්‍රය උපදවන සිත් සනසන යහපත් වචන කථා කරයි. මෙලෙස අනේකවිධ මෛත්‍රී අනුසස් නුවණින් විමසා බැලීම මෛත්‍රී භාවනාවේ පූර්ව ක්‍රියාවකි. එය උසස් ප්‍රතිඵල ගෙනදීමට හේතුවෙයි.

මෛත්‍රී භාවනාව මහා බලගතු ආනිසංස ඇති කමටහනක්. සියලු පින්කම්වලට වඩා අතිශයින් උසස්, ප්‍රබල අනුසස් ලබාදෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරා තිබේ. කෙනෙක් ජීවිතය පුරාම සිදුකරන සියලු පින්කම් වලට වඩා ඔහු එක මොහොතක් මෛත්‍රී සිත වැඩීමෙන් ලබන පින්කම උසස් වනවා. මංපෙත් සැකසීම, ගිලන් උවටැන, පරෝපකාරය, දන්දීම, පින්දීම් සඟසතු මහා දන්දීම් චීවර පූජා ආදී අනේක විධ පින්කම් සියල්ලම ආකාශයක තිබෙන තරු ගණට සමාන කර දක්වන්න හැකිවේ. මෙලෙස ආකාශයේ තිබෙන තරු එකට එක්ව එක් රාත්‍රියක බබලන්නට වුවහොත් අහස හරිම ලස්සන පි‍්‍රයකරු දර්ශනයක් වෙයි. එහෙත් අපට ආලෝකයක් දෙන්න තරම් ශක්තියක් ඒ තරුවලට නැහැ. එහෙත් අහසේ ඇති එකම සඳ බබලන විට අහසත් අලංකාර වෙනවා සේම අපටත් ප්‍රබල ආලෝකයක් දෙනවා. හිරු ඒ සියල්ලම ඉක්මවා අපට ආලෝකය දෙනවා. මෛත්‍රී භාවනාවේ ආනිසංස මේ හිරු සඳු වගේ් සියලු පින්කම් ඉක්මවා උසස් ප්‍රතිඵල ලබාදෙන අයුරු ධර්මයේ විස්තරව සඳහන්ව තිබේ. එමෙන්ම මෛත්‍රී භාවනා ආනිසංස භික්ෂූන් වහන්සේට තවත් ආකාරයකින් පෙන්වා දී තිබේ.

මේ භාවනා ක්‍රමය සියලු තන්හිම, සියලු ඉරියව්වකදීම ප්‍රගුණ කළ හැකි වේ. එය කරණීය මෙත්ත සූත්‍රයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

‘තිට්ඨං චරං නිසින්නෝවා
සයා නෝ වා යාව තස්ස විගත මිද්ධෝ’

සිටගෙන සිටියත් ගමනේ යෙදුණත් සක්මන් කරන මොහොතෙත් අසුන්ගෙන සිටියත්, සයනය කරන අවස්ථාවේදීත් අපිරිමිත මෙත් සිත පතුරවන්න හැකියාව තියෙනවා. එපමණක් නොව නින්දට ගොස් නින්ද එනතුරුත් මෙත් සිත වඩන්න හැකි බව පෙන්වා දී තිබෙනවා. මෙයින් අපට පැහැදිලි වන්නේ සෑම ඉරියව්වක සිටම මේ භාවනා ක්‍රමය වඩන්න හැකි බවයි. මේ සඳහා නිශ්චිත වෙන් වූ ඉරියව්වක් නැත. සන්සුන් පරිසරයක හැකි පමණ කාලයක් එකම ඉරියව්වක සිට මේ කමටහන වැඩීමෙන් මෛත්‍රී ධ්‍යාන උපදවන්න හැකි වෙනවා. මෛත්‍රී කමටහන හොඳින් ප්‍රගුණ කර ධ්‍යාන වඩා සෙසු භාවනා කමටහන් ප්‍රගුණ කිරීමටත් විදර්ශනා භාවනා ක්‍රම දියුණු කිරීමටත් පහසු වෙනවා.

බුදු වදනට අනුව ද්වේශය ප්‍රහීණ කිරීමට මෙත්තා භාවනා ක්‍රමය මැනවින් ප්‍රගුණ කළ යුතුය. ද්වේශය ක්‍රෝධය, නො ඉවසීම, පලි ගැනීම ආදී සිතිවිලි බහුල පුද්ගලයා වැඩි වැඩියෙන් මෙම භාවනා ක්‍රමය ප්‍රගුණ කිරීම වැදගත් වෙනවා. ද්වේශ චරිත ඇතියනට වඩාත්ම යෝග්‍ය භාවනා ක්‍රමයද මෙයම වේ. අප තුළ ද්වේශය ආකාර තුනකට පවතියි. අනුශය, පරියුට්ඨාන, වීතික්කම වශයෙන් සඳහන් වේ. ද්වේශයේ අනුශය අවස්ථාව යනුවෙන් පෙන්වා දෙන්නේ එහි නිදිගත් අවස්ථාවයි. ද්වේශ සහගත සිතිවිලි සිතේ පහලව නොමැති පිරිසුදු අවස්ථාවයි. එහෙත් ද්වේශ අකුසල මූලය පවතියි. එය නිදිගත් නාගයකු සේ වටහා ගැනීම වඩාත් උචිතය. මේ අවස්ථාවේ පුද්ගලයාගේ ක්‍රියාකාරකම් බොහෝ සෙයින් යහපත්. තමාට සමාජයට හිතකර කායික, වාචසික ක්‍රියා හසුරුවයි. නිති කුසල දහම්හි යෙදෙන, ධ්‍යාන වඩන, ධ්‍යාන සමාපත්ති වලට පැමිණි අයගේ ද්වේශය පවතින්නේ අනුශය අවස්ථාවේම ය.

දෙවනුව සඳහන් වන්නේ ද්වේශයේ පරියුට්ඨාන අවස්ථාවයි. පරියුට්ඨාන යනුවෙන් සඳහන් කළේ ද්වේශයේ නැගී සිටීමයි. සිත් ද්වේශයෙන් ඇවිලගත්, වෙලාගත් අවස්ථාවයි. එය පහරදීමට සූදානමින් නැගී සිටින නාගයකු සේ ය. ද්වේශය නැගී සිටි කල පුද්ගලයා දැවෙන, පිලිස්සෙන ස්වභාවයට පත්වෙයි. එවැනි අවස්ථාවලදී සියලු කායික, වාචසික ක්‍රියා අතිශයින් දරුණු දුෂ්ට වේ. අපි‍්‍රය අමනාප වේ. ශරීර අභ්‍යන්තරයේ ඇවිලගත් ගින්නක් සේ සිත කය දෙකම දවාලන්නේ වේ. හිරිහැර කිරීම, දඬුවම් කිරීම, පහරදීම, ඝාතනය කිරීම, අපි‍්‍රය අමනාප, අමිහිරි රළු දුෂ්ට වචන කථා කිරීම, ආදි කායික වාචසික ක්‍රියාකාරකම් කරන්නට සිත් පහළ වන්නේ ද්වේශයේ පරියුට්ඨාන අවස්ථාවේදී වන අතර ඒ සියලු ක්‍රියා සිදුවන්නේ ද්වේශයේ වීතික්කම අවස්ථාවේදී ය. එය පසුපස හඹා ගොස් පහරදෙන නාගයකු බඳුයැයි අපට හැඟෙයි.

අප නිති රකින සීලය කය වචන දෙක සංවර කරයි. එහෙයින් ද්වේශයේ වීතික්කම අවස්ථාව පාලනය කිරීමට නිතිසිල් සිහි නුවණින් රැකිය යුතුවේ. සමාධිය සිත සංවර කරයි. එය ද්වේශයේ නැගීසිටීම හෙවත් පරියුට්ඨාන අවස්ථාව පාලනය කරයි. අනුශය අවස්ථාව විනාශ කිරීමට මැනවින් විදසුන් වැඩිය යුතුය. විදර්ශනා ප්‍රඥාවෙන් සියලු කෙලෙස් මූලයන් විනාශ කර දමයි. යලි ක්ලේශයාගේ නැගී සිටීමක් නැත. පසුපස හඹා පහර දෙන නාගයා දක්ෂ පුද්ගලයකු විසින් අල්ලා එක්තැනක හිරකර මරා දැමීම වැනි ක්‍රියාවක් සේ සිතීම අදහස තේරුම් ගැනීමට පහසු ය.

අපට මේ භාවනා ක්‍රමය ප්‍රගුණ කිරීම ආකාර තුනකට සිදුකරන්නට හැකියි. මෙත්තා කාය කම්ම, මෙත්ත වචීකම්ම, මෙත්තා මනෝකම්ම වශයෙන් ඒ ක්‍රම තුන සඳහන් වෙනවා. සිත තුළ මෙත් සිතිවිලි පහළකර ගැනීම මෙත්තා මනෝකම්ම වන අතර සිතේ පහළ වන මෛත්‍රි චේතනා වචනයෙන් පිටකිරීම මෙත්තා වචී කර්ම වේ. මෙය වචී සුචරිතයේ පහළවීමයි. මෛත්‍රී චේතනා කාය කර්ම වශයෙන් දක්නට ලැබීම මෙත්තා කාය කර්මය යයි. තමාට අන්අයට හිතපිණිස සැප පිණිස සිදුකරන සියලු ක්‍රියා මෙයට අයත් වේ. කාය සුචරිතය ලෙස නම් කරන්නේ මෙයයි.

තමාටත් සමාජයටත් හිත පිණිස, සැප පිණිස මේ උතුම් මෛත්‍රි භාවනා ක්‍රමය සිහිනුවණින් මැනවින් ප්‍රගුණ කර දෙලොව ජය ගනිමු.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]