UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පාර මනෝ විද්‍යාව සහ බෝධි පූජාව

ඓතිහාසික සාක්‍ෂි අනුව ක්‍රිස්තු වර්ෂයට පෙර වසර හාර දහසේ දීත් වෘක්‍ෂ වන්දනාව සාමාන්‍ය ගෝත්‍රික වැඳුම් පිදුම් ක්‍රමයකට වඩා උසස් තත්ත්වයෙන් වැල්ඩියාවේ (බැබිලෝනියාව හා මෙසපොතේමියාව හෙවත් ඉරාකය හා ඉරානය සම්බන්ධ වූ ප්‍රදේශය) පැවති බව ඉතිහාසගත කරුණු ඇතුළත් ග්‍රන්ථයක් ලියන ජේ.එල්. පිල්ෆොට් මහත්මිය කියා ඇත.  (The sacred Tree or The Tree in Religion and Myth-J.L.Philpot- 1987)

රෝමයේ පොදු ස්ථානයක තිබූ සම්මානනීය ෆීග් ගසක් (බෝ ගස ද මේ කුලයේම ගසකි) ගැන ඉතිහාසඥ ප්ලිනී සඳහන් කරයි. රූමිනාලිස් නමින් හැඳින් වූ මේ ගස රොමියුලස්ගේ කාලයේ සිට පැවත එන බවත් ඒ ගසට සුළු හෝ ආපදාවක් හෝ පැමිණි විට මුළු රෝම වැස්සන්ම මහත් කම්පාවෙන් එය රැක ගැනීමට යුහුසුළුව ක්‍රියාත්මක වූ බව මහාචාර්ය ඊ. බී. ටීලර් පවසයි. එසේම පලස්තීනයේ තිබුණ මෙවැනිම වැඳුම් පිදුම් කළ ගසක් නියං සමයක මළානික වූ විට මුළු නගර වැස්සන්ම එකතු වී, මේ ගසට වතුර ඇද ගස නාවා වියළී යා නොදී රැකගත් බව එම මහාචාර්යවරයා පවසයි. (Primitive Culture – E.B. Tylor-London 1929) මුළු ලොව පුරා පංච මහද්වීපයේම වෘක්‍ෂ වන්දනාව මෙසේ ප්‍රචලිත වූ අතර ඒ කටයුතු සඳහා අනුගමනය කළයුතු චාරිත්‍ර වාරිත්‍ර බොහෝදුරට එකසමාන විය.

ගහකොළ සතු ආධ්‍යාත්මික බලවේග හෝ ශක්තීන් ගැන සොයා බැලීම සඳහා ලොව පුරා විද්‍යාඥයින් යොමුවීමට හේතුවූයේ පොලිග්‍රාෆ් නමැති යන්ත්‍ර පිළිබඳ විශේෂඥයෙකු වූ ඇමරිකානු ජාතික ක්ලිව් බැක්ස්චර් කළ පරීක්‍ෂණයක් නිසාය. (The Secret Life of Plants’ Peter Tomplicias & Christopher Bird-England 1991)  යම්කිසි කෙනෙක් බොරු කියනවා ද නැද්ද යැයි මනින මෙම උපකරණය සියුම් ගැල්වනෝ මීටරයකට සමාන වේ. මේ උපකරණය ක්‍රියාත්මක වීමේ දී ඊ.සී.ජී හෝ ඊ.ඊ.ජී. යන්ත්‍ර මෙන්ම ප්‍රස්තාර සටහනක් ඇඳීම සිදුවේ.

බැක්ස්වර්ගේ පරීක්‍ෂණවලින් වැටහෙන විශේෂ කරුණක් වනුයේ ක්‍ෂණිකව අපගේ සිතුවිලි වටහා ගැනීමට ගහකොළවලට ඇති හැකියාවයි. පැළෑටියක් පුළුස්සා පරීක්‍ෂා කිරීමට සිතා ඔහු ගිනි පෙට්ටිය අතටගත් මොහොතේ ගස මහත් විපරීත තත්ත්වයක් නැතහොත් හඬා වැටෙන තත්ත්වයක් පෙන් වූ බව පෙලිග්‍රාෆ් යන්ත්‍රයෙන් පැහැදිලි විය.

පැළෑටි ගැන පරීක්‍ෂණ කළ විද්‍යාඥයින් අතරින් ඇමරිකාවේ අයි. බී. ඇම්. සමාගමේ රසායනඥයෙක් ලෙස සේවය කළ මාසෙල් වෝගල් ද ප්‍රධාන වේ.ඔහුගේ අදහස වන්නේ ගහ කොළවල නිද්‍රෝපගතව පවතින ශක්තීන් මිනිස් සිතේ ශක්තිය යොමුවීමත් සමග අවදි වන බවකි. සමහර පැළෑටි ක්‍ෂණිකවත්, තවත් සමහරක් සෙමිනුත් පරීක්‍ෂණවලට ප්‍රතිචාර දක්වන අතර සමහර ශාක ඉතාම අඩුවෙන් ප්‍රතිචාර දක්වන බව ද ඔහු පෙන්වා දුන්නේය. ගහකොළවල ද දෙයාකාරිත්වයේ අඩු දවස් හා වැඩි දවස් ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

ගහකොළ සමග මිනිසාට ආධ්‍යාත්මික තත්ත්වයකින් සම්බන්ධ විය හැකි බව ඔප්පු කර ඇති සත්‍යයක් බව ඔහු කියයි. අපගේ මනසට සිරුරට යහපත් වූ ශක්ති කිරණ ගහකොළ, අපේ ශක්ති රශ්මි වළල්ල තුළින් අප වෙත නිකුත් කරන අතර අපගෙන් ද ශක්ති කිරණ එම ගහකොළ වෙතට ගමන් ගනී. මෙම ශක්ති කිරණ හුවමාරුව නිසා ගසත්, අපත් එකම සත්ත්වයෙකු මෙන් ක්‍රියාකාරීවන අතර ගසට සම්බන්ධ කළ සියුම් උපකරණ තුළින් ඒ මොහොතේ අපේ හිතේ ඇති දේ වටහා ගත හැකි බව ද ඔහු කියයි. සෝවියට් විද්‍යාඥයින්ගේ ගහකොළ සම්බන්ධ පරීක්‍ෂණවලින් ගහ කොළවලට මතයක් ඇති බව ද සනාථ කොට ඇත.

විද්‍යාඥයන්ගේ පර්යේෂණ අනුව ගහ කොළ, සංගීත ගායනා ආදියට දක්වන ඇල්ම ද පුදුම සහගතය. දකුණු ඉන්දියාවේ අන්නමලෙයි සරසවියේ උද්භිද විද්‍යාඥ ආචාර්ය ටී.සී.සිං මේ පිළිබඳව පර්යේෂණ මාලාවක් කළේය. වයලීනයට, බටනලාවට, මනුෂ්‍ය කටහඬට, ගහකොළ ඉතා සංවේදී බව ඔහු පෙන්වා දී ඇත. නා නා ගස් වර්ග තෝරාගෙන ඔහු මේ පරීක්‍ෂණ කළ අතර සංගීත රාග තාල මේ සඳහා යොදා ගන්නා ලදී. මෙම ශබ්ද තරංගවල සීමාව තත්පරයට කම්පන සියයේ සිට හයසියය දක්වා විය. සෑම ගසකම වැඩීම, ඵලදාව බොහෝ සේ වැඩි විය. මෙම සංගීත තරංග යොමුකළ ගම්මිරිස් වගාවක වැඩීම 90% කින් ද, ඵලදාව 103% කින් ද වැඩි විය. වී වගාවන්ට ද මේ සංගීත (ශාස්ත්‍රීය) ඇසෙන්නට සැලැස්වීමෙන් ඵලදාව වැඩිකර ගතහැකි බව පරීක්‍ෂණ මගින් මොහු ඔප්පු කර ඇත. ගායන වාදන පමණක් නොව නැටුම් ද මෙම වගාවන් අසල පැවැත්වීමෙන් එහි ඵලදාව වැඩිවූ බව සිං පෙන්වා දෙයි. ඒ අනුව අපේ වී ගොවිතැනේදී පැරණියන් ගම්මඩු, පහන් මඩු ආදියේ නැටුම් ගැයුම් වැයුම් කුඹුර ආශ්‍රිතව කිරීමෙන් ඒවායේ ඵලදාව වැඩිවූ බව මේවායින් පැහැදිලි නොවන්නේද?

ජීව විද්‍යා උපාධි අපේක්‍ෂිකාවක් වු ඇමරිකාවේ ඩෙන්වර් හි ජොරති රෙටැලෙක් මහත්මිය තම ජීව විද්‍යා මහාචාර්ය වූ ෆ‍්‍රැන්සිස් එෆ්. බෝමන්ගේ මග පෙන්වීම යටතේ සංගීතය හා ගහ කොළ අතර බැඳීම පිළිබඳ කළ පර්යේෂණ ප්‍රසිද්ධය. මෙම පරීක්‍ෂණවල දී පැහැදිලි වූ විශේෂ කරුණක් වූයේ අධිවේගී රොක් (පොප්) සංගීත යොමුකළ පැළෑටිවල වැඩීම විකෘති වී සති දෙකකින් පමණ මැරීයාමයි. ශාස්ත්‍රීය සංගීතයත් අර්ධ පොප් (දැඩි රිද්ම නැති) සංගීතයත් ගහ කොළවලට ප්‍රිය වූ අතර එම සංගීත නිකුත් කරන ගුවන් විදුලි යන්ත්‍ර හා කැසට් යන්ත්‍ර දිසාවට හැරී එම ගහ කොළ වැඩෙන්නට විය. නැ‍ෙගනහිර ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයත් රවි ශංඛර් හා බාක්ගේ සංගීතයත් ගහ කොළ ඉතා ප්‍රියකරන බවත් එම මහත්මිය තමාගේ පර්යේෂණයන්ගෙන් ඔප්පු කළාය.

මේවා ගැන බැලීමේ දී අපේ රටේ ඇති සංගීත සංදර්ශනවල දී නිකුත් කරන අධිවේග සංගීත රිද්ම රටා අපගේ ශරීරවලට ද අහිතකර වන අතර, ගහ කොළවලට ද අහිතකර වන බව අපට සිතාගත හැක. ඇමරිකන් ජාතික ක්ලිව් බැක්ස්ටර්ට පෙර ගහ කොළ පිළිබඳ පර්යේෂණ කළ ශ්‍රේෂ්ඨ ඉන්දීය විද්‍යාඥ ශ්‍රීමත් ජගදීශ් චන්ද්‍රබෝස් ගහ කොළ පිළිබඳ පර්යේෂණ රාශියක් කර ඇත. එතුමන් විසින් නිපදවූ ක්‍රෙස්කෝග්‍රාප් නමැති උපකරණය ඇතුළු සෙසු උපකරණ ඇසුරෙන් ගහ කොළවලට ද අපගේ ස්නායු මණ්ඩල ක්‍රියාකාරිත්වයට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති බව පෙන්වා දී ඇත. කම්පනය, වේදනාව, ආදරය, සතුට, බය යන අපට දැනෙන සෑම තත්ත්වයක් ම ගහ කොළවලට ද පොදු බව පෙන්වා දුන් අතර සෑම ජීව වස්තුවකටම පොදු වූ වෙහෙසවීම අජීව ද්‍රව්‍යවලට පවා ඇති බව එතුමා ඔප්පු කර පෙන්වා දී ඇත. රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ශ්‍රීමත් ජගත් චන්ද්‍රබෝස් විද්‍යාඥයාට ගෞරවයක් වශයෙන් ගී කවි පන්තියක් ද රචනා කර තිබිණි.

අපගේ සිරුරින් මෙන්ම ගහ කොළවලින් ද ආලෝක රශ්මීන් විහිදෙන බව කිරිලියන් උපකරණය ඇතුළු වෙනත් උපකරණවලින් ද පැහැදිලි වේ. පැළෑටි වර්ගවල හැටියට නා නා වර්ණයන්ගෙන් නා නා දුරට මෙම කිරණ විහිදේ. එසේම කුඩා ආලෝක බෝල සේ ශාකයෙන් ඉවතට විහිදී නිදහස්ව යන ශක්තීන් ද දක්නට ලැබේ.

විද්‍යාඥයන්ගේ පර්යේෂණාගාරයක ඇති පැළෑටි මෙන් නොව බෝධිය යනු අනාදිමත් කාලයක සිට දස දහස් සංඛ්‍යාත, ලක්‍ෂ සංඛ්‍යාත ගණනින් වැඳ පුදා මනුෂ්‍යයන්ට පිහිටවීමට පුරුදු පුහුණු කර ඇති ගසකි. මිනිස් සිතේ ශක්ති කිරණ – මිනිස් කටහඬේ ශක්ති තරංග ආදී ශක්තීන් බෝධියට යොමු වී ඇති ප්‍රමාණය ගැන සලකනවිට බෝධිය තුළ සැඟවී ඇති ශක්තිය අනුපමේය බව වැටහේ. විශාල පිරිසක් ශබ්ධ නගා ගාථා කීම, පිරිත් කීම, සෙත් ශාන්ති කවි කීම, සාධුකාර දීම යනාදියේ ශක්තිය කෙබඳුදැයි මේවායින් අපට වටහාගත හැක. රුසියන් හා චෙක් විද්‍යාඥයන්ට අනුව ජීව ශක්තීන් මගින් අජීව වස්තූ®න් ප්‍රාණවත් කළ හැක. ලොස් ඇන්ජලීස් හි ඊ.එස්.පී. පර්යේෂණාගාරයේ අධ්‍යක්‍ෂ අල් මැනින් පවසන අන්දමට එම ශක්තීන් උරාගන්නා අජීව වස්තු පිළිස්සී යාමේදී නැවත එම ශක්ති කිරණ තරංග නිදහස් වී යයි.  (The secrets power of Pyramids bill scull and Ed Petit coronet book London 1976)
 

අපි සුවඳ කුඩුවලට ශබ්ද තරංග හා චිත්ත තරංග යොමුකර (පිරිත් හා ගාථාවලින්) මතුරන විට ශක්ති තරංග එම කුඩුවලට උරා ගනී. ගිනි අඟුරුවලට දමා දුම් ඇල්ලීමේදී පිළිස්සී යන මේ සුවඳ කුඩු තුළින් නිදහස් වී යන ශක්ති තරංග අපට යහපත උදාකරන බව අපේ අත්දැකීම් අනුව ද මෙම පර්යේෂණ අනුව ද පෙනී යයි. ඒ අනුව බෝධිය අසල හෝ විහාරයක හෝ ගෙදරක හෝ පූජා විධි කිරීමට ප්‍රථම සුවඳ දුම් ඇල්ලීම ද අර්ථවත් බව පෙනී යයි.

සුප්‍රසිද්ධ සෝවියට් විද්‍යාඥ ගර්හාඩ් සර්ගයේව් කියන්නේ විශ්ව ශක්තීන් හි විශේෂ ලක්‍ෂණය නම් එය ජලය හා ඉතා සමීප වී ක්‍රියා කිරීමය. බෝධි පූජාවේ දී හෝ ලෙඩ රෝගවලදී, ඇස්වහ, කටවහ දෝෂ, භූ®ත දෝෂ යනාදිය ඇතිවීමක දී වතුර පිරිත් කර හෝ මතුරා පාවිච්චි කිරීමෙන් ගුණ ලැබෙන බව ඉහත පරීක්‍ෂණයන්ගෙන් ද අපගේ අත්දැකීම්වලින් ද පැහැදිලිවේ.

මීට වසර හයදහසකට පෙරත් ගහ කොළවලට බුද්ධිමත්ව වන්දනාමාන කල මනුෂ්‍ය වර්ගයාගේ වැල්ඩියානු මුතුන්මිත්තන් ද ඊටත් වසර දහස් ගණනකට පෙර සිට ගස් කොළන් වැඳීමෙන් පිදීමෙන් බුද්ධිමත් කාර්යයක්ම කළ බව විද්‍යාඥයන්ගේ මෙම පර්යේෂණයන්ගෙන් පැහැදිලිවේ. මේ අනුව බෞද්ධ අපගේ බෝධිපූජා ක්‍රම, බුද්ධ පූජා ක්‍රම, දේව පූජා යනාදිය උසස් ශාන්තිකර්ම ක්‍රියාවලියක් බව පැහැදිලි වේ. පොදුවේ මිනිස් වර්ගයාට මේවා යහපත ඇති කරන අතර නිවන් අවබෝධය පිණිස ඒකායන මාර්ගයක යන කෙනකුට මේවායින් කිසිදු බාධාවක් ද ඇති නොවේ. මෙම පූජාවලින් ලැබෙන්නේ මානසික සතුට පමණක් නොවන බවත් ඊටත් වඩා අර්ථවත් යමක් සිදුවන බවත් මේවායින් පැහැදිලි වේ. ගස් කොළන් කපා විනාශ කරමින්,ගහ කොළට සතා සර්පයාට පරිසරයට හානි කරන මිනිසුන් සහිත සමාජයට මෙම ශාන්තියේ විරුද්ධ පැත්ත වන විනාශය සිදුවනු ඇත. ලෝක විනාශය ඇති වන්නේ ද, අධර්ම රාගය, දැඩි තණ්හාව, දැඩි කාමය, ක්‍රෝධය, වෛරය, පලිගැනීම ආදිය සිත් සතන් තුළ වර්ධනය වන වේගයට අනුව බව අප හොඳින් මතක තබාගෙන ඒ අනුව යහපත ඇති කර ගැනීමට ක්‍රියා කිරීම අප කාගේත් යුතුකම වනු ඇත.

උඳුවප් පුර පසළොස්වක

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා සඳුදා අපර භාග 02.48 ට ලබයි.
21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය.
මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]