ගීතස්වරය ද ?
අර්ථය ද ?
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය කොමසාරිස් /
ප්‍රධාන සංස්කාරක
පියවතී ජයසූරිය
අද
ලෝකයේ පවත්නා තත්ත්වය අනුව, ශ්‍රී ලංකාවේ තරම් බුදු බණ දෙසන, බුදු බණ
අසන, පිරිත් සජ්ඣායනා කරන අන් රටක් නැතැයි කිවහොත් වැරදි නොවේ. එහෙත්
පුදුමයක මහත! ලෝක සිතියමේ අන් රටවල් සමඟ සසඳන කල, ‘පුංචි තිතක්’ තරම්
වන ශ්‍රී ලංකාව, දූෂණ, වංචා, තාඩන පීඩන, සාහසික, ඝාතන, සිය දිවි
නසාගැනීම්, ලිංගික අපයෝජන හා තවත් නා නා ප්‍රකාර අපරාධ ආදිය ද අතින්
ඉහළම තැනක් ගන්නා බව විවිධ මාධ්‍යවලින් දැගන්නට ලැබේ.
සමස්තයක් වශයෙන් මුළු ලෝකයේම, අපරාධ සිදුවීමේ ප්‍රවණතාව දිනෙන් දිනම
ඉහළ යන බවක් දක්නට ලැබේ. ඊට අමතරව, ලෝකයේ ස්වාභාවික ව සිදුවන ජල
ගැලීම්, වැහි කුණාටු, නියං, නාය යෑම්, භූමිකම්පා, සුනාමි, ගිනිකඳු,
පිපිරීම්, ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම්, ධ්‍රැවීය හිම වැස්සේ වෙනස්වීම්
වැනි තත්ත්වය පිළිබඳ තතු පෙරට වඩා වැඩි බැව් අද බෙහෙවින් අසන්නට ලැබේ.
කොසොල් රජතුමා දුටු සිහින දහසය දැනටමත් සැබෑ වන්නට පටන්ගෙන ඇත්තා සේ
පෙනේ. තව දුරටත් මේ තත්ත්ව උග්‍රවනු විනා, යටපත් වන බවට තවමත් ඉඟි
නැතැයි කිව හැකිය. ඉදින් දෙසන, අසන බුදු බණවලින් වත්, විශාල සඟ පිරිස්
විසින් සජ්ඣායනා කරනු ලැබූ හා කරනු ලබන පිරිත්වලින් වත්, ප්‍රමාණවත්
සෙතක්, සහනයක් ලැබී ඇතැයි ඔප්පු කළ හැකි ද? එසේ නම්, වරද කොතැන දැයි
සලකා බැලීම වටී. අතිශයෝක්තියෙන් ප්‍රකාශ කළහොත්, අප සිරි ලක්බිම,
අඩියෙන් අඩියට පන්සල් ය, දහම් පාසල් ය, බෞද්ධ පූජෝත්සව ද එමට ය. ආමිසයට
වැඩි නැඹුරුවක් දැක්වූවත් දාන, සීල, භාවනා වැඩ සටහන් ද එමට ය එසේ නම්,
වරද කොතැන ද?
එක් අංශයක අඩුවක් ඉස්මතු කිරීමට මෙම ලිපියෙන් ප්‍රයත්න දරනු ලැබේ. ජන
ලේඛන තොරතුරු දෙස බලන කල පෙනී යන්නේ, ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් වැඩිම
ප්‍රතිශතයක් සිටින්නේ, සිංහල බෞද්ධයන් බවය. ඕනෑම පූජනීය අවස්ථාවක දී
පුර්වාරම්භය වන්නේ නමස්කාර පාඨය කීමය. එහෙත් “නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මාසම්බුද්ධස්ස” යන නමස්කාර පාඨය, තෙවරක් කියනු ලැබූවත්, එහි නියම
අර්ථය දන්නේ කීයෙන් කී දෙනෙක් ද? කට පාඩමින් ගිරවුන් මෙන් පාලි ගාථා
කීමට බෞද්ධ හැම දෙනාටම හැකියාව ඇත. එහෙත් තමා කියන ගාථාවල තේරුම, ඒ හැම
දෙනාම දන්නවාද? දන්නා අරුත පවා සිහිපත් කරමින්, ඒ ගාථා පාඨ කියන්නේ
කීයෙන් කී දෙනෙක් ද? අරුත නොදැන වුවත් ගණ පිහිටා ප්‍රබන්ධ කොට ඇති
බැවින්, නියම ලෙස උච්චාරණය කරමින් පිරිත් සජ්ඣායනය කිරීමෙන් වූවද තරමක්
ආනිශංස ලැබෙන බව අසා ඇත.
ඇතැම් ගිහි භවතුන් වන්දනා ගාථා හා පිරිත් සජ්ඣායනය කරන්නේ ශීඝ්‍රගාමී
දුම්රියක් ගමන් ගන්නා සේ ය. ඇතැම්හු ගාථා, පිරිත් මුමුණති. ශීඝ්‍රයෙන්
කීමේ දී, කියන පාඨවල අර්ථය ගැන සිහිපත් කරමින් කීමට අවකාශ තිබේද යන්නත්
සැක සහිත ය. ශබ්ද නඟා කීම වැදගති. එහෙත්, ශීඝ්‍රයෙන් ශබ්ද නඟා කියන
විට, අසන අයට පවා එය කඨෝරවිය හැකි ය.
ශීඝ්‍රයෙන් කීම නුසුදුසු නම්, එය ඇද – පැද, ගී මෙන් කීම ද සුදුසු? මේ
අවස්ථාවේ දී මෙම ලිපියෙහි උච්ච අවස්ථාවට එළඹී ඇත. තාලයකට, රිද්මයකට හා
අනවශ්‍ය ලෙස පැද ඇද කීමේ දී සැබැවින්ම සිදුවනුයේ කුමක් ද? එසේ කීමේ දී,
කියවන්නාගේ සිත යොමු වන්නේ ඒ ගීත ස්වරයටයි. ගීත ස්වරයට සිත යොමු කිරීමේ
දී, පදවල අරුත ගැන සැලකිල්ලක් නොදක්වන බව ප්‍රකටව පෙනෙන කරුණකි. මෙහිදී
වැදගත් දෙයක් ගැන අවධානය යොමු කිරීම වටී. මේ පාලි, පිරිත්, ගාථා, පාඨ
ආදිය, කලින් සඳහන් කළ පරිදි, ගණ පිහිටා ප්‍රබන්ධ කොට ඇත. එබැවින්, ඒ පද
නොකැඩිය යුතු ය. පද කඩා උච්චාරණය කිරීමෙන්, පදවල නියම අරුත නොකියවෙන
අතර, ඉන් අසන්නාට බලාපොරොත්තු වන සෙතක් සිදු නොවනු ඇත. පද කඩා කියවෙන
අවස්ථා කිහිපයක් සඳහා නිදසුන් මෙසේ දැක්විය හැකි ය.
ජයමංගල ගාථා ආරම්භයේ ‘බාහුං සහස්ස මභිනිම්මිත සා යුදංතං’ යන්නෙහි
‘නිම්මිත’ යන පදය, තාලයට අනුව කැඩීම නිසා ‘මභිනිම්’ සහ ‘මිතසා’ යනුවෙන්
කඩා ගැයීම, ‘මිතසා’ යන පදයේ අරුත කිම?
එම ගාථා පෙළෙහි සිවුවැනි ගාථාව වන ‘උක්ඛිත්ත ඛග්ග....’ යන්නෙහි දෙවැනි
පේළියේ ධාවන්ති යෝජන පථංගුලිමාලවන්තං’ යන්න, ගායනා කරනු ලබන්නේ ‘දාවන්
තියෝ ජනපථං ගුලිමාල වන්තං’ යනුවෙනි.
යොදුන් ගණනක් (යෝජන) මාර්ගයේ (පථං) දුවන (දාවන්ති) අංගුලිමාල (ඇඟිලි
මාලයක් පැළඳි බැවින් අංගුලිමාල නමින් හැඳින්විණි) එම, පේළියේ තේරුම වේ.
වැරදියට උච්චාරණය කිරීම නිසා අංගුලිමාල ‘ගුලිමාල’ නම් වේ. ඒ අනුව ඔහු
පැළඳියේ ගුලි මාලයක්ද? වැරදි දේ තාලයට (ගීත ස්වරයෙන්) කීමෙන්,
බලාපොරොත්තු වන සෙතක්, ශාන්තියක්, යහපතක් ලැබේද? නැත!
මෑතක දී මම එක් පිරිත් සූත්‍රයක් ඇතුළත් සී.ඩී. (ඛ්. ච්) තැටියක් මිල
දී ගතිමි. එහි ‘නමෝ තස්ස’ පාඨයත් ‘ඒවං මේ සුතං’ මුල් පද කීපයත් තරමක්
පැහැදිලි අන්දමින් අසා ගත හැකි විය. එහෙත් අනතුරුව සූත්‍රයේ හරි අඩක් ම
පාහේ සජ්ඣායනය කළ දේ කිසිසේත් වටහා ගත නොහැකි විය. ඊට හේතුව, ඉතාමත්ම
දීර්ඝ ලෙස අදිමින්, ගීත ස්වරයට ම මුල් තැන දීමෙන් සජ්ඣායනා කිරීම ය.
එනමුදු එහි ගීත ස්වරයත්, මධුර භාවයත් නිසා දෙසවන් පිනවිණි. නොතේරෙන
වෙනත් බසකින් ගායනා කෙරෙන මධුර ගීයක් බඳු විය.
පිරිත සජ්ඣායනා කරන තැනැත්තා එහි අර්ථය දැනගෙන ම සජ්ඣායනා කිරීම ඉතා
වැදගති. එවිට වැරදි උච්චාරණයෙන් හා පද කැඩීමෙන් ද බැහැර විය හැකි ය,
ආනිශංස ද වැඩිය. එමෙන්ම පිරිත අසන්නා ද එහි අරුත පදයෙන් පදයට නැතත්, දළ
වශයෙන් හෝ දැන සිටීමෙන් ද ආනිශංස තවත් වැඩි වේ.
කෙසේ වූවද, සජ්ඣායනා කරන්නාත්, අසන්නාත් යන දෙපක්‍ෂයම අර්ථය නොදන්නා
වුවත් නිවැරදිව උච්චාරණය කරමින් සජ්ඣායනය කරන්නේ නම්, මෙහි කලින් සඳහ
කළ පරිදි, තරමක ආනිශංසයක් ලැබෙනු ඇත.
ගීත ස්වරයට මුල් තැන දීමේ දී, අවධාරණය ඊට යොමු වීම නිසා, පද කැඩෙන
බැවින්, පිරිතෙහි අර්ථයත්, පිරිතෙන් බලාපොරොත්තු වන සෙතත් සුවයත් නිසි
ආකාරයෙන් නොලැබෙනු ඇත. පද කැඩීමට අමතර ව, කැඩුණු පද සන්ධි කිරීමෙන් ද
අර්ථයට හානි පැමිණෙන අතර, ඇතැම් අවස්ථාවල දී විරුද්ධ අර්ථයත්, කිසිම
අර්ථයක් නොමැති පදත් කියැවෙනු ඇත. මේ සඳහා නිදසුන් මෙසේ දැක්විය හැකිය.
1. මහා මංගල සූත්‍රයේ - “ඵුට්ඨස්ස ලෝක ධම්මේහි – චිත්තං යස්ස න කම්පති”
යන්නෙහි, බොහෝ විට “චිත්තං යස්සන කම්පති” යනුවෙන් සජ්ඣායනා කරනු අසන්නට
ලැබේ. මෙහි දී “න කම්පති” යන තැන, කම්පනය නොවන යන අරුත, “යස්සන කම්පති”
ලෙස කීමෙන්, කම්පනය වන යන අරුතෙන් කියැවේ.
2. සෙත් පිරිත් අවසානයේ ද කියන “තේසං සච්චේන සීලෙන – ඛන්ති මෙත්ත බලෙන
ච” යන්න පිරිවානා පොත් වහන්සේහි පවා මේ අන්දමින් පද බෙදා ඇතත්, බොහෝ
විට සජ්ඣායනා කරනු අසන්නට ලැබෙන්නේ “......ඛන්ති මෙත්ත බලෙ නච”
යනුවෙනි.
3.ඤාතීනට පින් අනුමෝදන් කරවීමේ දී, “ඉදං මේ (වෝ) ඤාතීනං හෝතු” යන්න,
“ඉදංමේඤා තිනං හෝතු” යනුවෙන් සජ්ඣායනා කරනු අසන්නට ලැබේ.
අපේ මාධ්‍යවලින් පවා උදේ, සවස අසන්නට ලැබෙන මවුපිය වන්දනාවේ පියාට වඳින
ගාථාවෙහි ද දෙතැනෙක සාවද්‍ය ලෙස උච්චාරණය කරනු ලැබේ.
නිදසුන – “වුද්ධිකාරෝ - ආලිංගිත්වා...” යන්න “වුද්ධිකාරෝ අලිංගිත්වා
යනුවෙන් ද (මෙය ආලිංගිනය’ යන්නෙන් බිඳී ආ පදයෙකි.” “පිතු පාදං” යන්න
‘පීතු පාදං’ යැයි වැරදි ලෙස උච්චාරණය කෙරේ.
පුෂ්ප වන්දනාවෙහි ද ඇතැම් අය, “පුඤ්ඤේන, මේතේන ච හෝතු” මොක්ඛං,
යන්න...” මේතේ නච හෝතු මොක්ඛං” යැයි අර්ථය විකෘති කරමින් කියති.
තවද, සීවලී පිරිතෙහි,
“පියෝ දේව මනුස්සානං - පියෝ බ්‍රහ්මාණ මුත්තමො” යන්න, වැරදි අරුතක් ගෙන
දෙමින් , “බ්‍රහ්මාණ” යන්න “බ්‍රාහ්මණ” යනුවෙන් කියනු ලැබේ. මෙතැන නියම
අරුත වශයෙන් දෙවියන්, මනුෂ්‍යයන් හා බ්‍රහ්මයන්” විය යුතු ය. බ්‍රාහ්මණ
යන්න යෙදෙන්නේ බ්‍රහ්මයනට නොව, මනුෂ්‍යයන්ගේ ම ප්‍රභේදයක් හැඳින්වීමට
ය.
තවත් බොහෝ අවස්ථා ඇතත් මෙහිලා සියල්ල සඳහන් කිරීම උගහට ය. ඉහත සඳහන්
ආකාරයට සාවද්‍ය ලෙස උච්චාරණය කිරීමෙන් පිරිතෙන් බලාපොරොත්තු වන යහපත,
සෙත, ශාන්තිය ලැබේ ද? මේ ගැන ගැඹුරු ලෙස, සියුම් ලෙස කල්පනා කර බලන
මෙන් ඉල්ලමි. එවිට වැටහේවි, මේ තරම් පිරිත්, ගාථා පාඨ, කියැවූවත් ඉන්
බලාපොරොත්තු වන පරිදි යහපතක්, සෙතක්, පලක් සැලසී නැත්තේ, අරුතෙන් තොර ව
කියැවෙන නිසා බව ඉදින්, මෙම සජ්ඣායනාවල සදොස් තැන්, නිදොස් කර ගැනීම
ලහි ලහියේම කරගැනීම ඉතා වැදගත්. ඉතා හොඳින් නිදොස් ලෙස, සීඩී තැටියකට
නංවා ඇති වූද, අවසරයි, ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් විසින්
සජ්ඣායනා කොට, දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින්
නිකුත් කොට ඇත්තා වූ ද මහා සතිපට්ඨාන සූත්‍රය විශේෂ පැසසීමට ලක්විය
යුතු ය.
මෙම ලිපියෙන් මා අතින් තෙරුවනට වරදක් වුණි නම්, “ඕකාස කමාමි භන්තේ”
යැයි ප්‍රකාශ කරමි.
තෙරුවන් සරණින්, ශ්‍රීමත් දළදා සමිඳු පිහිටෙන් සියලු දෙනාම නිදුක්
වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! ධර්මාවබෝධය ලැබේවා!
|