අංගුත්තර නිකායෙන්...
හත්තොටුවේ ඉන්දරතන හිමි
පසුගිය කලාප හා සමිබන්ධයි
අකුසල ධර්ම උපදවන හේතු
අංගුත්තර නිකායේ දුක නිපාතයේ අටවන සතිමිත්ත වග්ගයේ එන සූත්‍ර දහයෙහිම
කියැවෙනුයේ අකුසල ධර්ම උපදින හේතුය. පවිටු අකුසල ධර්ම උපදවන එම හේතු
10 ප්‍රහාණය කිරීමෙන් පවිටු අකුසල් දහම් ද නැතිවන බව පටිච්චසමුප්පාද
න්‍යාය මඟින් පෙන්වා දී ඇත.
1. සනිමිත්තා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා, නො අනිමිත්තා,
තස්සෙව නිමිත්තස්ස පහානා ඒවං තෙ පාපකා අකුසලා ධම්මා න හොත්ති – මහණෙනි,
ලාමක අකුසල ධර්ම සනිමිත්තව (නිමිති සහිතව - කාරණා සහිතව) උපදියි. ආකරණව
නූපදියි. ඒ නිමිත්ත ප්‍රහාණය කිරීමෙන් එම පවිටු අකුසල් දහම් ද නැතිවේ.
මෙසේ පෙන්වා දෙනු ලබන පාපකාරී අකුසල් දහම් උපදවීමට බලපාන හේතු ධර්ම නම්
-
1. නිමිති සහිත වීම - සතිමිත්තා
2. නිදාන සහිත වීම - සනිදාතා
3. හේතු සහිත වීම - සහෙතුතා
4. සංස්කාර (ප්‍රත්‍ය) සහිත වීම - සසංඛාරා
5. ප්‍රත්‍ය සහිත වීම -සප්පච්චයා
6. වේදනා සහිත වීම - සවෙදනා (ප්‍රත්‍ය වූ සම්ප්‍රයුක්ත වේදනාව)
7. රූප සහිතවීම - සරූපා
8. සංඥා සහිතවීම - සසඤ්ඤා
9. විඤ්ඤාණ සහිත වීම - සවිඤ්ඤාණ
10. හේතු ප්‍රත්‍යයෙන් උපන් සංඛත ධර්ම අරමුණු කර ගැනීම - සසංඛතා
පාප අකුසල ධර්ම නිමිත, නිදාන, හේතු, සංස්කාර, ප්‍රත්‍ය, වේදනා, රූප,
සංඥා විඤ්ඤාණ සහ සංඛත ධර්ම නිසාම – ඒ හේතුකරගෙනම උපදින බැවින් මෙම හේතු
නැති කිරීමෙන් පවිටු අකුසල් දහම් නැතිකිරීමට හැකිවේ. නවවන වර්ගය
ධම්මවග්ගයයි. එහි ලොව පවත්නා ධර්ම කාරනා දෙක බැගින් වර්ගීකරණය කරන
ස්වභාවයක් දැකිය හැකි ය.
1. චෙතොවිමුත්ති ච පඤ්ඤාවිමුත්තිච
චෙතොවිමුත්තිය යනු ඵල සමාධියයි. සිත සමාධිගත කරගෙන කෙළෙසුන්ගෙන් මිදීම
(පංචනීවරණයටපත් කිරීම) මෙහිදී අදහස් වේ. ප්‍රඥාව නිසා කෙලෙසුන්ගෙන්
මිදීම පඤ්ඤාවිමුක්ති නම් වේ. එය ඵල ප්‍රඥාව ලෙස අටුවාවේ අර්ථ දක්වයි.
2 පග්ගහොච අවික්ඛෙපොච
ප්‍රග්‍රහය නම් වීර්යයි. උත්සාහයයි. සිතේ එකඟ බව - ඒකග්ගතාව,
නොවිසුරුණු ස්වභාවය අවික්ඛෙප නම් වේ. උද්ධච්චනීවරයෙන් මිදුණු ස්වභාවය
මෙහිදී අවික්ඛෙප නාමයෙනුත් ථීනමිද්ධ නීවරණයෙන් මිදීමපග්ගහ නාමයෙනුත්
දක්වා ඇති බව පෙනේ.
3 නාමඤ්ච රූපඤ්ච
වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණ යන අරූපී නාම ස්කන්ධ සතර ‘නාම’ නම් වේ.
ඉතිරි රූපස්කන්ධය ‘රූප’ නම් වේ. මෙම සූත්‍රයේ ධර්ම කොට්ඨාස පිරිසිඳ
දන්නා ඤාණය (නුවණ) ඉස්මතු කර පෙන්වන ලදී. පංචස්කන්ධය මෙහිදී නාම රූප
ධර්ම යටතේ සංග්‍රහ කර ඇත.
4. විජ්ජා ච විමුත්තී ච
විද්‍යාව නම් ඵල ඤාණයයි. එම ඵල ඤාණය හා සම්ප්‍රයුක්ත (එකට යෙදුණු) ධර්ම
විමුක්ති නම් වේ.
5. භව දිට්ඨි ච විභව දිට්ඨීච
භව දෘෂ්ටිය යනු ශාශ්වත වාදයයි. විභව දිට්ඨි යනු උච්ඡේද දෘෂ්ටියයි.
ත්‍රිවිධ තණ්හා වේ. භව තණ්හා, විභව තණ්හා යනු ද මේ ශාශ්වත හා උච්ඡේද
දෘෂ්ටීන්ගෙන් එළඹි ආශා - ප්‍රාර්ථනාවන්ය.
6. අහිරිකඤ්ච අනොත්තප්පඤච
පවට ලැජ්ජා නොවීම නම් වූ අහිරිකයද පවට නොබිය වන ස්වභාවය වූ අනොත්තප්පය
ද මෙහිදී අදහස් වේ.
7. හිරි ච ඔත්තප්පඤ්ච
පවට ලැජ්ජාවීම හිරියයි. පවට බියවීම ඔත්තප්පයයි.
8. දොවචස්සතා ච පාපමිත්තතාච
අනුන්ගේ අවවාද නොපිළිගන්නා ස්වභාවය (දුර්වච බව) දෝවචස්සතා නම් වේ.
පාපකාරී මිතුරන් ඇසුරු කරන බව පාපමිත්තතා නම් වේ.
9. සොවචස්සතා ච කල්‍යාණ මිත්තතාච
දෙමාපිය, ගුරුවර ආදීන්ගේ අවවාද පිළිගන්නා ස්වභාවය (සුවච) සෝවචස්සතා නම්
වේ. කලණ මිතුරන් ඇසුරු කරන බව කල්‍යාණ මිත්තතා නම් වේ
10. ධාතු කුසලතා ච මනසිකාර කුසලතා ච
දහ අටක් වූ ධාතු පිළිබඳව නුවණින් විමසා දැන ගැනීමේ හැකියාව
ධාතුකුසලතාවයයි. එම අටළොස් ධාතූන්හිම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන
ලක්‍ෂණත්‍රය පවතින බව දැනගැනීමේ, සිහිකිරීමේ මෙනෙහි කිරීමේ හැකියාව
මනසිකාර කුසලතාව නම් වේ.
11. ආපත්තිකුසලතා ච ආපත්ති උට්ඨාන කුසලතා ච
පස්වැදෑරුම් වූද සත්වැදෑරුම් වූද ආපත්ති ස්කන්ධ දැන ගැනීම
ආපත්තිකුසලතාවයයි. දේශනාවෙන් හෝ කර්ම වාක්‍යයෙන් හෝ ආපත්තීන්ගෙන්
නැඟිටීම දැනගැනීම ආපත්තිඋට්ඨාන කුසලතාවයයි.
බුදු සසුනෙහි නිතර සාකච්ඡාවන ධර්ම, අභිධර්ම හා විනය කරුණු පිළිබඳ
සංග්‍රහ කර දැක්වීමක් මෙම නවවන ධර්ම වග්ගයෙන් සිදු වී ඇත. දසවන
බාලවග්ගයේ විශේෂයෙන් විනය කටයුතු පිළිබඳ දැන සිටින හා නොදැන සිටින
පුද්ගලයන් පිළිබඳව කරුණු සාකච්ඡා වේ.
එහි විශේෂය නම් පළමු බාලයාගේ ලක්‍ෂණ දක්වා දෙවනුව පණ්ඩිතයාගේ ලක්‍ෂණ
දැක්වීමයි. එහි දෙක දෙක බැගින් එන සූත්‍ර 20 කි.
බාලයෝ හා පණ්ඩිතයෝ
1. ස්ථවිරවරුන්ගේ (උපසම්පදා වූ ථෙරවරුන්ගේ) භාර (කටයුතු) දහයකි.
“සම්මජ්ජනී පදීපොච උදකං ආසනෙනච ඡන්දපාරිසුද්ධි උතුක්ඛානං භික්‍ඛුගණනා ච
ඔවාදො පාතිමොක්ඛං ථෙරභාරොති වුච්චති” ථෙරභාර දහය නම්, -
1. පොහෝගෙය මැනවින් ඇමදීම
2. ආලෝක කිරීම – පහන් දල්වා
3. දිය (පානීය – පරිභෝජනීය) ගෙනවුත් තැබීම
4. අසුන් පනවා තැබීම
5. කැමැත්ත (පොහොය කර්මයට) ගැනීම (පැමිණීමට නොහැකි වූ තෙරවරුන්ගෙන්)
6. ඇවැත්දෙසා පාරිශුද්ධත්වයට පත්වීම.
7. සෘතුව කීම
8. භික්‍ෂූන් ගණන් කිරීම.
9. භික්‍ෂුණීන්ට අවවාද දීම.
10. ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම.
යන මේ දස කරුණු උපසපන් වූ තෙරවරුන්ගේ භාරයයි. මෙම ථෙරභාරයන් උපසම්පදා
වීමට පෙර මහතෙරවරුන්ගෙන් ආරාධනා හෝ නියම කිරීම් නැතිව නවකයෙක්ව සිදු
කිරීමට යාම අනාගත භාරං වහති “නොපැමිණි බර උසුලන්නේ” නම් වේ. මහතෙර
නමක්ව මෙම කටයුතු දහයට තමන් වහන්සේ ද නොකරමින්, ඊට සුදුස්සන් එහි
නොයොදවමින් සිටීම ආගතං භාරං න වහති “පැමිණි බර නො ඉසිලීම නම් වේ.
මෙසේ නොපැමිණි බර ඉසිලීමත් (තමාට අයත් නොවන කටයුතු කිරීමත්) පැමිණි බර
නොඉසිලීමත් (තමාට අයත් කටයුතු නොකිරීමත්) මෝඩයාගේ ලක්‍ෂණ දෙකකි.
පැමිණි බර උසුලන්නා වූත් නොපැමිණි බර නොඋසුලන්නාවූත් පුද්ගලයා පණ්ඩිත
නම් වේ. ඒ අනුව බාලයෝ දෙදෙනෙකි.
1. නොපැමිණි බර උසුලන්නා - අනාගතංච භාරං වහති
2. පැමිණි බර නො උසුලන්නා - ආගතං භාරං න වහති
පණ්ඩිතයෝ ද දෙදෙනෙකි.
1. පැමිණි බර උසුලන්නා - ආගතං භාර ං වහති
2. නොපැමිණි බර නො උසුලන්නා - අනාගතං භාරං න වහති
තුන්වන සූත්‍රයේ සිට දැක්වෙන බාල (මෝඩ – පවිටු) පුද්ගලයන් මෙසේ ය.
1. නොකැපවූ දෙයෙහි කැපය යන හැඟීම ඇත්තා - අකප්පියේ කප්පිය සඤ්ඤී සිංහ
ව්‍යාඝ්‍රාදී මස් වර්ග භික්‍ෂූන්ට වැළඳීම අකැපය. විනය නීතිවලින්
අකැපයැයි පනවා ඇති දේ කැප යැයි පිළිගැනීම හෝ සිතීම බාල ලක්‍ෂණයකි.
2. කප්පියෙ අකප්පිය සඤ්ඤී- බළල් මස්, කිඹුල් මස් ආදී කැප වූ දෙයෙහි
අකැපය යන හැඟීම ඇත්තා.
3. අනාපත්තියා, ආපත්ති සඤ්ඤී- මහතෙරවරුන්ගෙන් විමසා බලා තම බඩු
බාහිරාදිය සේදීම, පාත්‍ර පිළිස්සීම, කෙස් කැපීම, ගමට පිවිසීම ආදිය
අනාපත්ති වේ.
මෙබඳු අනාපත්තීන් පිළිබඳව “මෙය ඇවැතකැයි” යන ආපත්ති සංඥා ඇත්තා.
4. ආපත්තියා අනාපත්ති සඤ්ඤී - ඉහත කී බඩු බාහිරාදිය සේදීම, පාත්‍රය
පිළිස්සීම ආදිය මහතෙරවරුන්ගෙන් නොවිමසා කරන්නේ නම් ඇවතක් වේ.
එබඳු ඇවැත් පිළිබඳව “මෙය ඇවැතක් නොවේ” යන පිළිගැනීම ඇත්තා.
5. අධම්මෙ ධම්ම සඤ්ඤී – අධර්මයෙහි “මේ ධර්මය” යන හැඟීම ඇත්තා.
6. ධම්මෙ අධම්ම සඤ්ඤී – ධර්මයෙහි “මේ අධර්මය” යන හැඟීම ඇත්තා හෝ එසේ
සිතන්නා - කියන්නා.
7. අවිනයෙ අවිනය සඤ්ඤී – විනය ශික්‍ෂා පිළිබඳව “මේ විනය ශික්‍ෂා නොවේ
යන හැඟීම ඇත්තා.”
8. අවිනයෙ විනය සඤ්ඤී – විනය ශික්‍ෂා නොවන දෙය “මේ විනය පැනවීම්” යැයි
සිතන්නා.
මතු සමිබන්ධයි |