වෑදණ්ඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය
නාත්තන්ඩියේ
පද්මිණී පෙරේරා
කුරුණෑගල මංසන්ධියෙන් හැරී පුත්තලම් මාර්ගයේ ගොස්, නැවත කීනගස්පිටිය
පාරේ කි.මී. 6 ක් පමණ ගිය විට දර්ශනීය සෙල්තලාවක ඉදිවුණ මෙ පින් බිම
හමුවෙයි. එහි යන්නෙකුට පළමුවෙන් ම නෙතු ගැටෙන්නේ සෙල්තල සිරසේ ඉදිවූ,
සුරගඟෙන් මුදා හල දිය බිඳුවක් සේ ධවල පැහැයෙන් බබළන චෛත්‍යයයි.
සෙල් තලාව මත ඇති චෛත්‍ය |
සංඝ පරම්පරා පහකට පසු මේ විහාරයේ වත්මන් විහාරාධිපති වන්නේ
ශාස්ත්‍රවේදී පූජ්‍ය වෑදණ්ඩේ මේධංකර ස්ථවිරයන්ය.
පැරැණි බුදු මැදුර ඇතුළත |
සොඳුරු වෙල්යායක් අසල, පිහිටි ගල්තලාවක් මත ඉදිව ඇති මෙහි පැරණි බුදු
මැදුර මහනුවර යුගයට නෑකම් කියන බව එහි සිතුවම් හා බුදු පිළිම නිර්මාණය
කර ඇති ආකාරයෙන් පිළිබිඹු වේ. වසර 146 ක් පමණ පැරණි මෙම බුදු මැදුර
ගල්තලාව මත ඉදිවී ඇති අතර මහනුවර යුගයේ ගෘහ නිර්මාණ අපට සිහිපත් කරයි.
මෙ ගොඩනැගිල්ල ශ්‍රී සුගතාරාමයේ ඉපැරණි බව විදහා දක්වන සංකේතයක් බදුය.
විහාර භුමියේ ප්‍රෞඩත්වයට ද එය බලපායි. මෙම බුදු මැදුර ආරම්භ වූ
කාලවකවානුවේ විහාරාධිපති වූයේ පූජ්‍ය හිදව ශි‍්‍ර සරණංකර හිමියන්ය. උන්
වහන්සේ මේ විහාරස්ථානයේ ආරම්භක සංඝ පිතෘ වූහ. තුරුලතාවන්ගෙන් ගැවසී
විහඟ දරුවන්ට රජ දහනක්ව පැවති මේ බිම පුදබිමක් බවට පත් කරන ලද්දේ
උන්වහන්සේ ය.
වසර 144 ක් පමණ පැරණි චෛත්‍ය සුදෝ සුදු පැහැයෙන් ඈතට දිස්වන්නේ සැඳෑහැ
සිත් පහන් කරවමිනි. කළු ගල් පාදම මත ඉදිකර ඇති මේ චෛත්‍යයේ නිර්මාතෘ
වූයේද හිදව ශ්‍රී සරණංකර හිමියන් ය. ප්‍රමාණාත්මක වශයෙන් අති සුවිශාල
නොවුවද මේ චෛත්‍ය ගම්මානයට ම ආශිර්වාදයකි. සෙල්තලාවේ උස්ව ඉදිවී තිබීම
නිසා එය ඉතා දුරකට ද මනරම් දසුනකි.
ධර්ම ශාලාව |
මෙහි පැරණි ධර්මශාලාව ද පැරණි ගෘහ නිරමාණ ශිල්පී සම්ප්‍රදාය සිහිපත්
කරවන අතර එය ඉදිවී ඇත්තේ පූජ්‍ය හිදව ශ්‍රී සරණංකර හිමි සමයේ ක්‍රි.ව.
1882 ට පෙර ය. එකල අවට විහාරස්ථානවල පැවති ධර්මශාලාවන්ට වඩා
විශාලත්වයෙන් යුක්ත ය.
ශ්‍රී සුගතාරාම විහාරයේ නව බුදු මැදුර අතිශයින්ම මනස්කාන්ත ය. විචිත්‍ර
ය. බුදු බැතිය දනවන සුළු ය. දෙපස පහන් ටැම්වලින් යුතු ශෛලමය පියගැට පෙළ
ඔස්සේ මකර තොරණ, යටින් පියමංව නව බුදු මැදුරට පිවිසිය හැක. නෙතු සිතු
අමා දහරින් නිවා සනහාලන, සූවිසි විවරණ දැක්වෙන පිළිරූ මෙන්ම අටවිසි
බුදුවරුන්ගේ ප්‍රතිමා ද ඒ අතර වේ. මෙම බුදු මැදුරේ සුවිශේෂී වූ අලංකාර
විශේෂ දසුන් රැසකි. විහාරයට ඇතුළුවන සැනින්ම මකර තොරණ සහිත දොරටුව නෙතු
ගැටෙයි. එසැනින්ම සිත් සතන් ආකර්ෂණීය වේ. සිදුහත් කුමරුගේ උපතේ සිට ළමා
කල සියලු සිදුවීම් නිරූපණය කරන ප්‍රතිමා විශේෂත්වයකි.
පසෙකින් ඇති ධර්ම ශාලාව අභියස කළුගල් පොකුණ |
1956 වර්ෂයේදී නිම කරවන ලද නව බුදු මැදුරේ නිර්මාතෘවරයාණන් වූයේ අපවත්
වී වදාළ පූජ්‍ය කන්දේගෙදර සරණපාල හිමිපාණන් ය. මෙම බුදු මැදුර තුළ ඇති
අනිකුත් දසුන් අතර හිඳි පිළිම, හිටි පිළිම, ආදියට අමතරව එළාර, ගැමුණු
යුද්ධයේ අවස්ථා අතරට අපව මනසින් කැඳවාගෙන යන ප්‍රතිමාවන් ද තිබීම විශේෂ
වේ.
බෝධීන් වහන්සේ වෙත යන පෙත් මඟ |
එලෙසින්ම බුදු සිරිතේ විවිධ අවස්ථාවන් විදහා දැක්වෙන අපූර්ව
ප්‍රතිමාවන්ට අමතරව බුදු බැතිය දනවන සිතුවම් ද බිතු පුරා නිර්මාණය කර
ඇත. පෙරදා නව බුදු මැදුර විවෘත කළ අවස්ථාවේ බුදු පිළිම ආවරණ ලෙස දමන ලද
විසිතුරු තිර රෙදි පවා ඒ අයුරින්ම පවිත්‍රව පවතින අතර තම ගුරු හිමියන්
විසින් දායාද කළ ඒ සියලු දෑ ඉතා බැතියෙන් සංරක්ෂණය කර තිබීමට
විහාරාධිපති හිමියන් දරන වෑයම බෙහෙවින් ප්‍රශංසනීය වේ.
ද්‍රෝණ බමුණා සර්වඥ ධාතුන් වහන්සේලා බෙදා හරින දසුන නිරූපිත ප්‍රතිමා
සැබැවින් නෙතු බොඳ කරවන තරම්ම සංවේදී වන්නේ ඒවා සජීවි ආකාරයටම නිර්මාණය
කර තිබීම නිසා යැයි පැවසීම වරදක් නොවේ. නව බුදු මැදුර පුරා ඇති ජාතක
කතා නිරූපණයන් බලන විට බොදු තක්සලාවකට පැමිණියාදැයි සිතෙන තරමටම
පරිපූර්ණ ය. මතු බුදුවන මෙතේ බෝසතුන් සංකේතවත් කරන නාථ දෙව්රුව නිසලව
හිඳීනයුරු මනස්කාන්තය. ඉතා සොඳුරු පරිසරයක ඉහළින්ම පිහිටි මේ
විහාරස්ථානයේ අවට පරිසරය ද බෙහෙවින් මනරම්ය. තුරුලතාවන් ගෙන් සපිරි
වෙහෙර බිම, ලේනුන්ට, විහඟුන්ට අපූරු තෝතැන්නක්ව පවතී. මලින් පිරි
තුරුලතා සිහිලස කැඳවයි.
පුදුබිමේ භික්‍ෂූන් වහන්සේ |
වෙහෙර බිමේ ස්වාභාවික කළු ගල් පොකුණු දෙකක නිරන්තරව සුපිපි ඇති රතු
ඕලු, නෙතට පි‍්‍රය දසුනකි. උදා හිරු කිරණින් විකසිත කුසුම් පිරි ඒ
පොකුණ, කවියන්ට ද හොද නිමිත්තක් වනු නො අනුමානය.
නෙතු සිතු සනහන, සොඳුරු පරිසරයක පිහිටි මේ පුද බිමේ වසර 146 ක් පමණ
පැරණි සංඝාවාසය ගරා වැටෙමින් පවතින අතර නව සංඝාවාසයක් තැනීමේ කාර්යය,
විහාරාධිපති හිමි ඇතුළු දායක පිරිස ආරම්භ කර ඇත. සැබැවින්ම එය බලවත්
අවශ්‍යතාවයකි.
|