දුක ගෙන දෙන දුක
ශාස්ත්‍රපති
වසන්ත තිලකරත්න
විශ්‍රාමික ගුරු උපදේශක
දුක යනු ගත සිත පෙලෙන ගතියයි. ගත රිදුමක් වේදනාවක් ඇතිවන්නේ නම් එතන
දුක හටගනී. සිතට රිදුමක් වේදනාවක් කලකිරීමක් ඇතිවන්නේ නම් එතනද දුක
හටගනී.
අපට දුක ගැන ප්‍රථමයෙන්ම දැනගන්න ලැබෙන්නේ ධම්මචක්ක පවත්තන සූත්‍රය
ඇසුරෙනි. (එය ලෝකයට ප්‍රථම හඳුන්වා දීම බව එම යුගයේ ඇදහිලි විශ්වාස ගැන
විමර්ශනය කිරීමේදී පෙනේ.)
අන්ත දෙකක ජීවත්වන මිනිසා නිරන්තරයෙන්ම ත්‍රිලක්‍ෂණය මුල් කොට යැපෙයි.
දුක ගැන මනා විග්‍රහයක යෙදෙන බුදුන් වහන්සේ ඉපදීමේ පටන් මරණය දක්වා
දිරාපත් වීම අබල දුබල වීම ලෙඩවීම විවිධ වෙනස්වීම් දුක බව හඳුන්වා දුන්
සේක. මේ අනුව අනිත්‍යය දුකකි. කායික විග්‍රහයට අමතරව සමාජ විග්‍රහයක
යෙදෙමින් ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රසන්න නොරුස්සන අය සමඟ එක්වීම
දුකක් සේ වදාළ සේක. මානසික විග්‍රහයට අනුව කැමති දේ නොලැබීම දුකක් බව ද
උන් වහන්සේ වදාළ සේක.
කෙටියෙන් සඳහන් කරමින් මෙම පංචස්කන්දයට ලක් වෙන සියලු දේ දුකක් බව වදාළ
සේක. කිසිවක් ඉතිරි නොකොට තව අයකුට එකතු කිරීමකට ඉඩ නොතබා ධම්මචක්ක
පවත්වන සූත්‍රයේ එය මනාව විස්තර කර ඇත.
අපට ලැබෙන සියල්ල දුක නම් වැඩ කිරීමෙන් පලක් නැතැයි යමකු පවසාවි.
අශුභවාදීව සිතීම නොව සත්‍ය මෙය යැයි වටහාගෙන පැවැත්ම සඳහා කටයුතු කිරීම
යහපති. ඉපදෙන සෑම අයකුම ජීවත් විය යුතුය. ජීවත් වීමට මගක් ඇවැසිය. එය
පුහුණුවක් විය යුතුය. එයට ශාස්ත්‍රීය දැනුම ඇවැසි වේ. ඒ අනුව සැම
ලෝවැසියෙක්ම දැනුම පුහුණුව ලබා ගනිත්.
දුක දැනුම අසලින් තබා ජීවන පැවැත්මට උර දිය යුතුය. ඉන් ලැබෙන ඵල
මොනවාද? සියල්ල අනිත්‍ය නම් දුක මූලික වේ නම් එක එකා පරයන තරග කුමට ද?
තරග නැතිව තම කුසලතාවන් පෙන්වීමට නොහැකිද? සත්‍ය විනිවිද දකින්නා
ක්‍රෝධය මානය හීන කර ගනී. ආත්මාර්ථය ලිහිල් කරගනී. දැඩි ලෝභය සුළු
ආශාවන් දක්වා අඩුකර ගනී. මේ නිසා වඩා හිතවත් වූ සමාජයක් ගොඩ නැගේ.
මානසික තත්ත්වයන් සිතට දුකක් ඇතිවීමට බොහෝ සේ බලපායි. එයට මූලික වන
කරුණු මේවා ය.
* බලාපොරොත්තු කඩවීම
* ඊර්ෂ්‍යාව
* ඇල්ම වැඩිකම
* තමාගේ ඇල්මේ ප්‍රමාණයට දෙවැන්නාගෙන් ප්‍රතිචාර නොලැබීම
* ශාරීරික වේදනාවන්
* හදිසි පීඩනය
*දැඩි ආශාව
අනිත්‍ය දුක්ඛ අනත්ත මූලික වේනම් දුක්ඛ යනු සියල්ලගේම මූල බීජය ද?
අපේ භාෂා ව්‍යවහාරයේ දුක ළඟට සැප තිබේයැයි පැවසේ. බොහෝවිට අපි දුක
ලැබුනොත් සැප ලබනවා යැයි සිතමු. සැප යනු විඳින හෝ විඳීමට බලාපොරොත්තු
වන දෙයයි. විඳින මොහොත හැර ඊළඟ මොහොත පෙර පරිදිම නොලැබුනොත්
බලාපොරොත්තු සුන්වීමකි. සමහර විට එකම වින්දනය එකම විදියට ලැබීම හෝ
පැවැතීම සතුටට පත් නොවන කාරණයකි.
මේ අනුව අනිත්‍ය දුක්ඛ ඥාති සබඳකමක් පවත්වති.
සැපයයි කියන්නේ ක්‍ෂණික ප්‍රීතියකටය. එය සිත පිනා යවයි. බොහෝ
ඉන්ද්‍රියන් උද්දීපනය කරයි. නමුත් එහි පැවැත්ම සුළු මොහොතකි. අපි එම
සතුටු මොහොත නැවැත නැවැත ආශාවෙන් මෙනෙහි කරමු. අතුරු ඵලයක් වශයෙන්
ඇතිවන ප්‍රීතිය අපි සැපත වශයෙන් සළකමු.
ඔබ රසවත් යැයි සිතන කෑමක් කනවා යැයි සිතන්න. අවදිවුන පසිඳුරන්ගෙන් ඔබ
පළමු ‘කට’ (මුඛයට ගන්නා කොටස) ඉතා රසවත් බව හඟවමින් බුදියි. එවැනි
කොටස් කීපයක් ගිල දැමීමෙන් පසු ලබන රසය පළමු රසයට වඩා අඩු බවක්
පෙන්වයි. ආර්ථික විද්‍යාවේ හීනවන ඵල න්‍යාය යනුවෙන් හඳුන්වන්නේ ද
මෙයමැයි. නමුත් කෑම අවසන් වූ පසු අයකු ඔබගේ ආහාර ගැන විමසුවොත් එය ඉතා
රසවත් යැයි ඔබ කියනු ඇත. එය සමස්ත රස වින්දනයයි. ආහාර ගැනීමෙන් පසු
ඔබගේ රස නහර තුළ එය නැත. එය රැඳී ඇත්තේ ඔබගේ මනස තුළයි. ඔබ රසයැයි
කියන්නේ ඔබ මනස විසින් උසිගන්වනු ලැබූ සිතිවිල්ලට අනුවය.
මේ වායුගෝලයේ (ජල තලය, පොලෝ තලය, වායු තලය) තුළ සිටින සියලුම
සත්වයින්ටම මෙය සාධාරණ වේ. පළමුව උරාගත් හුස්ම රැල්ල අවසන් වශයෙන් හෙලන
තුරුම සියලු සත්වයින් මේ නියාම ධර්මයට යටත්වේ.
අනිත්‍ය දුක්ඛ අනත්ත බුදු දහමේ මූලික ඉගැන්වීමයි. සියල්ල මේ සිද්ධාන්ත
මතම යැපේ. අනිත්‍ය යනු වෙනස් වීමයි, ස්ථිර නොවීමයි. එසේනම් දුකත් එම
නියමයට ලක්විය යුතුය. එය දුක නැතිකිරීමේ මග වශයෙන් දහමේ සඳහන් වේ.
චතුරාර්ය සත්‍ය තුළ සාකච්ඡා වන්නේ මේ පිළිබඳවයි.
‘ මා දුටු දහම’ ලියන පරකන්දෙණියේ සෝමපාල මහතා අඳුර ලෝකයේ පවතින දහමක්
බවත් ආලෝක කිරණ එම අඳුර මත පතිතවීමෙන් අඳුර ආලෝක වේ. ආලෝක කිරණ වල
ශක්තිය අනුව අවට ආලෝක කරයි. අපි එයට අඳුර පලා ගියායැයි පවසමු. සත්‍ය
නම් අඳුර මත ආලෝකය පතිත වීම පමණකි. ආලෝකය ආපසු ගත් කල නැවැත අඳුර ගලා
එයි.
අප සොයන සැපත විවිධ භාණ්ඩ, දර්ශන, ශ්‍රවණ කණ්ඩ සහ ස්පර්ශ වලින් අපි
ලබන්නෙමු. සැපයැයි අප කියන්නේ එම මොහොතේ පැවතුණ දෙයට විරුද්ධ ‘භාවයක්’
ලබන නිසාය. නැතිනම් අපේ බලාපොරොත්තු යම් තරමකට සපල කෙරෙන නිසාය.
මේ සෑම සිද්ධියක්ම මා පෙර සඳහන් කළ ධර්මතාවයට යටත් වේ. රසය යනු අප
විසින් මවා ගත් මායා සිතිවිල්ලක් මෙන්ම පලා ගිය ආලෝකය අඳුර විසින් ජය
ගෙන ඇති සේම සැප සොයන අය දුක මූලික ව පවත්නා බව පසක් කරගත යුතුය.
බුදු දහම සසර කෙටිකර ගැනීමට දිරිදෙන්නාක් මෙන්ම බුදු සුවඳ ජීවන සුවඳට
එක් කරගත හැකිවීම බුදුදහමේ විශේෂ ලක්‍ෂණයකි. විශ්වයේ සියලු මානවකයිනටම
දුක අනිත්‍ය වීම සාධාරණ කරුණක් ය. අද විවිධ විශ්වාස ඇදහිලි ක්‍රම ලෝකයේ
පවතී.
ඒවා එකිනෙකට වෙනස් වූවත් බුද්ධිමත් ජනයා කිසිවිටකත් මෙය ප්‍රතික්‍ෂේප
නොකරති.
නොගැඹුරු වැල්ලෙන් පටන් ගන්නා සාගරය ක්‍රමානුකූලව දියඹ කරා දිවයයි. අප
ද සසර කෙටිකරගැනීමේ මග වැඩිය යුත්තේ ද එපරිද්දෙනි.
එදිනෙදා මුහුණ දෙන දේ (අභියෝග) දුක මූලික කරගෙන ඇතිබව සිතන්නේ නම් ඔබ
මා පෙර සඳහන් කළ සමාජගත පුද්ගලයකු වේ. සමහර විට ඔබ විශාල මුදල්
ප්‍රමාණයක් බොහෝ දේ සඳහා වියදම් කරනවා ඇත. දුක ඉගැන්වීම මූලික කරගතහොත්
ජීවිතය සැහැල්ලු වේ.
දහම, සසර කෙටිකර ගැනීමට පහුරක් කරගත හැකිය. එමෙන්ම දෛනික අභියෝග වලින්
මිදීමට ඉනිමඟක් ද කරගත හැකිය.
සම්මා සම්බුදුසරණයි |