ඉල් අව අටවක 2010.11.28
සමාජය වෙනස් කිරීමට නම් ...
විසිවන සියවසෙහි විසූ විශිෂ්ට දාර්ශනියකු වන ක්‍රිෂ්ණමූර්ති පළ
කළ අදහසක් අද දින කතු වැකියේ ආරම්භයට යොදා ගැනීම මැනවැයි
සිතූවෙමු. එතුමා මෙ සේ කියා තිබේ.
“පුද්ගලයා කෙ බඳු ද සමාජය ද එ බඳු ය. පුද්ගලයා තව කෙනෙකු සමඟ
ඇති කරගන්නා සබඳතා ව ම සමාජ ආකෘතිය වන්නේ ය. පුද්ගලයා නො
ඉවසනසුලු නම්, ක්‍රෑර නම්, තරගකාරී නම් අපට නැණවත් සමාජයක්
බිහි කළ නො හැකි ය. සමාජය යනුවෙන් හැඳින්වෙන්නේ පුද්ගලයාගේ ම
පුළුල් වීමකි. අප ගේ ම ඉදිරියට නෙරායෑමකි. සමාජය යනු කුමක් ද?
සමාජය යැයි කියන්නේ අපේ සබඳතාවලට යි. සමාජය යනු අපෙන් වෙන් වූ
දෙයක් නො වේ. එ බැවින් සමාජ සම්බන්ධතාවන් පිළිබඳ අවබෝධයක් නැති
ව වර්තමාන සමාජ ආකෘතිය වෙනස් කරන්නට යෑම, පවතින සමාජය ම සුළු
වෙනස්කම් සහිත ව තව දුරටත් පවත්වාගෙන යෑමකි. වර්තමාන සමාජය
හොඳට ම කුණු වූ එකකි. එය තවත් දූෂණය වෙමින් සැහැසි වෙමින්
පවතී. ඒ තුළ හැම විට ම අසහනය, ගැටුම් සහ වේදනා පිරී තිබේ. අපේ
ම කොටසක් වන මේ සමාජය තුළ මූලික වෙනසක් ඇති කරන්නට නම්
පළමුවෙන් අප තුළ අප ගැන ම අවබෝධයක් තිබිය යුතු ය.”
මේ ප්‍රකාශය කියවන අප පාඨකයන් තුළ ප්‍රශ්න කිහිපයක් මතුවිය
හැකි ය. සමාජය හොඳට ම කුණු වී ඇතැයි යන ප්‍රකාශය අප සමාජයටත්
අදාළ ද? සමාජය කුණු වී ඇතැයි හඳුනා ගන්නේ කෙ සේ ද? කුණු නො වූ
සමාජයක් මිහිපිට නොමැති ද? එ සේ කුණු වූ සමාජයක් යහපත්
තත්ත්වයට පත්කළ හැකි ද? සමාජයේ වෙසෙන බහුතරයකට තමා ගැන
අවබෝධයක් ලබා දී සමාජය වෙනස් කිරීමට සිතීම මිරිඟුවක් නො වේ ද?
මෙයින් අදහස් වන්නේ යහපත් සමාජයක් කිසි දා පැවතිය නො හැකි බව
ද?
මේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු සොයා ගැනීම පහසු කාර්යයක් නො
වේ. එහෙත්, තමා වෙසෙන සමාජයේ කුණුවීමට තමා ද වගකිව යුතු බව මේ
ප්‍රකාශයෙන් අවබෝධ කැර ගැනීම පහසු ය. එම ප්‍රකාශයේ ඇති
වැදගත්කම එය යි.
අප වෙසෙන සමාජය කුණු වී ඇති ප්‍රමාණය, පළමු වසර සඳහා ජනපි‍්‍රය
පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය ඇසුරෙන් තේරුම් ගත
හැකි ය. අධ්‍යාපනයේ පරමාර්ථය යහපත් පුද්ගලයකු නිර්මාණය කිරීම
වුව ද එය බොහෝ විට ආරම්භ වනුයේ අසත්‍ය, වංචාව හා අල්ලස පදනම්
කොට ගෙන ය. දරුවකු ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමවුපියන් උපරිම කැප
කිරීම කළ යුතු බවට විවාදයක් නොමැත. එහෙත්, තම දරුවා පවා වංචනික
උපාය මාර්ගයක කොටස් කරුවකු කිරීම කිසිසේත් අනුමත කළ හැකි ද?
සමාජය දූෂිත නිසා වංචනික උපක්‍රම මඟින් දරුවා ජනපි‍්‍රය පාසලකට
ඇතුළත් කිරීමට අකමැත්තෙන් හෝ තමන්ට සිදු වී ඇතැයි මෙහි දී
නිදහසට කරුණක් ලෙස කියනු අපි අසා ඇත්තෙමු. මෙය, අවංක භාවය
පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නො ව තමා පිළිබඳ ව නිවැරැදි අවබෝධයක්
නොමැතිකමේ ද ප්‍රශ්නයකි. පුද්ගලයකුට තමා පිළිබඳ අවබෝධය කෙ තරම්
වැදගත් ද යන්න හා එය ඉතා විරල අත්දැකීමක් බව අවබෝධ කැර ගැනීම
සඳහා හේතු වන අපූරු සිද්ධියක් අපට මෙහි දී සිහිපත් විය. ලංකා
බැංකුවේ පනස්වන සංවත්සරය නිමිත්තෙන් පළ කළ සමරු කලඹට අප හිතවත්
ප්‍රේමසර ඈපාසිංහ මහතා විසින් ලියන ලද ‘ගීතයක උපත’ නමැති
ලිපියෙහි සඳහන් මේ සිද්ධිය එම උදාහරණය යි. මෙය සිදු වී ඇත්තේ
ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කළ ගුවන්විදුලි වැඩසටහනක්
වන ආරාධනා ස්වර දැහැන සඳහා සුනිල් සාන්තයන් සහභාගී කැර ගැනීමට
ප්‍රේමසර ඈපාසිංහ මහතා ඔහු ගේ නිවසට ගිය අවස්ථාවක දී ය. එහි දී
සුනිල් සාන්තයන් මෙ සේ කියා තිබේ.
“මහත්තයල ගේ ආරාධනයට බොහෝ ම ස්තුති යි. දැන් මට ඉස්සර වගේ ස්වර
අල්ලල ගීත ගයන්න බැහැ. ලංකා බැංකුවේ ආරාධනා වැඩසටහනට මා
දක්වන්නේ අසීමිත ආදරයක්, ගෞරවයක්. ශ්‍රී ලංකා ගුවන්විදුලි
සංස්ථාවෙන් ප්‍රචාරය වන ඉහළ ම සංගීත වැඩසටහනක් හැටියට එය මා
සලකනවා. ඒ නිසා ඒ වගේ උසස් මට්ටමකින් යුත් වැඩසටහනකට සහභාගි
වෙලා එය පහත දමන්නට මා පංගුකරුවකු වන්නට සූදානම් නැහැ. ඇත්තෙන්
ම මා වැටී සිටින අසරණ තත්ත්වය සලකා බලන විට ඔබ දෙපළට මා ස්තුති
වන්ත වෙනවා. මට දහසින් බැඳි පියලි දෙන්නට උත්සාහ කළත් මා
කනගාටුවෙන් එය ප්‍රතික්‍ෂේප කරනවා. මං කවද හරි මැරෙන්න ඕන
සුනිල් සාන්ත හැටියට යි. සල්ලි හොයන්න ගිහිල්ල මගේ නම කැළැල්
කරගන්න මට බැහැ.”
මෙය, ක්‍රිෂ්ණමූර්ති කියූ, තමා තුළ තමා ගැන ම තිබිය යුතු
අවබෝධය නො වේ ද? එහෙත්, මේ ආකාරයට තමා තුළ තමා ගැන අවබෝධයක්
සහිත පුද්ගලයන් කුමන ජන සමාජයක වූව ද ඉතා විරල ය. පුළුල්
අධ්‍යාපන ඉඩ ප්‍රස්තා, නවීන උපකරණ භාවිත කිරීමේ පහසුකම්,
තොරතුරු ගලායෑම වේගවත් වීම, දියුණු සෞඛ්‍ය සේවා ආදිය නිසා මානව
ශිෂ්ටාචාරයේ වරප්‍රසාදිත ම මිනිසා ජීවත්වන වත්මන් යුගයේ මේ
තත්ත්වය පැවැතීම කනගාටුවට කරුණකි.
එ පමණක් ද නො ව තමා තුළ තමා ගැන අවබෝධයක් ඇති කැර ගැනීම සඳහා
අවශ්‍ය ඥාන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ විසින් ලොවට හඳුන්වා දී
වසර දෙදහස් හයසියයක් එළඹෙන්නට ආසන්න ය. මෙ බඳු වාසිදායක
පසුබිමක් තිබිය දී කුණු වූ සමාජයක ජීවත් වීමට අපට සිදු වූයේ
ඇයි? ඒ අන් කිසිවක් නිසා නො ව අප ගේ ම වරදිනි.
තමා ගේ වැරැදි ආකල්ප, සබඳතා හා අරමුණු හඳුනා ගැනීම යනු අන්
කිසිවක් නො ව අයහපත් සමාජය වෙනස් කිරීමේ ආරම්භය යි. |