UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්මුති මරණය සහ පුනර්භවය

මෙම සූත්‍රයේම, හත්ථි සාරිපුත්ත චිත්‍රයන් අමතන බුදුරජාණන් වහන්සේ “ යම් වේලාවක ඕලාරික ශරීරය නම් තියෙන්නේ ඒ වේලාවට මනෝමය ශරීරයත් අරූපි ශරීරයත් ඇතැයි ව්‍යවහාරයට නොඑන ඉව වදාරත්. යම් වේලාවක මනෝමය ශරීරය නම් තියෙන්නේ ඒ වේලාවට ඕලාරික හා අරුපී ශරීර ඇතැයි ව්‍යවහාරයට නොඑයි. අරූපී ශරීරය සම්බන්ධයෙන්ද එසේමය .” ඒ අනුව යම් ශරීරයක් පිළිබඳ ව්‍යවහාරික සංඡානනය සංඥා වේදයිත බව පෙනේ. මනෝමය කාය රූපී වුවත් සූක්‍ෂම බැවින් පංචේන්ද්‍රියන්ට ගෝචර නොවේ.

ඕලාරික කයේ අනුරූපනයම ගන්නා බැවින් මනෝමය කාය සංඥාවෙන් සිටින විට භෞතික ශරීර සංඥාවම ගනී. සමහරුන් ශල්‍ය කර්මවලට භාජනය කෙරෙන අවස්ථාවලදී මනෝමය කාය ඕලාරික කයෙන් වෙන්වී බැහැර සිට එම කටයුත්ත දෙස බලා සිටි අවස්ථා ගැන වාර්තා අපට අසන්නට ලැබේ. දැහැන් ගත යෝගාවචරයන්ටද මනෝමය කාය, ඕලාරික කයෙන් වෙන් කර ගතිකභාවයට පත් කළ හැකිය. එවැනි අත්දැකීමක් ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රෙ‍්‍රය හිමියන්ගේ් පොතක සඳහන් වේ. සවිවර කඩදාසියකට උරාගත් තීන්ත යම්සේ එහි සමස්තයේ විසිරී පවත්නේද එලෙස අපගේ මනෝමය කාය භෞතික ශරීරය සමඟ පවතින්නේය.

අරූපී කාය නම් කිම? අටවිසි රූපධාතුන් නොපිහිටි එය වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, යන සතර ස්කන්ධයයි. රූප,වේදනා, සංඥා, සංඛාර ස්කන්ධයන්ගෙන් තොරව විඤ්ඤාණයාගේ යාමක්, ඊමක් ,පැවැත්මක් මම පනවමියැයි කියා කිසිකලෙකවත් නොවන්නේයැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. විඤ්ඤාණය යම් තැනකද එතැන රූප, වේදනා, සංඥා , සංඛාර හතර පැවතිය යුතුමය.

මේ අනුව අරූපි කයට රූප කායෙන් තොරව පිහිටීමක් නැත. මරණයේදී මෙකි මනෝමය රූපී කයත්, අරූපී කයත් යන දෙක ඕලාරික ශරීරයෙන් වෙන්වීමක්, නික්මීමක්, ඉවත්වීමක්, අත්හැරීමක් වෙයි. මෙය සම්මුති මරණයයි දැක්වෙන්නේ කුමක් නිසාද?

මේ කාරණා සැලකිල්ලට ගෙන, කෙනෙකුගේ දෘෂ්‍ය මරණය හෙවත් සම්මුති මරණය වෙතට අවධානය යොමු කරමු. මෙතැනට ඉතා වැදගත් ධර්ම කාරණයක් වච්ඡගොත්තයන් අරභයා දේශනා කළ කුතුහලසාලා සූත්‍රයෙන් (සං.නි.4 – සළායතනවග්ග) ගත හැකිය.

ගිනි මැලයකින් නිකුත් වෙන ගිනි පුපුරක් දුරකට යන්නේ කුමක් උපාදානය කොටදැයි වච්ඡගොත්තයෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට එහ ගිනි පුපුර වාතය උපාදානය කොට ඔබ මොබ යන්නේයැයි උන්වහන්සේ වදාළහ. (වාතේන දුරම්පි ගච්ඡති තමහං වාතුපාදානං වදාමි ) මේ පිළිබඳ විවරණයක් කරන හේන්පිටගෙදර ඤාණසීහ හිමියෝ උපාදනය යනු අල්ලා ගැනීම නොව අල්ලාගන්නා දෙයැයි පෙන්වා දෙති. (බෞද්ධ දර්ශනය , 148 , 149 පිටු) අනතුරුව වච්ඡගොත්ත ඇසූ පැනය ඉතා වැදගත්ය. සත්ත්වයාගේ මරණයේදි ස්වකීය ඕලාරික කය අත්හැරියේ වේ නම් වෙනත් කයකට බැසගත්තේ නොවේ නම් ඒ ඕලාරික කයෙන් වෙන් වූ විඤ්ඤාණය කුමක් උපාදානය කොට පවතින්නේද යනු ඒ ප්‍රශ්නයයි. ඊට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ මරණයේදී සත්ත්වයා එසැණෙකින් අතොරක් නැතිව උපතක් ලබන්නේයැයි වදාළේ නොවේ.

වෙනත් කයක් වෙත ඉහත අවස්ථාවේදී නොගියේ නම් පුර්ණ ඕලාරික කයෙන් නික්ම ගිය විඤ්ඤාණය තණ්හාව උපාදානය කොට පවතින්නේ යැයි වදාළහ. (ඉමංච කායං නික්ඛිපති, සත්තෝච අඤ්ඤාතරං කායං අනුප්පන්නෝ හෝති, තමහං තණ්හූපදානං වදාමි)

පෝනෝභවිකා, නන්දිරාගසහගතා, තත්‍රතත්‍රාභිනන්දනි යන ලක්‍ෂණ තුන තණ්හාවේ ඇති බවද, තණ්හාව ඇලෙන ලාටුවක් සේයැයි ද, පුනර්භවයක් ඇති කිරිමේ හැකියාව තණ්හාවේ ඇතැයිද (පෝනෝභවික) තවත තැනෙක දැක්වේ. වච්ඡගොත්ත වෙත දුන් පිළිතුර තුළ ඉතා ගැඹුරු දහමක් ඇතුළත් බව පෙනේ.

ඕලාරික කය අත්හල සවිඤ්ඤාණක අරූපීකය, වෙනත් කයක් ගෙන උපතක් නොලැබුයේ නම් ඒ සමඟ නික්මුණු රූපී මනෝමය කය සමඟ තණ්හාව උපාදානය කොට පවතින්නේය යන්න මේ අනුව පිළිගත හැකිය. “ගන්ධබ්බ “ පර්යාය නාමයෙන් හඳුන්වනු ලබන්නේ මේ ද්වයතා සම්බන්ධතාව නොවේද? තණ්හාව මේ රූපී, අරුපී උභය කායන් බැඳ තබන යොතයි. මෙම බැඳීම පිළිබඳ පැහැදිලි විස්තරයක් කොට්ඨිත සූත්‍රයේ (ඛුද්.නි.) එයි.

මේ අනුව විඤ්ඤාණයේ (නාම) පැවැත්මට අවශ්‍ය රූපධාතුව වන්නේ මරණයේදී අත්හළ ඕලාරික කයේ රූපනයම ගත් මනෝමය කයයි. ඒ නිසා ගන්ධබ්බයාට ඕලාරික කාය සංඥාවම පවතී. මෙය තවත් උත්පත්ති භූමියක්ද නොවේ. අන්තරාභවයක්ද නොවේ. ඕලාරික ශරීරය සහිත සත්ත්වයාද මේ නභෝ ගර්භයේම රැඳී සිටින්නෙකි. එයින් නික්මුණු මනෝමය හා අරූපි කායද්වයද නභෝගර්භයේම පවතින්නේය යන්න පිළිගත හැකිය. තවත් කයකට බැස ගත්තේද නොවේ. ඕලාරික කය අත්හළ බැවින් මිය නොගියාද නොවේ. චුති පටිසන්ධි ද්වය (මෙතැන හා එතැන) සාධනය නොවු බැවින් මිය ගියාද නොවේ. ඒ නිසා මේ මරණ ස්වභාවය සම්මුතියෙන් ගෙන බුදුරජාණන් වහන්සේ ඊට සම්මුති මරණයැයි වදාළ ලෙස ගැනීම වරදක් නොවේයැයි සිතමි. අරූපී කයත් රූපී වූ මනෝමය කයත් තණ්හාව උපාදානය කොට පවතින්නේයැයි කියූවත්, ඇත්තවශයෙන්ම එය ක්‍ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් පවතින නාම රූප සන්තතියක්මය යන්න අමතක නොකළ යුතුය. මෙකී ගන්ධබ්බයාගේ චිත්ත පරම්පරාව වනාහි සම්මුති මරණයට පෙර වු චිත්ත සන්තතියේම විස්තීරණයකි. එනිසා හෙතෙම ඒ ස්වරූපයෙන්ම එහෙත් අද සිට සිටින්නේයයි දැනේ. ජාතියක් සඳහා භවය සකස් වී ඇතත් තවම පුනර්භවයක් ලබා නැත.

මෙකී තණ්හාව උපාදානය කොට පවතින මනෝමය හා අරූපි කායද්වයේ චිත්ත වීථී පරම්පරාවේ අවසාන චුති චිත්තයට අනතුරුව එන විපාක සිත හෙවත් ප්‍රතිසන්ධි සිත, වෙනත් රූප කායකට එළඹීමත් සමග පුනර්භවය වෙයි. ඊට හේතුව වූ පූර්ව චුති චිත්තයේ නිරෝධය සැබෑ මරණයයි. හෙතෙම පූර්ව භවයේ ඕලාරික කය අත්හළ බැවින් ඔහු නොවේ.

මනෝමය කය අත් නොහළ බැවින් ඔහු නොවන්නේද නොවේ. තවද මනෝමය කය, පුර්ණ භවයේ ඕලාරික කයේ රූපනයම ගන්නා බව යට කියන ලදී. මේ දෙක එක්ව පැවැති පූර්ව භවයේදි හදිසි අනතුරු ආදිය ඕලාරික කයට සිදුවීමෙන් වූ මරණවලදී. එයින් වෙන්වී පුනර්භවයක් ලබා උපතක් ලක්විය. එම අනතුරු සලකුණු කැළැල් ආදිය දෙවැනි ජාතියේ ශරීරයට ගෙන යන්නේ මෙකී මනෝමය කාය මගින්යැයි පිළිගත හැකිය.

මේ අනුව සම්මුති මරණයේදී චුති පටිසන්ධි ක්‍රියාද්වය සිදුවේද යන්න ඔබගේ විචාරයට ගෝචර කර ගත යුත්තකි. එතැන වී ඇත්තේ ඕලාරික කය අත්හැරීම පමණකි. එම අත්හැරීමම පටිසන්ධිය (පුනර්භවය) උදා කරන්නේ යැයි සාධාරණීය කිරීමට බුදුරජාණන් වහන්සේ වච්ඡගොත්තට දුන් පිළිතුරු අනුව අනුබලයක් නොලැබේ යැයි සිතමි. තවද සියලු දෙනාම සම්මුති මරණයෙන් තම ඕලාරික කය අත්හරින්නේ යැයි ඒකාන්ත කිරීමක් එම සූත්‍රාන්ත සංවාදයේ නොඑයි. මෙම සම්මුති මරණා ව්‍යවහාරය වලංගු වන්නේ අණ්ඩල, දලාබුජ, සංසේදජ යන උපත් මගින් පුනර්භවය ලබන සත්ත්වයන්ට පමණක් බව පෙනේ. ඕපපාතික උපත ලබන සත්ත්වයාට ඉහත පරිදි සම්මුති මරණය නොයෙදේ. එය චුතියට අනතුරුව එසැණින් ලබන පටිසන්ධියකි. ඕපපාතිකව උපන් සත්ත්වයාගේ චුතියද එසේමය. නියමිත පරමායුෂය ගෙවා ධම්ම නියාමයට අනුව මරණයට පත්වන මනුෂ්‍යාදි සත්ත්වයනටද , දුර්දාන්ත විපාක වශයෙන් මරණයත් සමග එසැණින් එහිම උපදින නේරයික පේතාදි දුක්ඛිත සත්ත්වයනටද සම්මුති මරණය නොයෙදෙන්නේය.

මේ අනුව අතොරක් නැති චුති පටිසන්ධි න්‍යාය පිළිබඳ ථෙරවාදි මතය, සම්මුති මරණයෙන් පසුව එන සැබෑ මරණය අරඹයාත් සම්මුති මරණයෙන් තොරව එන සැබෑ මරණය අරබයාත් හරියටම හරි බව පෙනේ.

එය සදොස් බව පෙනෙන්නේ සම්මුති මරණය අරඹයා යෙදූ විටය. “අන්තරාභිවකයා “ පිළිබඳව එන මහායාන මතය හෝ “ තවත් එක්තරා භවයක්ය “ යන තත්කාලීන ගැළපුම් න්‍යාය හෝ ශුද්ධ කරගත් විට, එනම් දෙවැන්නෙක් පිළිබඳ සංකල්පයෙන් විනිර්මුක්ත වු විට එයද සෛද්ධාන්තික බව පිළිගත හැකිය.

පංචස්කන්ධය තාත්වික දෙයක් ලෙස පෙනුනාට, ඇත්ත වශයෙන්ම එය රැවටීමක් බවත්, එසේ පෙනීම හා ගැනීම සක්කාය දිට්ඨියේ ස්වභාවය බවත් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අනිදස්සන විඤ්ඤාණය සාක්ෂාත් කරගෙන මේ සියලු සිද්ධීන්ගෙන් නිත්‍ය වශයෙන් නිදහස් වූ රහතන් වහන්සේගේ පරිනිර්වාණයෙට මරණය යැයි අපි ව්‍යවහාර නොකරමු.අනුපාදාන වු උන්වහන්සේගේ විඤ්ඤාණ ධාතුව පහනක් නිවී ගියා සේ ව්‍යහාරයෙන් තොර වන්නේය. (නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ– රතන සූත්‍රය) උන්වහන්සේ මෙහි පෙර කී සියලු මරණ වලින් නිදහස් වූවෙක්මය.

ඒ.එම්. පේ‍්‍රමරත්න

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් 05 වන දා සිකුරාදා අපර භාග 01.02 ට ලබයි.
6 වන දා සෙනසුරාදා පූර්වභාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 13 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]