වප් අමාවක 2010.11.05
ඓතිහාසික ජයග්‍රහණයක්
බුද්ධ ශාසනයේ හා සංඝයා වහන්සේ ගේ ආරක්‍ෂාව උදෙසා ශාසනික
කතිකාවත්, භික්‍ෂූන් වහන්සේ ලියාපදිංචි කිරීම හා විහාර
දේවාලගම් යන පනත් ඇතුළු නව පනත් පහක් කඩිනමින් පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කැරෙන බව අගමැති දි.මු. ජයරත්න මහතා පසුගිය 26 වන දා
අනාවරණය කළේ ය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සර්වාගමික මධ්‍යස්ථාන
සංවර්ධනය කිරීමේ ජාතික වැඩ පිළිවෙළෙහි සමාරම්භක වැඩ සටහන
නිමිත්තෙන් කන්තලේ අග්‍රබෝධි පිරිවෙන් විහාරස්ථානයේ පැවැති
උත්සවයට සහභාගි වූ අගමැතිවරයා විසින් කරන ලද එම අනාවරණය
ඓතිහාසික දේශපාලන ජයග්‍රහණයකි. එය දේශපාලනික ජයග්‍රහණයක් වන්නේ
කෙ සේ ද යන්න අවබෝධ කැර ගැනීමට ඒ හා සබැඳි ඉතිහාසය දැන ගත යුතු
ය. 1956 බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභා වාර්තාවේ දෙවන මුද්‍රණයට
තිරුකුණාමලේ ආනන්ද අනුනාහිමියන් හා දේශබන්ධු ඕල්කට් ගුණසේකර
මහතා සපයා ඇති පෙරවදනෙහි එය මැනවින් සටහන් කොට තිබේ. එම
පෙරවදනෙන් කොටසක් මෙහි පහත උපුටා දක්වමු.
“1950 දී පමණ ලංකාවේ බුද්ධ ශාසනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා
රජයේ පිළිගැනීම, අනුග්‍රහය, ආධාරය හා ආශීර්වාදය අවශ්‍ය යැයි
සභානායක ව සිටි එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පළ කළ
අදහස එදා ආණ්ඩුවේ ඇතැම් නායකයන් ගේ විවේචනයට ලක් විය. බුද්ධාගම
රාජ්‍යාගම කිරීම නුසුදුසු ක්‍රියාවකැයි ශ්‍රීමත් ජෝන් කොතලාවල
මහතා පැවැසූ අතර අගමැති ඩී.ඇස්. සේනානායක මහතා ගේ අදහස ද
එවැන්නක් විය. මේ මතයට එ කල මලලසේකර, පී.ද.ඇස්. කුලරත්න,
මෙත්තානන්ද වැනි බෞද්ධ ප්‍රභූන් ගේ විරෝධතාව ප්‍රසිද්ධියේ ම
මතුවන්නට විය.”
“1950 දෙසැම්බර් 17 වන දා බෞද්ධ මහා සම්මේලනයේ 32 වන
සාංවත්සරික සභාව පවත්වන ලද්දේ මේ උණුසුම් වාතාවරණය යටතේ ය. එහි
දී ‘බුද්ධාගම පිළිබඳ කතිකාවතක් සම්පාදනය කොට ඒ අනුව ස්වාධීන ව
ඔවුන් ගේ පාලනය කරගෙන යෑමට ඉඩ දෙන ලෙසත් ඒ සඳහා කොමිෂන් සභාවක්
පත් කරන ලෙසත් මේ සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී’, යන යෝජනාව
සහිත ව තවත් යෝජනා තුනක් සම්මත කොට රජයට ඉදිරිපත් කරන ලදී. මේ
අතරතුර අගමැතිතුමා, සම්මේලනය ඉදිරිපත් කළ යෝජනා පරීක්‍ෂා කොට
කොමිසමක් පත් කරන බවට ප්‍රතිඥාවක් දුන්නේ ය. 1952 මාර්තු 22 වන
දා සිදු වූ අගමැතිතුමා ගේ අභාවයත් සමඟ කොමිෂන් සභාව පිළිබඳ
උණුසුම ක්‍රමයෙන් අඩු වී ගියේ ය.”
“1953 දෙසැම්බර් 27 දින කෑගල්ලේ පැවැත්වුණු බෞද්ධ සම්මේලනයෙහි
දී සභාපති ගුණපාල මලලසේකර මහතා රජයෙන් පත් නොකැරෙන බෞද්ධ
තොරතුරු පරීක්‍ෂක සභාව බෞද්ධ සම්මේලනය විසින් පත් කරනු ලබන බවට
ප්‍රතිඥාවක් දුන්නේ ය. ඒ සඳහා ගිහි පැවිදි වියත් සාමාජිකයන්
ගෙන් සමන්විත කාරක සභාවක් පත් කරන ලදී. මෙකී කමිටුව විසින්
ප්‍රශ්න 71 කින් යුත් ප්‍රශ්න මාලාවක් සකස් කොට මහජනතාවට
බෙදාහරින ලදී. පසු ව ලක්දිව පුරා සැරිසරමින් තොරතුරු එක් රැස්
කොට මේ වාර්තාව සම්පාදනය කැරිණි. 1956 පෙබරවාරි 4 වන දින ආනන්ද
විද්‍යාලයේ දී පවත්වන ලද මහජන සමුළුවෙක දී මේ ඓතිහාසික වාර්තාව
ලක්දිව මහා සංඝයා වහන්සේටත් බෞද්ධ මහජනයාටත් පිරිනමන ලදී.
බෞද්ධ තොරතුරු පරීක්‍ෂක වාර්තාව ඉදිරිපත් කොට සතියකට පසු
පාර්ලිමේන්තුව විසුරුවාහැර අප්‍රේල් මාසයෙහි දී මැතිවරණය
පැවැත්වීමට කටයුතු පිළියෙළ විණ.”
“ මේ වාර්තාවෙහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කොන්දේසිය
ද සහිත ව දස පනතක් බෞද්ධයෝ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට ඉදිරිපත්
කළෝ ය.මේ දස පනත බණ්ඩාරනායක මහතා ප්‍රධාන මහජන එක්සත් පෙරමුණ
විසින් පමණක් පිළිගන්නා ලද හෙයින් ලක්වැසියෝ බණ්ඩාරනායක මහතාට
විශිෂ්ට ජයක් අත් කැර දුන්හ. වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක
කිරීමෙන් සමාජයේ නව පුනරුදයක් ඇති කිරීමට අභිලාෂ ඇති ව සිටි
බණ්ඩාරනායක අගමැතිතුමා ඒ සඳහා වැඩි දුර කරුණු විමසා වාර්තා
කිරීමට 1957 මාර්තු 4 වන දා බෞද්ධ කොමිෂන් සභාවක් පත් කෙළේ ය.
යථෝක්ත කොමිෂන් සභාව විසින් සකස් කරන ලද වාර්තාව 1959 ජූනි 04
වන දා අග්‍රාණ්ඩුකාරතුමාට පිළිගන්වනු ලැබිණ. එහෙත් අවාසනාවකට
බෞද්ධ ජනතාව ගේ එකී ප්‍රාර්ථනා කෙමෙන් බොඳ වී යන්නට පටන් ගත්තේ
සාහසික බලවේගයක් විසින් බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය කරනු
ලැබීමත් සමඟ ය.”
මෙය ඓතිහාසික දේශපාලන ජයග්‍රහණයක් යැයි කීම කෙතරම් සාධාරණ ද
යන්න පාඨකයන්ට දැන් අවබෝධ වනු ඇත. එ සේ වූව ද මෙය හුදු දේශපාලන
ප්‍රයත්නයක් ලෙස ලඝු කිරීම වැරැදි ය. විහාර දේවාලගම් පනත
කෙරෙහි පමණක් අවධානය යොමු කළ ද මෙහි ඇති සමාජ වටිනාකම තේරුම්
ගැනීමට පුළුවන.
විහාර ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත හා මුඩුබිම් පනත ආදී නියෝග
මඟින් ඉංගී‍්‍රසි ආණ්ඩුව විසින් බෞද්ධ විහාරස්ථාන සතු ඉඩම්
අක්කර ලක්‍ෂ අටක් පමණ බලහත්කාරයෙන් රජයට පවරා ගෙන යුරෝපීය
වැවිලිකරුවන්ට ඉතා අඩු මුදලකට ලබා දී තිබේ. මෙය ආර්ථික
වුවමනාවන් ඉටු කැර ගැනීම සඳහා පමණක් දියත් කළ වැඩ පිළිවෙළක් නො
වේ. ලාංකික ජන ජීවිතයේ සංස්කෘතික පැවැත්ම දුර්වල කිරීම සඳහා ද
යොදාගත් වැඩ පිළිවෙළකි. මේ ඓතිහාසික අසාධාරණය රාජ්‍ය
ප්‍රතිපත්තියක් ලෙස නිවැරැදි කිරීම ජයග්‍රහණයක් නො වේ ද? |