UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර යුගයේ සිට පැවැත එන හල්තොට ලෙනවර රජ මහා විහාරය


පැරැණි ලෙන් විහාර මැදුර

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්තොට ලෙනවර රජ මහා විහාරය රයිගම්කෝරළයේ පිහිටි ඉපැරණිම විහාරස්ථානයකි. ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයට අයත් විහාරස්ථානයක් වන මෙම විහාරස්ථානය වීදියගොඩ සඟපරපුරේ ප්‍රධාන විහාරස්ථාන 6 න් එකක් ලෙස සැළකේ.


ලෙන තුළ පිහිටි පුරාණ විෂ්ණු දේවාලය.

මෙහි ආරම්භය අනුරාධපුරයට අයත් බව රයිගම්කෝරළ ඉතිහාසය නම් ග්‍රන්ථයේ සඳහන් වේ. ඉන් පසුව පොලොන්නරු යුගයේ ද මෙම විහාරස්ථානය දියුණුව පැවති බව සිතිය හැක. පොලොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ පැරැණි රූපයක් විහාර මන්දිරය තුළ සිතුවම් කර තිබේ. කෝට්ටේ යුගය වන විට ද මෙම විහාරස්ථානය ඉතා දියුණුව පැවති බව පැපිලියාන ශිලා ලේඛනයේ සඳහන් වේ. එහි සඳහන්ව ඇත්තේ ‘රයිගම් නුවර බද ලෙනවර ගල්ලෙන විහාරයට පිදූ ලබුගම හා සල්තොටින් ගෙවතු එකක් හා කුඹුරු බිජුවට තුන් පෑලක වප’ යනුවෙනි.

කළුතර දිස්ත්‍රික්කයේ ඉතා උසම ස්ථානයක පිහිටි මෙම විහාරස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 600 ක් උසින් පිහිටා ඇත. එම ස්ථානයට ගොඩ වූ විට නැඟෙනහිරෙන් සමනල කන්දද බටහිරෙන් කළුතර චෛත්‍ය රාජයානන්ද දැකිය හැක. පඩිපෙලෙන් පඩිපෙලට පියවර තබා ගිරිහෙල පියමං කරනවිට මිහින්තලා පුද බිම මතකයට නැඟේ. ඒ නිසාම දෝ මෙම පුද බිම පුංචි මිහින්තලාව යනුවෙන් කට වහරේ කියැවෙයි.පූජා භූමියට පිවිසුම් වාහල්කඩින් ඇතුල් වූ වහාම නෙත් ගැටෙන්නේ, මිදුල දෙපස ඇති පුරාණ සීමා මන්දිරය හා භික්‍ෂු ගෘහයකි. ඉන් පඩි පහළවක් පමණ පියවර තැබූ විට හමුවන්නේ තවත් එවන් විශාලත්වයෙන් වැඩි වූ මිදුලකි.


විහාරාධිපති

ශාස්ත්‍රපති හිදුරංගල

සෝරත හිමි

එහි, පීණස් රෝග පිළිබඳ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකු මෙන්ම ඉසිවරයකු බඳු වූ නිශ්සරණාධ්‍යාශයෙන් යුතුව වෙදකම් කළ පූජ්‍ය -පාද කිරි ඇල්ලේ සද්ධාතිස්ස ආරම්භක යුගයේ විහාරාධිපතීන් වහන්සේගේ පැරණි වෛද්‍ය මධ්‍යස්ථානය හා ඉන් පසුකාලයේ එම සේවයේම නියලී කටයුතු කළ දැනට වසරකට මත්තෙන් අපවත් වී වදාළ ගෝවින්නේ සෝමරතන හිමියන් පවත්වාගෙන ගිය රෝග පරීක්‍ෂණ මධ්‍යස්ථානය වේ. ඊට අමතරව භික්‍ෂු ආවාසය උස විහාර මැදුර, දෙමහල් ගොඩනැඟිල්ලකින් යුත් ශ්‍රී සද්ධාතිස්ස පුස්තකාලය හා විශාලත්වයෙන් යුත් මනරම් ධර්මශාලාව දැකිය හැකිවේ.


ගිරග මත ඇති චෛත්‍යය

එතැන් පටන් ඊළඟ මළුවට යා යුතුව ඇත්තේ මහා ශිඛරයේ කොටා ඇති ගල්පඩි වලිනි. මෙසේ මෙම මළුව තුළදී විශාල ගල් පර්වතයක් මත, අවුරුදු 250 ක් පමණ පැරණි බෝධීන් වහන්සේ, ඝන්ඨා ස්ථම්භය හා පැරණි ගල් ලෙනෙහි තනා ඇති විහාර මන්දිරයද, පසෙකින් විෂ්ණු කතරගම, සමන්, ගම්භාර ආදී දේවාල දැකිය හැක.

දේවාල මන්දිරය ඇතුළත අලංකාර චිත්‍ර, දියවැල්, මල් ආදියෙන් වර්ණවත් වී ඇත. ගල්ලෙනේ වහලෙහි නාරිලතා චිත්‍ර ඇඳ ඇත.

විහාර මන්දිරයේ වැඩ සිටිනුවේ දහ අට රියන් සැතපෙන බුදු පිළිමයකි. විහාර මන්දිර භූමියේ තැන් තැන් වල රජ සමය හා දිවෙන පොකුණු හා නටබුන් දකින්න ලැබෙන අතර, අක්කර 10 ක් පමණ ප්‍රමාණයක ගල් තලාව පැතිරී ඇත.

මෙම භූමියේ සිට තවත් ගල් පඩි සියයක් පමණ ගමන් ගත් විට පූජා භූමියේ ඉහත්තේ පිහිටි දර්ශනීය චෛත්‍ය රාජයාණන් වහන්සේ හමුවෙයි. අද වන්දනා මාන පිණිස රටවටා සැරිසරණ සැදැවත්තු මෙම විහාරස්ථානයට ද පැමිණෙති.


වසර 250 ක් වයසැති බෝධීන් වහන්සේ

වීදියගොඩ සඝ පරපුර වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ සඝ පරපුරෙන් පැවත එයි. මාදම්පේ සීලවංශ, කිරි ඇල්ලේ සද්ධාතිස්ස, හිදුරංගල ගුණරතන, ගෝවින්නේ සෝමරතන යන හිමිවරුන් අවසාන භාගයේ ආධිපත්‍යයේ සිට විහාරස්ථානය උසස්ම තත්ත්වයකට ගෙනඒමට උර දී ඇත. අද විහාරස්ථානයේ සියලු අංග සම්පූර්ණ වී තිබේ.

විහාරස්ථානයට අනුබද්ධිත ළමයින් 300 ක් පමණ දහම් දැනුම ලබන ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල, එම නමින්ම ඇති පුස්තකාලය ප්‍රදේශයේ සිසු සිසුවියන්ට පමණක් නොව දැනුම අපේක්‍ෂාවෙන් සිටින වැඩිහිටියන්ටද මහඟු ආයතන වේ.

එසේම වත්මන් විහාරාධිපතීන් වහන්සේ විසින් මාස්පතා දුර බැහැර සුප්‍රසිද්ධ දහම් කතික ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයට වැඩම කරවා සිදු කරන ආගමික වැඩසටහන් ප්‍රදේශවාසීන් ලැබූ මහඟු වාසනාවක් වේ.

වත්මන් විහාරාධිපති මිල්ලණිය ප්‍රදේශයේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශ්‍රී පාලි මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති සිදුරංගල සෝරත හිමි ප්‍රමුඛ විහාරස්ථ කාර්ය සාධක සමිතිය, උභය ලෝකාර්ථ සම්පාදක උපාසිකා සමිතිය, ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල මෙම ආගමික වැඩසටහන් වලදී පුරෝගාමීව කටයුතු කරති.

මෙහි නොවැම්බර් මස 02 වැනි දා සිට 13 වැනි දින දක්වා විශාල පින්කම් මාලාවක් සංවිධානය කොට ලංකාවේ චිර ප්‍රසිද්ධ විචිත්‍ර ධර්ම කථික ධර්ම දේශකයාණන් වහන්සේලා 10 නමක් වැඩමවා කාලෝචිත ධර්ම දේශනා 10 ක් පවත්වති. 12 වන දින සර්වරාත්‍රික මහා පරිත්‍රාණ පිරිත් සජ්ඣායනාවක් හා 13 වැනි දින උදයේ කඨින පූජෝත්සවය හා මහා සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වෙනු ඇත.

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් 05 වන දා සිකුරාදා අපර භාග 01.02 ට ලබයි.
6 වන දා සෙනසුරාදා පූර්වභාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 13 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]