UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිදහස්ව සිතන්නට ඉගැන්වූ මහා චින්තකයා

ඉතිහාසයේ කිසියම් දිනක මිනිසකු ලෙස සිතන්නට පටන් ගත්තේද, එදා පටන් ඔහුට පළමුවෙන් සිතන්නට සිදුවූයේ සොබාදහම ගැනයි. ඒ කුමක් නිසාද යත්, සොබාදහමේ හැම සංසිද්ධියක් ම ඔහුගේ ඉරණම කෙරෙහි බලපාන බව පෙනුණු හෝ දැනුණු හෙයිනි.

අද වුවත් මිනිසත් බව ලබා ජීවියකු මෙලොව එළිය දකින්නේ කෙතරම් අහඹුවකින්ද? ඉනුත් සාර්ථක මිනිසකු හදා වඩා ගන්නට කවර නම් වෙහෙසක් දැරිය යුතුද? දන්නෝ දනිති. මානව ඉතිහාසයේ ඈත එපිට යුග යුගාන්තරයන්හි එය කෙසේ වන්නට ඇද්දැයි අපට සිතන්නට හැකි විය යුතුය.

ඔහුට එදා නිදහසක් තිබුණේ නම්, ඒ එක ම නිදහස වූයේ පණ බේරා ගෙන නිවී සැනසිල්ලේ එක් මොහොතක් හෝ ගෙවන්නේ කෙසේ දැයි සිතන්නට තිබුණු නිදහස පමණි. ඒ මොහොතකට පවා දැනුණේ කවර දිසාවකින් මරණය විසින් තමා ගිල ගනු ලැබේ ද යන තිගැස්මයි.

ඇති සැටියෙන් සිතතොත්, එදා කුසගිනි නිවා ගන්නට සොබා දහම විසින් ආහාරයට ගත හැකි අපමණක් දේ සූදානම් කර තිබිණැ යි සිතීම යම් පමණකට හෝ සාධාරණය. එසේ නොවී නම් අද මෙතරම් මානව සංහතියක් බිහි වන්නේ කෙසේද?.

වේයන් වැනි ක්ෂුද්‍ර ජීවියාගේ සිට මැමත් වැනි දැවැන්තයන්ගේ මස් පවා ඔවුන්ගේ ආහාරය විය. ඒ එක්ක ම කෙතරම් ගස් කොළන් වලින් මිහිතලය පිරී තිබුණේද? ඇතැම් ගසක හෝ වැලක පස් පංගුවම ඔවුන්ගේ ආහාරය නොවිණිද? එහෙත් බොහෝ විට මේ කවරක් හෝ ලබා ගන්නට ඔවුනට තිබුණු නිදහස හුදු සිහිනයක් පමණක් විය. එය බෙහෙවින් නොයෙක් තර්ජන, ගර්ජන වලට ලක් වීමෙන් ඉටු කරගත යුත්තක් වූ නිසාය. එසේ කොටත් පණ රැක ගන්නට නම් ගල් ලෙනකට , ගස් බෙනයකට රිංගා ගන්නට හෝ රූස්ස ගසකට නැඟ ගන්නට සිදුවිය. සොබාදහම විසින් මානවයාගේ පැවැත්මට අදාළ සියලු දේ සූදානම් කර තිබුණත්, ඒවා ලබා ගන්නට යෑමේදී ඔහුට නිතර මුහුණ දෙන්නට සිදුවූයේ ජීවිතය පරදුවට තැබිය යුතු අවදානමකටය.

අව්ව, වැස්ස , සුළඟ,අන්ධකාරය, ජලගැල්ම, භූකම්පන, ලෙඩදුක්, මරණය ආදී හැම දෙයක්ම කිසියම් අදීසි බලවේගයක් විසින් තමන්ගේ ඉරණම කෙරෙහි කරන බලපෑමක් ලෙස සිතන්නට මිනිසා තුළ ගුප්ත හැඟීමක් ඇති වූයේය. තමනට සිතා ගත නොහැකි තරම් දුරකින් අවකාශයේ ඉර, සඳ, තරු උදාවිය. ඉක්බිති ඒවා එක්තරා ගමනක් නිම කර බැස ගියේය. වරෙක අහස පුරා විදිලි කෙටීම් දිස්විය, හෙණ පුපුරණ හඬ පැතිරිණ. එයින් කන්අඩි දෙදරා ගියේය. හෙණ පහරක් වැදුණු මානවයෙක් මැරී වැටුණේය. විටෙක එතරම් දැඩි තේජාන්විත රැස් විහිදූ හිරු වළාකුළකින් වසා දමනු ලැබිණ. ඒ එක්කම මහා වැස්සක් ඇද හැළුණේය. ඉක්බිති වළාකුළින් තොර අහස පැහැදිලිය.

මේ සියලු ව්‍යසන වෙත පමුණුවන්නේ දෙවියකු හෙවත් අනන්ත අවකාශයේ සිටින සර්ව බලධරයකු විසිනි යි මිනිසා සිතන්නට පෙළඹුණු බවක් පෙනේ. ඒ නිසා මිහි මත සිට දරාගත නොහැකි දුකක්, කරදරයකදී මිනිසාගේ දෑත් යොමු වූයේ අගක් මුලක්, උසක් පහතක් ඇසින් දැකිය හැකි තබා, දූරංගමවූ, ඒකචරවූ සිතින්වත් සිතා ගත නොහැකි අනන්ත වූ අවකාශය දෙසටය. එසේ කළ ඔහු එවන් ව්‍යසන තමන් වෙත නොපමුණුවන ලෙසත්, එමඟින් සහනයක් සලසන ලෙසත් යැද්දේය.

ඉතිහාසයේ එවන් එක්තරා යුගයක මානවයා එබඳු මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් වෙළාගනු ලැබ සිටියේය. මිථ්‍යා දෘෂ්ටික ආගම් බිහි වූයේ එවන් දෘෂ්ටි පදනම් කර ගෙනය. ඒවාට අරක් ගත්තෝ දෙවිවරුය. යක්කුය. පෙරේතයෝය, කුම්භාණ්ඩයෝය. කාලයාගේ ඇවෑමෙන් එකී දෙවියන් ආදින් සහ මිනිසුන් අතර තෝල්කයන් ලෙස කටයුතු කරන පිරිසක් බවට තමන් හඳුන්වා ගත් පූජක පැළැන්තියක් බිහි විය. නොයෙක් මුහුණුවර ගත් ආගමික විශ්වාස සහ ආගම් බිහි වීමට මඟ පෑදුණේ එසේ යැයි සිතන්නට සාධක ඇත.

‘එහෙත් මිනිසා බුද්ධියෙන් සහ ඥානයෙන් වැඩෙත්ම එවන් මිථ්‍යා මතවාද ඒ හැටියෙන්ම පිළිගන්නට සූදානම් නැති, යථාර්ථ ගවේෂනයට සිත යොමු කළ චින්තකයෝ පහළ වන්නට පටන් ගත්හ. එහෙත් ඔවුන්ගෙන්ද බොහෝ දෙනෙක් අන්තවාදියෝ වූහ. ඒ අතර අන්තවාදිත්වයෙන් තොරව මැදුම් පිළිවෙතක් ඉදිරිපත් කළ චින්තකයෙක් සිටියේය. එනම් සිද්ධාර්ථ ගෞතම නම් ලත් බුදුන් වහන්සේය . උන්වහන්සේ ඉදිරිපත් කළ අන්තවාදිත්වයෙන් තොර මැදුම් පිළිවෙත මුළුමනින් නිදහස් චින්තනයකි.

එසේ කිය යුත්තේ කුමක් නිසාද? ඇතැම් ශාස්තෘවරුන් කීවේ තමන් කිසියම් ඊශ්වරයකු හෝ දෙවි කෙනකුගේ අවතාරයක් නැතහොත් නියෝජිතයකු වන බවයි. එහෙත් බුදුහු අන් කිසිවකු පළ නොකළ නිදහස් අදහසක් කියා පෑහ. එනම් තමා මිනිසකු මිස අන් කිසිවකු නොවන බවයි. බුදුබව අවබෝධය හෙවත් බුද්ධත්වය ලබා ගත හැකි වන්නේ මිනිසකුට පමණි. උන්වහන්සේ උපක ආජීවකයාට මෙසේ වදාරති.

සබ්බාහිභූ සබ්බවිදූහමස්මි
සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ
සබ්බං ජහෝ කණ්හක්ඛයේ විමුක්තෝ
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං “
ධම්ම පදය 353

“මම සියලු දේ මැඬලීමි. මම සියලු දේ දනිමි. මම සියලු දෙයෙහි නොඇලෙමි. සියල්ල දුරලීමි. තණ්හාව කෙළවර කරලීමෙන් මිදුණෙමි. මෙසේ කොට සියල්ල තමා විසින්ම අවබෝධ කර ගෙන සිටියදී අනෙක් කවරකු ගුරුවරයා වශයෙන් දක්වම්ද? “

බුදුන් වහන්සේ දෙසූ ධර්මය අප නිදහස්ව සිතන්නට දිරි ගන්වන සුලුය. උන්වහන්සේ අප දිරි ගන්වන්නේ මෙසේය.

අත්තාහි අත්තනෝ නාථෝ
කෝ හි නාථෝ පරෝ සියා
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභං “
ධම්මපදය 160

“තමාට පිහිට තෙමේ මය, වෙන කවරෙක් නම් පිහිටවේද? නොවේ මය. තමා මනාව දැමුණු කල්හි දුර්ලභ වූ නිවන ද ලැබේ. “

බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ සිතීමේ හා විමසීමේ නිදහස් වැන්නක් ආගමික ඉතිහාසයේ අන් කිසි තැනක නැත. සත්‍යය අවබෝධ කළ යුත්තේ තමා විසින්මය. තමන්ගේ කීකරු කමට හෝ යහපත් කමට දෙවියකු හෝ අන් බලවතකු විසින් පිරිනමනු ලබන ආශීර්වාදයකින් කිසිවකුට දුකින් මිදිය නොහැකිය. එසේ සිතන්නට මිනිසාට සැබෑ නිදහස වුවමනා ම බව බුදුන් වහන්සේගේ අදහසයි.

තමන්ගේ ශ්‍රාවකයන් විසින් වුවත්, තමා පවා විමසා බැලිය යුතු යැයි ද, තමන් සම්‍යක් සම්බුද්ධ ද නැද්දැයි වටහා ගත හැක්කේ එසේ කිරීමෙනැයි ද බුදුහු ප්‍රකාශ කළහ. මේ නම් කෙතරම් එඩිතර , නිදහස් ප්‍රකාශයක්ද?

තමන් දෙසූ දහම කෙරෙහි වුවත්, කිසියම් සැකයක් ඇතොත් විමසන ලෙස පිරිනිවන් පාන්නට ටික වේලාවකට පෙර පවා බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයනට දැන්වූ සේක. එහෙත් එහිලා කිසිවෙක් ඉදිරිපත් නොවූහ. එවිට බුදුන් වහන්සේ වදාළේ තමන් කෙරෙහි ගෞරවයෙන් එසේ නොඅසන්නේ නම් සුදුසු මිතුරකු ලවා හෝ අස්සන ලෙසයි.

උපාලි ගෘහපතියා නිගණ්ඨනාථපුත්තගේ ප්‍රධාන ශ්‍රාවකයෙකි. කර්මවාදය පිළිබඳ නාථපුත්තගේ මතය බුදුන් වහන්සේගේ මතයට පටහැනි වූවකි. නාථපුත්තට වුවමනා වූයේ උපාලි ගෘහපතියා බුදුන් වහන්සේ සමග වාදයට යවා තමන්ගේ මතය නිවැරදි බව ඔප්පු කර බුදුන් වහන්සේ පැරදවීමටය. එහිදී සිදුවූයේ අනෙකකි. බුද්ධ මතය නිවැරදි බව පිළිගත් උපාලි ගෘහපතියා තමන් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු ලෙස පිළිගන්නට ඉල්ලා සිටීමයි. එහෙත් බුදුන් වහන්සේ නැවත නැවතත් වදාළේ සිහි එළවා සිතා බලන ලෙසයි. උන් වහන්සේ එසේ කළේ හුදෙක් තමා කෙරෙහි පැහැදීමෙන් නොව, නිදහස්ව සිතා යථාවබෝධයෙන් නිගමනයට එළඹීමේ වැදගත්කම ගැන වගකිය යුතු පුද්ගලයකුට තේරුම් ගන්නට අවකාශ සලසනු පිණිසයි.

සිදුහත් තවුසා බුද්ධත්වය ලැබීමට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන ලදැයි කියනු ලැබේ. ඒ කාල පරාසය කුමක් වුවත්, එයින් අදහස් කර ඇත්තේ බුද්ධත්වය හෙවත් නිර්වාණාවබෝධය කෙතරම් දුෂ්කර කාරියක්ද යන්නයි. එහෙත් වසර 2500 කට පමණ ඉහතදී තමා උපන්දා සිට බුද්ධත්වය ලබන තාක් සිදුහත් නම් ලත් මිනිසා විදි දුක් ගැහැට කෙතෙක්දැයි අතිශයෝක්තියෙන් තොර බුද්ධ චරිතය හැදෑරීමෙන් ඕනෑ ම කෙනකුට තේරුම් ගත හැකිය. සැබවින් එයින් ප්‍රකට වන්නේ කුමක්ද? ඒ මනුෂ්‍යාති මනුෂ්‍ය ශ්‍රේෂ්ඨයාගේ නිදහස් චින්තනයේ මහිමයයි. එයින් අපට කෙතරම් දේ උගත හැකිද? එයට ගිහිගෙය හැරදමා යායුතුම ද? හොඳයි එසේ නම් එසේ සිතා ගිය අය කීදෙනෙක් නිර්වාණ ප්‍රාප්තිය සාක්ෂාත් කර සිටිත්ද?

නිදහස් චින්තකයා නිර්මාශීලියෙකි. ඔහු කරන්නේ එතෙක් සම්මතයෙහි පැවති චින්තන ක්‍රමය, පිළිගැනීම්, සිරිත් විරිත් ආදිය කෙතෙක් දුරට මානවයාගේ ලෞකික හා ආධ්‍යාත්මික ප්‍රගතිය කෙරෙහි බලපාන්නේ දැයි නිර්මාණශීලිව විමර්ශනයට යොමු කරමින් මානව හිතසුව පිණිස යොදා ගත හැකි ක්‍රමෝපාය යෝජනා කිරීමයි.

සැකෙවින් කියතොත්, උපාදානස්කන්ධය ම දුක යැයි කීවත්, ඒ දුකින් මිදීමේ මාර්ගයක් ඇතැයි දක්වා එය විවරණය කිරීම බුදුන් වහන්සේගේ නිදහස් චින්තනයේ නිර්මාණයකියි කීම සාධාරණය. ප්‍රඥා, සීල, සමාධි යන ත්‍රිශික්ෂණය මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි හික්මීම විමුක්තිය ලැබීමේ ක්‍රමෝපාය ලෙස එතරම් විවරණාත්මකව එතෙක් අන් කිසිදු චින්තකයකු විසින් ඉදිරිපත් කර තිබුණේ නැත.

ඒ මාර්ගය හෙවත් සිද්ධාන්තය පරියත්ති හෙවත් ධර්මයයි. පරියත්ති හෙවත් ධර්මස්කන්ධයක් තිබුණු පමණින් විමුක්තිය ලද නොහැකිය. එයට පටිපත්ති හෙවත් පිළිවෙත් පිරීම හෙවත් ධර්මයෙහි හැසිරිය යුතුය. පටිවේධ හෙවත් අවබෝධය ලැබෙන්නේ එමගිනි. ධර්මය, ධර්ම මාර්ගය සහ ධර්මාවබෝධය ප්‍රායෝගික වීමෙන් විමුක්තිය සාක්ෂාත් කර ගත හැකි වන්නේ එසේය.

තමන් වහන්සේ විමුක්ති මාර්ගය ප්‍රකාශ කරන අතර ශ්‍රාවකයා එය අනුගමනය කර නිර්මාණය පසක් කළ යුතු බව බුදුන් වහන්සේ මෙසේ දක්වති.

ඒතම්හි තුම්හේ පටිපන්නා - දුක්ඛස්සන්තං කරිසස්සථ
අක්ඛාතෝ වේ මයා මග්ගෝ - අඤ්ඤාය සල්ලසන්ථනං “ -
ධම්මපදය 275

“ඔබ මේ ආර්ය මාර්ගයට පිවිස දුක කෙළවර කර ගනු මැනවි. මවිසින් තෘෂ්ණාදි අකුසල් මුල් උදුරාලන ක්‍රමය දැන මැනවින් කියන ලදී. “

නිදහස් චින්තනයේ අග්‍රඵලය ප්‍රත්‍යක්ෂයයි. එනම් යථාවබෝධයයි, ඇති සැටියෙන් දැකීමයි, සම්මා දිට්ඨියයි.

මහාචාර්ය වල්පොළ රාහුල හිමියෝ, බුදුන් වදාළ ධර්මය නමැති කෘතියෙහි මෙසේ දක්වති.

“බොහෝ ආගම්වල පදනම භක්තියයි. අන්ධ භක්තියයි. එහෙත් බුද්ධ ධර්මයේ මුල් තැන ලැබෙන්නේ දැකීමට, දැන ගැනීමට මිස භක්තියට හෝ විශ්වාසයට නොවේ. බෞද්ධ ග්‍රන්ථවල එන සද්ධා යන්න වෙන ආගම්වල භක්තිය විශ්වාසය , ඇදහීම යන මේවාට පර්යාය නොවේ. සද්ධා නම් අවබෝධය හේතු කොට ගෙන ඇති වන නිසැක බවයි. “

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]