බී. කරුණාදාස ප්‍රනාන්දු
කරුණා සාගර බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වසන සමයේ දී
භික්‍ෂූන් වහන්සේට යම් යම් නීති රීති ශික්‍ෂාපද පැනවූයේ, යම් හේතු
නිමිති ඉදිරිපත් වූ විට ය. බුදුන්වහන්සේ වස් විසීම නියම කළේ ද, මහජන
උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙනුයි.
බුදු දහම පහළ වූ මුල් කාලයේ භික්‍ෂූන් වහන්සේ සෑම දිනකම ධර්ම චාරිකාවේ
යෙදෙමින් මහජන සේවය පිණිස කටයුතු කළා. භික්‍ෂූන් වහන්සේ වැසි කාලයේදීත්
චාරිකාවේ වඩිනු දුටු මහජනතාව දොස් කියන්නට පටන් ගත්තා. වැසි කාලයේ දී
ලා තණ නිල්ල මඩිමින් ගෞතමයන්ගේ ශ්‍රමිකයින් පිඬුසිඟා වඩිනවා. කුරුල්ලන්
පවා කූඩු සාදාගෙන සිටිනවා. මෙම භික්‍ෂු පිරිසට ශික්ෂණයක් නැතැයි
කියමින් ඔවුන් භික්‍ෂූන් වහන්සේ අපහසුතාවට හා අප්‍රසාදයට පත් කළා.
භික්‍ෂූන් වහන්සේ මෙම කාරණය බුදුරජාණන් වහන්සේට දැන් වූ පසු බුදුරජාණන්
වහන්සේ කරුණු සළකා බලා, වැසි කාලය (වස් කාලය) එක්තැන් වී සිටින ලෙස
ශික්‍ෂා පදය පනවා, මෙහි ප්‍රයෝජන මහා කරුණාවෙන් දේශනා කළා.
“අනුජානාමී භික්‍ඛවේ වස්සානේ වස්සං උපගංතුං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ
මෙම ශික්‍ෂා පදය පනවමින් වැසි සමයේ වස් වසන්නට අනු දැන වදාළහ. වසර පුරා
ධර්ම චාරිකාවේ යෙදෙන භික්‍ෂූන් වහන්සේට හාර මාසයක් එක් තැනක වැඩ
විසීමෙන් උන්වහන්සේගේ අධ්‍යාත්මික දියුණූව සළසා ගැනීමටත්, ඇප උපස්ථාන
කරන ගිහි පින්වතුන්ට ගුණ ධර්ම වර්ධනයටත් මෙම කාලය බෙහෙවින් උපයෝගී කර
ගැනීමට හේතු වන නිසා බුදුරජාණන් වහන්සේ මෙවැනි ශික්‍ෂා පදයක් පැනවීමට
අදහස් කළ බව පෙනෙයි. වස් විසීමේ ශික්‍ෂා පදය පැනවූ පසු, වස් විසිය
යුත්තේ කවදා ද යන ප්‍රශ්නය පැන නැඟුණු බැවින්, ඇසළ පුර පසළොස්වක දිනයේ
පෝය කොට වස් විසිය යුතු බවටත්, නිකිණි මස පුර පසළොස්වක දිනයේ පෝය කොට
අවපෑල විය දිනයේ පසු වස් එළඹිය යුතු බවටත් කරුණු පෙන්වා දුන් සේක. මෙම
දින දෙකෙන් එක් දිනකදී වස් නොවිසු භික්‍ෂුවකට “දුක්කටාපත්තී” නම් ඇවත
සිදු වෙයි. විශේෂයෙන් වස් විසූ භික්‍ෂූන් වහන්සේ සිහියෙන් යුතුව කටයුතු
කොට වස්සාන සෘතුවේ හය වැනි පෝය දිනයේ පවාරණය නමැති විනය කර්මය
සිදුකරගැනීමෙන් පසු කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් ලබති. පසු වස් විසූ
භික්‍ෂුවකට කඨින නමින් යුත් චීවරය ලැබීමට සුදුසුකම් නොවන්නේ ය.
“අනුජානාමී භික්‍ඛවේ වස්සං මුත්ථානං භික්‍ඛුනං කඨින අත්තරිතං” යනුවෙන්
වස් වසා නිමකොට පැවරූ භික්‍ෂුවක් කඨින චීවරයක් ලැබීමට සුදුසු වන බව
අනුදැන වදාළහ.
කඨින පූජාවේ ආනිශංස
වෙනත් පූජා වලදී පූජා කරන දායක පක්‍ෂයට ලැබෙන විශේෂ ආනිශංස ආදිය ඉතා
ඉහළින් දක්වා තිබේ. කඨින පූජාවේ වැදගත්කම වනුයේ පූජාව කරන දායක පිරිසට
මෙන්ම ලබන්නා වූ භික්‍ෂූන් වහන්සේට ද, විනය ශික්‍ෂා පද පහකින් ආරක්‍ෂා
විය හැකි ආනිශංස ලබාගැනීමට හැකි වීම යි.
කඨින දායකයනට බෞද්ධයන් අතර ඉතා ප්‍රසිද්ධ අට මහ කුසල් වලින් මුල්තැන
ලැබෙන කඨින පූජා මේ ආනිශංස ලැබෙනු ඇත. බුද්ධ ශාසනයේ උසස්ම ආනිශංස ගෙන
දෙන මහ කුසල් අට හැටියට දක්වා තිබෙන්නේ,
1. කඨින දානය
2. අට පිරිකර පූජාව
3. ආවාස සාදා පූජා කිරීම
4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම.
5. ධර්මය ලිවීම
6. කෙත් වතු පිදීම
7. බුද්ධ ප්‍රතිමා කරවීම
8. වැසිකිළි කැසිකිළි සෑදීම යන කුසල් ය.
පුරාණ ආර්යවරුන් වහන්සේ පැහැදිලි කර ඇති මෙම අට මහ කුසල අතරින් ද
ප්‍රමුඛස්ථානයේලා සළකා ඇත්තේ, කඨින පූජාව යි. පංචානන්තර්ය පාප කර්ම
කරගෙන නොමැති නම්, ඊළඟ භවය ඒකාන්තයෙන්ම සුගතිගාමී වීමට මෙම කඨින දාන
මහා පින්කමේ ආනිශංස හේතුවන්නේ ය. වසරකට එක් තැනක දී, එක් වරක් පමණක්
පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාව පිළිබඳ සඳහන් වේ. එම පූජා කිරීමටත්
උපසම්පදා භික්‍ෂුවක් ඇසළ ;පීය දිනට පසු දිනයේ පෙර වස් සමාදන්ව වස් කඩා
නොගෙන වස් තුන් මාසය ගත කොට වප් පුර පසළොස්වක දිනයෙහි පවාරණ නම් විනය
කර්මය සිදුකරගෙන කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් සපුරා තිබිය යුතු ය.
මෙම පින්කම කර ගැනීමට ලැබෙන්නේ වප් පුර පසළොස්වක පෝය දිනය දක්වා පමණ ය.
පෙර රජවරුන් ඉතා උත්කර්ෂවත් ලෙස කඨින පූජා සිදු කර ඇත. වස් කාලය තුළ
භික්‍ෂූන් වහන්සේට වස් විසීමට ආරාධනා කිරීමේ සිට එම කාලය තුළ වස් විසූ
භික්‍ෂූන් වහන්සේට දානයෙන් හා සිවුපසින් පුද පූජා පවත්වන අයට ද කඨින
පින්කම වෙනුවෙන් ඉදිකටුවක තරම් කුඩා දෙයක් පූජා කළ අයට ද අටමහ කුසල්
වලින් ප්‍රමුඛ කුසල් ලැබෙන බව ද ප්‍රකට ය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ
ඉදිරියේ තමන් ලැබූ කඨින ආනිශංස ගැන නාගිත මහරහතන් වහන්සේ, බුද්ධ, ධම්ම,
සංඝ යන රත්නත්‍රයේ ගුණ අප්‍රමාණ යැයිද මා විසින් කළ, කඨින චීවර දාන
චේතනාව හේතුකොටගෙන දෙව්ලොව උපන් කල, දෙවියන්ටද, මිනිසත් බව ලැබූ කල
මිනිසුන්ටද පි‍්‍රය මනාප පුද්ගලයකු වූ බවත්, එම උතුම් කුසලානිශංසයේ බලය
අමා මහ නිවන් සම්පත්තිය ලැබීමටද උපකාරී වූ බවත් නාගිත මහරතන් වහන්සේ
බුදුපාමොක් මහ සඟරුවන මැද ප්‍රකාශ කළහ.
. භික්‍ෂු ශාසනයේ භික්‍ෂූන් අතර, ජ්‍යෙෂ්ඨත්වය මනිනු ලබන්නේ ද,
උන්වහන්සේ වස් විසූ කාලය අනුව ය. “ස්ථවිර වහන්සේ” යන නාමය ලැබෙන්නේ වසර
10 ක් වස් විසූ භික්‍ෂූන් වහන්සේට ය. වසර 20 ක් වස් විසූ භික්‍ෂූන්
වහන්සේට “මහා ස්ථවිර” යන නාමය ලැබේ. කඨින පූජාවක් අලංකාර කිරීමට බාහිර
අංග රාශියක් සිදු කළ යුතුව ඇත. කඨින පින්කම සිදුකරන ආරාමයට අවශ්‍ය කරන
විවිධ දේ, පූජා කරන, කප්රුක් පූජාව සැරසිලි පෙරහර, මහා සාංඝික දානය යන
කාර්ය වලට දායකත්වය දෙන සැම දෙනාටම, එක සේ කුසලානිශංස ලැබෙයි.
|